Tuesday, August 14, 2018
ව්‍යාපාර චක්‍ර (පළමු කොටස)
ඉහත රූප සටහනේ නිල් පාට ඊතලයකින් ලකුණු කර තිබෙන ඉහළට යොමු වුණු ප්‍රවණතාවයෙන් පෙන්වන්නේ ආර්ථිකයේ දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගයයි. විභව වර්ධන වේගය කියා කියන්නේ මෙයටයි.
කෙසේ වුවත්, රූප සටහන දෙස බැලූ විට පැහැදිලි වන පරිදි මේ විභව ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් වර්ධනය වන අවස්ථා මිස හරියටම ඒ වේගයෙන් වර්ධනය වන අවස්ථා නැති තරම්. ඒ නිසා, කිසියම් මොහොතක රටක "තිබිය යුතු දළ දේශීය නිෂ්පාදිතය", එහෙමත් නැත්නම් විභව දළ දේශීය නිෂ්පාදිතය හා ඇත්තටම තිබෙන දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනසක් තිබෙනවා. මේ වෙනස නැත්නම් පරතරය නිපැයුම් පරතරය ලෙස හඳුන්වන්න පුළුවන්.
අර්ථදැක්වීම අනුවම විභව දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ සාමාන්‍ය අගයක් නිසා නිපැයුම් පරතරයේ ධන හා සෘණ අපගමනයන් දිගුකාලීනව සමතුලිත විය යුතුයි. ඒ කියන්නේ ධන පැත්තට හෝ සෘණ පැත්තට අපගමනය වීමෙන් පසුව එහි අනිත් පැත්තත් සිදු වී නැවත කලින් පාරටම වැටිය යුතුයි. එහෙම වෙන්නේ නැත්නම්, අප විභව දළ දේශීය නිෂ්පාදිතය ගණනය කළ විදිහ නිවැරදි වෙන්න බැහැ.
ඒ වගේම ව්‍යාපාර චක්‍රයක එක කොටසකදී ආර්ථිකය සාමාන්‍ය වේගයට වඩා වේගයෙන් වර්ධනය වෙනවා. තවත් කොටසකදී ආර්ථිකය හැකිලෙනවා. එසේ නැත්නම් සාමාන්‍ය වේගයට වඩා අඩු වේගයකින් වර්ධනය වෙනවා.
වර්ධන වේගය කියන්නේ මේ වගේ ප්‍රස්ථාරයක පෙන්වන රූප සටහනේ බෑවුම. සරල රේඛීය ප්‍රස්ථාරයක බෑවුම නියත බව අප දන්නා දෙයක්. ඒ නිසා, මේ රූප සටහනේ පෙන්වන විභව ආර්ථික වර්ධන වේගය නියතයක්. නමුත්, උඩ රූප සටහනේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය නිරූපණය කරන ආකාරයේ නිර්-රේඛීය වක්‍රයක බෑවුම නියත නැහැ. එයත් චක්‍රීය ලෙස වෙනස් වෙනවා. A සිට C දක්වා කොටසේදී බෑවුම තිබෙන්නේ පහළටයි. C සිට A දක්වා බෑවුම ඉහළටයි.
වැඩිමනත් දෙයක් ලෙස, ගණිතය තරමක් ඉහළට හැදෑරූ අය දන්නා පරිදි මේ වගේ වක්‍රයක ශ්‍රිතය අවකලනය කළාම එහි බෑවුමේ ශ්‍රිතය ලැබෙනවා. සයින් වක්‍රයක් අවකලනය කළාම ලැබෙන්නේ කෝසයින් (කොස්) වක්‍රයක්. කෝසයින් වක්‍රයක් කියන්නේ කාල පමාවක් සහිතව පුනරාවර්තනය වන සයින් වක්‍රයක් වගේම එකක්. මේ කොටස බර වැඩිනම් අමතක කරලා දමන්න. කතාව තේරුම් ගන්න මේ කොටස අවශ්‍ය නැහැ.
කොහොම හරි මෙහි වැදගත් කරුණ වන්නේ වක්‍රය සෘණ හෝ ධන වීමත්, වක්‍රයේ බෑවුම සෘණ හෝ ධන වීමත් කියන්නේ දෙකක් බවයි. ඒ අනුව, අපට මේ රූප සටහනේ දැකිය හැකි චක්‍රීය රටාවේ කොටස් හතරක් හඳුනාගත හැකියි.
අදියර 1: A සිට B දක්වා: වක්‍රය ධන බෑවුම (අවකල ශ්‍රිතය) සෘණ
අදියර 2: B සිට C දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ
අදියර 3: C සිට D දක්වා: වක්‍රය සෘණ එහෙත් බෑවුම ධන
අදියර 4: D සිට A දක්වා: වක්‍රය සෘණ බෑවුමත් සෘණ
දැන් මෙහි තිබෙන්නේ ගණිතමය පැහැදිලි කිරීමක්. මේ වගේ කතාවක් ඔය හැඩයේ ඕනෑම වක්‍රයක් හා අදාළව කියන්න පුළුවන්. නමුත්, අපිට වැදගත් වෙන්නේ මේ කතාව ආර්ථික වර්ධනයට අදාළ වන ආකාරයයි. මෙහි වක්‍රයේ උසෙන් පෙන්වන්නේ කිසියම් අවස්ථාවක රටේ දළ දේශීය නිෂ්පාදිතය. එහි බෑවුමෙන් පෙන්වන්නේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන වේගය. මේ දෙක එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් කරුණු දෙකක්.
අදියර 1: A සිට B දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබුණත්, නිමැවුම් පරතරය ධන එකක්. ඒ ධන පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. මේ වෙලාවේ සිදුවෙමින් තිබෙන්නේ සිදු විය යුතු නිවැරදි වීමක් නිසා ආර්ථික වර්ධනය අඩු වුණත් කලබල වෙන්න දෙයක් නැහැ. මේ නිවැරදි වීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතක්.
අදියර 2: B සිට C දක්වා: ආර්ථිකය පසු බෑමකට ලක් වෙමින් තිබෙන අතරම, සෘණ නිමැවුම් පරතරයක් වර්ධනය වෙමින් තිබෙනවා. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවයෙන් ඈතට ආර්ථිකය ගමන් කිරීමයි. මෙය සැලකිලිමත් විය යුතු කරුණක්.
අදියර 3: C සිට D දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන නමුත් තවමත් තිබෙන්නේ සෘණ නිමැවුම් පරතරයක්. ඒ සෘණ පරතරය අඩු වෙන එකයි වෙමින් තියෙන්නේ. දැන් සිදු වෙමින් තිබෙන්නේ සමතුලිතතාවය දෙසට ආර්ථිකය ගමන් කිරීමයි. හොඳ තත්ත්වයක්.
අදියර 4: D සිට A දක්වා: ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන අතර සමතුලිත මට්ටම ඉක්මවා ධන නිමැවුම් පරතරයක් ගොඩ නැගෙමින් තිබෙනවා. ආර්ථික දර්ශක බොහොමයක් ඉතා හොඳ තත්ත්වයක් පිළිබිඹු කළත් මේ තියෙන තත්ත්වය ස්ථාවර එකක් නෙමෙයි. නිමැවුම් පරතරය ඉහළ ගිය තරමට එය ස්වභාවිකව නිවැරදි වන විට සිදුවිය හැකි හානියත් වැඩියි.
පැහැදිලි කිරීමේ පහසුවට උඩ පළමු රූප සටහනේ සුමට සයින් වක්‍රයක් වගේ එකක් ඇඳල තිබුණත් සැබෑ දත්ත දෙස බැලුවහම ඔය වගේ සුමට වක්‍රයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔය සයින් වක්‍රය වගේ එක මේ සංකල්පය පැහැදිලි කිරීමේ පහසුවට ගොඩක් අය යොදාගන්න එකක් පමණයි. විභාගයකට පිළිතුරු ලිවීමේදී එවැන්නක් යොදා ගැනීම ප්‍රශ්නයක් නොවූවත්, ආර්ථිකය කළමණාකරණය කරන කෙනෙක් එයින් ඔබ්බට ගිහින් මේ වක්‍රයේ හැසිරීම වඩා හොඳින් තේරුම් ගත යුතුයි.
සැබෑ වක්‍රය කරුණු කිහිපයක් නිසාම ඉහත වක්‍රයෙන් වෙනස් වෙනවා. පළමුව, මේ වක්‍රයේ සංඛ්‍යාතය එහෙමත් නැත්නම් වක්‍රයක් සම්පූර්ණ වීමට යන කාලය හරියටම නියතයක් නෙමෙයි. එය විශාල ලෙස අඩු වැඩි වෙනවා. දෙවනුව, ආර්ථිකයක් වර්ධනය වන වේගය වගේ හතරපස් ගුණයක වේගයෙන් එය කඩා වැටෙනවා. ඒ නිසා, දිගුකාලීනව ආර්ථිකයක් A සහ C අතර, එනම් පළමු හා දෙවන අදියර වල සිටිනවා වගේ හතර ගුණයක පමණ කාලයක් C සහ A අතර, එනම් තෙවන හා සිවුවන අදියර වල සිටිනවා. තෙවනුව, මේ වෙනස් වීම් උඩ රූපසටහනේ වගේ සුමටව සිදු නොවන නිසා බොහෝ අවස්ථා වලදී අප සිටින්නේ කුමන අදියරේද කියන එක නිර්ණය කරන්න අපහසුයි. ඒ නිසා, මේ කියපු කතා සියල්ල දන්න අය අතර වුවත් ආර්ථිකයේ පවතින තත්ත්වය පිළිබඳව එකඟ නොවීම් තිබෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා.
ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 1961-2005 අතර කාලය තුළ විචලනය වූ ආකාරය ඇසුරෙන්, විභව ආර්ථික වර්ධන වේගය 4.5%ක් ලෙස සලකමින් පිළියෙල කර තිබෙන පහත රූප සටහන දිහා බැලුවහම මුලින් විස්තර කිරීම සඳහා යොදාගත් රූප සටහනේත්, සැබෑ දත්ත මත පදනම් වූ රූප සටහනකත් වෙනස දැක ගත හැකියි. ඒ වුණත්, මේ වෙනස නිසා ඉහතින් කී කරුණු කිසිවක් වෙනස් වන්නේ නැහැ.
ධනවාදී ආර්ථිකයක් කවර හෝ හේතුවක් නිසා එහි දිගුකාලීන පථයෙන් ඔබ්බට අපගමනය වුනාම නැවත ස්වභාවිකවම නිවැරදි පථයට ආපසු පැමිණෙන යාන්ත්‍රනය කුමක්ද? මේ වගේ වෙලාවක මුදල් ප්‍රතිපත්ති වලින් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වලින් සිදුවන කාර්ය භාරය කුමක්ද? මේ කරුණු අපි දෙවන කොටසකට ඉතිරි කරමු.
6 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
අපේ රතු සහෝදරවරු ධනවාදයේ මහා අර්බුදය කියලා බෙරිහන්දෙන්නේ ඔයි ඩවුන් ද පල්ලම් යන කෑල්ලටද?
ReplyDeleteහොඳ ප්‍රශ්නයක්, ඇණයා. ඕකෙ දෙපැත්තක් තියෙනවා. උඩ වක්‍රයේ C ඉඳලා A දක්වා යන අවුරුදු වලදී ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. එතකොට බලයේ ඉන්න ආණ්ඩු රටට පෙන්වන්නේ රට මාර විදිහට දියුණු වෙමින් පවතින බවයි. ඕක තාවකාලික තත්ත්වයක් කියා ඔවුන් කියන්නේ නැහැ. කලක් යද්දී ඔය චක්‍රය අනිත් පැත්තට කැරකෙනවා. ඒ වගේම, A ඉඳල C වලට වැටුනහම රතු සහෝදරවරු විතරක් නෙමෙයි, විපක්ෂයේ ඉන්න අනෙක් අයත් ඔන්න ආර්ථිකය කඩා වැටුණා, දැන් ඉතිං ඔක්කොම සෙල්ලම් ඉවර වෙන්නයි යන්නේ කියලා කෑගහනවා. මේ දෙගොල්ලොම නිසා, අහගෙන ඉන්න අයට අර මැදින් තියෙන නිල් ඉරට මොකද වෙන්නේ කියන එක මඟ හැරෙනවා. නමුත්, රට ඉදිරියට යන්නේ ඔය නිල් ඉර දිගේ. දිගුකාලීනව වැදගත් වන්නේ ඒ නිල් ඉරේ බෑවුමයි.
Deleteලොකු කඳු පල්ලම් නැතුව පොටෙන්සල් ලයින් සමාන්තරව සමුත් ආර්ථිකයන් පවත්වාගන යන්න සමත්වුණු රටවල් ලෝකයේ තියේද?
ReplyDeleteපළමු කරුණ, ඇත්තටම මේ කඳු පල්ලම් හොඳටම විශාලනය කරලයි තියෙන්නේ. නියම අනුපාතයට ඇන්දොත් මේ විචලනයන් පේන්නෙත් නැති තරම්. නමුත්, ප්‍රවණතා ඉරේ බෑවුම ඉතා පැහැදිලිව පේනවා. ලංකාවේ සැබෑම දත්ත යොදාගෙන අනිත් ඇත්තේ ඇඳල තියෙන (https://economatta.blogspot.com/2018/08/blog-post_12.html) පළමු හා දෙවන රූප සටහන් දෙස බැලුවහම මෙය පෙනෙයි. දෙවන කරුණ, ආණ්ඩු විසින් හැමවෙලාවෙම වගේ කියන්නේ ඔවුන් මේ කඳු පල්ලම් එන්න කලින් හඳුනාගෙන සමතලා කරන බවයි. ඒත් බොහෝ වෙලාවට කඳු පල්ලම් හැදෙන්න හේතු වෙන්නෙම එහෙම කියන ආණ්ඩු විසින් කරන ක්‍රියාකාරකම්.
Deleteආර්ථිකය සවෘත කරලා, විවෘත කරලා, සිවිල් කැරලි දෙකක් වෙලා, අවුරුදු 30ක යුද්දයක් තිබිල පොටෙන්ෂල් ලයින් එක වෙනස් වෙලා නැහැනේ. වෙන රටවලත් මෙහෙමද? 4.5% කියන්නේ හොඳ අගයක්ද?
ReplyDeleteපොටෙන්ෂල් ලයින් එක වෙනස්වීම ගැන මම තවම කතා කළේ නෑ, ඇනෝ. මුලින් මූලික සංකල්ප පැහැදිලි කළා පමණයි.
Delete