Monday, January 30, 2017

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව

අද දිවයින මුල් පුවතෙහි සඳහන් වන්නේ "ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර අක්‍රමිකතාව නිසා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් කෝටි 1400 කට අධික අතිවිශාල අලාභයක්‌ සිදුව" ඇති බවකි.  ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, මේ කියන අලාභය ඇත්තටම සිදු වී ඇති අලාභයක්ද එසේ නැත්නම් ලබා ගත හැකිව තිබුණු ලාභයක් නොලැබී යාම නිසා සිදු වූ උපකල්පිත අලාභයක් පමණක්ද යන්න පැහැදිලි නැත.

පුවත අනුව, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි ද එම අරමුදල විසින් භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සෘජුවම භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගත්තා නම් මේ අති විශාල අලාභය සිදු නොවීමට ඉඩ තිබුණ බව ද බැංකුව විසින් දැනට කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී තිබේ."

මේ කතාව අර්ධ සත්‍යයක් පමණි. ව්‍යාපාරික කටයුතු වල යෙදෙන රාජ්‍ය ආයතන නෛසර්ගිකවම පෞද්ගලික ආයතන වලට වඩා අකාර්යක්ෂම නිසා සේවක අර්ථසාධක අරමුදල වැනි මුල්‍ය වෙළඳපොළෙහි ආයෝජනය කර ලාභ ලැබීම ප්‍රධාන අරමුණ කරගත් ආයතනයක් එම අරමුණම වෙනුවෙන් කටයුතු කරන වෙනත් පෞද්ගලික ආයතනයක් ලබන තරමේ ලාභයක් නොලබන බව ඇත්තකි. ඒ අර්ථයෙන් සේවක අර්ථසාධක අරමුදල විසින් ඔවුන්ගේ පාලනය යටතේ ඇති අරමුදල් වෙනුවෙන් ලබා ගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ ලබාගෙන නොතිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

කෙසේ වුවද, "අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයක්‌ විසින් කලින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම (ද්විතීයික වෙළෙඳපොළේදී) නිසා මේ අලාභය සිදුව ඇතැයි" කීම සත්‍යයක් විය හැක්කේ මෙවැනි ගනුදෙනුවක් පිටුපස කිසියම් පාරදෘශ්‍ය නොවන සිදුවීමක් සිදුව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් පමණි.

මෙය පැහැදිලි කිරීම සඳහා මගේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ලිපි මාලාවේ හයවන කොටස සමඟ ඉදිරිපත් කළ පළමු වගුව වෙත යමු. 2015 පෙබරවාරි 27 දින පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා සේවක අර්ථසාධක අරමුදල විසින් ලන්සු තබා ඇත්තේ රුපියල් 100 සිට 104.51 දක්වා පරාසයකය. ද්විතීයික වෙළෙඳපොළේදී සේවක අර්ථසාධක අරමුදලට භාණ්ඩාගාර බැඳුම්කර විකුණා ඇති රටේ කාලයක් තිස්සේ පුවත් මවන පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් සෘජුව හෝ වක්‍රව රුපියල් 97.88 සිට 86.77 දක්වා පරාසයක ලන්සු තබා ඇති අතර ඒ අතරින් රුපියල් 90.17 ඉක්මවූ ලන්සු පිළිගැනිණි. පහළොස්වන කොටස සමඟ පළකර ඇති හත්වන වගුවෙන් පෙන්වා ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල විසින් නාමික අගය රුපියල් 100ක් වන භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ගෙවා ඇති බරිත සාමාන්‍ය මිල රුපියල් 102.23කි.

සේවක අර්ථසාධක අරමුදලට ඔවුන් වෙන්දේසියෙන් මිල දී ගත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ලාභයක් ලබා ගැනීමටනම් රුපියල් 102.23 ඉක්මවන මිලකට මේ බැඳුම්කර විකිණිය හැකි විය යුතුය. ඔවුන් වෙන්දේසියෙන් හිමිකර ගත් බැඳුම්කර ප්‍රමාණය (නාමික අගය අනුව) රුපියල් බිලියන දෙකක් නිසා ද්වීතියික වෙළඳපොලෙහි රුපියල් 103.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 20 ක ක්ෂණික ලාභයක්ද, රුපියල් 112.23 බැගින් විකිණිය හැකි වූයේනම් රුපියල් මිලියන 200 ක ක්ෂණික ලාභයක්ද සේවක අර්ථසාධක අරමුදලට ලබාගත හැකිව තිබුණි. එහෙත්, එසේ වැඩි මිලකට විකිණීමේ හැකියාවක් සේවක අර්ථසාධක අරමුදලට නොතිබුණේ එවැනි මිලකට මෙම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට කිසිවකු සූදානම්ව නොසිටි බැවිනි.

ඇත්තටම ඉහත වෙන්දේසියෙන් පසුව තිස් අවුරුදු බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකිව තිබුණේ සේවක අර්ථසාධක අරමුදලේ බරිත සාමාන්‍ය පිරිවැය වූ රුපියල් 102.23ට වඩා බොහෝ අඩු මිලකටය. ඒ නිසා, යම් හෙයකින් එම අරමුදලට සිය බැඳුම්කර මුදල් කරන්නට අවශ්‍ය වීනම් එය කළ හැකිව තිබුණේ විශාල අලාභයක් ක්ෂණිකව ලබමිනි. උදාහරණයක් ලෙස ලිපි මාලාවේ දහවන කොටස සමඟ පළකර ඇති පස්වන වගුව ඇසුරින් පැහැදිලි කර ඇති පදනම මත මේ ද්වීතියික වෙළඳපොළ මිල රුපියල් 96.02 ලෙස සැලකුවහොත්, නාමික අගය රුපියල් 100කට රුපියල් 6.21 බැගින් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 124.2ක ක්ෂණික අලාභයක් සිදුවිය හැකිව තිබුණි. මෙය දිවයින පුවතේ සඳහන් රුපියල් කෝටි 1,400ක හෙවත් බිලියන 14ක අලාභයට සාපේක්ෂව සුළු අලාභයකි.

කෙසේවුවද, මේ බිලියන දෙකේ ගණුදෙනුව සේවක අර්ථසාධක අරමුදලේ තවත් එක් ගනුදෙනුවක් පමණි. අපේ සාකච්ඡාවට අදාළ ගණුදෙනු සිදුවී ඇති 2015 අවසානයේ අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,665ක් විය. මේ වත්කම් වලින් සුළු ප්‍රමාණයක් හැර ඉතිරිය අරමුදලේ ආයෝජන කළඹට අයත් වන අතර එයින්ද 90%ක් පමණම ආයෝජනය කෙරෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලය. ඒ නිසා, දිගින් දිගටම වෙන්දේසියේ බරිත සාමාන්‍ය මිලට වඩා අඩු ලන්සු තබමින් බැඳුම්කර මිල දී ගත්තේනම් සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව බිලියන 14ක මට්ටමකට ඉහළ යන්නට බැරිකමක් නැත.

දැන් මෙසේ සේවක අර්ථසාධක අරමුදල පාඩු ලැබුවාය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ සේවක අරමුදල විසින් රුපියල් 102.23 බැගින් මිලදී ගත් බැඳුම්කර වල වෙළඳපොළ මිල රුපියල් 96.02 දක්වා පහත වැටීම නිසා (වෙනත් ආයෝජන නොසලකා හැරියොත්) අරමුදලේ ආයෝජන කළඹේ වෙළඳපොළ වටිනාකම ආයෝජනය කළ මුල් මුදලට වඩා අඩුවී තිබීම නිසා සිදුවූ අවාසියයි. කෙසේ වුවද, මේ පාඩුව "පොත් වල ඇති" පාඩුවකි. මේ පාඩුව සැබෑ පාඩුවක් වන්නේ පවතින මිලට මේ බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණුවහොත්ය.

මෙසේ වෙළඳපොළ මිලට විකිණීමත් සමඟ පොතේ ඇති පාඩුව සැබෑ පාඩුවක් බවට පත් වන නිසා, සල්ලි හදිස්සියක් නැත්නම්, ආයෝජකයෙකු බොහෝ විට කරන්නේ අදාළ බැඳුම්කර නොවිකුණා "යන විදිහ" බලා සිටීමයි. සේවක අර්ථසාධක අරමුදලට සාමාන්‍යයෙන් ලොකු සල්ලි හදිස්සි ඇති නොවේ.

කෙසේ වුවද, මෙසේ බලා සිටීමෙන් වැඩක් වෙන්නේ ද්වීතියික වෙළදපොළ මිල රුපියල් 102.23 මට්ටම ඉක්මවා ඉහළ යන්නට ඉඩක් ඇත්නම් පමණි. එසේ බලා සිටිද්දී යම් හෙයකින් මිල තවත් පහත වැටුණොත් සිදුවන්නේ අලාභය තවත් වැඩි වීමයි.

රුපියල් 96.02 සිට රුපියල් 102.23 දක්වා බැඳුම්කරයක මිල ඉහළ යන්නට ඇති ඉඩකඩ එතරම් වැඩි නොවන බව පැහැදිලිය. එහෙත්, මේ මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමට සැලකිය යුතු ඉඩක් තිබේ. ද්වීතියික වෙළඳපොළ මිල තමන් ගෙවූ මිලට වඩා පහත වැටී "ඇනගෙන සිටින" ආයතනයකට අනුගමනය කළ හැකි එක් උපාය මාර්ගයක් වන්නේ තමන් මුලින් බැඳුම්කර මිලදී ගත් මිලට වැඩ අඩුමිලක් වන පවතින ද්වීතියික වෙළදපොල මිලට තවත් බැඳුම්කර මිල දී ගැනීම මඟින් තමන්ගේ ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය අඩු කර ගැනීමයි.

උදාහරණයක් ලෙස රුපියල් 102.23ක බරිත සාමාන්‍ය මිලකට බිලියන දෙකක බැඳුම්කර මිලදී ගෙන සිටින සේවක අර්ථසාධක අරමුදලට පවතින වෙළඳපොළ මිල වන රුපියල් 96.02 බැගින් තවත් බිලියන දෙකක බැඳුම්කර මිල දී ගැනීමෙන් ආයෝජන කළඹේ බරිත සාමාන්‍ය පිරිවැය රුපියල් 99.12 දක්වා අඩු කර ගැනීමට පුළුවන. මේ මට්ටමට මිල ඉහළ යාමට ඇති ඉඩකඩ රුපියල් 102.23දක්වා මිල ඉහළ යාමට ඇති ඉඩකඩට වඩා වැඩිය. ඒ නිසා එසේ කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදලට වඩා ඉක්මණින් අලාභය පියවා ගැනීමට ඉඩක් සැලසෙන්නට පුළුවන.

වෙන්දේසියෙන් පසුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමෙන් තවත් බැඳුම්කර මිලදී ගැනීම මඟින් සේවක අර්ථසාධක අරමුදල අපේක්ෂා කළේ මෙවැනි දෙයක් විය හැකිය. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් බැඳුම්කර මිලදී නොගෙන ද්වීතියික වෙළඳපොළෙන් පසුව මිලදී ගැනීම මහා අමුතු දෙයක් නොවේ. කෙසේ වුවද, මෙසේ වැඩිපුර බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව මිල තවත් අඩු වුවහොත් පාඩුව තවත් ඉහළ යන නිසා මෙවැන්නක් කළ යුත්තේ සැලකිල්ලෙනි.

මේ වෙන්දේසිය පමණක් සැලකුවහොත් වෙන්දේසියෙන් පසුව සේවක අර්ථසාධක අරමුදල විසින් ද්වීතියික වෙළදපොලෙන් බැඳුම්කර මිල දී ගන්නට ඇත්තේ රුපියල් 96ක පමණ මිලකට වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. වැඩිපුර බැඳුම්කර ප්‍රමාණයක් තිබුණේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතුව නිසාත්, අඩුම මිලකට ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීමට උත්සාහ කළ හැකිව තිබුණේ අඩුම පිරිවැයක් ගෙවා බැඳුම්කර හිමි කරගත් ආයතනයෙන් වීමත් නිසා එම සමාගමෙන්ම මිල දී ගැනීමද තේරුම් ගත හැකි දෙයකි.

යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදල විසින් ප්‍රාථමික වෙන්දේසියෙන් සෘජුව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිල දී ගත්තේනම් එසේ මිල දී ගැනීමට බොහෝ දුරට ඉඩ තිබුණේ රුපියල් 100කට ආසන්න, රුපියල් 96 ඉක්මවන මිලකටය.එසේ වීනම්,අරමුදලේ පාඩුව මීට වඩා වැඩි විය හැකිව තිබුණි. ඒ නිසා ප්‍රාථමික වෙන්දේසියෙන් මිලදී නොගෙන පසුව ද්වීතියික වෙළඳපොළෙන් බැඳුම්කර මිල දී ගැනීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් වූයේය යන්න බොහෝ දුරට පදනම් විරහිත කතාවක් විය හැකිය.

කෙසේ වුවද, ලබා ගත හැකිව තිබුණු ලාභය ලබා නොගත්තේය යන අරුතින් සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබා ඇති බව බොරුවක් නොවේ. එහෙත්, ඒ පාඩුව සිදුවී ඇත්තේ තරඟකාරී නොවන අඩු මිලකට ආණ්ඩුවට ණය දීම නිසාය.

11 comments:

  1. ප්‍රශ්න අහන්න පෙර පැහැදිලි කරගැනීමක්
    ආයෝජන කළඹ කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ආයතනය සතු වත්කම් වලින් ආයෝජන වෙනුවෙන් වෙන් කරන ප්‍රමාණය.

      Delete
    2. අන්න එහෙම සිංහලෙන් portfolio කිව්වාම තේරුණා. ලිපියෙන් කියන්නේ අර්ථසාධක අරමුදල PT එකෙන් 96.02 ගත්තු කතාවක් නෙමෙයි නේද? 120ට ගත්ත කියලනේ. අජිත් පරකුම්ගේ ලිපිය දැක්කනම් සාමාන්‍ය ජනතාව නෙමෙයි, පොඩ්ඩක් මේ ගැන හොයපු මාද්යාවේදියොත් මේ මතයේ ඉන බව තමයි පෙන්නේ.
      තව ප්‍රශ්නයක්.
      අර්ථ සාධක අරමුදලට 96.02 ගානේ වික්කනම් PT එක ඇති විශාල ලාබයක් (බිලියන 5) ලබන්නේ කොහොමද? වෙනම ලිපියකින් පැහැදිලි කලත් කමක් නැහැ.

      Delete
    3. //අර්ථ සාධක අරමුදලට 96.02 ගානේ වික්කනම්//

      මෙහි මම අරගෙන තියෙන රුපියල් 96.02 කියන මිල EPF එක හා PT අතර ගනුදෙනුව සිදුවූ හරි මිල නෙමෙයි. මේ ලිපියේ සඳහන් කරුණ පැහැදිලි කිරීම සඳහා ගත් ගණනක්. එම ගණන ඇස්තමේන්තු කළ ආකාරය අදාළ ලින්ක් එකේ ඇති පෙර ලිපියේ තියෙනවා. ඇත්තටම ගනුදෙනුව වුනු මිල මම දන්නේ නැහැ. PT සමාගම මේ වෙන්දේසියේදී බැඳුම්කර වලින් කොටසක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 97.88 වැනි ඉහළ මිලකට නිසාත්, EPF එක මේ වෙන්දේසියේදී බැඳුම්කර වලින් කොටසක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 100.00 වැනි පහළ මිලකට නිසාත් එම ගණන් දෙක අතර රුපියල් 99 වැනි මිලකට මේ ගනුදෙනුව සිදු වූවා විය හැකියි. එය අදාළ ආයතන දෙකේ ගනුදෙනුකරුවන්ගේ (ඩීලර්ස්ලාගේ) හෙට්ටු කිරීම මත තීරණය වන දෙයක්. PT සමාගමේ බරිත සාමාන්‍ය පිරිවැය වන රුපියල් 91.57ට වඩා වැඩි ඕනෑම මිලක් එම ආයතනයට හොඳ මිලක්. ඒ වගේම, EPF එකේ බරිත සාමාන්‍ය පිරිවැය වන 102.23ට වඩා අඩු ඕනෑම මිලක් එම ආයතනයට හොඳ මිලක්. නමුත්, රුපියල් 120 නොව රුපියල් 102.23කට වැඩි ඕනෑම මිලකට EPF එක ද්වීතියික වෙළඳපොලෙන් බැඳුම්කර මිලදී ගත්තානම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබෙනවා. එය වෙන්දේසියේ සිදු වූවේයැයි කියන අක්‍රමිකතාවයටත් වඩා විශාල ප්‍රශ්නයක් විය හැකියි. මෙවැනි දෙයක් ඇත්තටම සිදුවුණු බවට නිශ්චිතව නොදැන මට ඒ ගැන මීට වඩා දෙයක් කිව නොහැකියි. EPF එක කියන්නේ ස්වාධීන නිලධාරීන් රැසක් සිටින හා මෙවැනි තීරණයක් ගන්න නිලධාරීන් ගණනාවකගේ අනුමැතිය අවශ්‍ය වන තැනක් නිසා මට එම ප්‍රකාශය ඇත්තද කියන එක සැක සහිතයි.

      යාම් හෙයකින් PT එකේ බැඳුම්කර තොගයම රුපියල් 120 බැගින් EPF එකට දුන්නානම් එයින් ලැබෙන ලාභය රුපියල් මිලියන (120-91.57)*5000/100=1421.3 ක් හෙවත් රුපියල් බිලියන 1.4ක්. එසේ වුවත් එයින් PT සමාගම ලැබූ සම්පුර්ණ ලාභය පැහැදිලි කෙරෙන්නේ නැහැ.

      //PT එක ඇති විශාල ලාබයක් (බිලියන 5) ලබන්නේ කොහොමද? වෙනම ලිපියකින් පැහැදිලි කලත් කමක් නැහැ//
      මම ලිපි මාලාවේ කොටස් 20ක්ම ලිවුවේ රජයට වූ අලාභය ගැන තියෙන ජනප්‍රිය මිත්‍යාව පැහැදිලි කරන්නයි. මා ලියූ දේවල් (සර්ව සම්පූර්ණයැයි මා නොසිතන නමුත්) මෙතෙක් කිසිවකුගේ අභියෝගයට ලක්වී නැහැ. මෙයට සම්බන්ධ වුවත් වෙනම කරුණක් වන PT සමාගම ලාභ ලැබූ ආකාරයත් තරමක් සංකීර්ණ නිසා පැහැදිලි කිරීමට ලිපි කිහිපයක් ලියන්න වෙනවා. බොහෝ දෙනෙක් ඇත්ත හොයනවට වඩා හොයන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට සාක්ෂි පමණක් නිසා මේ වෙනුවෙන් මා යොදවන කාලය නිෂ්ඵල බව සිතා නවතා දැම්මත් ඒ ගැනත් ලියන එක වැදගත් කියා දැන් හිතෙනවා. ඉඩ ලැබෙන පරිදි බලමු!

      Delete
    4. ඉඩ ලැබෙන පරිදි බලමු නෙමෙයි. අනිවාර්යයෙන් ලියන්න.

      Delete
  2. ඕ ගෝඩ්,බලාන යනකොට ඊටීඑෆ් එකේ ප්‍රතිලාභීන් විදිහට අපි අර්ජුනටයි එයාගේ මාමන්ඩිටයි ස්තූති කරන්න වෙනවනේ ෆන්ඩ් එකට වෙනද ගානට වඩා අඩුගානට බැඳුම්කර අරන් දුන්නු එකට.

    ReplyDelete
    Replies
    1. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම උත්සාහ කර ඇත්තේ ඔවුන්ගේ ලාබ වැඩි කර ගැනීමටය. සාමාන්‍යයෙන් ධනවාදී ආර්ථිකයක ස්වේච්ඡාවෙන් සිදුවන ගනුදෙනුවකදී එක් පාර්ශවයක් ලාබ ලබා ගන්නවා කියන්නේ එම ගනුදෙනුවට සම්බන්ධ වන අනෙක් පාර්ශ්වය පාඩු ලබනවා කියන එක නොවේ. එම පාර්ශ්වයද ලාබයක් ලබන බවයි. මේ අවස්ථාවේදී පර්පෙචුවල් සමාගමට වෙන්දේසියේදී අනිසි වාසියක් ලැබීම නිසා පොලිය තිබිය යුතු මට්ටමට වඩා ඉහළ ගිය බව (මිල තිබිය යුතු මට්ටමට වඩා පහළ ගිය බව) සේවක අර්ථසාධක මුදල විසින් විශ්වාස කළා විය හැකිය. එසේ වුනානම් සිදුවිය යුත්තේ ඉතා ඉක්මනින් නැවත මිල මට්ටම "තිබිය යුතු" මට්ටමට පැමිණීමයි. හෙවත් මිල වැඩි වීමයි, නමුත් මේ වැඩි වීම විශාල වැඩිවීමක් නොවන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් යටතේ කළ හැකි හොඳම දෙය තවත් බැඳුම්කර මිල දී ගැනීමයි. එවිට ලාබයක් ලැබීමට හෝ අඩු වශයෙන් පාඩුව අඩු කරගැනීමට හැකි වේ. කෙසේ වුවද, "පොලිය තිබිය යුතු මට්ටමට වඩා ඉහළ ගිය බවට" වූ උපකල්පනය වැරදිනම් එසේ සිදු නොවන නිසා පාඩුව වැඩි විය හැකිය. දත්ත නැති නිසා ඇත්තටම සිදු වූ දෙය මා දන්නේ නැත.

      Delete
  3. PT විශාල ලාභයක් ලැබූ අාකාරය හැකි පමණට පැහැදිලි කරන්න උත්සාහයක් ගන්න, එය දැවෙනම දැවෙන ප්‍රශ්නයක්.

    ඔබ ලිවූ බැඳුම්කර සීරිස් එකින් බොහෝ දේ දැණඋගත්තා, බොහොම ලොකු ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලවුඩ්ස්පීකර් පවා පිරුනු කල නොවන බව තේරුම් ගැනීමට තරම් ඒ දැණුම ප්‍රමාණවත්.

    ReplyDelete
    Replies
    1. මේකේ තේරුම මොකක්ද නට් මිනිහෝ?
      //බොහොම ලොකු ප්‍රජාත්‍රන්ත්‍රවාදී ලවුඩ්ස්පීකර් පවා පිරුනු කල නොවන බව//

      Delete
    2. මම ඇතුළු කිසිවකු පිරුණු කළ නෙමෙයි. සමාජ ජාල හරහා කැමති කෙනෙකුට කැමති දෙයක් කියන්න නිදහසක් ලැබී තියෙනවා. එය හොඳ දෙයක්. මෙසේ ලියවෙන දේ අතරින් නිවැරදි දේ තෝරා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. හොඳම දේ වන්නේ ලියන දේ හා අදාළව ලේඛකයාව ප්‍රශ්න කිරීමයි. ඇතැම් දේවල් ගැන වැඩි දැනුමක් ඇති අයට වෙනත් දේවල් ගැන තියෙන්නේ ඉතා සීමිත දැනුමක්. මෙය මා ඇතුළු කාටත් අදාළයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.