Saturday, March 25, 2017

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම ප්‍රමාණවත්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (මාර්තු 25) සිට ක්‍රියාත්මක වන පරිදි සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25 බැගින්, එනම් 0.25% බැගින් ඉහළ නංවා තිබේ. මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7.25% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.75% දක්වාත් ඉහළ නංවා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සියළුම පොලී අනුපාතික කිසියම් ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියන්නේ කුමක්ද?

රටක පොලී අනුපාතික ව්‍යුහය (ඵලදා වක්‍රය) සෘජුව පාලනය කිරීමේ හැකියාවක් සෑම රටකම වාගේ මහ බැංකුවකට තිබේ. ඒ බැඳුම්කර වෙන්දේසි ආදිය හරහා නොවේ. මහ බැංකුව විසින් රජය වෙනුවෙන් බැඳුම්කර නිකුත් කිරීම හා අදාළ පොලී අනුපාතික තීරණය කිරීම ලංකාවේ සුවිශේෂී තත්ත්වයක් මිස සාමාන්‍ය තත්ත්වය නොවේ. එහෙත්, මහ බැංකුවක් ඇති රටක එම මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යොදාගනිමින් රටේ අනෙකුත් පොලී අනුපාතික වක්‍ර ලෙස පාලනය කිරීම සාමාන්‍ය දෙයකි.

රටක ජීවත් වන පුද්ගලයින් මෙන්ම ආයතනද විසින් විවිධ පරිණත කාල සඳහා ණය ලබාගැනීම හා එසේ ණය ලබාදීම සාමාන්‍ය තත්ත්වයකි. ලංකාවේ මූල්‍ය වෙළඳපොළෙහි මෙසේ ණය ලබාදෙන හා ණය ලබා ගන්නා දිගම කාලය වසර තිහක් ලෙස සැලකිය හැකිය. මේ වන විට බොහෝ දෙනා කතා කරන බැඳුම්කර සිදුවීමේදී රජය ණය ලබාගත්තේ වසර තිහක කාලයක් සඳහාය.

අනෙක් පැත්තෙන් ණය ලබා දෙන හා ලබාගන්නා කාලය එක් දිනක් තරම් කෙටි විය හැකිය. ඇතැම් විට දවස තුළ පැය කිහිපයක් සඳහා ණය ලබාගැනීමද සිදුවේ.

පොළේ හෝ පදික වේදිකාවේ වෙළඳාම් කරන බොහෝ අය එය කරන්නේ දවසේ පොලියට ණය ලබාගනිමින් බව ඒ සමාජ ස්ථරය ගැන දන්නා අය නොදැන සිටින්නට විදිහක් නැත. මේ වෙළඳපොළෙහිදී එක් දින ණය වෙනුවෙන් එවැනි වෙළෙන්දෙකු විශාල පොලී අනුපාතිකයක් ගෙවිය යුතුය.

වාණිජ බැංකු හා රාජ්‍ය සුරැකුම්පත් ප්‍රාථමික ගණුදෙනුකරුවන් වැනි මූල්‍ය වෙළඳපොළෙහි දැවැන්ත ආයතන අතරද ඉතා පුළුල් හා සක්‍රිය එක් දින ණය වෙළඳපොළක් තිබේ. ඒක්ෂණ මුදල් වෙළඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් ප්‍රති විකුණුම්/ ප්‍රති මිලදී ගැනීම් වෙළඳපොළ ලෙස මේ එක්දින ණය වෙළඳපොළෙහි ප්‍රධාන කොටස් දෙකක් ඇති අතර ලෙස මේ කොටස් දෙකේම සාමාන්‍ය පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පාලනය කිරීම මඟින් සෘජුව පාලනය කළ හැකිය.

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු වාණිජ බැංකුවකට තමන් සතුව ඇති අතිරික්ත අරමුදල් එක් දිනකට මහ බැංකුවේ තැන්පත් කිරීමෙන් ලබාගත හැකි පොලී අනුපාතිකයයි. මේ පොලී අනුපාතිකය 'සහතික පොලී අනුපාතිකයක්' බැවින් ඊට වඩා අඩු පොලී අනුපාතිකයකට වෙනත් අයෙකුට ණය දීමට කිසිදු බැංකුවක් නොපෙළඹේ. ඒ නිසා, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යනු එක්දින ණය වෙළඳපොළෙහි සාමාන්‍යයෙන් පැවතිය හැකි අවම පොලී අනුපාතිකයයි.

මේ අයුරින්ම, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු වාණිජ බැංකුවකට තමන්ට අවශ්‍ය හිඟ අරමුදල් එක් දිනකට මහ බැංකුවෙන් ණයට ලබාගත හැකි පොලී අනුපාතිකයයි. මේ පොලී අනුපාතිකයද 'සහතික පොලී අනුපාතිකයක්' බැවින් ඊට වඩා වැඩි පොලී අනුපාතිකයකට වෙනත් අයෙකුගෙන් ණය ලබාගැනීමට කිසිදු බැංකුවක් නොපෙළඹේ. ඒ නිසා, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය යනු එක්දින ණය වෙළඳපොළෙහි සාමාන්‍යයෙන් පැවතිය හැකි උපරිම පොලී අනුපාතිකයයි.

වෙළඳපොළෙහි එක්දින ණය ඉල්ලුම හා සැපයුම සමතුලිතව ඇති විටෙක සාමාන්‍ය එක්දින පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර මැද අගයක පවතින අතර ණය දෙන්නන්ට මෙන්ම ණය ගන්නා ආයතන වලටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති අනුපාතික වලට වඩා වෙළඳපොළ පොලී අනුපාතික වාසිදායකය. ඒ නිසා, රටේ මූල්‍ය ආයතන වලට හැම තිස්සේම මහ බැංකුවට දුවන්නට නොවෙනවාක් මෙන්ම පොලී අනුපාතික විශාල ලෙස උච්ඡාවචනය වීමද වැළකේ.

රටේ එක්දින ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩි වූ විට පොලී අනුපාතික ක්‍රමයෙන් ඉහළ යයි. මේ පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ මට්ටමට ඉහළ ගිය විට මේ අමතර ඉල්ලුම සැපයෙන්නේ මහ බැංකුවෙනි. මහ බැංකුවෙහි තැන්පත් කරන අරමුදල් ප්‍රමාණයට වඩා මහ බැංකුවෙන් ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ ගිය විට රටේ මුදල් සැපයුම වැඩිවන අතර එය උද්ධමනයට හේතු වේ. මෙය පාලනය කරගත හැක්කේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමෙනි.

පසුගිය පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ලංකාවේ උද්ධමනය 8.2% දක්වා ඉහළ ගියේය. මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ රටේ ආර්ථිකය පිළිබඳ දර්ශක ගණනාවක් පුළුල් ලෙස විමර්ශනය කරමින් වුවත්, මේ අවස්ථාවේදී පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුව විසින් ගත් තීරණය සඳහා වැඩිම තල්ලුවක් ලබාදෙන්නට ඇතැයි සිතිය හැක්කේ නැඟී එන උද්ධමන පීඩනයයි.

උද්ධමනය 8.2%ක් ලෙස පැවතෙනු යනු අද රුපියල් 100කින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට තවත් වසරකට පසු ඔබට රුපියල් 108.20ක් අවශ්‍ය වන බවයි. ඒ නිසා ඔබේ වසරක තැන්පතුවකට රුපියල් 8.2%කට වඩා අඩු පොලී අනුපාතිකයක් ලැබේනම් සැබැවින්ම ඔබට ලැබෙන දෙයක් නැත. එමෙන්ම යම් හෙයකින් ඔබට 8.2% නොඉක්මවන පොලී අනුපාතිකයකට අද ණය ලබාගත හැකිනම් ඇත්තටම ඔබ ආපසු ගෙවන්නේ ගත් මුදලට වඩා අඩු මුදලකි. ඒ, එම මුදලින් අගය අඩු නොවන භාණ්ඩයක් මිලදී ගෙන (රන් වැනි) වසරකට පසුව විකුණා පොලියත් සමඟ ණය මුදල ආපසු ගෙවීමට ඔබට හැකි වන බැවිනි.

උද්ධමනය ඉහළ යනවිට ඒ හා සමානුපාතිකව නාමික පොලී අනුපාතික ඉහළ නොයයිනම් ණය ඉල්ලුම ඉහළ යන අතර ණය සැපයුම අඩුවෙයි. එවිට, මේ අඩුව පුරවන්නට වෙන්නේ මහ බැංකුවටය. ඒ අළුතින් මුදල් සංසරණයට එකතු කරමිනි. මෙහි ප්‍රතිඵලය වන්නේ උද්ධමනය නැවත වටයකින් තවත් ඉහළ යාමයි. එය වලක්වාගත හැක්කේ මහ බැංකුවේ පොලී අනුපාතික 'අවශ්‍ය මට්ටමට' ඉහළ දැමීමෙනි.

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමා ඇතත් අවශ්‍ය තරමට පොලී අනුපාතික ඉහළ දමා ඇති බවක් නොපෙනේ. පසුගිය මාසයකට ආසන්න කාලය මුළුල්ලේම ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික පැවතියේ  මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වූ 8.5% මට්ටම ආසන්නයේය. බරිත සාමාන්‍ය ප්‍රතිමිලදී ගැනීම් අනුපාතික තිබුණේ ඊටත් තරමක් ඉහළිනි. මෙයින් අදහස් වන්නේ එක්දින ණය වෙළඳපොළෙහි ඉල්ලුම හා සැපයුම සමතුලිත වන පොලී අනුපාතිකය 8.5% ඉක්මවූ බව හා මහ බැංකුව විසින් එම අනුපාතිකය කෘතීම ලෙස පාලනය කරගෙන සිටි බවයි.

මේ අනුව, පසුගිය සති කිහිපය මුළුල්ලේ වාණිජ බැංකු ඇතුළු මූල්‍ය ආයතන විසින් මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම විශාල ලෙස ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සිතිය හැකිය. මේ වන විට තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9.5%පමණ ඉහළ මට්ටමක පැවතීම තුළ මේ තත්ත්වය තේරුම් ගන්නට බැරිකමක් නැත. වාණිජ බැංකුවකට 9.5% පොලී අනුපාතිකයක් ලබමින් තෙමස් භාණ්ඩාගාර බිල්පතක සිය අරමුදල් ආයෝජනය කර, නැවත එම භාණ්ඩාගාර බිල්පත ඇපයට තබමින් මහ බැංකුවෙන් 8.5%ක පොලියකට ණය ලබාගැනීමට හැකිව තිබීම තුළ ඇතිවී තිබුණේ විශාල මූල්‍ය වෙළඳපොළ අක්‍රමිකතාවයකි (anomaly).  මේ තත්ත්වය තවමත් එසේම පවතී.

මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.75% දක්වා ඉහළ නැංවීමෙන් පසුව එක්දින පොලී අනුපාතිකද එම මට්ටමේම පැවතීමෙන් පෙනෙන්නේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ඵලදායී නොවන බවයි. මෙම පහසුකම ලබාගන්නා ආයතන වලට මහ බැංකුවෙන් අඩුපොලියට ලබාගන්නා ණය වැඩි පොලියකට රජයට ලබාදීමේ අවස්ථාව මේ හරහා තවමත් උදාවී තිබේ.

අවශ්‍ය ප්‍රමාණයට පොලී අනුපාතික ඉහළ නොදැමීම පසුගිය රජයේ මුල් කාලයේදීද මහ බැංකුව විසින් සිදුකළ අසාර්ථක පරීක්ෂණයකි. එහි මිල වසර කිහිපයකට පසු ගෙවන්නට සිදු විය. පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ යන්නට ඉඩ නොදීම තුළ රටේ ණය ඉල්ලුම ඉහළ යයි. වාහන ණය පහසුකම් සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත්තේ ඒ හේතුවෙනි.

පසුගිය කාලයේ සිදුවූවාක් මෙන් 'පරක්කු වැඩිවන්නට පෙර' මහ බැංකුව විසින් සිය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, ඒක්ෂණ වෙළඳපොළ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා ඉහළින් පවතින පරිදි පොලී අනුපාතික ව්‍යුහය නිවැරදි කළ යුතුය.


(Image: http://www.news.lk)

6 comments:

  1. ඉකෝන්....මේ පොලී අනූපාතිකය කීයට වගේ ඉහල යයිද?

    මම වෙනස් වන පොලී අනුපාතිකයකට ණය අරං කෙලවගෙන ඉන්නේ.......ණය එකවර ගෙවලා දාන්න පුලුවන් උනත් මුන්ගේ වදින පැනල්ටී ෆී එක හින්දා ඒක කලත් පාඩුයි.....

    පෙරේදා මහබැංකු අධිපති කිව්වා හම්බන්තොට සල්ලි ආවෝත් ටිකක් අල්ලන් ඉන්න පුලුවන්....ඒ ආවත් කොහොමත් රුපියල පොඩ්ඩ පොඩ්ඩ ඩිප්‍රිශියෙට් කරනවා කිව්වා..

    රිපියෙල ඩිප්ර්ශියෙට් වෙන් එකෙයි, අභ්‍යතර පොලී අනුපාතියයි අතරත් සම්භන්ධයක් තියෙනවද

    ReplyDelete
    Replies
    1. රජය හා මහ බැංකුව විසින් ගන්නා තීරණ මූලධර්ම මත පුරෝකථනය කළ නොහැකි හා අවිනිශ්චිත නිසා පොලී අනුපාතික කොපමණ ඉහළ යයිද කියන එක කියන්න අමාරුයි. තවත් ප්‍රතිශත අංක කිහිපයක්නම් ඉහළ යයි කියා සිතන්න පුළුවන්. අනෙක් අතට මේ වෙලාවේ රජය හා මහ බැංකුවට පොලී අනුපාතික ඉහළ යාම වලක්වා ගැනීමට ඇති අවශ්‍යතාවයත් පැහැදිලිවම පේනවා.

      විණිමය අනුපාතික හා පොලී අනුපාතික අතර තිබෙන සම්බන්ධතාවය සංකීර්ණ එකක්. ඒ වුණත් දැනට තිබෙන තත්ත්ව යටතේ හම්බන්තොට සල්ලි ලැබුණොත්, රජයේ අරමුදල් ප්‍රශ්නයත් රටේ විදෙස් විණිමය ප්‍රශ්නයත් තාවකාලිකව යටපත් වන නිසා රුපියල මත වන පීඩනය වගේම පොලී අනුපාතික මත ඇති පීඩනයත් තරමක් අඩුවෙයි.

      Delete
  2. දැනටත් සමහර බැංකු 12% වගේ පොලියක් ස්ථිර තැන්පත් වලට ගෙවන්නේ ඇයි ? මහ බැංකුවෙන් 8,75කට ගන්න පුලුවන් නම්?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවෙන් 8.75% පොලියට දවස් පදනමට අරමුදල් ලබා ගත හැකි වුවත් ඒ සඳහා ඇපකර ලෙස භාණ්ඩාගාර බිල්පත් තැබිය යුතුයි. මේ දිනවල භාණ්ඩාගාර බිල්පත් පොලිය 10-11% මට්ටමේ ලෙස සැලකුවොත් බැංකුවකට 1-2%පමණ ලාභයක් තියෙනවා. අනෙක් අතට රටේ තිබෙන පෞද්ගලික ණය ඉල්ලුම ඉතා විශාල නිසා 12% පොලී ගෙවමින් ලබා ගන්නා අරමුදල් ඊට වඩා වැඩි මාර්ජින් එකක් තියාගෙන පහසුවෙන් ණය ලෙස ආපසු දෙන්න පුළුවන්.

      Delete
  3. මේ පොලී අනුපාත ඉහළ යන බව නිවේදනය කරපු සිකුරාදා හමුවූ රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙක් පැවසුවේ පොලි අනුපාත මහා බැංකුව විසින් ඉහල දැම්මත් එය තම බැංකුවට එන්න සති දෙකක් පමණ ගත වෙන බවයි.දැන් 16.5% තමයි එම බැංකුවේ වසර පහකින් ගෙවන පෞද්ගලික ණය සඳහා වන පොලි අනුපාතය.ඔහු පැවසු පරිදි අනිකුත් වාණිජ බැංකු වලට වඩා අඩු පොලි ප්‍රතිශතයක් තමයි ඔවුන්ගේ බැංකුව අය කරන්නේ පෞද්ගලික ණය සඳහා.

    ReplyDelete
    Replies
    1. මේ කියනවා ඇත්තේ අදාළ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය විසින් මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පසුව මෙම බැංකුව විසින් සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව (පොලී අනුපාතික වැඩි කිරීම වැනි) ශාඛා කළමණාකරුවන්ට දැනුම් දීමේදී සිදුවන ප්‍රමාදය ගැන විය යුතුය. මහ බැංකු පොලී අනුපාතික ඉහළ දැමීම අමුතුවෙන් දැනුම් දිය යුතු හෝ දැනගැනීමට කල් ගත වන කරුණක් නොවේ.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.