Tuesday, October 16, 2018

රාජපක්ෂ ණය


අද දිනයේ (ඔක්තෝබර් 15) රුපියල තරමක් අධිප්‍රමාණය වී තිබෙනවා. පසුගිය සති කිහිපය මුළුල්ලේ සිදුවුනේ රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වීමයි. එය වැළැක්වීමට රජය වගේම මහ බැංකුවත් විවිධ පියවර ගත්තා. අද සිදු වූ වෙනසට හේතුව වෙළඳපොල සාධක වල ප්‍රතිඵලයක්ද, මහ බැංකු මැදිහත්වීමක්ද, රජය විසින් විදේශ ණයක් ලබා ගැනීමේ ප්‍රතිඵලයක්ද කියා මා දන්නේ නැහැ.

ලංකාව මේ වන විට මුහුණ දෙන ගෙවුම් ශේෂ අර්බුදයට පාර කැපුණේ පසුගිය ආණ්ඩුව කාලයේ බව මා කියා තිබෙනවා. එයට හේතු වුණේ විදේශ ණය අරගෙන වෙළඳපොළට ඩොලර් මුදාහැරීම හරහා රුපියල ඕනෑවට වඩා ශක්තිමත් මට්ටමක තැබීම හේතුවෙන් රටේ අපනයන ආර්ථිකයට වර්ධනය වීමට තිබුණු ඉඩ වසරක් ගණනාවක් තිස්සේ අහුරා දැමීමයි. මේ තත්ත්වය යටතේ ඉන්දියානු හා චීන ආනයන වලින් ලංකාවේ කඩවල රාක්ක පිරෙන්න ගත්තා. රට පුරා දිලිසුණේ ණයට ගත් සමෘද්ධියයි.

ඒ එක්කම පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2004-2014 කාලයේ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස 102.3% සිට 71.3% දක්වා අඩු වුන බවත් අපි දන්නවනේ. එහෙමනම් මේ කතා දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද?

සීසර්ගේ දේ සීසර්ට දිය යුතුයි කියනවනේ. ඒ වගේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වුනු දේ වල හොඳ වගේම නරකත් තිබෙනවා. රටේ ආර්ථිකය හා අදාළව ගත්තොත් හැම හොඳ දෙයක්ම කළේ රාජපක්ෂ ආණ්ඩුව නොවනවාක් වගේම හැම නරක දෙයක්ම කළේත් රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි.

ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය දැන් තියෙන අදියරට ගෙන ගියේ පහුගිය ආණ්ඩුව වුවත්, ලංකාවේ රාජ්‍ය ණය අර්බුදයට වගකිවයුත්තේ රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයි. රාජ්‍ය ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවට ඊට පෙර ආණ්ඩු වලින් උරුම වූවක්. පහුගිය ආණ්ඩුව ලංකාවේ වෙනත් ආණ්ඩු වලට වඩා විශාල ලෙස වැඩි වේගයකින් රාජ්‍ය ණය ප්‍රමාණය වර්ධනය වෙන්න ඉඩ දී නැති බව මම මීට පෙරත් පෙන්වා දී තිබෙන කරුණක්.

රාජපක්ෂ ණය ගැන තවත් විවේචන තිබෙනවා. ලබාගත් ණය ඵලදායී කටයුතු වෙනුවෙන් වැය නොකෙරුණු බව එක් විවේචනයක්. මේ විවේචනය අඩු වැඩි වශයෙන් අනෙක් ආණ්ඩු වලටත් කළ හැකි එකක්. රජයේ ආයෝජන වල ඵලදායීතාව හොයන එක පහසු කටයුත්තක් නෙමෙයි.

ඒ වගේම, රාජපක්ෂ ආණ්ඩුවේ විවේචකයින් විසින් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ සහනදායී ණය වෙනුවට වැඩි පොලියට වානිජ ණය ලබාගත් බවයි. කතාවනම් සම්පූර්ණ ඇත්ත. නමුත්, මගේ අදහස ඔය කාලයේ කවර ආණ්ඩුවක් බලයේ සිටියත් ඔයිට වඩා වෙනස් දෙයක් කරන්න ඉඩ නොතිබුණු බවයි. ලංකාව මැදි ආදායම් තත්ත්වයට ගියාට පස්සේ සහනදායී ණය ලබා ගැනීම අමාරු වීමෙන් පසුව වාණිජ ණය වලට නොයා සිටීම පහසු කටයුත්තක් වුණේ නැහැ.

රාජපක්ෂ ආණ්ඩුව රට ආර්ථික අර්බුදයකට තල්ලු කළේ වැඩිපුර විදේශ ණය ගැනීම හරහා නෙමෙයි. එසේ ගත් ණය යොදාගෙන රුපියල කෘතිමව පහළින් තබා ගැනීම හරහායි. ඔවුන් එසේ කළ බව ඒ කාලයේ ආර්ථිකය මෙහෙයවූ අය දැනටත් පාරම්බාන කරුණක්.

පහුගිය ආණ්ඩු කාලයේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය වැඩි වුනේ නැතත්, මේ සංඛ්‍යාලේඛණය පෙන්වන තරම් පහළට වැටුනේනම් රුපියල කෘතිමව පහළින් තබා ගැනීම නිසයි. මෙය මම සංඛ්‍යාලේඛණ ඇසුරෙන්ම පැහැදිලි කරන්නම්.

දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස රාජ්‍ය ණය අඩු වෙන එක හේතු දෙකක් මත සිදු විය හැකියි. රාජ්‍ය ණය අඩුවීම නිසා හෝ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වීම නිසා. 2004-2014 කාලය තුළ රාජ්‍ය ණය අඩු වුනේ නැහැ.

ඇත්තටම සිදු වුනේ 2004-2014 කාලය තුළ රුපියල් බිලියන 2,140 සිට 7,391 දක්වා 3.45 ගුණයකින් රාජ්‍ය ණය ඉහළ යාමයි. නමුත්, ඔය කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2,091 සිට 10,361 දක්වා 4.96 ගුණයකින් ඉහළ ගියා. වසරකට 13.20%ක සාමාන්‍ය වේගයකින් රාජ්‍ය ණය වැඩි වෙද්දී, 17.36%ක වාර්ෂික වේගයකින් නාමික ද.දේ.නි. ඉහළ ගිය නිසා ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස ගත්තහම රාජ්‍ය ණය 102.3% සිට 71.3% දක්වා පහළ ගියා.

සංඛ්‍යාලේඛණ දිහා බැලුවහම ඉහත කී අඩුවීම දේශීය ණය වලින් වගේම විදේශීය ණය වලිනුත් පෙන්වනවා. දේශීය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා ප්‍රතිශතාංක 13.4%කින් පහළ යන කොට විදේශ ණය ප්‍රමාණය 47.6% සිට 30.0% දක්වා 17.6%කින්ම පහළ ගියා. නමුත්, ඔය දෙවනු කී පහළ යාම දිහා අපි වඩා සැලකිල්ලෙන් බැලිය යුතුයි. මොකද මේ ණය රුපියල් ණය නෙමෙයි. සැසඳීම කරන්නේ ඩොලර් ණය පවතින විනිමය අනුපාතිකය යටතේ රුපියල් වලට හරවලා.

අප විසින් සංසන්දනයට ලක් කළ 2004 හා 2014 වසර වලදී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් වලින් බැලුවොත් මිලියන 9,522 සිට මිලියන 23,755 දක්වා 2.49 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. මෙය 9.57%ක වාර්ෂික වර්ධනයක්. ඔය කාලයේ ඩොලරයේ මිල රුපියල් 104.61 සිට 131.05 දක්වා 1.25 ගුණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ලංකාවේ විදේශ ණය රුපියල් වලින් බැලුවහම 3.13 ගුණයකින් වැඩි වී තිබෙන්නේ මේ කරුණු දෙකේම එකතුවක් ලෙසයි. මෙයින් පැහැදිලි වන පරිදි, ඩොලරයක රුපියල් මිල මීට වඩා වැඩි වුනානම් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ලංකාවේ රාජ්‍ය ණය මීට වඩා වැඩි වෙනවා.

ඉහත සංඛ්‍යාලේඛණ සියල්ලම ගත්තේ මහ බැංකු වාර්තා වලින්. මේ ලිපියේ මතුකර පෙන්වන කරුණට යන්න කලින් රාජ්‍ය ණය ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස බැලීමේ පදනම කුමක්ද කියා අප විමසිය යුතුයි.

සරලව කියනවානම් ද.දේ.නි. කියන්නේ රටක සමස්ත ආදායම. බදු අනුපාතික නියතව තිබුණොත් රටේ ආදායම වැඩි වන විට රජයේ ආදායමත් ඉහළ යනවා. රජයේ ආදායම වැඩිවන විට ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. ඒ නිසා, රටේ (හා රජයේ) ආදායම වැඩි වන අනුපාතයට හෝ අඩු අනුපාතයකින් රාජ්‍ය ණය ඉහළ යාමේ ලොකු අවදානමක් නැහැ.

කොහොම වුනත්, ඉහත තර්කයේ අඩුපාඩු තියෙනවා. රටක ජාතික ආදායම උපයන්නේ වගේම රජය බදු එකතු කරන්නෙත් රටේ ව්‍යවහාර මුදලින්. නමුත්, ලංකාවේ විදේශ ණය රුපියල් ණය නෙමෙයි. ලංකාවේ මහ බැංකුවට රුපියල් මුද්‍රණය කරන්න පුළුවන් වුනත් ඩොලර් මුද්‍රණය කරන්න බැහැ. ඒ නිසා, රජයේ ආදායම් ඉහළ ගියත් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගැනීමේ අමතර ප්‍රශ්නයටත් මුහුණ දෙන්න වෙනවා.

ඇමරිකාවත් චීනය ජපානය වගේ රටවල් වලින් ණය අරගෙන තියෙනවා. නමුත්, ඒ ණය යෙන් ණය හෝ යුවාන් ණය නෙමෙයි. ඩොලර් ණය. ඒ නිසා, ඇමරිකාවට මේ ණය ආපසු ගෙවන්න අමාරුම වුනොත් ඩොලර් මුද්‍රණය කරලා ණය ගෙවන්න පුළුවන්. එහෙම කළොත් ඩොලර් එකේ වටිනාකම අඩු වෙනවා තමයි. ඒ වුණත්, එයින් අන්තිමේදී අමාරුවේ වැටෙන්නෙත් ණය දුන් අයමයි. ඒ අයට ආපසු ලැබෙන ඩොලර් වල යෙන් වටිනාකම නැත්නම් යුවාන් වටිනාකම අඩු වුනොත් ණය දී කළ ආයෝජනයේ පලක් නැති වෙනවා.

ලංකාවේ තත්ත්වය වෙනස්. ලංකාවේ රුපියල අවප්‍රමාණය වන විට වෙන්නේ ණය ආපසු ගෙවන්න ඩොලර් හොයා ගැනීම වඩා වියදම් අධික දෙයක් වීමයි. ඩොලර් වලින් හෝ යෙන් වලින් ණය දුන් අයට ඒ මුදල් වලින්ම ණය එක්කම පොලියත් ආපසු ලැබෙන නිසා අවදානමක් නැහැ.

දැන් අපි ආපහු අප මුලින්ම ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වලට ගියොත්, 2004-2014 අතර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.96 ගුණයකින් ඉහළ ගියා. මෙය 17.36%ක වාර්ෂික වර්ධන වේගයක්.

මතක තියාගන්න අපි මේ කතා කරන්නේ ලංකාවේ නාමික ද.දේ.නි. ගැන. නාමික ද.දේ.නි. කියන්නේ කිසියම් රටක කිසියම් වසරක් තුළ නිපදවන භාණ්ඩ හා සේවාවන් සියල්ලේ වටිනාකම. එය ගණනය කරන්නේ පවතින වෙළඳපොල මිල ගණන් අනුව.

නාමික ද.දේ.නි. හේතු දෙකක් මත වැඩිවන බව මා මීට පෙර පැහැදිලි කර තිබෙන දෙයක්. පළමුවැන්න රටේ නිපදවන භාණ්ඩ හා සේවාවන් ප්‍රමාණය ඉහළ යාම. එයට අපි රටේ මූර්ත ද.දේ.නි. වැඩිවීම එහෙමත් නැත්නම් සරලව ආර්ථික වර්ධනය කියා කියනවා. දෙවැන්න ඒ විදිහට නිපදවන භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ යාම. මෙයට කියන්නේ උද්ධමනය කියලයි. උද්ධමනය නිසාත් රටක නාමික ද.දේ.නි. වැඩි වෙනවා. 

රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ලංකාවේ ආර්ථිකය පිම්මක් පැන්නා. එයට හේතු වුනේ ඒ කාලය තුළ වසර 26ක් පැවති යුද්ධය අවසන් වීම. මේ ගැන විස්තර කර ලියන්න හිටි දේවල් ලියන්න තවමත් වෙලාවක් ලැබුණේ නැහැ.

යුද්ධය අවසන් කරන්න දේශපාලන නායකත්වය සැපයූවේ රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ නිසා, ඒ හේතුවෙන් ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය වීමේ ගෞරවයත් ඒ ආණ්ඩුවට හිමි විය යුතුයි. නමුත්, ඒ හැර ඒ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ද.දේ.නි. කොයි තරම් ඉහළ ගියාද කියන එක විවාදාත්මක කරුණක්. ඒ ගැන කතා කිරීමත් අපි පස්සට තියමු.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ මූර්ත ද.දේ.නි. 1.86 ගුණයකින් ඉහළ ගියා. මෙය 6.39%ක වාර්ෂික වර්ධනයක්. 1977 සිට රාජපක්ෂ යුගය දක්වා ලංකාව පවත්වාගත් සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 5%කට වඩා වැඩි නැති බව මා කලින් පෙන්වා දී ඇති දෙයක්. 

රටේ මූර්ත ද.දේ.නි. ඉහළ යන විට රජයේ බදු ආදායම් ඉහළ ගිහින් ණය ගෙවීමේ හැකියාව ඉහළ යාම අපේක්ෂා කළ හැකි දෙයක්. රාජපක්ෂ දශකයේදී රජයේ බදු ආදායම් ඒ ආකාරයටම ඉහළ නොගිය නමුත් ඒ ගැන කතා කිරීමත් අපි පසුවට තියමු.

ඉහත ආකාරයෙන් ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය දශකයක් තුළ 1.86 ගුණයකින් ඉහළ යද්දී ඒ භාණ්ඩ හා සේවාවන් වල මිල 2.67 ගුණයකින් ඉහළ ගියා. ඒ කියන්නේ 10.31%ක සාමාන්‍ය උද්ධමන වේගයක් මේ කාලයේදී පැවතුණා. නාමික දදේනි වර්ධනය කියන්නේ ආර්ථික වර්ධනයේත් උද්ධමනයේත් සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. නාමික දදේනි 4.96 ගුණයකින් ඉහළ ගියේ ඔය විදිහටයි.

දැන් මෙයින් පෙනෙනවා ඇති රටක උද්ධමනය ඉහළ යන තරමට දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය පහළ යන බව. ඒ වගේම අලුතින් මුදල් මුද්‍රණය කරන තරමට රටක උද්ධමනය ඉහළ යනවා කියන එකත්  මෙහි පළවන ලිපි දිගටම කියවන අය නොදැන ඉන්න විදිහක් නැහැනේ. රාජපක්ෂ දශකයේදී රාජ්‍ය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 71.3% දක්වා අඩු වූ බව නිරීක්ෂණය කරන්නෙකුට මේ කරුණ බැහැර කරන්න බැහැ.

උද්ධමනය හේතුවෙනුත් නාමික දදේනි වැඩි වනවානම් දදේනි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය ගණනය කිරීමේ අවුලක් නැද්ද?

ඇත්තටම නැහැ. රටේ ආර්ථිකය වර්ධනය නොවී මිල ගණන් පමණක් වැඩි වුනත් රජයට ලැබෙන බදු මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මොකද බදු අය කරන්නේ පවතින මිල ගණන් යටතේ ප්‍රතිශතයක් ලෙස නිසා. ඒ නිසා, රජයේ ණය ගෙවීමේ හැකියාවත් ඉහළ යනවා. එහෙම බලද්දී රටේ උද්ධමනය වැඩි වීමට අනුපාතිකව රාජ්‍ය ණය ඉහළ යාමේ විශාල අවුලක් නැහැ. (මෙහිත් අවුල් නැත්තේ නැහැ. ඒවා ගැන දැනට කතා නොකර ඉමු.) හැබැයි ඉතින් ඔය කොයි ආකාරයෙන් රජයේ ආදායම් ඉහළ ගියත් මේ සියලු ආදායම් රුපියල් ආදායම් නිසා රට ඇතුළේ ඩොලර් නැත්නම් ප්‍රශ්නයක් වෙනවා.

උද්ධමනය නිසා රුපියලේ වටිනාකම එන්න එන්නම අඩු වෙනවා. 2004දී රුපියල් 100ක් ගෙවා මිල දී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිල දී ගන්න 2014 දී රුපියල් 266.83ක් ගෙවිය යුතු තරමටම ඒ කාලයේදී උද්ධමනය හේතුවෙන් රුපියල පිරිහුණා. ඒ නිසා, 2004 රුපියල් හා 2014 රුපියල් සමාන සේ සැලකීම නිවැරදි නැහැ.

අප කලින් පෙන්වා දුන් පරිදි 2004දී ලංකාවේ දදේනි රුපියල් බිලියන 2,091ක්. 2014දී රුපියල් බිලියන 10,361ක්. නමුත්, 2004 රුපියල් වලින් බැලුවොත් 2014 ලංකාවේ දදේනි රුපියල් බිලියන 3,883ක් පමණයි. එය 10,361ක් සේ පෙනෙන්නේ මිල ගණන් 2.67 ගුණයකින් වැඩි වූ නිසයි.

මේ විදිහටම බැලුවොත් ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය 2014දී රුපියල් බිලියන 4,278ක් වුවත්, 2004 රුපියල් වලින් බැලුවොත් 1,603ක් පමණයි. ඒ කියන්නේ 1.40 ගුණයක වැඩි වීමක්. මෙය ඒ කාලයේදී ලංකාවේ මූර්ත දදේනි වර්ධනය වූ 1.86 අනුපාතයට වඩා අඩුයි. ඒ නිසා, රාජපක්ෂ දශකය තුළ ලංකාවේ රජයේ දේශීය ණය ප්‍රමාණය දදේනි ප්‍රතිශතයක් ලෙස 54.7% සිට 41.3% දක්වා අඩු වුණා කියන එක පැහැදිලි කරුණක්.

විදේශීය ණය දිහා මේ විදිහටම බලන්න බැහැ. ඒ ණය රුපියල් ණය නොවන නිසා උද්ධමනය හේතුවෙන් රජයේ බදු ආදායම් ඉහළ ගියා කියා ණය ගෙවීම පහසු වෙන්නේ නැහැ. 2004දී ලංකාවේ විදේශ ණය ඩොලර් මිලියන 9,522ක්. 2014 වෙද්දී 23,755ක්. 

ලංකාවේ තරමටම නැතත් ඇමරිකාවේත් උද්ධමනය තිබෙනවා. ඒ නිසා, 2004දී ඇමරිකන් ඩොලර් 100කින් මිලදී ගත් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්න 2014දී ඇමරිකන් ඩොලර් 123.39ක් අවශ්‍ය වුනා. මේ අනුව බැලුවහම 2004 සිට 2014 දක්වා ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 9,522 සිට 23,755 දක්වා ඉහළ ගොස් තිබුණත් 2004 ඩොලර් වලින් බැලුවොත් 2014 විදේශ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 19,252ක් පමණයි. වැඩිවීම 2.02 ගුණයක්. එය 7.29% ක වාර්ෂික වර්ධන වේගයක්.

රාජපක්ෂ දශකයේදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.39%ක් වූ බව අප කලින් කිවුවනේ. උද්ධමනයේ බලපෑම ඉවත් කළොත් ඒ කාලයේ දේශීය ණය වර්ධනය වුණේ 3.44%ක වේගයකින්. දදේනි ප්‍රතිශතයක් ලෙස දේශීය ණය පහළ ගියේ ඒ නිසයි. නමුත්, උද්ධමන බලපෑම ඉවත් කිරීමෙන් පසුවත් සාමාන්‍ය විදේශ ණය වර්ධන වේගය ආර්ථික වර්ධන වේගයට වඩා වැඩියි. එයින් පැහැදිලිව පෙනෙන්නේ දදේනි ප්‍රතිශතයක් ලෙස විදේශ ණය අඩුවීම විණිමය අනුපාතිකය පහළින් තබාගැනීම නිසා පෙනෙන මායාවක් පමණක් බවයි. මූර්ත ඩොලර් වලින් බැලුවොත් රාජපක්ෂ දශකය තුළ ලංකාවේ විදේශ ණය දදේනි ප්‍රතිශතයක් ලෙස 47.6% සිට 51.9% දක්වා 4.3%කින් ඉහළ ගිහින්.

විදේශ ණය මේ විදිහට දදේනි ප්‍රතිශතයක් ලෙස 4.3%කින් ඉහළ ගියත් ඔය කාලය තුළ දේශීය ණය ප්‍රමාණය 13.4කින් පහළ ගියානේ. ඒ නිසා, විණිමය අනුපාතිකය පහළින් තබාගැනීමේ බලපෑම ඉවත් කළොත් දදේනි ප්‍රතිශතයක් ලෙස 2014 දී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙන්වන 71.3% සිට 93.2% දක්වා ඉහළ යනවා. නමුත්, එය වුවත් 2004දී වූ 102.3% ප්‍රතිශතයට වඩා අඩුයි. 

මේ කරුණු හරහා මා නැවතත් පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි. වත්මන් ආණ්ඩුව දැන් මුහුණ දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ ගෙවුම් ශේෂ අර්බුදයටයි. ඩොලරයක මිල අවශ්‍ය පමණට ඉහළ යන්න දුන්නොත් වසර දෙක තුනකින් ඒ අර්බුදයෙන් මිදෙන්න බැරිකමක් නැහැ. 

9 comments:

  1. ඉකොනොමැට්ටා මොනවා කිව්වත් වත්මන් ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුවේ නිර්මාණයක්. මේ අර්බුදය ඇති වෙලා තියෙන්නෙ සමස්ත ණය වලින් 8%ක් වූ දිගු කාලීන චීන ණය නිසා නොවේ. එයට ප්‍රධාන හේතුව රාජ්‍ය වියදම් පාලනයකින් තොරව ඉහළ යාම.

    විශේෂ යෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් වු පසු සමෘද්ධ දිමනා දෙන පිරිස දෙගුණ කරා. රාජ්‍ය සේවක වැටුප් 10,000 කින් ඉහළ දැම්මා. මේවා කරේ මහ මැතිවරණයට ඡන්ද ගුණ්ඩු ලෙස. මේ වැඩිවන වියදම් පියවන දිගින් දිගටම බැදුම්කර ගත්තා. (බැදුම්කර හොරකමත් මෙතනදි බලපෑව මොකද පොලි අනුපාත ඉහළ ගිය නිසා. ඒ එක පැත්තක්.)

    ඉහළ යන වියදම පියවා ගන්න හතර අතේ බදු ගහන ගැනීමත්, අනෙක් පැත්තෙන් දේශපාලන අස්ථාවරත්වයත් නිසා ආයෝජකයෝ පිට උනා. USA එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති මෙයට උත්ප්‍රේරකයක් උනත් මුලික ප්‍රශ්නය තිබුනේ රට තුළයි.

    දේශීය නිෂ්පාදනය අඩපණ කරන ප්‍රතිපත්ති නිසා අනෙක් පැත්තෙන් වෙළද ගිහය ඉහළ යාමත් ප්‍රධාන හේතුවක්. මේවා හින්දා විදේශ සංචිත පහළ යන විට දැන් රුපියල පාලනයකින් තොරව පහළ යනවා.

    එමෙන්ම,මොන ආණ්ඩුව නිසා ඇතිවුනත් වර්තමානයේ ඩොලර අර්බුදයක් තියෙනවා. එය විසදාගන්නෙ කොහොමද කියන එකයි දැන් ප්‍රශ්නය. විදි දෙකයි තියෙන්නෙ. එක්කො වියදම් අඩු කරගැනීම. නැත්නම් ආදායම් වැඩි කර ගැනීම. වත්මන් ආණ්ඩුව අනුගමනය කරන අයිඑම්එෆ් ප්ලෑන් එක අනුව මේකෙ වියදම් අඩු කරගැනීම යටතේ තමා යම් යම් සහනාධාර කපා හැරෙන්නෙ හෝ සීමා කෙරෙන්නෙ. ආදායම් වැඩි කරගැනීමට යටතේ තමා බදු වැඩි කෙරෙන්නෙ සහ රජය සතු දේපළ විකිණෙන්නෙ. මේක දැන් අවුරුදු දෙකක් විතර කරගෙන ආවට ගොඩ ඒමක්නං පේන්ඩ නෑ. තවත් වළට වැටීමක් තමා තියෙන්නෙ, ඒ නිසා මේ යන විදිය හරියන්නෙ නෑ. හරියන විදිය මොකක්ද? මා හිතන්නෙ නෑ නාමල්ලා මහින්දලා උනත් මේ ගැන දන්නවා ඇති කියලා. රනිල්ලා සිරිසේනලානං දන්නෙම නෑ. ඒගොල්ල නෙමෙයි ආර්ථිකය හසුරවන්නෙ අයිඑම්එෆ් එකෙන්. නාමල්ලා මහින්දලා උනත් මේව ගැන මොකක් හරි උත්තරයක් දෙන්ඩ තරමටවත් දැනුමක් තිබිය යුතුයි. ඒකවත් නැති එක ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. අයිඑම්එෆ් එක අපිට හොදම දේ තමා කරන්නෙ කියා හිතන එක බොළදයි, කෙසේ වෙතත් අයිඑම්එෆ් එකත් තමන්ගෙ ආයෝජකයන්ට සේවය කරන අන්තර්ජාතික සමාගමක්. ඔවුන් කරන්නෙ එහි ආයෝජනය කරලා තියෙන විදෙස් රටවල් සහ මුල්‍ය ආයතන වලට වඩාත්ම ලාභදායක දේ, ඒක ඕනම ආයතනයක ස්වභාවය. ඒ නිසා ඉස්සරවෙලාම කරන්ඩ ඕන "අයි.එම්එෆ් සරණං ගච්ඡාමි" නැතුව රටේ මුල්‍ය පරිපාලනය ආණ්ඩුව යටතට ගැනීම. ඒක මේ ආණ්ඩුවෙන්නං වෙන්නෙ නෑ. අලුත් ආණ්ඩුවකින් එය විය යුතුයි. ඒක කියන්ඩ එක්කො නාමල්ලාට කොන්දක් නෑ. නැත්තං දන්නෙ නෑ. අයිඑම්එෆ් කොන්දේසිවලට දැනට එකග වෙලා තියෙන දේවල් ගැන උනත් ලංකාව පැත්තෙන් ඉදන් නෙගෝෂියේට් කරන්න ආණ්ඩුවට හැකි විය යුතුයි. ඒකට දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. දැන් ඉන්න අය නං නෙගෝෂියේට් කරන්නෙ ඒ පැත්තටනෙ. වෙළද ගිවිසුම් ගහන්න ගියත් එහෙමයි.

      ඒ නිසා, ඉස්සර වෙලාම වෙන්න ඕන ලංකා රාජ්‍යයට පක්ෂපාතී, ලංකාවෙ ජාතික ආර්ථිකයට පක්ෂපාතී ආණ්ඩුවක් පත් කර ගැනීම. වර්තමානයේ ඉන්නෙ ලංකා රාජ්‍යයට සහ ජාතික ආර්ථිකයට විරුද්ධ ආණ්ඩුවක්, ඒක අවාසනාවට ඇත්ත කතාවක්.

      ඒ දේශපාලන නායකත්වය කොහොම නමුත් ලැබුනා කියා හිතමු. ඉන්පස්සෙ කරන්නෙ මොකක්ද? අවසානයේ තියෙන්නෙ විකල්ප දෙකයි. එක්කො රාජ්‍ය විදයම් අඩු කරගැනීම. නැත්තං රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම. නැත්තං මේ දෙකම. ආදායම් වැඩි කරන්න කියා අයිඑම්එෆ් එක යෝජනා කරන රාජ්‍ය දේපළ විකිණීම කිසිසේත් නොකළ යුතුයි. විශේෂයෙන් ලාබ ලබන හෝ ආදායම් ලැබිය හැකි ආයතන. වරාය විකිණිම ජාතික අපරාධයක් වන්නෙ අනාගතයේ විශාල ආදායම් උපදවිය හැකි තැනක්ව තිබූ නිසා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ගුවන්තොට උනත් දේශපාලනිකව වැදගත් වෙනවා (දේශපාලනයෙන් වියුක්තව ආර්ථිකය ගැන කතා කරන්ඩත් බෑ. බටහිර විශ්ව විද්‍යාලවලත් දැන් political economics යනුවෙන් විෂයක් උගන්වන්නෙ ඒ නිසා).

      නමුත් සමහර පාඩු ලබන ආයතන පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය එක්ක සමව පවත්වා ගැනීමෙන් (PPP - private public partnership) ඒවායෙන් රජයට වන පාඩුව අවම කරගත හැකියි. 51% කොටස් රජය යටතේ තියා ගැනීමෙන් රජයට යම් පාලනයක් එනවා තීන්දු ගැනීමෙදි. පවතින තත්වය අනුව එය පාඩු ලබන හෝ අනාගතයේ ලාබ ලැබිමට අසීරු රාජ්‍ය ව්‍යාපාර සදහා හොද විකල්පයක් විය හැකියි. ගුවන් සේවය පවරාගැනීම මහින්ද යුගයේ වූ විශාල වරදක් වන්නේ මේ නිසා. එයින් රාජ්‍යයට අහිමි වූ මුදල විශාලයි. ඒ වගේම අදටත් එය පාඩු ලබනවා.

      Delete
    2. පාඩු ලබන දුම්රිය වැනි ආයතන තනිකර පුද්ගලික කරණය කිරීම හානි දායක වන්නෙ ඒවා යටිතල පහසුකම් නිසා. එවැනි සේවාවලට අවශ්‍ය විශාල ආයෝජන පුද්ගලික අංශයට කරන්න අමාරුයි. ඒ වගේම ඒවායෙ අරමුණ හුදු ලාභ ලැබීම පමණක්ම නොවේ. සේවාව ගුණාත්මකව ලබා දීමත් අනෙකුත් ආර්ථික ක්‍රියාවලියට වැදගත් වෙනවා. ඒ නිසා වඩාත්ම ප්‍රායෝගික දේ මේවා රාජ්‍ය සමාගම් හෝ රාජ්‍යයට වැඩි අයිතිය ඇති සමාගම් බවට වෙනස් කිරීම. එමගින් කාර්යක්ෂමතාව වැඩි වෙනවා වගේම රජයට වැඩි අයිතිය තියෙන නිසා හුදු කෙටි කාලීන ලාභ ලැබීමේ අරමුණින්ම මේ සේවා ලබා දීම වැළකෙනවා.
      ලංකාවෙ මෙවැනි ආකෘතියක් සාර්ථකව ක්‍රියාත්මක වූ ආයතනයකට උදාහරණයක් SLT එකෙන් 51%ක් කොටස් රජය යටතේ තියාගෙන පුද්ගලික අංශය එක්ක සහයෝගිතාවයකට ගිය එක. රජයේ දෙපාර්තමේන්තුවක් යටතේ එය තිබ්බනං අපිට තාම ඉන්ටනෙට් එකවත් හරියට නෑ. එහෙනං ඒකත් රජයේ පාඩු ලබන ආයතන ගොඩේ තවත් එකක්. අද SLT එකෙන් රජය විශාල ලාභයක් උපයනවා. රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රයත් ඒ හරහා දියුණු වෙලා තියෙනවා.

      ලංකාවෙ මේ වගේ වෙනස්කම් කර මෙවැනි ආකෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කරන්න මාක්ස්වාදී වෘත්තීය සමිති ඉඩ දෙන එකක් නැහැ, නමුත් මේවා නොකර ගොඩ ඒමක් නෑ.

      රාජපක්ෂ (මහින්ද) ලාගෙ ඇති වාමාංශික පොසිල ඉවත් නොකර මේවා කරන්න බෑ, ලාභ ලබන රාජ්‍ය ආයතන උනත් මේ ආකාරයට රාජ්‍ය සමාගම් කිරීම තමා ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කරන්න කළ හැකි හොදම දේ. පුද්ගලික අංශයට ඒවා විකුණන්නේ නැතුව රජයේ ආදායම් වැඩි කරන්න කළ හැකි හොදම දේ, නමුත් අයිඑම්එෆ් එකට අවශ්‍ය මේව කුණු කොල්ලෙට විකුණන එක (firesale). එය රන් බිජු දාන කිකිළිය විකුණං කෑමක්. ඒක අයිඑම්එෆ් එකට ෆන්ඩ් කරන රටවලට සහ මූල්‍ය සමාගම්වලට වාසි ඇති. අපිට පාඩුයි.

      අද අයිඑම්එෆ් එක අනෙක් පැත්තෙන්
      උගන්වන්නෙ බදු ඉහළ දාන එක කරන්න. මේ අමාරු තත්වයෙන් ගොඩ එන්න බදු යම් ප්‍රමාණයකට වැඩි කරන්න වෙන බව ඇත්තයි. නමුත් ස්ථිර බදු ප්‍රතිපත්තියක් නැති එකත්, දේශීය කර්මාන්ත කරන්න බැරි කරන මට්ටමට බදු ගහන එකත් ප්‍රශ්නයක්. බදු ඉතා වැඩි වෙනවා කියන්නෙ ආර්ථික ක්‍රියාවලිය අඩාල වෙනවා කියන එක. එවිට අපේක්ෂිිත මට්ටමට බදු ආදායම එන්නෙත් නෑ. බදු ගහන්න්ත් ආර්ථිකය දුවන්න එපැයි. මේ නිසා හිග මුදල් පියවාගන්න තව තව ණය ගන්න වෙනවා.

      Delete
    3. මේක හරියට ඉකොනොමැට්ටා කියු කුඩුකාරයෙක් තාවකාලික සැපයක් බලාගෙන තව තව කුඩු ගහනවා වගේ වැඩක්. ඒකට ඉතිං අයිඑම්එෆ් එකනං කැමති ඇති. නමුත් ඒකට අපිට පාඩුයි. අමාරුවෙන් හරි රීහැබ් එකකට ගිහින් කුඩු ගැහිල්ලෙන් මිදෙන්ඩ උත්සාහ කරනවා විනා වෙනත් විකල්පයක් නෑ. ඒ නිසා රටේ දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්ත ආරක්ෂා කරන බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒකටත් ඉතිං දේශපාලන නායකත්වයක් අවශ්‍යයි අයිඑම්එෆ් පදයට නටන්නේ නැති.වෙළද ගිගය ලංකාව පෙළන විශාල ප්‍රශ්නයක්. චීනය සහ ඉන්දියාව නිසා තමා අපේ වෙළද ගිහය ඉහළ යන්නෙ. ඒ නිසා ලංකාවෙ නිෂ්පාදනය වෙන භාණ්ඩ සහ සේවා ආරක්ෂා කරන්ඩ රජය මැදිහත් විය යුතුමයි. ඒක චීනය සහ ඉන්දියාව කියන රටවලුත් ඔවුන්ගෙ වෙළදපොල සම්බන්ධයෙන් කරන දෙයක්.

      ඊනියා නිදහස් වෙළද ගිවිසුම් කියන්නෙ කබලෙන් ලිපට වැටීමක්. ඒ නිසා දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරලා ඔවුන්ට විදෙස් වෙළදපොලට යන්ඩ අවශ්‍ය සහයත් දිය යුතුයි. එය කරන්ඩ බෑ දේශීය නිෂ්පාදකයාට දේශීය වෙළදපොලවත් නැත්තං. පැළයක් උඩට මතුවෙන්නෙවත් නැතිව අනෙක් රූස්ස ගස් එක්ක තරග කරන්නෙ කොහොමද? වර්තමාන ආණ්ඩුව තනිකරම විදෙස් රටවලට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් නිසා මේක අලුත් ආණ්ඩුවකින් විය යුතුම දෙයක්. වෙළද ගිහය පාලනය නොකර කිසිම ආකාරයේ දිගු කාලීන විසදුමක් ලැබෙන්නෙ නෑ.

      අමාරුම එක එන්නෙ අන්තිමට, ඒ රාජ්‍ය විදයම් පාලනය. මේකට රාජපක්ෂ ආණ්ඩුවත් වගකිව යුතුයි. ඔවුන්ගෙ තියෙන සමාජවාදී නෂ්ටාවශේෂ මේවට බලපානව. උදා ලෙස උපාධිධාරිීන්ට රැකියා දෙනවා කියා කිසිම වැඩක් නැතුව ඔහේ රාජ්‍ය සේවයට බදවාගැනීම් වගේ දේවල්වලින් රාජ්‍ය වියදම් ඉහළ ගියා. නමුත් රාජ්‍ය සේවයේ බොහෝ අත්‍යවශ්‍ය ඉහළ තනතුරු පුරප්පාඩු වෙලා. මේකෙන් රාජ්‍ය වියදම් වැඩි වෙනවා විතරක් නොවේ රාජ්‍ය සේවයත් බිද වැටෙනවා. සමෘද්ධිය වැනි දේවලට වැය කරන අති විශාල වියදමෙන් වැඩක් වෙනවද කියන එක ප්‍රශ්නයක්. මේ සහනාධාර ලැබෙන්නෙත් බොහෝ විට ඒව අවශ්‍ය නැති අයට. නමුත් මේවට අත තියන එක දේශපාලනිකව පාඩුයි. මොකද හැමදේම ආණ්ඩුවෙන් නිකං (නිකං කිව්වට අනෙක් අයගෙන් බදු ගහලා සහ පිටරටවලින් ණය අරන්) ආණ්ඩුවෙන් කරලා දෙයි කියා ජනතාව හිතන විට. අධ්‍යාපනය සහ සෞඛ්‍යයට වුනත් රජයට දැරිය හැකි මුදල සීමා සහිතයි. නමුත් බහුතරයකගේ සුබසිද්ධිය උදෙසා මේවා දිගටම පවත්වාගෙන යා යුුතුයි. හැබැයි පුද්ගලික අංශයටත් ඒ ක්ෂේත්‍රවල ආයෝජනයට අවස්ථා දිය යුතුයි. එයින් රාජ්‍යයට ඇති බර අඩු කරන්ඩ පුළුවන්.

      Delete
    4. යළි පොහොර සහනාධාරය දුන්නොත් එයට විශාල මුදලක් වැය වෙනවා. අනෙක් පැත්තෙන් එහි ප්‍රතිලාභයකුත් තියෙනවා. නමුත් මේ මුදල විදේශ පොහොර සමාගම්වලට කුට්ටිය පිටින් දෙන්නෙ නැතුව අඩුම තරමින් ඒ මුදල් නැවත දේශීයව පොහොර නිෂ්පාදනයට ආයෝජනය කරන්ඩ කියා හෝ පොළඹවන්ඩ රජයට බැරිද? කොහොම වෙතත් පරිසරය සහ සෞඛ්‍යය පැත්තෙන් හිතුවත් පෝර සහනාධාරය කියන්නෙ හැකි ඉක්මනින් නිදහස් විය යුතු උගුලක්. නමුත් මහින්දලාගෙ ජනප්‍රියවාදී සමාජවාදී කතිකාවට අනුව මේ උගුලට කැමැත්තෙන්ම හිර වෙන සම්භාවිතාව වැඩියි. තිරිගු පිටි ‘සහනාධාරය‘ හෝ කිරිපිටි ‘සහනාධාර‘ කියන්නෙත් ඊටත් වඩා දරුණු උගුල්. අඩුම ගානෙ පෝරවලින්නං නිෂ්පාදනය හෝ වැඩි වෙනවා. නමුත් ඉහත කී සහනාධාර කියන්නේ ආණ්ඩුව බදු සහ ණය වලින් ගන්න මුදල්වලින් විදේශීය සමාගම්වලට ගෙවලා ගන්න ඊනියා සහනාධාර. එක අතකින් දෙන ගමන් අනෙක් අතින් ගන්නවා. අපේ පරිභෝජනය රටාව ගැනත් හිතන්ඩ වෙනවා. එතනදි රජයටත් භූමිකාවක් තියෙනවා කරන්ඩ. පහුගිය ආණ්ඩුව කාලෙ දියර කිරි ප්‍රවර්ධනයට යම් වැඩපිළිවලක් තිබුනා. එය හොද දෙයක්. දැන්නං ඒවා නෑ. දැන් ඉතිං අපි පොෂ්නෙ හිගා කෑවත්.



      බලශක්තිය තමා ලංකාවට වැඩිම ආනයන වියදමක් ඇති කරන ක්ෂේත්‍රය. විදුලිය නිපදවීමට ගල්අගුරු වැනි වඩා ලාභදායි විකල්පවලට යොමු විය යුතුයි. වත්මන් ආණ්ඩුව ඒ පැත්තෙනුත් ෆේල්. ඔවුන් කරන්නෙ ගල්අගුරු බලාගාර හදන්නෙ නැතුව වඩා වැඩි මිලට පුද්ගලික ඩීසල් බලාගාර වලින් විදුලිය ගන්න එක. මෙයින් ආනයන වියදම තව වැඩි වෙනවා. බලශක්ති වියදමත් ඉහළ යනවා. ඒ වගේම ප්‍රවානයට අවශ්‍ය වාහන ගෙන්වීමෙදි හයිබ්‍රිඩ් සහ විදුලි වාහනවලට බදු සහන දීමත් ඉන්ධන සීමාකරගැනීමට වාසියි. එතනත් ඉතිං සුපුරුදු පරිදි මේ අය කරේ කළ යුතු දේට විරුද්ධ දේනෙ (වර්තමාන වාහන ගෙන්වන සිමානං ඩොලර් අර්බුදය නිසා වෙච්ච එකක්. නමුත් මේ ආණ්ඩුව පත්වූ ගමන්ම කරේ - බොහෝ විට ඉන්දියාවෙ අවශ්‍යතාවට - විදුලි සහ හයිබ්‍රිඩ් වාහන ගෙන්වීම සීමා කරපු එක).



      අනෙක් මූලිකම කාරණය තමා ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීම. මොකද දේශීය හෝ විදේශීය ආයෝජකයෝ ආයෝජනය කරන්නෙ නෑ එහෙම නැත්තං. ඒ නිසා මේ කැහි ගෑණිගෙයි හොටු ගෑණිගෙයි හවුල පන්නලා ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගන්න එකත් ඉතා වැදගත්. පජාචංචවාදය තහවුරු කරන්ඩ කියා විදෙස් රටවල වුවමනාවට ගෙනාපු 19 සංශෝධනයත් මේ අස්ථාවරත්වය ඇති වෙන්ඩ බලපෑවා.



      නාමල් කිව්වත් වගේ පටන් ගන්ඩ වෙන්නෙ ආණ්ඩුව පෙරළලා තමයි. හැබැයි ඉන් පසුව කරන්ඩ තියෙන දේත් පහසු නෑ. දේශපාලනිකව ජනප්‍රිය නැති තීන්දු ගන්ඩ වෙන්ඩ පුළුවන්. කුඩු ගැහුවා වගේ නෙවේ එයින් මිදෙන එක ඉතාම දුක් සහිත කටුක දෙයක්. මිදුනාට පස්සෙ හොදයි. ලංකාවෙ ආර්ථිකය කියන්නෙ අද ණයවලට සහ බදුවලට ඇබ්බැහි වෙච්ච කුඩුකාරයෙක්. ගෙදර තියෙන වතුර මෝටරේත් විකුණං කන කුඩුකාරයෙක්. එයින් ගොඩගන්ඩ අවශ්‍ය දේශපාලන නායකත්වයක් ඇති වෙයිද කියන එකත් ප්‍රශ්නයක්. ඒ සේරටම වඩා රුපියල් 10000ක් දෙනවා කිව්වම, වයිෆයි නිකං දෙනවා කිව්වම කොහොමද දෙන්නෙ කොහෙන්ද දෙන්නෙ කියලා මෙලෝ තේරුමක් නැතුව දුවලා ගිහින් කතිරෙ ගහපු ජනතාවක් ඉන්න රටක මේව කරන්ඩ පුළුවන්ද කියන එක ඊටත් වඩා ප්‍රශ්නයක්.

      - දර්ශන කස්තුරිරත්න

      Delete
  2. දිග වැඩියි, කීප සැරයක්ම නැවත නැවත කියවන්න වෙයි වගේ.

    ReplyDelete
  3. මෙපමන සාවධානව හැකිතරම් සරලව පැහැදිලි කලත් ,
    බොහෝ අය තේරුම් නොගන්නවාද?
    තේරෙන්නෙ නැතිද?
    වසර ගනනාවක් නොමිලේ ඉගෙනගෙන බුධ්ධිය මොටවලාද?
    හැම තිස්සෙම IMF බිල්ලා මතක් කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. IMF එකත් තමන්ගෙ ආයෝජකයන්ට සේවය කරන අන්තර්ජාතික සමාගමක්. ඔවුන් කරන්නෙ එහි ආයෝජනය කරලා තියෙන විදෙස් රටවල් සහ මුල්‍ය ආයතන වලට වඩාත්ම ලාභදායක දේ, ඒක ඕනම ආයතනයක ස්වභාවය.

      කෙසේ වෙතත් IMF එක අපිට හොදම දේ තමා කරන්නෙ කියා හිතන එක බොළදයි, ඒ නිසා ඉස්සරවෙලාම කරන්න ඕන "අයි.එම්එෆ් සරණං ගච්ඡාමි" නැතුව රටේ මුල්‍ය පරිපාලනය ආණ්ඩුව යටතට ගැනීම, ඒක මේ ආණ්ඩුවෙන්නං වෙන්නෙ නෑ. ඒක කියන්න එක්කො කොන්දක් නෑ. නැත්තං දන්නෙ නෑ.

      අලුත් ආණ්ඩුවකින් එය විය යුතුයි. IMF කොන්දේසිවලට දැනට එකග වෙලා තියෙන දේවල් ගැන උනත් ලංකාව පැත්තෙන් ඉදන් නෙගෝෂියේට් කරන්න ආණ්ඩුවට හැකි විය යුතුයි. ඒකට දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. දැන් ඉන්න අය නං නෙගෝෂියේට් කරන්නෙ IMF පැත්තටනෙ. වෙළද ගිවිසුම් ගහන්න ගියත් එහෙමයි.

      අද IMF එක උගන්වන්නෙ බදු ඉහළ දාන එක කරන්න. මේ අමාරු තත්වයෙන් ගොඩ එන්න බදු යම් ප්‍රමාණයකට වැඩි කරන්න වෙන බව ඇත්තයි. නමුත් ස්ථිර බදු ප්‍රතිපත්තියක් නැති එකත්, දේශීය කර්මාන්ත කරන්න බැරි කරන මට්ටමට බදු ගහන එකත් ප්‍රශ්නයක්.

      බදු ඉතා වැඩි වෙනවා කියන්නෙ ආර්ථික ක්‍රියාවලිය අඩාල වෙනවා කියන එක. එවිට අපේක්ෂිිත මට්ටමට බදු ආදායම එන්නෙත් නෑ. බදු ගහන්න්ත් ආර්ථිකය දුවන්න එපැයි. මේ නිසා හිග මුදල් පියවාගන්න තව තව ණය ගන්න වෙනවා, මේක හරියට ඉකොනොමැට්ටා කියු කුඩුකාරයෙක් තාවකාලික සැපයක් බලාගෙන තව තව කුඩු ගහනවා වගේ වැඩක්.

      ඒකට ඉතිං IMF එකනං කැමති ඇති. නමුත් ඒකට අපිට පාඩුයි. අමාරුවෙන් හරි රීහැබ් එකකට ගිහින් කුඩු ගැහිල්ලෙන් මිදෙන්ඩ උත්සාහ කරනවා විනා වෙනත් විකල්පයක් නෑ. ඒ නිසා රටේ දේශීය නිෂ්පාදකයා සහ කර්මාන්ත ආරක්ෂා කරන බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒකටත් ඉතිං IMF පදයට නටන්නේ නැති, දේශපාලන නායකත්වයක් අවශ්‍යයි.

      වෙළද ගිගය ලංකාව පෙළන විශාල ප්‍රශ්නයක්. චීනය සහ ඉන්දියාව නිසා අපේ වෙළද ගිහය ඉහළ යන්නෙ. ඒ නිසා ලංකාවෙ නිෂ්පාදනය වෙන භාණ්ඩ සහ සේවා ආරක්ෂා කරන්ඩ රජය මැදිහත් විය යුතුමයි. ඒක චීනය සහ ඉන්දියාව කියන රටවලුත් ඔවුන්ගෙ වෙළදපොල සම්බන්ධයෙන් කරන දෙයක්.

      Delete
  4. "මේ කරුණු හරහා මා නැවතත් පෙන්වා දෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ඇති කළේ ණය අර්බුදයක් නොවන බවයි"

    මේක හරිද ?

    1)මත්තල ගුවන් තොටුපොල
    2)නෙලුම් කුලුන
    3)රන්මිණිතැන්න
    4)හම්බන්තොට පාවිච්චි නොකරන නගර ශාලා , පුස්තකාල...

    මෙ කිසිම දෙයකින් ලංකාවට වාසියක් නැ... මෙ සේරම මුදල් හම්බන්තොට වරයට දාල එක දිණු කරනම් ගොඩ...

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.