Wednesday, January 13, 2016

ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද?

රටක ආර්ථිකයක් ඉදිරියට යන ආකාරය ඉතා සරල ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. සරල වුවත්, මෙය ආර්ථික විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන, ආර්ථික වර්ධනය සිදුවන ආකාරය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් ආකෘතියකි.

යම් කාලයක් තුළ රටක සිදුවන සමස්ත නිෂ්පාදනය මනින්නේ දළ දේශීය නිෂ්පාදිතය මඟිනි. මෙහි නිෂ්පාදනය යන්නට භාණ්ඩ මෙන්ම සේවාවන්ද ඇතුළත්ය. යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික සාධක සියල්ල කොටස් තුනක් යටතේ වර්ග කළ හැකිය.

-ශ්‍රමය,
-ප්‍රාග්ධනය, හා
-තාක්ෂණය වශයෙනි.

භූමිය, උපකරණ, යන්ත්‍ර සූත්‍ර ආදී සියල්ල ඇතුළත් වන්නේ ප්‍රාග්ධනය යන්නටය.

ප්‍රාග්ධනය හෝ ශ්‍රමය යන දෙකෙන් ඕනෑම එකක් වැඩියෙන් ඇති විට නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මෙසේ වැඩි වන ප්‍රමාණය එන්න එන්නම අඩුවේ. ඒ නිසා මේ දෙක අතර සමතුලිතතාවක් තිබීම වැදගත්ය. එවැනි සමතුලිතතාවක් ආරම්භයේදී නොපැවතියද කල්යාමේදී ස්වභාවිකවම එවැනි සමතුලිතතාවක් ඇති වේ.

හේනක් හෝ කුඹුරක් කොටන්නට අත් හතරක් එකතු වූ විට අත් දෙකකින් කෙරෙනවාට වඩා වැඩක් කෙරෙන බව පැහැදිලිය. තවත් දෑතක් එකතු වූ විට නිෂ්පාදනය තවත් වැඩිවේ. වෙනත් නිෂ්පාදනයක් හා අදාළවද මෙය සත්‍යයකි. ශ්‍රමය වැඩි වන විට නිෂ්පාදනය වැඩි වේ. ප්‍රාග්ධනය හා තාක්ෂණය නොවෙනස්ව තිබියදී ශ්‍රමය වැඩියෙන් යෙදවීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මෙය කාර්යක්ෂමව සිදුවන්නේ එක් සීමාවක් දක්වා පමණි.

වී වගා කළ හැකි කුඹුරු කෑල්ලක් වගේම කුඹුරක් සකස් කිරීමේදී උපකාරී කරගන්නා උදැල්ලක් වැනි උපකරණයක්ද ප්‍රාග්ධනයේ කොටසකි. තියෙන්නේ පොඩි කුඹුරු කෑල්ලක් සහ එක් උදැල්ලක් පමණක්නම් දෙවැනියෙකුට කුඹුරු කෙටිල්ලට උදවු වීමට සිදුවන්නේ පළමුවෙනියා විවේක ගන්නා වෙලාවට පමණි. එහෙත්, එසේ උදවු වීමෙන්ද නිෂ්පාදනයට යම් දායකත්වයක් දෙන්නට පුළුවන. නමුත්, මේ දායකත්වය පළමුවැන්නාගේ දායකත්වයට වඩා අඩුය.

ශ්‍රමය සහ තාක්ෂණය නොවෙනස්ව තිබියදී ප්‍රාග්ධනය වැඩි කළ විට සිදුවන්නේද මෙයයි. දෙදෙනෙකු වැඩ කරන තැනක උදළු තුනක් ඇත්නම් තෙවන උදැල්ලෙන්ද නිෂ්පාදනයට යම් වාසියක් සැලසේ. පළමු උදළු දෙකෙන් එකක මිට ගැලවුණු විට එය හදා හදා කාලය ගත නොකර තෙවන උදැල්ල ගෙන වැඩේ කරගෙන යන්නට පුළුවන් නිසා නිෂ්පාදනය යම් තරමකින් හෝ වැඩි වේ. එහෙත්, තෙවන උදැල්ල නිසා එකතු වන වැඩිපුර නිෂ්පාදනය දෙවන උදැල්ලෙන් එකතු වූ ප්‍රමාණයට වඩා අඩුය.

පරිගණක මෘදුකාංග වැඩිදියුණු කිරීම වැනි නිෂ්පාදනයක් හා අදාළවද මෙය මෙසේම බලපායි. මෘදුකාංග ඉංජිනේරුවන් මෙන්ම අළුත් පරිගණක එකතු කිරීමෙන් නිෂ්පාදනය වැඩි කළ හැකි වුවත් මේ සාධක දෙක අතර නිසි සමතුලිතතාවක් නැත්නම් නිෂ්පාදනය වැඩිවන්නේ ඉතා කුඩා ප්‍රමාණයකිනි. ඇතැම් රජයේ ආයතන වල ඇතැම් පුරප්පාඩු සඳහා සුදුසුම අය විෂය භාර ඇමති වරයාගේ ගම් පළාතෙන්ම බිහිවීමට හේතුව තවමත් කිසිවෙකු න්‍යායාත්මකව පැහැදිලි කර නැතත් මෙය ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. මෙසේ සුදුසුකම් ඇති බොහෝ දෙනෙකුට එකවර අහම්බයෙන් පත්වීම් ලැබෙන ඇතැම් අවස්ථා වල අළුතින් බඳවාගන්නා අයට පුටු මේසවත් නැත. එවැනි බඳවාගැනීම් වලින් නිෂ්පාදනය ඉහළ නොයන බව කිවයුතු නැත.

වාෂ්ප එන්ජිම සොයාගන්නා කාලය දක්වා දීර්ඝ ඉතිහාසය තුළ ලෝකයේ කොයි කොටසේත් හෝමෝ සේපියන්ස්ලාගේ ජීවන තත්ත්වය තිබුණේ අද තත්ත්වයට සාපේක්ෂව ඉතා පහත් මට්ටමකය. මේ කාලයේ ශ්‍රමය වුණේ අතපයේ ශක්තියයි. මේ මූලික ශ්‍රමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුනත් ශක්තිමත්ම පුද්ගලයෙකුට වුවද නිෂ්පාදන කාර්යයක් සඳහා යෙදවිය හැකිව තිබුණු උපරිම ශක්තිය අද ඇති මූලික මට්ටමේ යන්ත්‍රයකට යෙදවිය හැකි ශ්‍රමයට වඩා අඩුය. එමෙන්ම, ප්‍රාග්ධන සම්පත් හා තාක්ෂණය පැවතියේද මූලික මට්ටමකය.

කාර්මික පුනරුදයට පෙර ඉතිහාසයේත් සාපේක්ෂව ආර්ථික දියුණුවක් ලැබූ රටවල් තිබුණේය. ඒ කාලයේ වැඩිම දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කළේ වැඩිම ජනගහනයක් සිටි, වැඩිම ශ්‍රමයක් යෙදවිය හැකිව තිබුණු රටවල්ය. ඉන්දියාව හා චීනය උදාහරණයි. මෙවැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය ඒ කාලයේ වෙනත් රටවල එම නිෂ්පාදිතයට වඩා වැඩි වුවත්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය තව දුරටත් අඩු මට්ටමක පැවති නිසා රටේ සාමාන්‍ය වැසියෙකුගේ ජීවන තත්ත්වය එතරම් ඉහළ ගියේ නැත.

රටක ජනගහනය වැඩිවන විට සමස්ත නිෂ්පාදිතය වැඩි වුවත් එය බෙදිය යුතු කටවල් ගණනද වැඩි වේ. මේ වන විට, මිල දී ගැනීමේ හැකියාව අනුව චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවේ එම අගයට ආසන්නව සමානය. එහෙත්, චීනයේ ජනගහණය ඇමරිකාවේ ජනගහණය මෙන් සිවු ගුණයකටත් වඩා වැඩි නිසා චීනෙකුගේ සාමාන්‍ය ආදායම ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආදායමෙන් හතරෙන් එකකටත් වඩා අඩුය.

ඉතිහාසයේ වැඩි කාලයක් වුනේත් මෙවැන්නකි. වැඩි ජනගහණයක් සිටි රටවල පාලකයාට සහ පාලකයාගේ සමීපතම පිරිසකට තමන්ගේ ජීවන තත්ත්වය හොඳ මට්ටමකින් පවත්වා ගැනීමට මෙන්ම අදාළ කාලයට සාපේක්ෂව දැවැන්ත නිර්මාණ ඉදි කිරීමටත් හැකියාව ලැබුණත් රටේ සාමාන්‍ය වැසියන් ගෙවුවේ අදට සාපේක්ෂව දුක්ඛිත ජීවිතයකි.

ශ්‍රමය වැඩිපුර යෙදවීමෙන් ආර්ථිකයක් දියුණු කිරීමටනම් ජනගහණයද වැඩිවිය යුතුය. එවිට, සමස්ත නිෂ්පාදනය ඉහළ ගියත් එය බෙදාගැනීමට සිටින පිරිසද ඉහළ යන නිසා තනි පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ඉහළ නොයයි.

මේ තත්ත්වය වෙනස් කළේ තාක්ෂණ දියුණුවයි. තාක්ෂණය මඟින් ශ්‍රමය සහ ප්‍රාග්ධනය නොවෙනස්ව තිබියදීම සමස්ත නිෂ්පාදිතය ඉහළ දමා ගැනීමට ඉඩ සලසයි. මෙහිදී, ජනගහණය වැඩිවීමක් අවශ්‍ය නොවන නිසා සමස්ත නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායමද ඉහළ යයි. අදත්, ලෝක ආර්ථිකය ඉදිරියට යන්නේ ප්‍රධාන වශයෙන්ම තාක්ෂණය නිසාය.

(Image: http://hallingblog.com/2010/05/11/source-of-economic-growth/)

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.