Monday, July 31, 2017

ලාංකිකයින් වෛද්‍ය උපාධි ගන්නේ කුමන රටවලින්ද?

ලංකාවේ රජයේ සරසවි වල ප්‍රධාන වෛද්‍ය පීඨ අටෙන් එකකින් හෝ කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ගන්නා අයෙකුට වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස ලියාපදිංචි වීම සාපේක්ෂව පහසු කටයුත්තකි. එහෙත්, විදේශ වෛද්‍ය උපාධියක් ගන්නා අයෙකු ඒ සඳහා පළමුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical Council) විසින් පවත්වන විභාගයක් (ERPM- Examination for Registration to Practice Medicine) සමත් විය යුතුය. මෙය Act 16 Examination ලෙසද හැඳින්වුණේය.

ලෝකයේ පිළිගත් බටහිර වෛද්‍ය පීඨ වල උගන්වන න්‍යායාත්මක කරුණු වල විශාල වෙනස්කම් නැතත්, සාර්ථක ලෙස කිසියම් රටක වෛද්‍ය වෘත්තියේ යෙදීමට එම රටේ සෞඛ්‍ය සේවය පිළිබඳවත්, ලෙඩරෝග හා සංස්කෘතික කරුණු පිළිබඳවත් දැනුමක් වෛද්‍යවරයෙකුට අවශ්‍ය වේ. ඒ නිසා, බොහෝ විට කිසියම් රටක වෛද්‍ය උපාධියක් ලබාගත් අයෙකුට, වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය කොතරම් ඉහළ වුවත්, වෙනත් රටක වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරන්නට අවසර ලැබෙන්නේ එම රටට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසුවය.

ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට සුදුසුකම් නොලබන බොහෝ දෙනෙකු මුදල් ගෙවා හෝ ඇතැම් විට ශිෂ්‍යත්ව මත විදෙස් වෛද්‍ය උපාධි ලබාගනිති. ඔවුන් අතරින් ලංකාවේ වෛද්‍ය වරයෙකු ලෙස ලියාපදිංචි විය හැක්කේ ඉහත විභාගය සමත් වන අයට පමණි.



ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සංඛ්‍යාලේඛණ අනුව, 2005 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා වසර හයක කාලය තුළ විදෙස් වෛද්‍ය උපාධිධාරීන් 1078 දෙනෙකුට ඉහත විභාගයට පෙනී සිටීම අනුමත වී ඇති අතර ඔවුන්ගෙන් 1015 දෙනෙකු විභාගයට පෙනී සිට තිබේ. විභාගයට පෙනී සිටි අයගෙන් හරි අඩක් එනම් 508 දෙනෙකු විභාගය සමත් වී තිබේ.

අයදුම්කරුවන්ගෙන් 51%ක් පමණම උපාධි ලබා ඇත්තේ රුසියාවෙනි. තවත් 8%ක් පමණ පැරණි සෝවියට් දේශයේ අනෙකුත් රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන ඇති අතර 33%ක් උපාධි ලබාගෙන ඇත්තේ ඉන්දියාවෙන්, පකිස්ථානයෙන්, බංග්ලා දේශයෙන් හා නේපාලයෙනි. බටහිර රටවලින් (එංගලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන්) වෛද්‍ය උපාධි ලබාගෙන ඇත්තේ 2.6%ක් පමණි. තවත්, 2.4%ක් අප්‍රිකානු හා මැදපෙරදිග රටවලින්ද, 2.3%ක් චීනයෙන්ද වෛද්‍ය උපාධි ලබාගෙන තිබේ.

ඉහත කාලය තුළ වසරකට විභාගයට පෙනී සිට ඇති සාමාන්‍ය ගණන 169 දෙනෙකු වුවත්, මේ වසරේදී (2017) මෙම විභාගයට 598 දෙනෙකු පෙනී සිට ඇත. මෙයින් පෙනෙන්නේ විදෙස් වෛද්‍ය උපාධි ලබා ලංකාවට ආපසු පැමිණෙන ගණන පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස වැඩි වී ඇති බවයි. විභාගය අසමත්ව නැවත පෙනී සිටින්නන් විශාල පිරිසක්ද මේ අතර සිටින බව සිතිය හැකිය.

උපාධිය ලබාගත් රට මෙම විභාගය සමත් වීමට ඇති හැකියාව පිළිබඳ නිර්ණායකයක් බව පෙනෙන්නට නැත.



4 comments:

  1. වසරකට 1000ක් පමණ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට යනවා කියල කියනවා. කිදෙනෙක් ආපහු එනවාද ? ඒ වගේම ERPM අසමත් වන අය කුමක් කරන්නනේ ද? ERPM සමත් වන තෙක් ඔවුන් කුමණ රෑකියාවක නියුක්තවී ඇත්ද?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු දෙන්න තරම් කරුණු දන්නේ නැහැ. බටහිර රටවලට යන අය වැඩි දෙනෙක් ආපසු නොපැමිණෙන බව සිතිය හැකියි. මම හිතන්නේ ERPM අසමත් වන අයනැවත නැවත උත්සාහ කරන බවයි. මෙය කොපමණ වාර ගාණක් කළ හැකිද කියා හරියටම දන්නේ නැහැ. මේ අය බොහෝ විට වෙනත් වෛද්‍යවරයෙකු යටතේ "ටෙම්පරි" කරනවා විය හැකියි.

      Delete
  2. MBBS walata yana cost eka country wise lipiyak danna puluwan da?

    ReplyDelete
    Replies
    1. ඔබ කියපු නිසාම මේ ගැන හොයල බලන්න උනන්දුවක් ඇති වුණා. විස්තර ඊළඟ පෝස්ට් එකේ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.