Monday, January 25, 2016

ලංකාතිලකගේ වික්‍රම

පසුගිය 2015 අවුරුද්දේ ලංකාතිලකගේ සම්පූර්ණ ආදායම රුපියල් 71,157කි. ඒ කියන්නේ මාසයකට රුපියල් 5,930කි. මේ ආදායමට ලංකාතිලක වැඩකර උපයන මුදල වගේම, ඔහුගේ ඉඩකඩම් වල ආදායමත්, ලංකාතිලක ගැන අනුකම්පා කර ඇතැම් අය නොමිලේ දෙන සුළු මුදලක්ද ඇතුළත්ය.

ලංකාතිලකගේ ආදායම හැම අවුරුද්දකම කීයකින් හෝ වැඩි වේ. එහෙත්, ඔහුගේ වියදම ඊට වඩා වේගයෙන් වැඩිවේ. ලංකාතිලක ජීවත්වන රටේ ඇමති වරයෙක්ගේ පවුලටම ජීවත් වීමට මසකට රුපියල් 2,500ක මුදලක් ප්‍රමාණවත් වුවත් ලංකාතිලකට එමෙන් දෙගුණයකටත් වැඩි රුපියල් 5,930ක මුදලද ප්‍රමාණවත් නැත. ඒ නිසා ලංකාතිලක හැම අවුරුද්දකම කීයක් හෝ ණය වේ. ඒ ණය පොලියත් සමඟ ගෙවන්නට ලංකාතිලක තවත් ණය ගනී. වැඩිපුර මහන්සි වී වැඩ කර ආදායම වැඩි කර ගන්නවාට හෝ ලැබෙන ආදායමට හරියන විදිහට ජීවත් වනවාට වඩා මේ ක්‍රමය හොඳය. ලංකාතිලකගේ පවුලේ උදවිය වැඩිපුර මහන්සි වෙන්නට කැමති නැත. අඩුවෙන් වියදම් කරන්නත් කැමති නැත.

ලංකාතිලකගේ ණය දිනෙන් දින ඉහළ යයි. ඒ ගැන ලංකාතිලකගේ පවුලේ කාටවත් ගාණක්වත් නැත. පසුගිය 2015 වසර මුලදී ලංකාතිලක ණය වී සිටි මුදල රුපියල් 351,928කි. මේ මුදල ඔහුගේ මාසික ආදායම මෙන් 59 ගුණයකටත් වඩා වැඩි වුවත් ලංකාතිලක එය ප්‍රශ්නයක් ලෙස සිතුවේ නැත. ලංකාතිලක කියන්නේ එවැනි එළ කොල්ලෙකි.

පොඩි අවුලකට තියෙන්නේ ගත් ණයට පොලිය සමඟ ණය වාරික නොවරදවා ගෙවිය යුතු වීමයි. එය පැහැර හැරියොත් අළුතින් ණය ගැනීම අමාරු වේ. ලංකාතිලක මේ තරම් ණය වී හිටියත් ඔහුට තවතවත් ණය ගැනීමේ හැකියාව ඇත්තේ ඔහු කවදාවත් ණය ගෙවීම පැහැර හැර නැති නිසාය. එහෙත්, අළුතින් ගන්නා ණය වලට ගෙවිය යුතු පොලියනම් එන්න එන්නම වැඩිවේ.

පසුගිය 2015 වසර තුළදී ලංකාතිලක විසින් පොලිය ලෙස රුපියල් 25,055ක්ද ණය වාරික ලෙස තවත් රුපියල් 31,238ක්ද ගෙවා තිබේ. ඒ කියන්නේ මාසයකට රුපියල් 1,705ක පොලී මුදල් සහ 3,370ක ණය වාරික මුදලකි. ණයවාරික සහ පොලිය ගෙවීමෙන් පසු ලංකාතිලක අතේ ඉතිරි වුනේ ඔහුගේ ආදායමින් 14.4%ක් හෙවත් මසකට රුපියල් 855ක් පමණි. මෙයින් මාසයේ සියළු වියහියදම් පියවාගන්නට බැරි බවත්, එමෙන් තුන්ගුණයක් පමණ වූ (ලංකාතිලකගේ ස්ථිර සේවකයින් වන) ලංකාතිලක ජූනියර්ලාගේ පඩිනඩි ඇතුළු අනිත් හැම කෙහෙම්මලම කරන්නට වෙන්නේ අළුතින් ණය ගැනීමෙන් බවත් තේරුම් ගන්නට ඉකොනොමික්ස් දැනගත යුතු නැත.

ලංකාතිලකගේ අයියණ්ඩිලා, අපුච්චලා සහ නැන්දලා මෙන්ම ලංකාතිලකද ණය ගන්නට කිසි බයක් හෝ ලැජ්ජාවක් නැත. මේ වන විට ලංකාතිලක කොපමණ ණය වී ඇත්දැයි ඔහුවත් හරියටම නොදනී. පසුගිය ජූලි මාසය අවසන් වන විට ඔහුගේ ණය රුපියල් 384,709 දක්වා ඉහළ ගොස් තිබුණේය.

ලංකාතිලක ජීවත්වන රටේ ජනගහනය මිලියන 20.771ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. ලංකාතිලක වැනි පුද්ගලයින් මිලියන 20.771කගේ පෞද්ගලික අයවැය විස්තර එකතු කළ විට ලංකාතිලක ජීවත්වන රටේ ආණ්ඩුව දැන් සිටින තත්ත්වය තේරුම් ගැනීමට පුළුවන.

***
"නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය, 2014 වසරේ දෙසැම්බර් මස අවසානයට පැවති රුපියල් බිලියන 7,309.9 සිට 2015 වසරේ ජූලි මස අවසානයට රුපියල් බිලියන 7,990.8 දක්වා රුපියල් බිලියන 599.9කින් වැඩි විය."

(උපුටාගැනීම: පිටුව 84, මෑතකාලීන ආර්ථික ප්‍රවණතා, ශ්‍රී ලංකා මහ බැංකුව)


(Image: www.sundaytimes.lk)

6 comments:

  1. මේ ලංකාතිලක කියලා අරන් තියෙන්නේ රටේ එක පුද්ගලයෙක් විසින් දරන ණය බර වෙන්න ඇති නේද?

    ණය නැතුව රටකට පවතින්න පුළුවන්ද?
    ලංකාතිලකගේ ණය නම් වැඩිටි තමයි.එත් නාස්තිකාර වියදම් පාලනය තුලින් විතරක් ලංකාතිලකලාට ගොඩ එන්න පුළුවන් වෙන එකකුත් නැහැ වගේනේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, මනෝජ්. මෙහි තියෙන්නේ රජයේ ණය ජනගහණයෙන් බෙදූ විට එන ගණන. දැන් ලංකාව සිටින තත්ත්වය අනුව කවුරු රට පාලනය කළත් ණය නොගෙන දුවන්න බැහැ. නාස්තිකාර වියදම් පාලනය තුලින් විතරක් ගොඩ එන්නත් බැහැ. ගත් ණය වල පොලිය සහ වාරික ගෙවූ විට ආදායමින් 86%ක්ම ඉවරයි. නාස්තිකාර වියදම් පාලනය කියන්නේ අනිවාර්යයෙන් කළ යුතු දෙයක් වුනත් ප්‍රමාණවත් දෙයක් නෙමෙයි. ණය ගන්නම වෙනවා තමයි. ඒත් ණය තවත් වැඩි නොකරගෙන සිටීමටවත් උත්සාහයක් නොදැරුවොත් කොයි වෙලාවක හෝ අමාරුවේ වැටෙනවා. මා මෙයින් අදහස් කරන්නේ වසරක් තුල ගෙවන ණය වාරික ප්‍රමාණයට වඩා අඩුවෙන් අළුත් ණය ගැනීම සිදුවනවානම් හොඳ බවයි. මේ තත්ත්වය ජනතාව තේරුම් ගන්නවානම් සහ ඒ වෙනුවෙන් හඬක් නැගෙනවානම් රජයකට එය කිරීම පහසුවෙනවා. එහෙත් වෙන්නේ එහි අනිත් පැත්තයි. දැන් මේ 2016 අවුරුද්දේ අයවැය ඇස්තමේන්තුව අනුව පරණ ණය වලින් රුපියල් බිලියන 649ක් ආපසු ගෙවන විට අළුතින් රුපියල් බිලියන 740ක ණය ගැනීමයි බලාපොරොත්තුව. මෙයින් වෙන්නේ මේ වසර අවසාන වන විට ණය බර සහ පොලී වියදම තවත් වැඩි වී ප්‍රශ්නය උග්‍ර වීමයි.

      Delete
  2. හැම ලංකාතිලක කෙනෙක්ගෙම ආදායම රු. 71,000 නං මොනව කරගන්න බැරිද?

    හොඳ විශ්ලේෂනයක් ඉකොන්... මේ සරළ දේ හරියට දකිනවනං ආණ්ඩු ණය ගද්දි මීට වඩා හිතනවා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,රුපියල් 71,000ක් කියන්නේ පසුගිය වසරේදී එක් පුද්ගලයෙකු විසින් බදු හා ගාස්තු ලෙස රජයට ගෙවූ මුදලයි. රාජ්‍ය සේවය විශාල කිරීමට ඉල්ලනවා කියන්නේ මේ මුදල තවත් වැඩි කරන ලෙස ඉල්ලීමක්. හතර දෙනෙකු සිටින ඔබේ පවුලට රජයෙන් ලැබෙන සේවාවන් වල වටිනාකම රුපියල් 284,000කට වඩා වැඩිනම් රජයේ සේවය කාර්යක්ෂමයි.

      Delete
  3. රුපියල් 2500න් නොමැරී මාසයක් සිටිය හැකියි.
    නමුත් මෙතනදී කොන්දේසි 2ක් සපිරිය යුතුයි.
    1. එම මුදල අදාල පුද්ගලයා උපයන මුදලක් නොවිය යුතුයි.
    2.නොමැරී සිටිය හැක්කේ මාසයක් පමණයි. එයින් පසු නොමැරී සිටියත් විවිධ පෝශණ ඌනතා ඇතිවිය හැකියි.

    ReplyDelete
    Replies
    1. ජගත්, මේ 2500 කතාව නිකමට ලිවුවේ. එය එතරම් ගණන් ගන්න එපා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.