Tuesday, January 5, 2016

මහ බැංකුවට කළ හැකි දේ සහ නොකළ හැකි දේ

මහ බැංකුව ගැන බොහෝ දෙනෙක් අසා තිබේ. ඒ අසා ඇති ආකාරයට මහ බැංකුව මහා බලගතු ආයතනයකි. වෙනත් පුද්ගලයින් හෝ ආයතන වලට මෙන් මහ බැංකුවට සල්ලි හොයන්නට මැරීගෙන දඟලන්නට අවශ්‍ය නැත. ඒ මහ බැංකුවට අවශ්‍ය ප්‍රමාණයක් මුදල් නෝට්ටු මුද්‍රණය කරගත හැකි නිසාය. වෙනත් අයටත් ඔය වැඩේ කරන්නට බැරි නැත. එහෙම කරන අයත් සිටී. හැබැයි එහෙම කර අහුවුණොත් සෑහෙන කාලයකට සල්ලි වෙනුවට ගණන් කරන්න වෙන්නේ යකඩ කූරුය.

කොයිතරම් බලගතු ආයතනයක් වුණත් මහ බැංකුවට කළ හැකි දේවල් මෙන්ම නොකළ හැකි දේවල්ද තිබේ.

"නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ? කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද?"

කතාව ඇත්තය. කළ හැකිනම් හොඳම දෙය නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමයි. ප්‍රශ්නය වන්නේ එය කියන තරම් ලේසි නැති වීමයි.

ආර්ථිකයේ ප්‍රධාන අංශ තුනක් තිබේ. ඒ කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශයි. අළුත්ම වර්ගීකරණය අනුවනම් අංශ වැඩි ගණනක් තිබුණත් අපේ සාකච්ඡාව ගෙනයන්නට මෙය ප්‍රමාණවත්ය.

දැන් අපි කොහේ හෝ තියෙන අර සුරංගගේ ගම වගේ සුන්දර ගමකට යමු. මේ ගමේ ජෝකපාලට පොඩි කුඹුරු කෑල්ලක් තිබේ. අක්කර කාලක්වත් නැත. කුඹුර අස්වැද්දුවා කියා තෙල්, පෝර වල ගාණවත් ආවරණය නොවන නිසා කලක සිට කුඹුර පුරන් වී තිබේ. ජෝකපාලගේ දුව හන්දියේ බියුටි සැලූන් එකක වැඩ කරයි. ජෝකපාලාලගේ වයසේ අය කොණ්ඩ රැවුල් කපන්නට එහි නොගියත් තරුණ වයසේ අය වැඩිපුර යන්නේ එතැනටය. ජෝකපාලගේ මස්සිනා මාතුපාල හන්දියේ වී මෝලේ අර්ධ කාලීන රැකියාවක් කරයි. ඔහුට වී මෝලෙන් කැඳවීමක් ලැබෙන්නේ වැඩ වැඩි වෙලාවට පමණි.

දැන් මෙහි කුඹුරු කෑල්ල දළ දේශීය නිෂ්පාදිතයේ කෘෂිකාර්මික අංශයේ කොටසකි. වී මෝල නියෝජනය කරන්නේ කර්මාන්ත අංශයයි. බියුටි සැලූන් එක සේවා අංශයේ කොටසකි. වී මෝලටත්, බියුටි සැලූන් එකටත් වැඩ තියෙන්නේ පාරිභෝගිකයින් එන ප්‍රමාණයටය.  පාරිභෝගිකයින්ගෙන් ප්‍රමාණවත් ඉල්ලුමක් නැත්නම් මේ තැන් වල නිෂ්පාදනය සීමා වේ.

හදිසියේම ආණ්ඩුව මාරු වේ. අළුත් ආණ්ඩුව ඡන්දයට පෙර පොරොන්දු වූ පරිදි අඩු ආදායම් ලාභීන්ට මුදලින් සහනාධාරයක් දෙන්නට පටන් ගනී. එහෙත්, රජයට මේ සඳහා මුදල් නැති නිසා භාණ්ඩාගාර බිල්පත් විකුණයි. මහ බැංකුව මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනී. මෙය ප්‍රසාරණාත්මක (ලිහිල්) මුදල් ප්‍රතිපත්තියකි.

පෙර කී ගමේ සිටින වැඩිදෙනෙක් අඩුආදායම්ලාභීන්ය. වේලක් නොකා වේලක් කමින් සිටි මේ අයගේ අතේ දැන් මුදල් ගැවසේ. බියුටි සැලූන් එකට ඉල්ලුම වැඩිවේ. එහි සෙනඟ නැති වෙලාවක් නැත. හාල් වලටත් ඉල්ලුම වැඩිවේ. අතේ සල්ලි ඇති නිසා කවුරුත් කිසි ලෝබකමක් නැතිව සල්ලි වියදම් කරති. හාල් මිල වැඩි වේ. බියුටි සැලූන් එකේ සේවා ගාස්තුත් වැඩි වේ.

අඩුආදායම්ලාභියෙක් නොවූ ජෝකපාලගේ ආදායම වැඩි වී නැත. එහෙත් හාල් මිල වැඩි වී ඇති නිසා ඔහුගේ වියදම වැඩි වී තිබේ. දැන් හාල් වල ගානේ හැටියට කුඹුර කරන එක ලාබය. ඔහු කුඹුර අස්වද්දයි. තවත් අය මෙසේ කරති. රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි වේ. වී කොටාගන්නට මෝලට එන පිරිස වැඩිවේ. ඒ නිසා කර්මාන්ත අංශයේ නිෂ්පාදනයද වැඩිවේ. වැඩිපුර පිරිස් බියුටි සැලූන් එකට එන නිසා සේවා අංශයද දියුණු වේ. රටේ දල දේශීය නිෂ්පාදනය වැඩිවේ.

කෙසේවුවද, මෙහිදී නිෂ්පාදන ධාරිතාවේ වෙනසක් වුනේ නැත. නිෂ්පාදන ධාරිතාව නොවෙනස්ව තිබියදී කලින් පාවිචියට නොගැනුණු ධාරිතාව ප්‍රයෝජනයට ගැනුණු බැවින් නිෂ්පාදනය වැඩිවිය. මෙසේ මුදල් සැපයුම වැඩිකිරීම මඟින් කොයිතරම් දුරකට නිෂ්පාදනය ඉහළ දැමිය හැකිද? අළුතින් කුඹුරු අස්වැද්දිය හැක්කේ කුඹුරු ඉඩම් ඇති ප්‍රමාණයටය. එයද වැඩි කලක් කළ නොහැක. තෙල්, පෝර වලට ඉල්ලුම වැඩි වන විට ඒවායේ මිලද ඉහළ යයි. එවිට කුඹුර කිරීම නැවතත් පාඩු ලබන වැඩක් බවට පත්වේ. කුඹුරු නැවත පුරන් වේ. වී මෝලේ ඉල්ලුමද නැවත අඩුවේ. ජෝකපාලගේ දියණිය ඉල්ලුම වැඩිවූ මුල් කාලයේ උදේ සිට රෑ  වන තුරු වැඩකර පාරිභෝගික ඉල්ලුම සැපිරුවත් කලක් යන විට ඇයට මෙසේ එකදිගට මහන්සි වන එක එපාවේ. සැලූන් එකේ සේවාවන් සඳහා අයකරන මිල වැඩි වන විට ඉල්ලුම නැවත අඩුවේ. අන්තිමේදී නිෂ්පාදනය මුලින් තිබුණු තැනටම වැටේ. භාණ්ඩ හා සේවා වල මිල වැඩිවී ආදායම් වැඩිවූ ප්‍රමාණයටම වියදම්ද වැඩිවීම පමණක් සිදුවේ.

සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වලින් මෙන්ම රාජ්‍යමූල ප්‍රතිපත්ති වලින්ද වෙන්නේ මෙවැනි දෙයකි. රටේ මුදල් ගැවසීම වැඩි කර භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම වැඩි කළ විට මුලදී නිෂ්පාදකයින් දිරිමත් වී සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන මට්ටමට වඩා වැඩි නිෂ්පාදනයක් කරයි. එහෙත්, මෙසේ තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් කෙනෙකුට (හෝ යන්ත්‍රයකට) තාවකාලිකව වැඩ කළ හැකි වුවත් එය දිගින් දිගටම කළ නොහැක. එක්තරා සීමාවකට පැමිණි විට නිෂ්පාදනය තවදුරටත් වැඩි නොවේ. සාමාන්‍ය ධාරිතාවට වැඩියෙන් දිගටම වැඩකිරීම නිසා ජෝකපාලගේ දුව අසනීප වීමටත්, වී මෝලේ යාන්ත්‍රික දෝෂ ඇති වෙන්නටත් පුළුවන. එවිට නිෂ්පාදනය සාමාන්‍ය මට්ටමටත් වඩා අඩුවී ආර්ථිකය කඩා වැටෙන්නටත් පුළුවන. මේ නිසා දිගින් දිගටම මුදල් සැපයුම තවතවත් වැඩිවුණොත් ඉල්ලුමට ගැලපෙන සැපයුමක් නැති නිසා මිල ඉහළ යාමක් පමණක් සිදුවේ.

දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේ නිෂ්පාදන ධාරිතාව වැඩිවීමත් සමඟය. එහෙත්, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම මහ බැංකුවට හෝ රජයට සෘජුවම කළ හැකි දෙයක් නොවේ. එය සිදුවන්නේ තාක්ෂණ දියුණුව සමඟය. වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග බිහි කරගත් විට ජෝකපාලගේ කුඹුරු කෑල්ලෙන් වුවත් වියදම් ආවරණය වන වැඩි අස්වැන්නක් ගන්නට පුළුවන. වඩා කාර්යක්ෂම වී මෝලක් ගත් විට කෙටි කලකින් වැඩි වී ප්‍රමාණයක් සහල් කළ හැකිය. අළුත් උපකරණ භාවිතයෙන් ජෝකපාලගේ දුවටත් කෙටි කාලයකින් වැඩි පාරිභෝගික පිරිසකට සේවා සැපයිය හැකිය.

තාක්ෂනය අළුත් කරගැනීමට පර්යේෂණ සිදු කළ යුතුය. මෙය කල් ගතවන, වියදම් අධික, අවදානම් සහිත කටයුත්තකි. ඇමරිකාව වැනි රටක ආර්ථිකයක් ඉදිරියට යන්නේ හැම වසරකම පර්යේෂණ කර, තාක්ෂණය අලුත් කර ගැනීමෙන් ඵලදායිතාව ඉහළ නංවා ගන්නා නිසාය. මෙය අසීරු කාර්යයක් නිසා දියුණු ආර්ථිකයක නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගත හැක්කේ වසරකට 2% පමණ ප්‍රමාණයකින් පමණි.

කෙසේවුවද, තාක්ෂනය අතින් ඇමරිකාවට වඩා බොහෝ පසුපසින් සිටින චීනය, ඉන්දියාව හෝ ලංකාව වැනි රටකට පර්යේෂණ සඳහා මුදල් වැය නොකර වෙනත් රටක් විසින් දැනටම සොයාගෙන ඇති තාක්ෂණයන් වෙත මාරුවීමේ හැකියාව ඇති නිසා ඉහළ ආදායම් මට්ටමට ළඟා වනතුරු 8-10% මට්ටමේ ආර්ථික වර්ධනයක් වුවද පවත්වා ගැනීම බැරිදෙයක් නොවේ. සාමාන්‍යයෙන් දියුණු රටවල ඇති තාක්ෂනය නොදියුණු රටවල් කරා පැමිණෙන්නේ බහුජාතික සමාගම් සහ වෙනත් සෘජු විදෙස් ආයෝජන හරහාය. පළමුව එසේ පැමිණෙන තාක්ෂනය පසුව දේශීය ව්‍යවසාය වෙතද කාන්දු වේ.

රජයකට හෝ මහ බැංකුවට රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සෘජුව මැදිහත් විය නොහැකි වුවත් විදෙස් ආයෝජන හා දේශීය පර්යේෂණ දිරිමත් කිරීම මඟින් ඒ සඳහා වක්‍ර ලෙස දායක විය හැකිය.

5 comments:

  1. මේකෙ තියන කතාව කියවන කොට එකපාරටම මතක් උනේ දැනට අවුරුදු ගානකට කලින් රූපවාහිනීයේ? සිංහල හඬ කවලා විකාශනය උන කාටුන් එකක්, කාටුන් කිව්වට කාටුන් මත් නෙවෙයි. ප්‍රධාන චරිතය විතරයි කාටුන්, හයිබ්‍රිඩ් කියල කියන්න පුලුවන් ;)

    මතක විදිහට මේකෙන් කියල දුන්නෙත් ආර්ථික විද්‍යාව ගැනම තමයි. දැන්නම් ඒ කියල දුන්න දේවල් ගැන කිසි මතකයක් නැති උනත් සුදු පාට, වතුර බිංදුවක් වගේ හැඩයක් තිබ්බ අපේ ප්‍රධාන කාටුන් චරිතය (ඩොලර්?) නොට්ටුවක් උඩ නැගගෙන, ඇලඩින් වගේ අහසෙ පාවෙලා යනව නම් හොඳට මතකයි :D ඉකෝන්ට මේක මතකද?

    මේ විදියට තමයි ඉකෝන්, ඉකෝන් උගන්නන්ඩ ඕනෙ, කතන්දරේ කියවල ඉවර වෙන කොට දන්නෙම නැතුව ඉකෝන් පාඩමකුත් ඉගෙනගෙන.

    අලුත් බ්ලොගයට සුබ පතන ගමන්ම අපි වගේ බබාලට සරලව, පැහැදිලිව, එවගේම දිගටම :) ඉකෝන්ට ඉකෝන් උගන්නන්ඩ හැකිවෙන්ඩ සිතක් පහල වෙන්ඩැයි කියල හිටං පතනවා.

    -බබාඋක්කුං

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ස්තුතියි, බබාඋක්කුං. කාටුන් එකනම් මතක නැහැ. සමහර විට මම කාටුන් බලපු කාලෙට පස්සේ වෙන්න ඇති.

      Delete
  2. හොඳ පැහැදිලි කිරීමක් ඉකෝ...

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.