Monday, April 17, 2017

ආර්ථික වර්ධනය, බදු හා සහනාධාර

පසුගිය 2016 වසරේදී ලංකාවේ ආර්ථික වර්ධනය 4.4%ක් විය. මේ ආර්ථික වර්ධනය යනු වසර තුළදී දළ දේශීය නිෂ්පාදිතය හෙවත් එකතු කළ අගය වැඩි වීමයි. මේ එකතු කළ අගය ගණනය කරන්නේ එක් එක් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදිත වල අවසන් වෙළඳපොළ අගයෙන් එහි අමුද්‍රව්‍ය වියදම් අඩු කිරීමෙනි.

කෙසේවුවද රජය විසින් ලබාදෙන සහනාධාර නිසා මේ අමුද්‍රව්‍ය වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් ලැබේනම් මේ වෙනසට හේතුව අගය එකතු වීමක් නොවීමට පුළුවන. ඒ නිසා, නියම ආර්ථික වර්ධනය ගණනය කිරීමටනම් එවැනි සහනාධාර වල වටිනාකම අඩු කළ යුතුය.

අනෙක් අතට, රජය මඟින් අය කරන බදු නිසා අමුද්‍රව්‍ය සඳහා වැඩි මිලක් ගෙවන්නට සිදු වී ඇත්නම් සැබෑ එකතු කළ අගය නොපෙනී යන්නට පුළුවන. ඒ නිසා අමුද්‍රව්‍ය සඳහා ගෙවූ බදු මුදල් එකතු කළ අගයට එකතු විය යුතුය.

පසුගිය වසරේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල එකතු කළ අගයට බදු මුදල් එකතු කර, සහනාධාර මුදල් අඩු කර දළ දේශීය නිෂ්පාදිතය ගණනය කර ඇත්තේ පහත සඳහන් පරිදිය.



11 comments:

  1. මේක උදාහරණ කීපයක් සමඟ පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා. දැන් දල දේශිය නිශ්පාදනයෙන් 6% අධ්‍යාපනයට වැය කලයුතුයි කියල පහුගිය කාලේ ව්‍යාවාරයක් ගෙනගියා නේද නිර්මාර් දේවසිරිලා . මේක කොහෙමද තාක්‍ෂණිකව පැහැදිලිකල හැක්කේ ?

    ReplyDelete
    Replies
    1. රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක්වත් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීම නරක අදහසක් නෙමෙයි. නමුත්, මේ අය මෙයින් අදහස් කරන්නේ රජය විසින් එය කළ යුතු බවයි. එය විහිළු අදහසක්. 2015දී රජයේ බදු ආදායම ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 12.1%යි. 2014 දී 10.1%ක් පමණයි. දැන් මේ කියන විදිහට රජයේ බදු ආදායමෙන් 50-60%පමණ අධ්‍යාපනය සඳහා වියදම් කළ යුතුයි. එය කළ හැකි දෙයක් නෙමෙයි. රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන කොටසට ඔබ ඔබේ දරුවා වෙනුවෙන් අරන් දෙන පෑන, පැන්සලේ සිට හැම වියදමක්ම අයිතියි. මෙය වැඩි කිරීම තනි පුද්ගලයින් විසින් කළ යුතු දෙයක්. නමුත්, මේ ඉල්ලීම කරන බොහෝ දෙනා අනුපාතය වැඩි වීමට හේතුවෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ආදියට විරුද්ධයි පමණක් නෙවෙයි ඒවා රජයට ගත යුතුයි කියාත් සිතනවා. එසේ කිරීමේ ප්‍රතිඵලය වන්නේ මේ අනුපාතය තවත් පහත වැටීමයි.

      Delete
    2. ස්තුතියි . ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාදි ගත්ත අය මේවා දන්නැද්ද නැත්නම් ජනතාව මුලාකොට දේශපාලන වාසි ගන්න හදපු සටන්පාඨද ?

      Delete
    3. ස්තුතියි . ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාදි ගත්ත අය මේවා දන්නැද්ද නැත්නම් ජනතාව මුලාකොට දේශපාලන වාසි ගන්න හදපු සටන්පාඨද ?

      Delete
  2. බදු වශයෙන් අය කරගෙන තියෙන 9.8% ට දඩ ආදායමත් ඇතුලත් වෙනවාද ?

    ReplyDelete
    Replies
    1. මම දන්නා තරමින් ඇතුළත් වන්නේ නැහැ.

      Delete
  3. එකිනෙක ආසන්න නොවන වසර දෙකක(2005,2015) ආර්ථියක පිලිබඳ සැසදීමට ආර්ථික වර්ධන වේගය භාවිතා කිරීම නිවැරදිද?

    එම නිර්ණායකය රටක පෙර වසරට සාපේක්ෂ වර්ධනය පමණක් පෙන්වනවා නේද? (රටවල් දෙකක් සැසදීම)
    ආර්ථික වර්ධනය ශුන්‍ය හෝ ඍන වීම බරපතල තත්වයක්ද?

    ReplyDelete
    Replies
    1. //එකිනෙක ආසන්න නොවන වසර දෙකක(2005,2015) ආර්ථියක පිලිබඳ සැසදීමට ආර්ථික වර්ධන වේගය භාවිතා කිරීම නිවැරදිද?//
      වැරැද්දක්ම කියන්න බැරි වුණත් එවැන්නක් කළ යුත්තේ සැලකිල්ලෙන්. සෘජුවම අංක දෙක සැසඳීම සරල වැඩියි. අනෙකුත් තත්ත්වයන් සමඟ එකට ගෙන මේ සැසඳීම කළ යුතුයි. ආර්ථික වර්ධනය දිගුකාලීන දෙයක් නිසා වසර කිහිපයක්වත් සාමාන්‍යය සැසඳීම වඩා නිවැරදියි.

      //එම නිර්ණායකය රටක පෙර වසරට සාපේක්ෂ වර්ධනය පමණක් පෙන්වනවා නේද? (රටවල් දෙකක් සැසදීම)//
      මම හිතන්නේ ඔබ අහන්නේ මෙය පසුගිය වසරේ ගණනට සාපේක්ෂ නිසා මේ සැසඳීම වැරදිද කියන එක වගේ. එහි වැරැද්දක් නැහැ. සාමාන්‍යයෙන් ආර්ථිකය වර්ධනය වෙන්නේ දැනට පවතින තැනට සාපේක්ෂව.

      //ආර්ථික වර්ධනය ශුන්‍ය හෝ ඍන වීම බරපතල තත්වයක්ද?// විශේෂ හේතුවක් නිසා එක් වසරක් හෝ දෙකක් තුළ ආර්ථික වර්ධනය ශුන්‍ය හෝ යාන්තමින් සෘණ වීම බරපතල තත්ත්වයක්ම කියන්න බැහැ. ඒ විශේෂිත තත්ත්වය ඉවත් වූ පසු බොහෝ විට අඩු වූ ටිකත් සමඟම වර්ධනය වන නිසා දිගුකාලීන හානියක් නැති වෙන්න පුළුවන්. එහෙත්, ග්‍රීසියේ මෙන් ඉතා විශාල ලෙස වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක්. ලංකාවේ දැන් වෙනවාක් මෙන් ආර්ථික වර්ධනය මන්දගාමී වීම එවැනි කඩා වැටීමකට වඩා බෙහෙවින්ම හොඳයි.

      Delete
    2. ස්තුතියි පැහැදිලි කිරීමට..

      2015 ආර්ථික වර්ධන වේගය අනුව ඉතියෝපියාව (10.2%) පලවන තැනත්, ඇමෙරිකාව (2.6%) 113වන තැනත් පසුවෙනවා. මෙවැනි රටවල් දෙකක ආර්ථිකය සැසදීමේදී සුදුසු නිර්ණායකය මොකද්ද?

      Delete
    3. ඔබේ ගැටළුව දැන් මට වඩා හොඳින් පැහැදිලියි. මගේ මුල් ප්‍රතිචාරයෙන් මට කියන්න අවශ්‍ය වුනේ වර්ධන වේගය වෙනුවට වැඩි වූ ප්‍රමාණය සැලකීම නිවැරදි නැති බවයි. මම අදහස් කළේ ඔබ එවැන්නක් අදහස් කළ බවයි. ඇත්තටම ඔබ දැන් දකිනවා මෙන් ඇමරිකාවේ (හෝ දියුණු රටක) වර්ධන වේගය ඉතියෝපියාවේ වර්ධන වේගය සමඟ සැසඳිය නොහැකියි. එහිදී අදාළ වන සිද්ධාන්තය සම්පූර්ණයෙන් පැහැදිලි කිරීමට වෙනම ලිපියක් ලියන්න වෙනවා. කෙටි පිළිතුරක් දෙන්න උත්සාහ කරන්නම්.

      රටක ආර්ථික වර්ධනයට හේතුවන සාධක අපට කොටස් තුනකට කාණ්ඩගත කළ හැකියි. ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය ලෙස. මේවායින් පළමු එක වන ශ්‍රමය වැඩි වන විට දදේනි වැඩි වුණත් එය බෙදෙන පුද්ගලයින් ගණනත් වැඩි වන නිසා එක් අයෙකුට පරිභෝජනය කිරීමට (හෝ ආයෝජනය කිරීමට) ලැබෙන පංගුව වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා රටේ ජීවන තත්ත්වය යහපත් වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා බොහෝ රටවල ජනගහණය වැඩි වන්නේ ඉතා සුළු ප්‍රතිශතයකින් බව.

      ප්‍රාග්ධනය වැඩි කිරීමට ඉතිරිකිරීම් වැඩි කළ යුතුයි. එහෙත්, අඩු ආදායම් ලබන රටකට වැඩියෙන් ඉතිරි කරන්න අමාරුයි. ඒ නිසා මෙහිත් සීමාවක් තිබෙනවා. වැඩි ආදායම් ලබන ඇමරිකාව වැනි රටකට දැනට තිබෙන ප්‍රාග්ධනය ඒ මට්ටමේ තියා ගන්නම විශාල අරමුදල් ප්‍රමාණයක් අවශ්‍යයි (උදාහරණයක් ලෙස පරණ පරිගණක වෙනුවට අළුත් ඒවා ගැනීමට). ඒ නිසා එවැනි රටකට වුවත් ශ්‍රමය හෝ ප්‍රාග්ධනය වැඩි කිරීමෙන් දියුණු වෙන්න (මේ යුගයේ) අමාරුයි.

      අද තෙල් වැනි ස්වභාවික සම්පත් විශාල ලෙස තිබෙන රටවල් හැර බොහොමයක් රටවල ආර්ථිකයන් වර්ධනය වෙන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමෙන් ඒ කියන්නේ තියෙන සම්පත්ම (ශ්‍රමය හා ප්‍රාග්ධනය) යොදාගෙන වැඩි නිෂ්පාදනයක් කිරීමෙන්. ඇමරිකාව වැනි දැනටමත් කාර්යක්ෂම රටකට තවත් කාර්යක්ෂම වීම අමාරුයි. ඒ සඳහා ඔවුන් හැමවිටම අළුත් ක්‍රමවේද සොයාගත යුතුයි. ඒ නිසා සංවර්ධිත රටකට වර්ධනය විය හැක්කේ 2%-3% පමණ වේගයකින්.

      නමුත්, අඩු ආදායම් රටකට දියුණු රටවල කාර්යක්ෂම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වඩා වේගයෙන් සංවර්ධනය විය හැකියි. ඔවුන්ට අලුතින් ක්‍රමවේද හොයන්න අවශ්‍ය නැහැ. ජපානය වැනි රටවල් කලකට පෙර බටහිර ක්‍රමවේද අනුගමනය කර වේගයෙන් දියුණු වුවත් දැන් ජපානයට එවැනි වේගයකින් වර්ධනය විය නොහැක්කේ ඒ නිසයි. චීනයේ ආර්ථික වර්ධනය ක්‍රමයෙන් අඩු වෙන්නේත් ඒ නිසා.

      ලංකාව සැසඳිය යුත්තේ ආදායම් හා සමාජ තත්ත්වයන් අතින් ලංකාවට කිට්ටුවෙන් ඉන්න රටවල් සමඟයි.

      පහත ලිපි වලත් තරමක් කිට්ටුවෙන් යන වැඩි විස්තර ලියැවී තිබෙනවා.

      http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_13.html

      http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_25.html

      http://emgesathapaha.blogspot.com/2016/06/blog-post.html

      Delete
    4. ඉතා පැහැදිලියි...

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.