අර්ජුන රණතුංග ඔහුගේ හැකියාව උපයෝගී කරගෙන කාසි වාසි ලබාගන්නා අවස්ථා ඕනෑ තරම් තිබුණත් මේ අවස්ථාවේදීනම් කාසියේ වාසිය ලැබුණේ ඔහුගේ හැකියාව නිසා නොවේ. වාසනාවටය. පෙර පිනටය. දෙවියන්ගේ කැමැත්තටය. එහෙමත් නැත්නම්, අහඹු ලෙස සම්භාවිතාව අනුවය. ඔය කොයි වචනය යෙදුවත් එයින් කියවෙන්නේ අප නොදන්නා, අපට පාලනය කළ නොහැකි හේතුවකින් එය සිදු වූ බවයි.
උඩ දැමූ කාසියක් බිම වැටුණු විට උඩ පැත්තේ තිබෙනු ඇත්තේ අගයද සිරසද කියා කිසිවෙකුට නිශ්චිතව කියන්නට නොහැකිය. එහෙත්, විශාල වාර ගණනක් එක දිගටම මේ පරීක්ෂණය කළහොත් අගය හා සිරස වැටෙන්නේ ආසන්නව සමාන වාර ගණනක් බව ඕනෑම කෙනෙකුට පරික්ෂා කර තහවුරු කර ගත හැකි දෙයකි.
මේ අගය හා සිරස යන වචන දෙක මා මුලින්ම ඉගෙන ගත්තේ නවවන ශ්‍රේණියේදී නව ගණිතය විෂයයට සම්භාවිතාව ඉගෙන ගනිද්දීය. උඩ දමන්නට ගත් සතයකටනම් ඔය කාලයේදීවත් අගයක් නොතිබුණත් සත විසිපහකටනම් අදට සාපේක්ෂව යම්කිසි අගයක් තිබුණේය. ඒ නැතත්, අඩු වශයෙන් සතයේ වගේම සත විසිපහේත් එහි නාමික අගය ටංකනය කර තිබුණේය. අගය කෙසේ වෙතත් රූප පෙට්ටි වලට තුන් හුලස් සිරස් රිංගන්නට පෙර යුගයක් වූ ඔය කියන කාලයේදී මේ කාසි වල තුන්හුලස් තබා වෙනත් කවරාකාරයේ හෝ කැපී පෙනුණු සිරසක්නම් පෙනෙන්නට නොතිබුණේය.
එසේ කැපී පෙනුණු සිරසක් නොතිබුණත් හොඳින් බැලු විට මේ කාසි බොහොමයක සිරස් තුනක්ම තිබුණේය. ඒ, රාජ්‍ය ලාංඡනය ඇතුලෙ සිටි ඉරමාමාගේ, හඳමාමාගේ සහ සිංහ මී මුත්තාගේ සිරස් තුනයි. ඉරමාමාත් හඳමාමාත් දෙදෙනාම එකවර බැස ගොස් සිටියත් සිංහයාගේ කකුල් දෙකට යටින් දෙන්නා කෙසේ හෝ ඔළුව උස්සාගෙන සිටියේය.
අළුත් කාසි වල මෙසේ සිරස් තුනක් තිබුණත්, තරමක් පරණ කාසිවල තිබුණේ එක් හිසක් පමණි. ඒ සිංහයාගේ හිසයි. සිරස් අඩු වුණත් ඒ අඩුව මකන්නට ඔටුන්නක්නම් තිබුණේය.
පාසැල් පෙළ පොතේ ඔය විදිහට අගය හා සිරස කියා කියා තිබුණත් අර්ජුනලාගේ සෙල්ලම අපි කරන විට අපි ඕකට කිවුවේ නෝනාපොල්ල දැමීම කියාය. ජනරජ ලාංඡනය නැත්නම් රාජ්‍ය මුද්‍රාව සටහන් වී ඇති පැත්ත නෝනාය. අගය සටහන් වී ඇති පැත්ත පොල්ලයි. ඔය නෝනා කවුද කියා හොයන්නට හෝ නෝනාගේ පස්ස පැත්තේ ඇති පොල්ල හොයන්නට ඒ දවස්වල අපට එතරම් උවමනාවක් තිබුණේ නැත.
ඔය කියන කාලය වන විට නෝනා කෙනෙක් හොඳින් පෙනෙන්නට සිටි අළුත්ම කාසිය වූයේ අතරින් පතර දකින්නට ලැබුණු, 1957 වසරේදී නිකුත් කළ සත දෙකේ කාසියකි. මේ කාසියේ 1953දී ඔටුණු පළන් දෙවන එලිසබෙත් රැජිනගේ සිරස ටංකනය කර තිබුණේය. මේ නෝනාගේ සිරස දකින්නට හැකි ලංකාවේ භාවිතා වූ එකම කාසිය සතදෙකේ කාසියයි. කෙසේවුවද, මේ කාසියේ නෝනා හිටියත් පොල්ලක්නම් පෙනෙන්නට නොතිබුණේය. නෝනාගේ සිරස හොඳින් පෙනෙන්නට තිබුණු බැවින් සිරස හා අගය යන භාවිතයනම් මේ කාසියට අදාළව නිවැරදිය.
දෙවන එලිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයට පෙර අඩසියවසක පමණ කාලය තුළ නිකුත් කෙරුණු කාසි වල අදාළ කාලයේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබවූ හත්වන එඩ්වඩ්, පස්වන ජෝජ් සහ හයවන ජෝජ් රජවරුන්ගේ මුහුණු ඇලවී තිබුණු බැවින් ඒ කාලයටද සිරස හා අගය යෙදුම ගැලපුනත් මේ කාසි වල සිටි නෝනෙක්නම් නැත.
කාසියේ සිටි නෝනාව හොයා ගැනීමට මුලින්ම රුපියල් සත භාවිතය ඇරඹී කාසි නිකුත් කෙරෙනු 1870 කාලයට යන්නට සිදුවේ. එම වසරේ සිට 1901 දක්වා නිකුත් කෙරුණු කාසිවල පිටුපස පැත්තේ අපට මේ නෝනා හමුවේ. ඇය අදාළ කාලයේ බ්‍රිතාන්‍ය කිරීටය හෙබවූ වික්ටෝරියා රැජිනයි.
දැන් නෝනා සිටී. එතකොට පොල්ල? පොල්ල හොයාගන්නට මේ කාසි වල සිටින නෝනා පැත්ත අනිත් පසට හරවා කාසි වල අගය සටහන් වී ඇති පැත්ත බැලිය යුතුය. එවිට, පොල්ල කෙසේ වෙතත් දාර පොල්ගසක්නම් හමුවේ. මේ පොල්ගස නෝනා වෙනුවට වෙනත් මහත්තුරුන් කාසිවල පිටුපසට පැමිණීමෙන් පසුවද, අඩු වශයෙන් 1942 පමණ වන තුරු ලංකාවේ භාවිතා වූ කාසි වල දකින්නට ලැබුණු සංකේතයකි.
කෙසේවුවද, නෝනා සහ පොල්ල කෙසේවෙතත් නෝනා සහ පොල්ගහ දෙකම සහිත කාසි නිකුත් කෙරුණේ 1870 සිට 1901 දක්වා කාලයේදීය. එහෙත්, මේ කාසි තවත් දශක කිහිපයක්ම භාවිතයේ තිබෙන්නට ඇත.
බොහෝ විට මුල් කාලයේදී කාසියක් උඩ දමා අසන්නට ඇති ප්‍රශ්නය "නෝනද පොල්ගහද?" යන්නයි. පසුව මෙය හදිසියට "නෝනද පොල්ලහද?" වී, එයින් පසුව "නෝනද පොල්ලාද?" වී, එයින්ද පසුව "නෝනද පොල්ලද?" වන්නට ඇතැයි සිතිය හැකිය.
බොහෝ විට ඔබහරි වෙන්න පුළුවන්. කාසියක පොල්ලක් තිබුණා කියා හිතන්න බැහැ
ReplyDeleteමම හොඳට හොයල බැලුවා අඩුගානේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලේ හෝ එවැනි කාසියක් නිකුත් කරල තියෙනවද කියලා. දන්න තරමටනම් නැහැ. මේ අවුරුද්දේ සැප්තැම්බර් වලට යෙදෙන ශ්‍රී ලංකා පොලිසියේ 150 සංවත්සරයට අවශ්‍යනම් එවැනි සමරු කාසියක් නිකුත් කළ හැකියි. කාසි වල පොලු නැතත් කාසි අරගෙන පොලු තියන අයගෙන්නම් එදත්, අදත් අඩුවක් නැහැ.
Deleteපොල් සතේ .. මට තාම මතකයි. ඒ වගේමයි නෝනද .. පොල්ලද කියලා කාසි උඩ දමන එක
ReplyDeleteසත කියන සංකල්පයමත් තවත් කලකින් අතීත මතක වල කොටසක් පමණක් වෙයි.
Deleteඔය පොල්ගස තියෙන තඹ සතේ ඉස්සර ගත්තෙ කරන්ටෙක නැති පලාත්වල ඊයං පාස්සන වැඩේට. කුඩ නන කූරක අගට ඔයිං සතයක් තියලා හිරවෙන්‍න තලා ලිපේ දමා රත්කළ විට ඊයං පාස්සන වැඩේට ගන්න පුලුවන.
ReplyDeleteපහුගිය කාලෙ ඔය තඹ සතයක් රුපියල් පනස්දහසක් ගානෙ එක්කහු කලාලු.
ඔය පොල්ගස තියෙන තඹ සතේ ඉස්සර ගත්තෙ කරන්ටෙක නැති පලාත්වල ඊයං පාස්සන වැඩේට. කුඩ නන කූරක අගට ඔයිං සතයක් තියලා හිරවෙන්‍න තලා ලිපේ දමා රත්කළ විට ඊයං පාස්සන වැඩේට ගන්න පුලුවන.
ReplyDeleteපහුගිය කාලෙ ඔය තඹ සතයක් රුපියල් පනස්දහසක් ගානෙ එක්කහු කලාලු.
මටත් මතකයි ඊයම් පාස්සන්න මේ කාසි ගත් බව. තඹ සතයකට රුපියල් පනස්දාහක් කියන්නේනම් විශාල මිලක්. කොහොම වුණත්, ඇතැම් වසර වලදී නිකුත් කළ පැරණි කාසි වලින් දැන් එකක්වත් හොයාගන්න අමාරුයි. ඒවායේ මිල මෙසේ බොහෝ වැඩි විය හැකියි.
Deleteමගේ හොබියක් තමයි කාසි එකතුකිරිල්ල. ඔය පොල්ගහ විතරක් නෙවේ සත බාගෙ පෘතුගීසි කාලෙ වීඕසී කාසියක් පවා තියනව.
Deleteසැක් එතකොට පොල්ලක් නැද්ද
ReplyDeleteපොල්ල නැතිවුණාට ඔය දාර පොල්ගහක් තියෙන්නේ, දමිත්. ඕනෑනම් පොල්ලක් වෙනුවට පොල් පරාලයක් ඉරාගෙන ඒකෙන් මෝල්ගහක් වුණත් හදාගන්න පුළුවන්නේ.
Deleteසැක් එතකොට පොල්ලක් නැද්ද
ReplyDeleteනෝනා පොල්ල අල්ලන් පස්සට ගියාද දන්නේ නෑ..
ReplyDeleteසක්.. පහුගිය ටිකේ වටිනා සත ගානක් මිස් වෙලානේ..
ගණන් ගන්න එපා. සත විසිපහක්වත් මිස් වෙලා නෑනේ!
Deleteනෝනා,පොල්ල අහලා තිබ්බට මම ඔය කාසියේ නෝනා,පොල්ල මොන පැත්තේද කියලා දැන ගත්තේ මේකෙන්.
ReplyDeleteඅපේ තාත්ත කියන්නෙත් නෝන කියෙන්නෙ වික්ටෝරියා (මහේසිකාවුං වහන්සෙ කියලයි ඒ කාලෙ කියල තියෙන්නෙ) රැජිනගෙ මූණට ය, පොල්ල කියන්නෙ පොල් ගහටය කියලයි.
ReplyDelete