Sunday, April 24, 2016

අපනයන ආදායම් රට තුළට ගෙන එන්නට දින අනූවක කාලසීමාවක්



මහ බැංකු පුවත් නිවේදනයක් අනුව, මුදල් ඇමතිවරයා විසින් අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සම්බන්ධව 1993 මාර්තු සිට පැවති නිදහස් කිරීමක් අවලංගු කර තිබේ. මේ අනුව, 2016 අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව අපනයනය කරන කිසියම් භාණ්ඩයක් සඳහා ලැබෙන විදේශ මුදල් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම රට තුළට රැගෙන ආ යුතුය. එමෙන්ම, මේ වන විට රටින් පිට රඳවාගෙන සිටින එවැනි අපනයන ආදායම් ඇත්නම් ඒ මුදල් මැයි මස පළමුවෙනි දිනට පෙර රට තුළට රැගෙන ආ යුතුය.

මේ තීරණය විදේශ අංශය තුළ රජය මුහුණ දෙන අර්බුදයේ පැතිකඩකි. මේ වන විට අපනයනකරුවන් සිය ආදායම් රට තුළට රැගෙන ඒම ප්‍රමාද කරමින් සිටින බව හෝ අඩු වශයෙන් රජය එසේ සිතන බව පෙනේ. රුපියල ඉදිරියේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට නියමිත බව පෙනේනම් විදෙස් විණිමය අත ඇති අයෙකු ඒ මුදල් රුපියල් වලට හරවන්නේ නැත. එසේ නොකර ඩොලර් හෝ වෙනත් ශක්තිමත් විදෙස් මුදලක් ලෙසම තබා ගත්විට ඉදිරියේදී වැඩි රුපියල් ගණනක් ලබා ගැනීමට ඉඩ සැලසෙන බැවිනි.

කෙසේවුවද, අළුත් ගැසට් නිවේදනය අනුව අපනයන ආදායම් රට තුළට රැගෙන විත් විදෙස් ව්‍යවහාර මුදල් වශයෙන්ම දේශීය බැංකු ගිණුමක තබා ගැනීමේ හැකියාව තිබේ. එවිට විදෙස් මුදල් අත ඇති අයෙකුට පෙර කී වාසිය අහිමි නොවන අතර මහ බැංකුවට දේශීය බැංකු හරහා ඒ විදෙස් මුදල් මිලදී ගෙන විදෙස් විණිමය හිඟයෙන් කොටසක් ආවරණය කර ගත හැකිය. ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා අපනයනකරුවන් වෙත මෙවැනි බලපෑමක් කිරීමට රජයට සිදුව ඇත්තේ ඇයිද යන්නයි.


මේ අවස්ථාවේදී යමෙකු ඩොලර් රුපියල් බවට නොහැරවීම තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. එහෙත්, දේශීය බැංකුවක ඩොලර් වශයෙන් නොරඳවා රටින් පිටත මෙවැනි අරමුදල් තබා ගැනීමට පෙළඹීම එයින් පැහැදිලි නොවේ. දේශීය බැංකු ඩොලර් තැන්පතු සඳහා ලබාදෙන පොලිය සාමාන්‍යයෙන් විදෙස් බැංකුවකින් ලැබෙන පොලියට වඩා වැඩිය.

කිසියම් ක්‍රමයකින් ඩොලර් උපයන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට ඩොලර් වියදම් කිරීමටද සාමාන්‍යයෙන් අවශ්‍ය
. ඒ අතින්, මේ බොහෝ දෙනෙකු විදෙස් විණිමය උපයන අනෙක් ප්‍රධාන කණ්ඩායම වන (බහුතරය අඩු ආදායම්ලාභී පවුල් වල සාමාජිකයින් වන) මැදපෙරදිග ඇතුළු රටවල වෙසෙන ශ්‍රමිකයන්ගෙන් වෙනස්ය.

ලංකාවේ විශාල ව්‍යාපාර ජාල බොහොමයක්ම සතුව අපනයන ව්‍යාපාර මෙන්ම ආනයන ව්‍යාපාරද තිබේ. ඔවුන්ට ඔවුන්ගේ අපනයන ආදායම් ආනයන වියදම් වෙනුවෙන් හිලවු කරගැනීම වාසිදායකය. බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවශ්‍යතාවන්ට අමතරව පෞද්ගලික අවශ්‍යතා සඳහා විදෙස් විණිමය අවශ්‍යය. උදාහරණ ලෙස මේ බොහෝ දෙනෙකුගේ දරුවන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන අතර, විදෙස් රටකට යම් කලෙක සංක්‍රමනය වීම තවත් ඇතැම් අයගේ අරමුණකි. රටින් පිටත ගිණුමක් පවත්වා ගැනීම රට තුළට ඩොලර් ගෙන එනවාට වඩා මේ කටයුතු වලට පහසුය.

දේශීය බැංකු වල ව්‍යවහාර මුදල් ගිණුමකින් මුදල් ලබා ගැනීම විදෙස් රටක ඇති ගිණුමකින් මුදල් ගන්නා තරමටම පහසුනම් රට තුළට මුදල් ගෙන ඒමේ විශේෂ අවාසියක් නැත. එහෙත්, එසේ නොකිරීමෙන් පෙනෙන්නේ එක්කෝ එවැනි පහසුවක් නැති බවය. එසේ නැත්නම් මේ ගිණුම් වලින් මුදල් ආපසුගැනීම අපහසුබව මේ පිරිස විශ්වාස කරන බවය.


ඇතැම් විට ඇතැම් කණ්ඩායම් විසින් දේශපාලනික හේතු මත රටේ ආර්ථිකය අස්ථාවර කිරීම සඳහා රුපියලට පීඩනයක් එල්ල කිරීමට මෙවැන්නක් කරනවා හා/හෝ එසේ කරන බව රජය සිතනවා වීමටත් ඉඩක් තිබේ. එවැනි තත්ත්වයක් ඇත්නම් එයින් පෙනෙන්නේ අපනයනකරුවන් පවතින රජය සමඟ අප්‍රසාදයෙන් සිටින බවයි. රජයේ විදේශ විණිමය ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස අපනයනකරුවන්ට වාසිදායක නිසා එසේ ක්‍රියාකරන්නට ඔවුන්ට දේශපාලනික හේතු තිබිය හැකි වුවත් ආර්ථික හේතුනම් තිබිය නොහැකිය.

මේ සියල්ලටම වඩා තත්ත්වය භයානක වන්නේ අපනයන ආදායම් රටින් පිටත රඳවාගැනීම බොහෝ අපනයනකරුවන් විසින් විශාල ආර්ථික අර්බුදයක් ළඟ එන බව විශ්වාස කිරීමේ පිළිබිඹුවක් වන්නේනම්ය. විශාල ආර්ථික අර්බුදයක් හේතුවෙන් රටේ බැංකු පද්ධතිය අර්බුදයට ලක් වුවහොත් සිය තැන්පතු විදෙස් ව්‍යවහාර මුදලකින් තැන්පත් කර තිබුණේ වුවද ඒ මුදල් ආපසු ලැබීම පිලිබඳ සහතිකයක් නැත. යමෙක් එසේ සිතන්නේනම් බොහෝ විට පෙළඹෙන්නේ සිය අරමුදල් රටින් පිටත රඳවා තබා ගැනීමටය. අළුත් ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයේ, වෙළඳපොළ මූලධර්ම මත පදනම් නොවූ නියාමනයන් මඟින් කෙරෙන්නේ රටේ විදෙස් අංශයේ අර්බුදයක් ළඟ එන බවට පණිවුඩයක් දීමයි. ඒ නිසා මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී එහි අනිත් පැත්ත සිදුවීමටද පුළුවන.

නියාමන ආයතන වල ඇසට වැලි ගසා සිය අපනයන ආදායම් රටින් පිටත තබා ගැනීමේ කලාව ලංකාවේ මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝද හොඳින් දනිති. බොහෝ විට ඔවුන් මෙසේ කරන්නේ නියාමනයෙන් ගැලවීමටත් වඩා බදු පැහැරහැරීමේ අරමුණෙනි. රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙන ඉන්වොයිස් වල හැමවිටම ඇත්තේ සැබෑ මිලගණන් නොවේ.

අපනයනකරුවෙකුට ඉහත නියාමන ක්‍රියාමාර්ගයේ බලපෑමෙන් ගැලවී විදෙස් විණිමය රටින් පිටත රඳවා ගැනීම අපහසු කාර්යයක් නොවේ. කළයුත්තේ රටේ සාර්ව-ආර්ථික තත්ත්වය පිළිබඳව විශ්වාසය ගොඩනංවා සිය කැමැත්තෙන්ම අපනයන
දායම් රට තුළට ගෙන එන්නට පෙළඹවීමක් ඇති කිරීමයි.

(Image: www.therepublicsquare.com)

10 comments:

  1. //නියාමන ආයතන වල ඇසට වැලි ගසා සිය අපනයන ආදායම් රටින් පිටත තබා ගැනීමේ කලාව ලංකාවේ මහා පරිමාණ මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝද හොඳින් දනිති. බොහෝ විට ඔවුන් මෙසේ කරන්නේ නියාමනයෙන් ගැලවීමටත් වඩා බදු පැහැරහැරීමේ අරමුණෙනි. රේගු නිලධාරීන් වෙත ඉදිරිපත් කෙරෙන ඉන්වොයිස් වල හැමවිටම ඇත්තේ සැබෑ මිලගණන් නොවේ. ?// තමන් තමන්ටම වංචා කර ගන්නා මානසිකත්වයෙන් අපේ අය මිදෙන්නේ කවදාද , එදාට මේ සැලසුම් වල ප්‍රතිඵල හොඳ වනු ඇත.

    ReplyDelete
    Replies
    1. බදු කියන්නේ සමාජයට වැඩදායක දෙයක් කියන එක තේරුණොත් මිනිස්සු නොවරදවා බදු ගෙවයි. රජයයන් විසින් බදු මුදල් වියදම් කරන ආකාරය දෙස බැලු විට ගොඩක් දෙනෙක්ට එය එලෙස පේන්නේ නැහැ.

      Delete
  2. // 2016 අප්‍රේල් මස පළමුවැනි දින හෝ ඉන් පසුව අපනයනය කරන කිසියම් භාණ්ඩයක් සඳහා ලැබෙන විදේශ මුදල් දින 90ක් ඇතුළත අනිවාර්යයෙන්ම රට තුළට රැගෙන ආ යුතුය. එමෙන්ම, මේ වන විට රටින් පිටත රඳවාගෙන සිටින එවැනි අපනයන ආදායම් ඇත්නම් ඒ මුදල් මැයි මස පළමුවෙනි දිනට පෙර රට තුළට රැගෙන ආ යුතුය. //

    වැරි සිම්පල් ලොක්කා....

    ක්ලයන්ට් එක්ක පොඩි අන්ඩර්ස්ටැන්ඩින්ග් එකකට ඇවිත් අන්ඩර් ඉන්වොයිසින් පාරක් දැම්මම වැඩේ ශේප්!

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් හැමෝම කරන දෙයක්නේ. අපි නොදන්න චෙස්!

      Delete
  3. // අළුත් ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයේ, වෙළඳපොළ මූලධර්ම මත පදනම් නොවූ නියාමනයන් මඟින් කෙරෙන්නේ රටේ විදෙස් අංශයේ අර්බුදයක් ළඟ එන බවට පණිවුඩයක් දීමයි. ඒ නිසා මෙයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී එහි අනිත් පැත්ත සිදුවීමටද පුළුවන.
    //

    ලන්කා සිතිවිලි තුමා ගේ අනාගත වාක්‍ය ඇත්ත වෙන්න වගේ යන්නේ!

    ReplyDelete
  4. මෙය ඉතාමත් හොඳ දෙයක්. ඕනම දේකට සීමාවක් තිබීම අවශ්‍යමයි. තව මෙවන් වෙනසක් අවශ්‍යම දෙයක් තමයි අයෝඉජන සහන යටතේ එන ව්‍යාපෘති වලට දේශීය ණය ගැණීම තහනම් කිරීම. එය ඉන්දියාවේ තිබෙනවා. කුඩා මුදල් ප්‍රමණයක් ගෙනවිත් මෙහෙම් ණය ගෙන ලාභය විදේශ මුදලින් රැගෙන යාම හාණි කරයි. ඩයලොග් ආදී ආයතන මෙම හිලෙන් විශාල වශයෙන් රිංගනවා.

    ReplyDelete
    Replies
    1. බදු සහන කියන්නේ හැමෝටම නැති වාසියක් එක්තරා කොටසකට දීමක්. කුමන හෝ වාසියක් සලකා එසේ කිරීමේදී ඔවුන්ට විශේෂ කොන්දේසි දැමීමේ වරදක් නැහැ. මට මතක හැටියට අනූව දශකයේ අග කාලයේ ආයෝජන ඇදගැනීම සඳහා බදු සහන සඳහා අවශ්‍ය අවම ආයෝජනය ඩොලර් 160,000 සිට ඩොලර් 50,000 දක්වා අඩුකිරීමෙන් පසු පැමිණි මේ ජාතියේ ඇතැම් ආයෝජකයෝ සල්ලි ගෙනාවෙම නැහැ. ඔවුන්ගෙන් ඇතැමෙක් කළේ දේශීය බැංකු වලින් ණය අරගෙන ආනයනය කළ පාවිච්චි කළ යන්ත්රෝපකරණ ආදියේ වටිනාකම වැඩියෙන් පෙන්වා ගෙනා මුදලත් ආපසු යවා ලංකාවේ බැංකු වල ණය වලින්ම ව්‍යාපාරය ගෙනයාම.

      Delete
  5. ආණ්ඩුවට පුළුවන් නම් ව්‍යාපාරිකන්ගේ විශ්වාසය තහවුරු වන ලෙසට කටයුතු කරන්න එහෙම නම් ගැටලුවකින් තොරව අපනයන වෙළදාමෙන් ලැබෙන මුදල් රටතුලට එනු ඇති.මුදල් ඇමතිවරයා ගත් ඉහත තීන්දුවේ ප්‍රතිපල යහපත් වන්නේ එවිටයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. නියාමනයෙන්ම මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීම අසීරු කාර්යයක්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.