Saturday, September 16, 2017

හැදෙන පිපිරෙන මිල බුබුළු


ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේ වන විට මිල බුබුලක් වර්ධනය වෙමින් පවතින බව මේ දින වල සාකච්ඡාවට බඳුන් වන කරුණකි. මේ ගැන කතා කරන්නට පෙර මිල බුබුලක් යනු කුමක්දැයි හඳුනාගත යුතුය.

මේ ගැන කතා කරන ඇතැම් අය මෙය ඔවුන් කොහෙන් හෝ අහුලාගෙන ඇති "ධනවාදයේ ව්‍යුහාත්මක අවධි" ගැන සම්බන්ධ කරමින් කතා කළත් මිල බුබුළු වල ඉතිහාසය සියවස් ගණනක් ඈතට දිව යන්නකි. දැනට නිශ්චිත වාර්තා ඇති, බොහෝ දෙනෙකු දන්නා ඕලන්දයේ ටියුලිප් බුබුල ඇති වී, වර්ධනය වී, බිඳ වැටුණේ කාල් මාක්ස් ඉපදෙන්නටත් සියවස් දෙකකට කලිනි. ඒ වන විට යුරෝපයේ කාර්මික විප්ලවය හෝ ඇරැඹී නොතිබුණේය.

දහසයවන සියවසේ අගභාගය වන විට එවකට ලෝක බලවතුන් වූ ස්පාඤ්ඤයට හා පෘතුගාලයට අභියෝගයක් වෙමින් ජාත්‍යන්තර වෙළඳාමේ ආධිපත්‍යය ඕලන්දය විසින් හිමි කර ගනිමින් සිටි අතර ඕලන්දයේ ස්වර්ණමය යුගය ඇරඹුනේය. පෘතුගීසීන් විසින් පාලනය කළ ලංකාවේ පහතරට ප්‍රදේශ වල පාලනය ලන්දේසීන් සතුවීමද මේ රැල්ලටම සිදුවූවක් වුවත් මේ කතා කරන කාලය ඊට පෙර කාලයකි.

ජාත්‍යන්තර වෙළඳාම හරහා පොහොසතුන් වී සිටි ලන්දේසීන් සිය ධනවත්කම ප්‍රදර්ශනය කරමින් මන්දිර ගොඩ නගද්දී ඕලන්දය එවකට ලෝකයේ වැඩියෙන්ම නාගරිකරණය වූ රටක් බවට පත් විය. මේ අලුත් ධනවතුන් සිය ධනවත්කම ප්‍රදර්ශනය කළ හැකි සංකේත වෙනුවෙන් ලොකු මිලක් ගෙවන්නට සූදානම්ව සිටියේය.

දැන් ලෝකයේ ප්‍රධානම ටියුලිප් අපනයනකරු නෙදර්ලන්තය (පැරණි ඕලන්දය) වුවත්, මේ කාලය වන විට ඕලන්දයේ ටියුලිප් නොතිබුණේය. ටියුලිප් ශාකය තුර්කියෙන් ඕලන්දයට පැමිණෙන්නේ 1593 වසරේදීය. ඉතා වර්ණවත් මල් සහිත මේ ශාකයට ඕලන්දයේ ඉහළම ධනවතුන් අතර සැලකිය යුතු ඉල්ලුමක් ඇති විය.

ලංකාවට සෙල්ටෙල් පැමිණි කාලයේ සිදුවුනාක් මෙන් ටික කළක් යද්දී තමන්ගේ වත්තේ ටියුලිප් පඳුරක් තිබීම ඕලන්ද වැසියෙකුගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන සංකේතයක් බවට පත් විය. ඒ සමඟම තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නට අවශ්‍ය වූ තවත් බොහෝ දෙනෙකුට වත්තේ ටියුලිප් පඳුරක් වවන්නට අවශ්‍ය විය. මේ නිසා, ටියුලිප් අල වලට විශාල ඉල්ලුමක් ඇති විය.

ඉල්ලුමක් ඇති විට ඉල්ලුම හඳුනාගන්නා නිෂ්පාදකයෝ සැපයුම ඉහළ දමති. එහෙත්, ටියුලිප් ශාකයකින් වසරක් තුළ බල්බ එකකට හෝ දෙකකට වඩා ලබාගත නොහැකිය. මේ නිසා, ඉල්ලුම වැඩි වන වේගයෙන් සැපයුම වැඩි වුණේ නැත.

ඉල්ලුම හා සැපයුම අතර වෙනසක් ඇති වූ විට ඒ වෙනස සමනය කරන්නේ මිල යාන්ත්‍රණයයි. ඒ අනුව, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන තුරු ටියුලිප් බල්බ වල මිල ඉහළ ගියේය. මිල ඉහළ යනවිට ධනවත්කමේ සංකේතයක් ලෙස ටියුලිප් වල වටිනාකම තවත් ඉහළ යයි. එවිට, ඉල්ලුම නැවත වටයකින් වැඩි වේ. නමුත්, සැපයුම සීමිතය. මේ නිසා, කෙටි කලක් තුළ මිල ඉතා වේගයෙන් ඉහළ යන්නට විය. මුල් කාලයේදී මේ අයුරින් ඉතා විශාල මිලකට අලෙවි වුණේ දුර්ලභ ටියුලිප් ප්‍රභේදයි. සාමාන්‍ය ටියුලිප් ප්‍රභේද අලෙවි වුණේ සාපේක්ෂව අඩු මිලකටය.

කෙසේවුවද, 1630 පමණ වන විට ටියුලිප් ඉල්ලුමේ ස්වභාවය වෙනස් වන්නට විය. මුල් කාලයේදී ටියුලිප් බල්බ මිල දී ගත් අය එසේ කළේ ඒවා තමන්ගේ වත්තේ රෝපණය කිරීමේ අරමුණින් වුවත්, මිල වෙනස් වන වේගය අනුව මේ කාලය වන විට ටියුලිප් බල්බ මිලදී ගෙන ටික කලකට පසු නැවත විකිණීම ඉතා හොඳ ආයෝජනයක් බවට පත් වී තිබුණේය. ඒ නිසා, ටියුලිප් බල්බ ඇත්තටම අවශ්‍ය නොවූ අයත් කෙටි කලකින් මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස සිතමින්, ඇතැම් විට සිය දේපොළ උගස් කර ණය ගනිමින්, ටියුලිප් බල්බ මිල දී ගන්නට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය ටියුලිප් ප්‍රභේද වල මිල පවා විශාල ලෙස ඉහළ ගියේය.

ටියුලිප් වෙළඳපොළේ මිල බුබුලක් ඇති වීම නිසා ඇතැම් දුර්ලභ ටියුලිප් බල්බ වල මිල ධනවත් වෙළෙන්දෙකුගේ වාර්ෂික ආදායම තරමට, එසේත් නැත්නම් වඩුවෙකුගේ වසර 20ක ආදායම තරමට ඉහළ ගියේය. මිල බුබුලක් ඇති වන්නේද ඉල්ලුම හා සැපයුම මත වුවත්, සැපයුමට වඩා විශාල වේගයකින් ඉල්ලුම ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා ටික කලක් යද්දී මේ ඉල්ලුම අඩු වන්නට පටන් ගනී. එවිට, මිල වැඩි වන වේගය ක්‍රමයෙන් අඩුවී එහි උපරිමය කරා ළඟා වේ. ඉන්පසුව මිල ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගනී.

මෙය සිදුවන විට, නැවත විකිණීම සඳහා භාණ්ඩය මිල දී ගත් අය සිය අලාහ අවම කර ගැනීම පිණිස හැකි ඉක්මණින් එය විකුණා දමන්නට උත්සාහ කරන නිසා එක වර සැපයුම විශාල ලෙස ඉහළ යයි. එහෙත්, ඒ වන විට අදාළ භාණ්ඩයට සැලකිය යුතු ඉල්ලුමක් තව දුරටත් නැත. එහි ප්‍රතිඵලයද ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයකි. ඒ අනුව, නැවතත් මිල යාන්ත්‍රනය ක්‍රියාත්මක වීම නිසා භාණ්ඩයේ මිල ක්ෂණිකව විශාල ලෙස පහත වැටේ. එවිට, ඉක්මණින් ධනවත් වන්නට බලාගෙන දේපොළ උගස් තබා භාණ්ඩය මිල දී ගත් අයට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වේ.

ඕලන්දයේ සිදු වුනේද මෙයයි. 1637 පෙබරවාරි මාසය වන විට ටියුලිප් බල්බ වල මිල එහි උපරිමය කරා ළඟා වූ අතර ඉන්පසු ටියුලිප් බුබුල බිඳ වැටුණේය. බල්බයක මිල ඉතා කෙටි කලක් තුළ 90%කින් පමණ පහත වැටුණේය. 1638 මැයි මාසයේදී සිංහල හමුදා වල උදවුවෙන් ලන්දේසීන් විසින් එවකට පෘතුගීසින් සතුව පැවති මඩකලපුව කොටුවේ බලය අල්ලාගන්නා විට ටියුලිප් බුබුල බිඳ වැටී වසරක් ගත වී තිබුණේය.

මෙවැනි මිල බුබුළු දැනටත් දුලබ නැත. කොටස් වෙළඳපොළ, නිවාස වෙළඳපොළ හා විදේශ විණිමය වෙළඳපොළ වැනි තැන්වල සමපේක්ෂණය නිසා ඇති වන මිල බුබුළු කලින් කලට දැකිය හැකිය.

මිල බුබුලක් ඇති වීමේ ආරම්භක අවස්ථාව මූල්‍ය උපකරණයකට හෝ වෙනත් කිසියම් භාණ්ඩයකට ඇති ඉල්ලුම කෙටි කලක් තුළ ස්වභාවික ලෙස විශාල ලෙස වැඩිවීම හේතුවෙන් සිදුවන මිල ඉහළ යාමයි. මෙය ස්ථිර ඉල්ලුමක් නිසා සිදුවන දෙයක් මිස බුබුලක් නොවේ. මෙවැනි මිල ඉහළ යාමක් මිල බුබුලක් බවට පත් වන්නේ මිල ඉහළ යාමේ වාසිය ලබා ගැනීමේ අරමුණින්ම අදාළ මූල්‍ය උපකරණය හෝ භාණ්ඩය මිලදී ගන්නන් නිසාය.

ඉහත පරිදි මිල බුබුළු හඹන්නන් බොහෝ විට එසේ කරන්නේ කොයි මොහොතක හෝ බුබුල පුපුරන බව දැන දැනමය. එය එවැන්නන් විසින් ගන්නා අවදානමකි.

මිල බුබුලක් පිපිරීම රටක ආර්ථිකයට කෙටිකාලීන බලපෑමක් කරන්නට ඉඩ ඇතත් ඒ හේතුවෙන් ආර්ථිකයක් ගොඩගන්නට නොහැකි පරිදි බිඳ වැටෙන්නේ නැත. ටියුලිප් බුබුල පුපුරා ගිය පමණින් ඕලන්දයේ ස්වර්ණමය යුගය අවසන් නොවූ අතර ඔවුන් ලංකාවේ සිය ආධිපත්‍යය පැතිරවුයේ ටියුලිප් බුබුල පිපිරී දශක කිහිපයකට පසුවය. එමෙන්ම අඩු වශයෙන් ටියුලිප් බල්බ නිපදවීමේ කර්මාන්තය හෝ බිඳ වැටුනේ නැත. නෙදර්ලන්තය අදටත් ලෝකයේ ප්‍රධානම ටියුලිප් අපනයනකරු ලෙස සැලකිය යුතු විදේශ විණිමයක් උපයයි.

බුබුළු පිපිරීම යනු බුබුළු ඇතිවීම නිසා සිදුවන තාවකාලික මිල වෙනස්වීම නැවත නිවැරදි කරන ස්වභාවික යාන්ත්‍රණයක් මිස "ධනවාදයේ කඩාවැටීමක්" හෝ වෙනත් අමුතු දෙයක් නොවේ. මිල බුබුලක් බිඳ වැටුණද අදාළ භාණ්ඩයේ දිගුකාලීන ඉල්ලුම මත තීරණය වන මිල මට්ටමේ එය තව දුරටත් රැඳේ. ඒ නිසා, මිල බුබුළු වලට ඕනෑවට වඩා බිය විය යුතු නැත.

7 comments:

  1. බිට්කොයින් වල අසීමිත මිල ඉහල යාමත් මීට සමානද. ඒ පිළිබඳවත් දැනුවත් කල හැකි නම් අගේය.

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිවම බිට්කොයින් යනු මිල බුබුලක්. මෙය හඳුන්වාදුන් මුල්ම කාලයේ කෙසේ වුවත් දැන් එහි මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව සමපේක්ෂනය මත දිනෙන් දින ඉහළ යන ඉල්ලුමයි. ඒ හැරුණු විට අනෙක් ප්‍රධාන සැබෑ හේතුව මිනිසුන්ට නියාමනයෙන් ගැලවෙන්න තිබෙන අවශ්‍යතාවය. මේ බුබුල කොයි වෙලාවක හෝ බිඳ වැටෙන්න නියමිත වුණත් ඒ සඳහා ඇතැම් විට තවත් වසර ගණනාවක් යන්න පුළුවන්. බිට්කොයින් වල ආයෝජනය කර කෙටිකාලීනව ලාබ ලැබීමේ හැකියාවක් ඇතත් මුළු මුදලම වගේ නැති වීමේ අවදානමක් තිබෙන බව අමතක නොකළ යුතුයි. මෙය බිට්කොයින් අනුගමනය කරමින් පැමිණි එතරියම්, ලයිට්කොයින්ස් වැනි අනෙකුත් ක්‍රිප්ටෝකරන්සි වලටත් අදාළයි.

      https://coinmarketcap.com/exchanges/volume/24-hour/

      Delete
  2. අගය අඩු නොවන ලිපි.. මේ බුබුළු පිරපිරීමේදි සාමාන්‍ය මට්ටමට මිල පැමිණෙක එකද වැඩියෙන් වෙන්නේ. නැත්නං ඊටත් අඩු ස්ථාවර මිලකට පත් වීමක්ද?

    ReplyDelete
    Replies
    1. බුබුලක් පිපිරුණු වහාම ක්ෂණිකව සාමාන්‍ය මිලටත් වඩා පහළට මිල වැටෙන්න පුළුවන්. එහෙත් වැඩි කල් නොයා එය නැවත "නියම" මිලට පැමිණ ස්ථාවර වෙනවා.

      Delete
    2. බොහෝ දේවල් ඉගෙනගැනීමට ලැබුන බ්ලොග් අඩවියක් ...

      Delete
  3. සවුත්සී බබ්ල් කියන්නෙත් ඔය වගේ එකක් වෙන්නැති? පොඩ්ඩක් ඒ ගැනත් ලියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීගේ කමෙන්ට් එකට පිළිතුරක් නොදැම්මේ මේ ගැන යමක් ලියන්න හිතාගෙනයි. නමුත්, ඒ සඳහා වෙලාවක් ලැබුණේ නැහැ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.