Sunday, July 31, 2016

වැට් වැඩි වන විට බඩු මිල වැඩි වන්නේ ඇයි?


වැට් වැනි බදු වැඩි වන විට බඩු මිල ඉහළ යාම බොහෝ දෙනෙකුට පෙනෙන පරිදි සරල කරුණකි. එහි මහා ලොකු නොතේරෙන දෙයක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එහෙත්, ඇත්තටම මෙය පෙනෙන තරම්ම සරල දෙයක් නොවේ.

මා පෙර ලිපියකින් පැහැදිලි කර පරිදි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මත අළුතින් බද්දක් පැනවූ විට හෝ පවතින බද්දක් වැඩි කළ විට, ඒ බද්දේ බර බොහෝ විට සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයා මත නොපැටවී, පාරිභෝගිකයා හා නිෂ්පාදකයා අතර බෙදී යයි. මෙසේ බෙදී යන අනුපාතය තීරණය වන්නේ අදාළ භාණ්ඩය සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය ප්‍රධාන කරුණු කිහිපයක් මතය. ඒ අනුව, සෛද්ධාන්තිකව අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයක මිල බදු ඉහළ දැමීමෙන් පසුවද නොවෙනස්ව පැවතිය හැකිය.

උදාහරණයක් ලෙස කිසියම් වෛද්‍යවරයෙකු විසින් සපයන සේවාවක් සඳහා එම වෛද්‍යවරයාගේ පාරිභෝගිකයින් විසින් දැනට අය කරන මිල වන රුපියල් දහස ගෙවන්නට කැමති වුවත් ඊට වඩා සතයක්වත් ගෙවන්නට සූදානම් නැත්නම්, එම සේවාව සඳහා අය කරන මිල මත පැනවෙන බද්දක බරෙන් කොටසක් සිය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමේ හැකියාවක් අදාළ වෛද්‍යවරයාට නැත. ඒ නිසා එවැනි වෛද්‍යවරයෙකුට අදාළ බද්දේ බර සම්පූර්ණයෙන්ම දරාගැනීමට සිදුවේ.

රටේ සියළුම (හෝ බොහොමයක්) භාණ්ඩ හා සේවා මත හදිසියේම වැට් වැනි බද්දක් පැනවූ විට හෝ එවැනි බද්දක් වැඩි කළ විට සිදු වන්නේ කුමක්ද?

උදාහරණයක් ලෙස හදිසියේම රටේ සියළු භාණ්ඩ හා සේවා මත 10%ක වැට් බද්දක් පැනවූයේයැයි සිතමු. මේ බද්ද භාණ්ඩ හා සේවාවන්හි මිලට සෘජුවම එකතු වී රටේ බඩු මිල 10%කින් ඉහළ යාමේ හැකියාවක් පවතීද?

මෙය තේරුම් ගැනීමේ පහසුව සඳහා එය එසේ වීයැයි අපි මොහොතකට සිතමු. දැන් කිසියම් පුද්ගලයෙකු විසින් පෙර මිල දී ගත් භාණ්ඩ හා සේවාවන් ඒ අයුරින්ම මිලදී ගැනීම සඳහා ඔහුට හෝ ඇයට 10%ක් වැඩිපුර ගෙවන්නට සිදුවේ. මේ පුද්ගලයාගේ ආදායම නිශ්චිතනම් සහ පෙර එය මුළුමනින්ම වියදම් කළේනම්, මෙසේ වැඩි වූ පිරිවැය හමුවේ මුල් පරිභෝජන මට්ටම පවත්වා ගත හැක්කේ ණය වීමෙන් පමණි.

රටක එක් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් ගණනාවකට මේ අයුරින් වෙනකෙකුට ණය වී සිය පරිභෝජන මට්ටම පවත්වා ගත හැකිය. එහෙත්, කෙනෙකු රුපියලක් ණයට ගන්නා හැම විටකම රුපියලක් ණයට දෙන්නට අයෙක්ද සිටිය යුතුය. මෙසේ ණය දීම නිසා අත ඇති මුදල් සීමා වන නිසා ඒ පුද්ගලයාට සිය පරිභෝජනය අඩු කිරීමට සිදු වේ. මේ අනුව, රටේ සෑම භාණ්ඩයක හා සේවාවකම මිල එක් වර ඉහළ ගියහොත්, පුද්ගල ආදායම් වෙනස් නොවන පසු බිමක, භාණ්ඩ හා සේවා සඳහා වන සමස්ත ඉල්ලුම අනුපාතිකව අඩු විය යුතුය.

මෙසේ ක්ෂණිකව භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩු වූ විට රටක භාණ්ඩ හා සේවා අතිරික්තයක් ඇති වේ. එවිට, නිෂ්පාදකයෝ මිල අඩු කිරීම මඟින් අළුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වති. ඒ නිසා, වැඩි වූ බද්දේ බර හේතුවෙන් රටේ භාණ්ඩ හා සේවාවන්හි සැලකිය යුතු මිල වැඩි වීමක් සිදු නොවේ. ඒ අනුව, වැට් වැඩි වූ රටේ බඩු මිල අනුපාතිකව වැඩි වේනම්, රටේ සමස්ත ඉල්ලුම නොවෙනස්ව පවත්වා ගත හැකි තරමේ ආදායම් වැඩි වීමක්ද සිදු විය යුතුය.

එය එසේ සිදු වනවාද?

මෙය තීරණය වන්නේ වැඩි කළ වැට් මුදල් හරහා රජය විසින් එකතු කර ගන්නා ආදායම වියදම් කරන ආකාරය අනුවය. උදාහරණයක් ලෙස, ඒ මුදලින් පැරණි විදෙස් ණයක් පියවේනම් රට තුළ එවැනි ආදායම් වැඩි වීමක් නොවේ. එහෙත්, එම මුදලින් රටේ (මහජන නියෝජිතයින් හෝ රාජ්‍ය සේවකයින් වැනි) කිසියම් පිරිසකගේ වැටුප් වැඩි කෙරේනම් හෝ රාජ්‍ය සේවකයින් අළුතින් බඳවා ගැනේනම්, එම පිරිසගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව වැඩි වන නිසා සමස්ත ඉල්ලුම ඉහළ ගොස් බඩු මිලද වැඩි වේ. එවිට අවසාන වශයෙන් සිදු වන්නේ මේ පිරිසගේ වැඩි වූ පරිභෝජනය වෙනුවෙන් රටේ ඉතිරි කොටසට සිය පරිභෝජනය අඩු කරන්නට සිදු වීමයි.

වැට් වැඩි කළ විට බඩු මිල ඉහළ යාමට හේතු වන්නේ එම වැඩි කිරීමම නොවේ. රජය විසින් එසේ එකතු කර ගන්නා මුදල් නැවත කිසියම් පිරිසක් වෙත සම්ප්‍රේෂණය වී, ඔවුන්ගේ ආදායම් වැඩි වී රටේ සමස්ත ඉල්ලුමද ඉහළ යාමයි. එහෙත්, කණගාටුවට කරුණ වන්නේ වැට් වැඩි කිරීමට එරෙහි වන පිරිස්ම, රජයේ වියදම් වැඩි කරවන ඉල්ලීම්ද දිගින් දිගටම කිරීමයි.

රජය බදු පනවන්නේ සිය වියදම් ආවරණය කර ගැනීමටය. බදු මඟින් මේ වියදම් ආවරණය කර ගැනීම වඩා පාරදෘශ්‍ය ක්‍රමයකි. එමඟින් බඩු මිල ඉහළ යා හැකිය.

රජයේ වියදම් එසේම පවතිද්දී ඉහළ දැමූ බද්දක් නැවත පහත හෙළූ විට හෝ ඉවත් කළ විට කුමක් සිදු වේද? මෙය දේශපාලනික වශයෙන් ජනප්‍රිය කටයුත්තක් විය හැකිය. එහෙත්, බද්ද අහෝසි කළ පමණින් එය පැනවීමට මුල් වූ රජයේ ආදායම් වියදම් පරතරය වෙනස් නොවේ. ප්‍රායෝගිකව මේ අඩුව පිරවෙන්නේ එතරම් පාරදෘශ්‍ය ක්‍රමයක් නොවන 'සල්ලි අච්චු ගැසීමෙනි'.

සල්ලි අච්චු ගැසීම හෙවත් මහ බැංකුවට රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලෙවි කිරීම සිදු කර ලැබෙන ආදායම වියදම් කළ විට සිදු වන්නේද රටේ කිසියම් සීමිත පිරිසකගේ ආදායම් වැඩි වී, සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමයි. ඒ නිසා, වැට් බද්ද අඩු හෝ අහෝසි කළ විට සිදු වේයැයි පෙනෙන භාණ්ඩ හා සේවාවන්හි මිල අඩු වීම මායාවක් පමණි.


(Image: www.hirunews.lk)

2 comments:

  1. වෛද්ය බාහිර රෝගී සේවා සඳහා වැට් බද්ද අය නොකල යුතුය. අනෙකුත් සියලු බාන්ඩ හා සේවා සඳහා වැට් බද්ද 25% කට ඉහල නැන්විය යුතුය.

    යහපාලන රජයේ නොහැකියාව මෙයින් වැඩිපුර පෙනෙනා නිසා ස ර ස තුමා වැට් බද්ද වැඩි වෙනවාට කැමතිය!

    ReplyDelete
    Replies
    1. බදු මඟින් අයවැය හිඟය පියවා ගන්නා විට රජයක ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය වෙනවා. මුදල් මුද්‍රණය කිරීමෙන් එයම කළ විට එය එක්වරම පෙනෙන්නේ නැහැ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.