Wednesday, May 25, 2016
ප්‍රශ්නය ප්‍රාග්ධන හිඟය නොවේ!
මාතෘකාව වෙනස් වුවද මේ ලිපියද පෙර ලිපි වලට සම්බන්ධය.
ලංකාවට වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ඇති බාධාව ප්‍රාග්ධන හිඟය බව මෙම ලිපිය කියවන ඇතැම් අය සිතනවා විය හැකිය. මෙය නිවැරදි අදහසක් නොවේ. ප්‍රාග්ධනය වැඩි කර ගැනීම මඟින් ආර්ථිකයක් ඉදිරියට තල්ලු කළ හැකි වුවත් ඒ යම් පටු සීමාවක් ඇතුළත පමණි. ප්‍රාග්ධනය නිසා ආර්ථිකයන් වර්ධනය වේනම් වැඩිම ආර්ථික වර්ධනයක් පැවතිය යුත්තේ ඇමරිකාව හා ජපානය වැනි රටවලය. එහෙත්, එය එසේ සිදු නොවන්නේ ප්‍රාග්ධනය විසින් ආර්ථික වර්ධනය සඳහා ලබා දෙන දායකත්වයෙහි ඇති නෛසර්ගික සීමාවන් නිසාය.
මෙය තේරුම් ගැනීම සඳහා අපි ඉතා සරල මූලික ආර්ථික විද්‍යා ආකෘතියකට යමු. මා මෙවැනි තැනකින් පටන් ගන්නේ මේ ලිපි කියවන වැඩි දෙනෙකු ආර්ථික විද්‍යාව විධිමත් ලෙස හදාරා නැති නිසාය.
මේ ආකෘතිය අනුව, ප්‍රධාන නිෂ්පාදන සාධක දෙකකි. ඒ, ශ්‍රමය හා ප්‍රාග්ධනයයි. කිසියම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා මේ නිෂ්පාදන සාධක දෙකම අවශ්‍ය වේ. එයට අමතරව මේ නිෂ්පාදන සාධක කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ හැකි (එසේ නැත්නම් අනාගත පරිභෝජනය සඳහා ගබඩා කර හෝ ආයෝජනය කර තබා ගත හැකි) භාණ්ඩ හා සේවාවන් බවට පරිවර්තනය කිරීමට තාක්ෂණයද අවශ්‍ය වේ.
ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක දෙකෙන් කවර එකක් වැඩි කළද නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මේ නිෂ්පාදන සාධක වැඩි කරගෙන යනවිට එසේ වැඩි වන නිෂ්පාදිත ප්‍රමාණය එන්න එන්නම අඩුවේ.
උදාහරණයක් ලෙස ප්‍රාග්ධනය ලෙස එකතු කරන පළමු රුපියල් දහසෙන් කිසියම් නිෂ්පාදනයක (උදාහරණයක් ලෙස බිත්තර) ඒකක සියයක් නිපදවිය හැකිනම්, මෙසේ යොදවන දෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක සියයකට අඩු ගණනකි (උදාහරණයක් ලෙස අසූවක්). තෙවන රුපියල් දහසෙන් නිපදවිය හැක්කේ ඒකක හැට පහක් වැනි දෙවන රුපියල් දහසෙන් නිපදවූ ගණනට වඩා අඩු ඒකක ගණනකි. මෙය මෙසේ දිගටම සිදුවන බැවින් යම් සීමාවක් ඉක්මවූ පසු තවදුරටත් ප්‍රාග්ධනය යෙදවීම වාසිදායක නොවී යයි.
මේ කරුණ අනෙක් නිෂ්පාදන සාධකය වන ශ්‍රමයටද අදාළය. පරිගණක ක්‍රමලේඛණ ලියන සමාගමක් ගැන සිතූ විට මෙය තේරුම් ගත හැකිය. ක්‍රමලේඛකයින් වැඩි නොකර පරිගණක ප්‍රමාණය වැඩි කිරීමෙන් මෙන්ම, පරිගණක නොමැතිව ක්‍රමලේඛකයින් වැඩි කිරීමෙන්ද නිෂ්පාදනය වැඩි කර ගත නොහැකිය. කිසියම් කර්මාන්තයක් හා අදාළව ශ්‍රමය හා ප්‍රාග්ධනය යෙදවිය යුතු ප්‍රශස්ත අනුපාතයක් තිබේ.
දැන් අපි ලෝකයට විවෘත නොවූ ආර්ථිකයක් ඇති මනඃකල්පිත රටකට යමු. මේ රටේ ජනගහණය වර්ධනය වීම හා දැනට සිටින ශ්‍රමිකයන්ගේ මානව සම්පත් (කිසියම් නිෂ්පාදනයක් සඳහා යොදා ගතහැකි දැනුම හා පුහුණුව) වර්ධනය වීම හේතුවෙන් ශ්‍රම සම්පත් ඉහළ යයි. දැනට සිදු කරන නිෂ්පාදනයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර නැවත ආයෝජනය කිරීම නිසා ප්‍රාග්ධන සම්පත්ද වැඩි වේ.
රටේ ඉතිරිකිරීම් අනුපාතය හා ඒ නිසාම ආයෝජන අනුපාතය මුළු නිෂ්පාදනයෙන් 20% යැයි අපි සිතමු. දැන් මේ රටේ ප්‍රාග්ධන සංචිත වාර්ෂිකව මේ අනුපාතයෙන් වැඩි විය යුතුය. එහෙත්, එය එසේම සිදු නොවේ. ඒ ප්‍රාග්ධනය නිරන්තරයෙන් ක්ෂය වී යන බැවිනි. පෙර කී පරිගණක උදාහරණය ගතහොත් සෑම වසර හතරකට පමණ වරක් පැරණි පරිගණක ඉවත් කර අළුත් ඒවා ගන්නට සිදුවේ. වෙනත් යන්ත්‍ර සූත්‍ර, වාහන ආදියේ කොටස් ගෙවේ. මෙසේ ප්‍රාග්ධන සම්පත් ක්ෂයවීම සිදුවන්නේ පවතින සම්පත් තොගයට අනුපාතිකවය. මේ අනුපාතය අපි 5% ලෙස සලකමු.
වසරක් තුළ යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කෙරේනම් හා ප්‍රාග්ධන සම්පත් වලින් 5%ක් ක්ෂය වේනම් වසර අවසානය වන විට එම රටේ ප්‍රාග්ධන සම්පත් 15% කින් වැඩි විය යුතුය. මෙසේ වසර ගණනක් ප්‍රාග්ධන සම්පත් වැඩි වී ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය දළ දළ දේශීය නිෂ්පාදිතය මෙන් සිවු ගුණයක් දක්වා වැඩි වුනේයැයි සිතමු. ඒ සමඟම වසරකට ක්ෂයවන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද සිවු ගුණයකින්, එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් දක්වා වැඩි වේ. දැන් සිදුවන්නේ කුමක්ද?
රටේ ඉතිරි කිරීම් (හා ආයෝජන) දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කි. මේ ප්‍රමාණය රටේ ප්‍රාග්ධන සම්පත් තොගයට එකතු වෙද්දී එයට සමාන ප්‍රමාණයක් ක්ෂය වේ. ඒ නිසා ප්‍රාග්ධන සංචිත තවදුරටත් වර්ධනය නොවේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වලින් ආර්ථික වර්ධනයට තව දුරටත් උත්තේජනයන් ලබාගත නොහැකිය.
යම් හෙයකින් රටේ ඉතිරි කිරීම් අනුපාතය එක් වරම 30% දක්වා වැඩි වුනොත් හෝ කිසියම් ස්වභාවික සම්පතක් සොයාගනු ලැබුණොත් ප්‍රාග්ධන සම්පත්ද වැඩි වනු ඇත. ඒ නිසා ආර්ථික වර්ධනයද වැඩි වනු ඇත. එහෙත්, මේ අයුරින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගත හැක්කේ සීමිත කාලයකට පමණි. රටේ ප්‍රාග්ධන සම්පත් වැඩි වන තරමටම එම සම්පත් ක්ෂය වන සීමාවට පැමිණි වහාම මෙසේ ප්‍රාග්ධනය නිසා සිදුවූ ආර්ථික වර්ධනය නවතිනු ඇත.
යම් රටක ප්‍රාග්ධන සම්පත් තොගය වැඩි වන තරමට වාර්ෂිකව එම සම්පත් ක්ෂය වන ප්‍රමාණයද වැඩි වේ. ඒ නිසා ප්‍රාග්ධන සම්පත් වැඩි කිරීමෙන් ලැබෙන්නේ තාවකාලික වාසියක් පමණි. වැඩි වූ සම්පත් ඒ මට්ටමේම පවත්වා ගැනීමට දීර්ඝකාලීනව දිගටම මහන්සි වීමට සිදුවූවත් ඒ හේතුවෙන් ආර්ථික වර්ධනයට ලැබෙන විශේෂ වාසියක් නැත. වෙනත් අයුරකින් කිවහොත් සමස්ත නිෂ්පාදිතයෙන් 40%ක් ඉතිරි කරන රටකට දීර්ඝකාලීනව වර්ධනය විය හැක්කේද සමස්ත නිෂ්පාදිතයෙන් 20%ක් ඉතිරි කරන රටක් වර්ධනය වන වේගයෙන්මය. එහෙත්, අඩුවෙන් ඉතිරි කරන රටේ වැසියෝ වැඩියෙන් පරිභෝජනය කරති. ඒ නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත්ය.
එසේනම්, ඉතිරි කිරීම් අඩු කිරීම ප්‍රශ්නයක් නොවේද? උතුරේ යුදමය තත්ත්වය පැවති වසර 26 තුළද ලංකාවේ ආර්ථික වර්ධනය හොඳ මට්ටමක පැවතීම මඟින් පෙනෙන්නේ මේ කරුණයි. මා ඉදිරිපත් කළ සරල ආකෘතිය තුළ යුදමය වාතාවරණය ලංකාවේ ආර්ථිකයට දෙයාකාරයක බලපෑමක් කළේය. පළමුව, රටේ ඉතිරි කිරීම් වලින් කොටසක් ආයෝජන වෙනුවෙන් නොයොදවා යුද වියදම් වෙනුවෙන් යෙදෙවීමට සිදුවීම හේතුවෙන් ප්‍රාග්ධන තොගයට වාර්ෂිකව සිදුවන එකතු වීම් සීමා විය. දෙවනුව, ප්‍රාග්ධන සම්පත් ක්ෂය වන වේගය වැඩි විය.
මේ කරුණු දෙකේ සමස්ත ප්‍රතිඵලය වූයේ රටේ ප්‍රාග්ධන සම්පත් තොගය ක්‍රමයෙන් ක්ෂය වීම හා ඒ හේතුවෙන් ආර්ථික වර්ධනය සීමා වීමයි. ජයවර්ධන පාලනයේ පළමු වසර හය තුළදී පවත්වාගත් ආර්ථික වර්ධන වේගය ඉන්පසු වසර වලදී පවත්වා ගත නොහැකි විය. කෙසේ වුවද, ප්‍රාග්ධන සම්පත් තොගය මෙසේ ක්‍රමයෙන් පහත වැටීමට සමාන්තරව වාර්ෂිකව ක්ෂය වන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ක්ෂය වන නිසා වසර කිහිපයකින් පසු තව දුරටත් ප්‍රාග්ධන සම්පත් ක්ෂය නොවේ. ඒ නිසා, යුද්ධය ඇරඹී වසර කිහිපයකයට පසු පැවති යුදමය තත්ත්වය නිසා ප්‍රාග්ධන සම්පත් විනාශය හේතුවෙන් සිදුවූ අවාසියද ක්‍රමයෙන් ක්ෂය වී ගියේය. එම කාලය තුළ ආර්ථික වර්ධනය විශාල ලෙස අඩුවුණේ ජවිපෙ විසින් විශාල සම්පත් හානියක් සිදු කළ 1987-89 කාලයේ සහ එල්ටීටීඊ සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළට පහර දුන් 2001දී පමණි.
මේ අයුරින්ම 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු නැවතත් වාර්ෂිකව ප්‍රාග්ධන සම්පත් එකතු වන ප්‍රමාණය වැඩි වීම නිසා තාවකාලිකව ආර්ථික වර්ධනය වැඩි වුවත්, සෛද්ධාන්තිකව මෙන්ම අනුභාවික දත්ත අනුව පෙනෙන පරිදි එවැනි වාසියක් වැඩි කල් නොපවතී.
දැන් අපට අපේ මුල් ආකෘතියෙන් බැහැර වී විවෘත ආර්ථිකයක් ගැන සිතන්නට පුළුවන. විවෘත ආර්ථිකයක් තුළට දේශීය ඉතිරි කිරීම් වලට අමතරව සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ආදී ලෙසද ප්‍රාග්ධනය පැමිණිය හැකිය. මෙසේ පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ නිසාද රටේ ප්‍රාග්ධන සංචිතය ඉහළ යයි. ඒ සමඟම වාර්ෂිකව ක්ෂය වී යන ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණයද ඉහළ යයි. අවසාන අවසාන වශයෙන් ආර්ථිකය පවතින මට්ටමේම තබාගන්නට වුවද සෘජු විදේශ ආයෝජන හා විදෙස් ණය ප්‍රවාහ නිශ්චිත ප්‍රමාණයක් වාර්ෂිකව රට තුළට පැමිණීම අවශ්‍ය වේ.
ප්‍රාග්ධනය වැඩි කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනීමටනම් වසරින් වසර මෙසේ රට තුළට පැමිණෙන ප්‍රාග්ධන ප්‍රවාහ වැඩි විය යුතුය. එවැන්නක් ප්‍රායෝගිකව සිදු විය නොහැකිය. ඒ නිසා සෘජු විදෙස් ආයෝජන හෝ විදෙස් ණය මඟින් ලබා ගන්නා ප්‍රාග්ධනය යොදාගෙන ආර්ථික වර්ධන වේගය දිගුකාලීනව වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. කෙසේ වුවද, මා පෙර ලිපියක සඳහන් කළ විසරණය වීම් (spillover effects) නිසා ඇති වන වාසිය ගැන මා මෙහි කතා කර නැත. එමෙන්ම, සම්පත් ක්ෂයවීම තුලනය කිරීමට හා වරින් වර අහඹු ලෙස සිදුවන ස්වභාවික හානි ආදියෙන් පසු සිදුවන ප්‍රාග්ධන සම්පත් හානි ප්‍රතිපූරණය කර ගැනීම සඳහා කිසියම් අවම ඉතුරුම් අනුපාතයක් පවත්වා ගැනීමද අවශ්‍ය වන බැවින් ඉතුරුම් අසීමිත ලෙස අඩු කිරීමේ හැකියාවක්ද රටකට නැත.
(මතු සම්බන්ධයි. මෙම ලිපි ඔබේ මිතුරන් හෝ වෙනත් අය විසින් කියවිය යුතුයැයි ඔබ සිතන්නේනම් වත්පොත, ට්විටර්, ගූගල් ප්ලස් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා බෙදා හදා ගැනීමේ ඉඩකඩ තිබේ.)
(Image: )
6 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
ඔබගේ ලිපි පෙළ කියවාගෙන ගිය අතර එයින් මා තෙරුම්ගත් කරුණු කෙටිකර පළමුව සටහන් කරමි
ReplyDelete1. ලංකාවේ අයවැය හිගයක් හෙවත් රජයට ලැබෙන ආදායම හා වියදම අතර වෙනස් තියෙනව, එමනිසා වියදම් කිරීමට අමතර ආදායමක් හෝ ණයක් ලබා ගැනීමට සිදුවනවා, ඒ වගේම ලංකාවේ අපනයනය හා ආනයනය අතර හිගයක් තිබෙනවා අනයනය වැඩි බැවින් රටින් පිටට යන විදේශ සංචිතයන් ප්‍රමාණය වැඩියි, එය තුලනය කර ගැනිමට දිගින දිගටම ආණ්ඩු කටයුතුකලේ විදේශයන්ගෙන් ණය ලබා ගනිමින්, ඒ වගේම වෙළද ශේෂය තුලනය කර ගැනීමට විදේශවල වැඩකරන ශ්‍රමිකයින්ගේ ලංකාවට නිත්‍යානුකුල ක්‍රම මගින් යොමුකරන මුදල් මගින් යම් සහනයක් ලැබුන බව
2. විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ පිලිබදව දිගටම බලාපොරොත්තු තබා ගැනීම ගැටලුවක් විය හැකි බව සහ දිගින් දිගටම රජයන් විසින් ණය ගනිමින් යන නිසා ගෙවිය යුතු විදේස් ණය හා පොලිය සදහා මෙන්ම වෙළද ශේෂය වෙනුවෙන් ගෙවියයුතු විදේශ මුදල් නිසා සහ මෙම කරුණු එකිනක ගැටි ඇතිනිසා අර්බුධය දිනෙන් දින උග්‍රවන බවයි
3. රටේ ආර්ථිකය මධ්‍යගතව තිබිම නිසා සිදුවන දුෂණයන් හා අක්‍රමිකතාවයන් ඉහල අගයක් විමත්, බලාපොරොත්තුවන තරමකට විදේශ ආයෝජනයන් නොලැබිමත් නිසා රජයන් බලාපොරොත්තුවන ආර්ථික වර්ධනයන් ලබා ගැනීමට නොහැකිවන බව
4. මේ සදහා අවසාන වශයෙන් යෝජනාකර තිබෙන්නේ විදේශවලින් තාක්ෂණය ලබා ගනිමින් ශ්‍රමිකයින්ගේ ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය ඉහල නැංවිමත් තාක්ෂණය උපයෝගිකර ගනිමින් දේශිය හා විදේශිය ආයෝජකයින් හරහා නව කර්මාන්තයන් අරම්භ කල යුතු බව සහ එයින් තාක්ෂණය රටතුලට උකහාගත යුතු බව....
5. ප්‍රග්ධනය වැඩිපුර ලැබු පමණින්ම ආර්ථිකය වර්ධනය නොවන බවත් ප්‍රග්ධනය හා ශ්‍රමය අතර අවශ්‍ය ප්‍රමාණයේ නුපාතයක් පවත්වා ගතයුතු බවත් මෙම ලිපිවලින් පැහැදිලි කර තිබෙනවාය තවත් කරුණු මේ සම්බන්ධව සදහන් කර තිබුනද මා තේරුම්ගත් කුඩා සාරාංශයක් පමණක් මෙහි සටහන්කලේ මාගේ පහසුවටය....
ඔබ විසින් යෝජනාකර ඇති ආර්ථිකමය පැහැදිලි කිරීම් පිලිබදව හොදම අවබෝධයක් මා හට නොමැතිවුවද ඔබ විසින් දක්වා ඇති කරුණුවලින් බොහෝ දෙයක් ඉගෙනීමට හැකිවු බැවින් ඔබට පළමුව ස්තුති කරමි
ඔබ තේරුම් ගෙන ඇති දේවල් නිවැරදියි. ඇතැම් දේවල් තව ටිකක් සම්පූර්ණ විය යුතුයි. එය මගේ ලිවීමේ ඇති අසම්පූර්ණ කමක්. ඔබ මෙසේ ප්‍රතිචාර දැක්වූ විට මට මගේ අඩුපාඩු වඩා පැහැදිලි වෙනවා. හැබැයි ඒවා සුළු අඩුපාඩු. ලිපි කියවා ප්‍රතිචාර දැක්වුවාට ස්තුතියි!
Deleteමේ පිලිබදව මාගේ වන යෝජනාවන්නම් පහත පරිදි වන්නේය...
ReplyDelete1. ලංකාවේ විශාල ශ්‍රමිකයින් ප්‍රමාණයක් සඵලදායි නොවන සේවාවන් වල නිරතවන බව මම සිතමි, විශේෂයෙන්ම කෘෂිකාර්මික කේෂත්‍රයේ යෙදවෙන ශ්‍රමය තව දුරටත් කාර්මික කරණය කිරීමට සහ වාණිජ බෝග හෝ මල්, පළතුරු වැනි බෝග ලෙස විදේශ වෙළද පොළ ඉලක්කකරගත් ශ්‍රමයක් ලෙස එය සංවර්ධනය කිරිමට යම් හැකියාවක් ඇතැයි මම සිතමි, එවෙනුවෙන්වන දැනුවත් කිරීම් සහ මතයන් ගොඩ නැංවිමක් කල යුතු අතරම, සංස්කෘතික ලෙස ඇති මතවාදයන් හා ස්වයංපෝෂිත ආර්ථික තත්වයක් වැනි සෘණාත්මක මතවාදයන් නැතිකර දැමිම වෙනුවෙන් චන්ද ඉලක්කකර නොගත් වැඩපිලිවෙලක් සැකසිය යුතුව ඇතැයි සිතමි,
තවද කෘෂිකාර්මික නිශ්පාදනයන් විදේශ වෙළද පොළට සැපයියය හැකි පරිදි ප්‍රතිනිශ්පාදනයන් හෝ අගය එකතුකල නිශ්පාදනයන් සිදුකල හැකියැයි සිතම් එවැනි කාර්මිකකරණය කිරීමකින් තොරව දිගින් දිගටම නියගයට හා ගංවතුරට සහනාධාර ලබාදෙමින් ගොවින් පිරිසක් නඩත්තු කිරීම රටට අනවශ්‍ය බරක් මෙන්ම යෙදවෙන ශ්‍රමයේ ප්‍රෙයා්ජනයක් රටට හෝ ශ්‍රමිකයින්ට නොමැතිබව සිතමි
2. මෙයටම ධීවර ක්ෂෙත්‍රයටද සුරතල් මසුන් ඇතිකිරිමේ ව්‍යාපාරයන් සදහාද අදාල කර ගැනීමට හැකියැයි සිතමි, ධිවර ක්ෂෙත්‍රයේදීනම් යෙදවිය යුතු මුලික ප්‍රග්ධනය හා තාක්ෂණය යම් ඉහල මට්ටමක ඇති බැවින් ඒ සදහා විදේශ ආයෝජනයන් පළමු අවස්ථාවේදී යොදා ගැනීමට සිදුවනු ඇත.
3. ලංකාවේ විශාල තරුණ ශ්‍රමයක් ත්‍රිවිල් සහ ටැක්සි සේවාවලද තවත් බොහෝ පිරිසක් සේල්ස් රෙප්ලා ලෙසද කටයුතු කරනු දක්නට ඇත මෙම ශ්‍රමය නිශ්පාදන ක්ෂෙත්‍රයට ඇතුලත්කර ගැනීමකින් තොරව ආර්ථිකය සංවර්ධනය කිරීම ගැටලු සහගතවනු ඇත. මේ සදහා කලයුතු වන්නේ ත්‍රිවිල් සහ කැබ් සේවාවල අවශ්‍යතාවය අවම කිරීම (මේ සදහා රටතුල හොද ප්‍රවාහන සැලැස්මක් සහ ශ්‍රමිකයින් ස්ථානගත කිරිමේ ක්‍රමවේදය වැඩිදියුණු කල යුතුය) සහ එම ශ්‍රමයට තමන්ගේ රුකියාට වඩා වැඩි දෙයක් ලැබෙයැයි බලාපොරොත්තුවිය හැකි සහ පෙළඹුමක් සහිත රුකියාවන් ඇතිකිරිමට සැලැස්මක් සහ වැඩපිලිවෙලක් සකස් කලයුතුය,
4. එමෙන්ම රටතුල ඇතිකල හැකි කර්මාන්තයන් පිලිබදව අවධානයක් යොමුකල යුතු අතරම, ඒ සදහා ප්‍රමාණවත් හා පෙළඹුමක් සහිත ශ්‍රමයක් මේ මොහොතේ ලංකාවේ නොමැති බැවින් විදේශ ශ්‍රමිකයින් ලබාගැනීමට හැකි පරිදි කටයුතු කිරීමද සුදුසුය, එමෙන්ම එවැනි වැඩපිලිවෙලක් සකස්කිරීමේදී ඒ පිලිබදව ඇතිවිය හැකි විරෝධයන් ගණනයකර ඒවා අවම කරගැනිම වෙනුවෙන් දේශපාලන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමද ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සදහා වැදගත්වනු ඇත.
5. මෙයට අමතර නාවික ක්ෂෙත්‍රයේ යෙදවිය හැකි ශ්‍රමය සදහා විදේශ වෙළදපොලේ පවතින ඉල්ලුමට සරිලන පරිදි නාවික කාර්යමණ්ඩලයන් පුහුණු කිරීම වැඩිකිරීම සහ ඒ වෙනුවෙන් වැඩි ශ්‍රමයක් පෙළඹවීමට කටයුතු කිරීමත් විදේශවලට පුහුණු ශ්‍රමය හා වෘත්තිකයින් ලබාදිය හැකි මට්ටමට වෘත්තිමය සේවාවන් දියුණු කිරීමද සුදුසුය. එවුන් කෙටි කලකින් විදේශවල පදිංචිවීමට ඉඩ තිබුනද එය ලංකාවේ ආර්ථිකයට එතරම් අවුලක් වනු ඇතැයි මම සිතන්නේ නැත....
6. තව මා දකින අඩු පාඩුවක් වන්නේ විදේශවලින් යට්තල පහසුකම් සංවර්ධනය සදහා ලැබෙන මුදල් නැවත එකතුවීමේ යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු සහ එම මුදල් නැවත ආයෝජනය නොවි වාහන සහ වෙනත් අමතර දේවල් සදහා නැවත විදේශයන්ට යෑම වලක්වා ගත යුතුය. එමෙන්ම එයින් ලාභ ලබන ආයතනයන් හරහා එම මුදල් වෙනත් කර්මාන්ත සංවර්ධනය වෙනුවෙන් යෙදවිමේ පෙළඹුමක් ඇතිකිරීමේ වැඩපිලිවෙලක් සකස්විය යුතුයි...
මේවා සිදුකිරීම ලියන තරම් පහසු නැති අතරම දැනට පවතින ශක්තිමත් නොවන ආණ්ඩුවකට මෙවැනි තිරණයන් ගැනීමේ දේශපාලනමය හැකියාවද අඩුය (JR හෝ මහින්ද තරමේ මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් ආණ්ඩුවේ සිටියද තනි ප්‍රතිපත්තිමය තිරණ ගැනිමේ හැකියාවක් ආණ්ඩුවට නැත) එමෙන්ම නව තත්වයන් ඇතිකිරීම සුමටව සිදුකල හැකි වේයැයි මම විශ්වාස කරන්නේද නැත. ආර්ථිකය සංවර්ධනය කිරීම පිලිබදව අරමුණක් සහ ඇතිවිය හැකි තත්වයන් අනුව තමන්ගේ ඇ... නැතිවීමේ අවධානමක්ද ගනිමින් මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කලයුතු බව මාගේ අදහසය. නැතහොත් දිගින් දිගටම මෙම මාර්ගයේ ගොස් නැවත හැරිවිය නොහැකි සහ ව්‍යාකූල ආර්ථික ආර්ථික තත්වයක් ඉදිරියේදි ඇතිවිය හැකිය, එහෙත් මේ යනවිදිහටම ගියද ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩාවැටි රටතුල අරාජික තත්වයක් ඉදිරියේදී ඇතිවේයැයි මම සිතන්නේ නැතිය....
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි! මම වැඩිපුර 'කළ යුතු දේ' ගැන කතා කරන්න කැමති නැහැ. එය තීරණය කිරීමේ හැකියාව මට වගේම ඔබටත්, වෙනත් අයටත් ඇති බව මම සිතනවා. ඔබ වැනි අයට 'කළ යුතු දේ' ගැන එසේ තීරණ ගන්න පහසුවෙන්න තොරතුරු හා මූලධර්ම ඉදිරිපත් කරන්න තමයි මම වැඩිපුරම කැමති.
Deleteඅවාසනාවට ආර්ථිකය හා ගත්තහම ඔබ (හෝ මම) වැනි සාමාන්‍ය කෙනෙක්ට කළ නොහැකි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කළ යුතු කොටසකුත් තියෙනවා. සාමාන්‍ය අයට කළ හැක්කේ ඔබ යෝජනා කර ඇති ආකාරයේ ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවට අදාළ (මයික්‍රෝ) දේවල් පමණයි. ඇතැම් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති තුළින් ඔබ දැක ඇති ගොඩක් ප්‍රශ්න සෑහෙන දුරකට නිවැරදි කළ හැකියි.
තුන්වන කරුණ ගැන මම ඔබ සිතන අයුරින්ම සිතන්නේ නැහැ. මෙය මා කලින් සිතූ දෙයක් නොවූවත් ඔබේ සඳහන අනුව සිතූ විට මට හිතෙන්නේ සේල්ස් රෙප්ලා (රක්ෂණ නියෝජිතයින් වැනි) හා ත්‍රිරෝද රියදුරන් කියන්නේ කිසියම් පුරෝගාමී කණ්ඩායමක් බවයි. ඔවුන් ගැන සිතන්න වෙන්නේ ගමක බෝක්කුවක් උඩ හෝ පහන් කණුවක් යට රස්තියාදු වෙමින් කාලය කන විකල්පයකට සාපේක්ෂවයි. මේ කණ්ඩායම බොහෝ විට සමන්විත වෙන්නේ රජයේ රැකියාවක් ගැනීමට තරම් අධ්‍යාපනයක් නැති, පෞද්ගලික රැකියාවකට යන්න තරම් සමාජ සම්බන්ධතාත් නැති කණ්ඩායමකට බවයි මගේ අදහස. ඔවුන් අවදානමක් දරන්න සූදානම් පිරිසක්. ඔවුන්ට තිබෙන විකල්ප අතරින් හොඳම විකල්පය ඔවුන් තෝරාගෙන තිබෙනවා.
//ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක දෙකෙන් කවර එකක් වැඩි කළද නිෂ්පාදනය වැඩි වේ. එහෙත්, මේ නිෂ්පාදන සාධක වැඩි කරගෙන යනවිට එසේ වැඩි වන නිෂ්පාදිත ප්‍රමාණය එන්න එන්නම අඩුවේ. //
ReplyDeleteමෙතන ශ්‍රමයට සම්භන්ධ කාර්යක්‍ෂමතාවය වැඩිකිරීම මගින් ඵලදායිතාවය වැඩිවීමක් සිදුකල හැකියිනේද ? එසේම තාක්‍ෂණය දියුණු කිරීම මගින්ද ඵලදායිතාවය වැඩිකල හැකිනේද ? . එමගින් නිශ්පාදනයට ඇතිවන බලපෑම ධනාත්මක දෙයක්වීම තුලින් නිශ්පාදනය වැඩිවීමක් සිදුවිය නොහැකිද ?
ඔබ නිවැරදියි.
Delete