Monday, January 4, 2016

මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර හතකට අධික කාලයක් පුරා පවත්වාගෙන ගිය ලිහිල් මුදල් ප්‍රතිපත්තියෙන් ඉවත් වී දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වී තිබේ. මහ බැංකුව විසින් පසුගිය බදාදා නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය අනුව, 2016 ජනවාරි මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6% සිට 7.5% දක්වා 1.5%කින් ඉහළ දමා තිබේ. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතික වල වෙනසක් කර නැත.

රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය වන්නේ අදාළ රටේ ජාතික මුදල් ඒකකයේ අගය සුරක්ෂිත කිරීමයි. මිල ස්ථායීතාව පවත්වාගැනීම කියන්නේද මෙයටය. ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ යම් රටක උද්ධමනය 'අවශ්‍ය ප්‍රමාණයට' වඩා වැඩි වන්නට ඉඩ නොදී ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමනය මහ බැංකුව මඟින් නිදහස් කරන මුදල් ප්‍රමාණයට කෙලින්ම සම්බන්ධ නිසා මුදල් සැපයුමට තිරිංග යෙදීමෙන් උද්ධමනය පාලනය කිරීමට පුළුවන. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මෙසේ ආර්ථිකයට මුදල් ගලා ඒම සීමා කරන ප්‍රතිපත්තියකි. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ එසේ මුදල් ගලා ඒම දිරිමත් කරන ප්‍රතිපත්තියකි.

රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය. උදාහරණයක් ලෙස, සවුදි අරාබි ආර්ථිකය ඉදිරියට යන්නේ සවුදියේ තෙල් ලිං වල තවමත් හොඳින් තෙල් උනන නිසාය. ඒත්, හැම රටකටම හැම කාලයකම මෙවැනි ස්වීප් ඇදෙන්නේ නැත. දිගුකාලීනව බොහොමයක් ආර්ථිකයන් වර්ධනය වෙන්නේ ඵලදායීතාව දිගින් දිගටම ඉහළ නංවා ගැනීම නිසාය. මෙතැනදී,  ඵලදායීතාව කියා කියන්නේ දැනට තිබෙන මූලික සම්පත් වලින්ම වැඩි අගයක් ඇති නිෂ්පාදන සිදුකිරීමයි. මෙය සිදු කළ හැකි වන්නේ තාක්ෂණ දියුණුවේ උපකාරයෙනි. ඒ හැරුණු විට, රාජ්‍යමූල හෝ මුදල් ප්‍රතිපත්ති මඟින් දිගුකාලීනව සෘජු ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැක.

දිගුකාලීනව ලොකු දෙයක් කළ නොහැකි වුවත්, මුදල් හා රාජ්‍යමූල ප්‍රතිපත්ති මඟින් රටක කෙටිකාලීන ආර්ථික වර්ධනයට බලපෑමක් කළ හැකිය. ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් පොම්ප කර ආයෝජන හා පරිභෝජන වියදම් තාවකාලිකව දිරිමත් කිරීම මඟින් (කෘතිමව වියදම් වැඩි කරවීම මඟින්) ආර්ථික වර්ධනය තරමක් වැඩි කරගැනීමටත්, රැකියා වියුක්තිය අඩු කරගැනීමටත් පුළුවන. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ආයෝජනය හෝ පරිභෝජනය වැඩිකිරීමට නිෂ්පාදනය වැඩිවීමක් සිදු විය යුතුය. නිෂ්පාදනය වැඩිවීමක් සිදු නොවන්නේනම් රටේ මුදල් වැඩි වුණත්, වැඩි වන ඉල්ලුමට ගැලපෙන තරමේ සැපයුමක්  සිදු නොවන නිසා අවසානයේදී සිදුවන්නේ මිල මට්ටම වැඩිවීම (උද්ධමනය) පමණි. ඒ නිසා, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුත්තේ යම් රටක නිෂ්පාදන ධාරිතාව තිබියදී අවශ්‍ය තරම් ඉල්ලුමක් නොතිබීම නිසා ධාරිතාවේ මට්ටමට නිෂ්පාදනයක් සිදුනොවන විටය. පසුගිය කාලයේ ඇමරිකාවේ තිබුණේ එවැනි තත්ත්වයකි.

2008 වසරේ ඔක්තෝබර් මස සිටම මහ බැංකුව විසින් පවත්වාගෙන ගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මහ බැංකුව මෙසේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමෙන් පෙනී ගියේ අදාළ කාලය තුළ මහ බැංකුවේ ස්ථාවරය අනුව උද්ධමනය තර්ජනයක් නොවූ බවයි. එමෙන්ම, රටේ නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදනය පැවති මට්ටමට වඩා වැඩි බවයි.

කොළඹ පාරිහෝගික මිල දර්ශකයේ වැඩිවීම අනුව මේ කාලය තුළ උද්ධමනය මෙසේ විය.
2009- 5.0%
2010- 6.8%
2011- 4.9%
2012- 9.2%
2013- 4.7%
2014- 2.1%
2015- 2.8%

මේ දත්ත අනුව, සමස්තයක් ලෙස ගත් විට මේ කාලය තුළ උද්ධමනය අඩු මට්ටමක පැවතී ඇත. ඒ නිසා ඒ කාලය තුළද රුපියලේ වටිනාකම අඩුවුනත් එය සිදුවුනේ සෙමිනි. ලංකාවේ වෘත්තීය සමිති, මාධ්‍ය හා රජයට සම්බන්ධ නැති දේශපාලන පක්ෂ මෑත දශක කිහිපය තුළ උද්ධමනය ප්‍රශ්නයක් ලෙස දැක ඇත්තේ එය 15% මට්ටමටවත් වැඩි වූ විටය. තනි අංකයේ උද්ධමනයක් ලංකාවේදී නරක දෙයක් ලෙස සැලකෙන්නේ නැත. අනෙක් අතට මහ බැංකුවේ ප්‍රකාශිත දිගුකාලීන ඉලක්කය උද්ධමනය 4-6% සීමාවේ රඳවා ගැනීමයි. මේ අනුව, අදාල කාලයේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තේරුම් ගතහැකිය.

එමෙන්ම, 2014 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වී ඇත්තේ මෙසේය.
2009- 3.5%
2010- 8.0%
2011- 8.2%
2012- 6.3%
2013- 7.2%
2014- 7.4%

මේ සංඛ්‍යා නරක සංඛ්‍යා නොවේ. ඒ අනුවපෙනී යන්නේ පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට උදවු වී ඇති බවය.

දැන් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් වෙත මාරු වී ඇත. මෙමඟින් ආර්ථික වර්ධනයට බාධා කෙරේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙවැනි තීරණයක් ගන්නට වෙන්නේ එසේ නොකළහොත් සිදුවන හානිය ඊට වඩා වැඩි බව පෙනෙන විටය.

මෙසේ සිදුවිය හැකි ලොකු හානිය කුමක්ද? උද්ධමනය දැනටනම් ඇත්තේ පහළ මට්ටමකය. එහෙත්, ඉදිරියේදී උද්ධමනය වැඩිවීමේ ලකුණු මහ බැංකුව විසින් නිරීක්ෂණය කර තිබේ. මෙයට එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා මේ වන විට අවශ්‍ය මට්ටමත් ඉක්මවා මුදල් සැපයුම ප්‍රසාරණය වීමයි. අනෙක් අතට, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩ වල මිල වැඩිවීමේ බලපෑමද උද්ධමනය වැඩි වීමට හේතු විය හැකිය. මෙයට අමතරව, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම මඟින් ප්‍රාග්ධනය රටෙන් පිටතට ගලායාම සීමා කිරීමටද අපේක්ෂා කරන බව පෙනේ.

(Image: www.livescience.com)

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.