Sunday, January 8, 2017

මේ අවුරුද්දේදී මහ බැංකුව මොනවා කරයිද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන ප්‍රතිපත්ති පෙර දැක්ම මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් පසුගිය අඟහරුවදා (ජනවාරි 3) ඉදිරිපත් කර තිබේ. වසර තුළ මහ බැංකුව විසින් ලඟා කරගැනීමට අපේක්ෂිත ආර්ථික ඉලක්ක හා එම ඉලක්ක කරා ලඟා වනු පිණිස ගැනීමට අදහස් කරන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග රහසක්ව නොතබාගෙන වසර මුලදීම ප්‍රකාශයට පත් කිරීම මේ වාර්ෂික ප්‍රතිපත්ති පෙර දැක්ම ඉදිරිපත් කිරීම මඟින් සිදුවේ.

රටක මුදල් මුද්‍රණය කර නිකුත්කිරීමේ නීත්‍යානුකූල ඒකාධිකාරය ඇති මහ බැංකුවට ඒ ඒකාධිකාරී බලය යොදාගෙන රටේ ජනතාවගේ සාක්කු පහසුවෙන් සූරා ගැනීමේ හැකියාවක් තිබේ. මේ කටයුත්තම රජය විසින් කරන විට එය කරන්නට වෙන්නේ වඩා පාරදෘශ්‍ය ලෙස බදු ඉහළ නැංවීම මඟින් නිසා රජයකට මහජන විරෝධයට මුහුණ නොදී ජනතාවගේ සාක්කු වලට බැසීම පහසු කටයුත්තක් නොවේ. මහ බැංකුවක් විසින් මුදලේ සැබෑ වටිනාකම අඩුවෙන්නට හැරීමෙන් ඒ දෙයම කරන විට රටේ ජනතාවගේ සාක්කු හිස් වන්නේ ඔවුන්ටත් නොදැනීමය. මේ නිසා නිවැරදි දෙය කිරීම මෙන්ම, තමන් නිවැරදි දෙය කරන බව රටේ ජනතාවට පෙනෙන්නට සැලැස්වීමද මහ බැංකුවක යුතුකමකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල පාරදෘශ්‍යභාවය ඉහළ නංවමින් වසර මුල සිය ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදැක්වීම මහ බැංකුව විසින් ඇරඹුවේ 2007 වසරේදීය. ඒ, අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමෙන් පසුවය. එතැන් සිට වාර්ෂිකව සිදු කෙරෙනු මේ කටයුත්ත අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටි පසුගිය වසරේදී (දන්නා තරමින්) සිදු නොවුණේය. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් නැවතත් මේ වසරේදී මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම ප්‍රසිද්ධියට පත්කිරීම පැසසිය යුත්තකි.

අධිපති කුමාරස්වාමිගේ ප්‍රතිපත්ති පෙරදැක්මෙන් රටේ ආර්ථිකයේ ස්වභාවය ඇති සැටියෙන්ම විස්තර කර ඇති බව පෙනේ. ලෙඩකට සැබෑ ප්‍රතිකාර සෙවිය හැක්කේ ලෙඩේ නිවැරදිව හඳුනා ගතහොත් පමණි. පෙර වසර වලදී බොහෝ විට දක්නට ලැබුණේ රටේ ආර්ථිකය ඇති සැටියෙන් විස්තර කරනවාට වඩා, ශුභවාදී චිත්‍රයක් කෘතීම ලෙස පින්තාරු කරන ස්වභාවයකි.

ලංකාවේ ආර්ථිකයේ වත්මන් ස්වභාවය ගැන අධිපතිවරයා මෙසේ කියයි.

"ආසියානු රටවල් අතරින් බොහෝ සමාජ ආර්ථික දර්ශක අනුව ජපානයට පමණක් පසුපසින් සිටි ලංකාව ඒ තත්ත්වයෙන් බොහෝ පහළට වැටුණේ ඇයි කියා අප විමසා බැලිය යුතුයි. ආසියානු සියවස ලෙස හැඳින්වෙන මේ කාලයේදී ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් අතරින් ඇෆ්ඝනිස්තානය හැරුණු විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබමින් සිටින්නේ ලංකාව පමණයි. මෙය සමාන කළ හැක්කේ රෝහල්ගතව සිටීමකටයි. අප ඉන්නේ දැඩි සත්කාර ඒකකයක නොවූවත්, පැහැදිලිවම රෝහල්ගතවයි. ලෙඩේ සහ ලෙඩේට බෙහෙත නොදන්නා එකක් නෙමෙයි. දැනටම ප්‍රතිකාර ඇරඹී තිබීම අපව දිරිගන්වන්නක්."

මහ බැංකුව විසින් නිවැරදිව හඳුනාගෙන ඇති පරිදි ලෙඩේට මුල දිගින් දිගටම පවත්වාගෙන යන රජයේ අයවැය හිඟයයි. මේ අනුව, මේ රෝගයට ප්‍රතිකාරය වන අයවැය හිඟය අඩුකර ගැනීමේ කටයුත්තේදී රජය විසින් ප්‍රගතියක් පෙන්වා ඇති බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි. ඔහු මෙය අගය කරන අතරම මේ ප්‍රවණතාව දිගටම පැවතීමේ වැදගත්කමද පෙන්වා දෙයි.

පසුගිය වසර තුල 4.5-5% කින් ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි සිතන මහ බැංකුව මෙම වසර තුළ ආර්ථික වර්ධනය 5.5-6% මට්ටමේ පවතිනු ඇතැයි ඇස්තමේන්තු කරයි. මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති සකස්වනු ඇත්තේ ඉදිරි වසර තුළ ලංකාවේ උද්ධමනය 4-6% මට්ටමේ පවතින පරිදිය.

මහ බැංකුව විසින් රටේ මුදල් සඳහා වන ඉල්ලුම ඉක්මවමින් මුදල් සැපයුම වැඩි කිරීම උද්ධමනයට හේතු වේ. ආර්ථික වර්ධනය වැඩි වන විට මුදල් ඉල්ලුම වැඩි වේ. ඒ නිසා උද්ධමනයට හේතුවන්නේ අපේක්ෂිත ආර්ථික වර්ධනය ඉක්මවා අලුතින් මුදල් මුද්‍රණය කිරීමයි. රජයේ අයවැය හිඟයෙන් කොටසක් බොහෝ විට පියවෙන්නේ මෙසේ මහ බැංකුව විසින් අලුතින් මුද්‍රණය කර ඒ මුදල් යොදවා රාජ්‍ය සුරැකුම්පත් මිලදී ගැනීම මඟින් සංසරණයට එකතු කරන මුදල් වලිනි.

රටේ මුදල් සැපයුම හා උද්ධමනය අතර පවතින ඉහත සම්බන්ධතාවය නිසා 1980 පමණ සිට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සකස්වුනේ රටේ මුදල් සැපයුම ඉලක්ක කරගනිමිනි. පසුගිය වසර කිහිපය තුළ මහ බැංකුව විසින් ක්‍රමයෙන් සෘජුවම උද්ධමනය ඉලක්ක කිරීමේ ප්‍රතිපත්තියක් කරා මාරු වෙමින් සිටී. මේ අනුව, මහ බැංකුව විසින් උද්ධමනය 4-6% මට්ටමේ පවත්වා ගැනීමට සෘජුවම ඉලක්ක කරනු ඇත. රජයේ අයවැය හිඟය අඩුමට්ටමක දිගටම පැවතීම මේ සඳහා අත්‍යවශ්‍ය සාධකයකි.


(Image: http://www.dailymirror.lk/article/Central-Bank-unveils-monetary-and-financial-sector-policy-road-map-for-and-beyond-121676.html)

1 comment:

  1. GSP + ගැන ඔබේ අදහස් අගය කරමි.අප දැනම අඩුමට්ටමකය.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.