Saturday, September 22, 2018

රුපියල තවදුරටත් අවප්‍රමාණය විය යුත්තේ ඇයි?


කිසියම් රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යාමට සාපේක්ෂව සංසරණයට එකතු කරන මුදල් ප්‍රමාණය වැඩි වුනොත් දේශීය ව්‍යවහාර මුදලේ දේශීය අගය පහළ යනවා. උද්ධමනය කියා කියන්නේ ඕකටයි. ලංකාවේ වෙළඳපොළේ ගොඩක් භාණ්ඩ වල මිල දිගින් දිගටම ඉහළ යන්නේ උද්ධමනය නිසයි.

උද්ධමනයට අමතරව වෙනත් සාධක හේතුවෙනුත් භාණ්ඩ මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට කලින් කලට කාලගුණ ප්‍රශ්න නිසා ලංකාවේ හාල්, පොල් මිල ගණන් ඉහළ යාම පෙන්වා දෙන්න පුළුවන්. මේ විදිහට සැපයුම් සාධක මත මිල ඉහළ ගිය විට, ඒ සාධක වල බලපෑම ඉවත් වූ වහාම නැවතත් මිල අඩු වෙනවා. නමුත්, රටේ මුදල් සැපයුම වැඩිවීම නිසා සිදුවන මිල වැඩිවීම් ඒ  විදිහට ආපසු හැරෙන්නේ නැහැ.

ඔය අලුතින් මුදල් සංසරණයට එකතු කර ලාබයක් ලැබීම, එහෙමත් නැත්නම් සල්ලි අච්චු ගැසීම, ලංකාව විතරක් කරන වැඩක් නෙමෙයි. ඇමරිකාව ඇතුළු හැම රටක්ම වගේ ඔය වැඩේ කරනවා. ඒ නිසා, ඇමරිකන් ඩොලරය ඇතුළු සෑම මුදල් ඒකකයකම දේශීය අගය කාලයත් එක්ක පහත වැටෙනවා. මතක තියා ගන්න ව්‍යවහාර මුදලක දේශීය අගයයි මේ විදිහට පහත වැටෙන්නේ.

ඇමරිකන් ඩොලරයේ දේශීය අගය කාලයත් එක්ක පහත වැටීම නිසා ඇමරිකාව ඇතුළේ ඩොලරයක් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. පසුගිය ජනවාරි මාසයේ ඩොලර් 100කට මිල දී ගත් බඩු ප්‍රමාණය මිලදී ගන්න අගෝස්තු වෙද්දී ඩොලර් 102.26ක් අවශ්‍යව තිබුණා. ඒ කියන්නේ පොදුවේ ඇමරිකාවේ මිල මට්ටම මේ මාස අටට 2.36%කින් ඉහළ ගියා. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ඇමරිකාවට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය දුර්වල වෙලා.

කොහොම වුනත් පසුගිය මාස අටක කාලය තුළ ලංකාවේ සිදු වී තිබෙන්නේ මෙහි අනිත් පැත්තයි. ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය දෙසැම්බරයේදී රුපියල් 100කින් මිල දී ගත් භාණ්ඩ හා සේවා මිල දී ගන්න අගෝස්තුවේදී ඕනෑ වුනේ රුපියල් 99.05ක් පමණයි. ඒ කියන්නේ ඔය මාස අටක කාලය තුළ රුපියලේ දේශීය අගය 1%කින් පමණ ඉහළ ගිහින්. ඒ කියන්නේ පහුගිය මාස අටක කාලය තුළ ලංකාවට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙලා.

විණිමය අනුපාතිකය කියන්නේ එක රටක ව්‍යවහාර මුදලක් තවත් රටක ව්‍යවහාර මුදලක් සමඟ වෙළඳපොළේ ගනුදෙනු වන අනුපාතය. මේ අනුපාතයෙන් කිසියම් ව්‍යවහාර මුදල් ඒකකයක බාහිර අගය පිළිබිඹු වෙනවා. පසුගිය මාස අටක කාලය තුළ ඩොලරය ඇමරිකාවට සාපේක්ෂව දුර්වල වෙද්දී රුපියල ලංකාවට සාපේක්ෂව ශක්තිමත් වුනත්, එකිනෙකට සාපේක්ෂව ගත්තහම වෙලා තියෙන්නේ රුපියල දුර්වල වෙලා ඩොලරය ශක්තිමත් වෙන එකයි. ඒ කියන්නේ ඩොලරයේ බාහිර අගය ඉහළ ගිහින්. රුපියලේ බාහිර අගය පහළ ගිහින්.

සාමාන්‍යයෙන් විය යුත්තේ කිසියම් ව්‍යවහාර මුදලක් රට ඇතුළේ ශක්තිමත් වෙන කොට එයට රටින් පිටත තියෙන ඉල්ලුමත් ඉහළ ගිහින් එහි බාහිර අගය ඉහළ යන එකයි. නමුත්, පසුගිය කාලයේ ලංකාවේ සිදු වී තිබෙන්නේ එය නෙමෙයි. එහෙම වුනේ කොහොමද?

ඩොලරයේ දේශීය අගය 2.3%කින් අඩු වී රුපියලේ දේශීය අගය 0.9%කින් ඉහළ යනවා කියන්නේ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව 3.2%කින් ඉහළ යා යුතු බවයි. එසේ නොවුනොත් ලංකාවේ භාණ්ඩ ඇමරිකාවට සාපේක්ෂව 3.2%කින් මිල අඩු වෙනවා. මේ විදිහට රටවල් දෙකක ව්‍යවහාර මුදල් වල දේශීය අගය අඩු වැඩි වීමට සමානුපාතිකව ඒවායේ බාහිර අගයත් වෙනස් වෙනවානම් ඒ දෙරට අතර ක්‍රය ශක්ති සාම්‍යය පවත්වා ගැනෙන බව අපට කියන්න පුළුවන්.

නමුත්, මෙය මේ ආකාරයට සිදු නොවුණේ පසුගිය දෙසැම්බරය වන විට පැවති රුපියලේ බාහිර අගය ඒ මට්ටමේ පවත්වාගෙන තිබුණේ වසර ගණනාවක් තිස්සේ ඇති දැවැන්ත විදේශ ණය ප්‍රමාණයක් ගනිමින් ඒ මුදල් උපයෝගී කරගෙන රුපියලේ බාහිර අගය තිබිය යුතු තරමට වඩා ගොඩක් උඩින් තබාගෙන සිටි නිසයි. 2001 වසරේදී ඩොලරයක රුපියල් මිල "නියම මිල" කියා උපකල්පනය කළොත්, ඒ වසරේ සිට රුපියලේ හා ඩොලරයේ දේශීය අගය වෙනස් වීම සැලකූ විට 2017 දෙසැම්බර් වෙද්දී ඩොලරයක මිල රුපියල් 229.92ක් විය යුතුව තිබුණා.

කෙසේ වුවත්, පසුගිය මාස අට තුළ මේ තත්ත්වය රුපියලට වාසිදායක ලෙස ආපසු හැරී ඇති නිසා දැන් මේ ගණන ඩොලරයට රුපියල් 222.66ක්. රුපියල තවමත් තියෙන්නේ ඊට වඩා ගොඩක් පහළින්. ඒ නිසා, තවමත් ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්න වලින් බේරී සිටින්න ඉඩක් නැහැ.

විදේශ ණය ගනිමින් රුපියල වසර ගණනාවක් තිස්සේම තිබිය යුතු මට්ටමට වඩා පහළින් තියා ගැනීම නිසා ලංකාවේ ආනයන අපනයන පරතරය පසුගිය කාලයේදී විශාල ලෙස පුළුල් වුණා. ඩොලරයක මිල රුපියල් 222ක් වුනොත් මේ ආනයන අපනයන පරතරය නැවතත් 2001 මට්ටමට අඩු වෙයි. නමුත්, එය නැති වන එකක් නැහැ. ඒ 2001 අවුරුද්දෙත් ආනයන අපනයන පරතරයක් තිබුනු නිසා.

කොහොම වුනත් 2001 අවුරුද්දේදී ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ අවුරුද්දේ තිබුණු ආනයන අපනයන පරතරය පියවන්න ශ්‍රමික ප්‍රේෂණ සෑහෙන දුරට ප්‍රමාණවත් වූ නිසා, ජංගම ගිණුමේ තිබුණේ ඉතා අඩු හිඟයක්. 2001දීත් ලංකාවේ විදේශ ණය ඉහළ ගියත් ඒ ඉතා සුළුවෙන්. ඊට වඩා වැඩියෙන් විදේශ වත්කම් ඉහළ ගිය නිසා 2001දී රටේ ශුද්ධ විදේශ බැරකම් ඇමරිකන් ඩොලර් බිලියන 6.1 දක්වා අඩු වුණා. එවැනි තැනකට එන්න පුළුවන් වුණේ රුපියල ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීම මඟිනුයි.

අවාසනාවට 2001න් පසුව කතාව එතරම් සුන්දර නැහැ. වැඩි වැඩියෙන් අලුතින් මුදල් සංසරණයට එක් කිරීම නිසා වසරින් වසරම රුපියලේ දේශීය අගය පිරිහෙද්දී එයට සමාන්තරව විදේශ අගය පිරිහෙන්න නොදී කෘතිමව රුපියල ශක්තිමත්ව තබා ගත්තේ විදේශ ණය අරගෙන විණිමය වෙළඳපොළට මුදා හැරීම මඟිනුයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2017 අවසානය වෙද්දී ඩොලර් බිලියන 51.8ක් දක්වා විදේශ ණය ඉහළ ගොස් තිබුණත් විදේශ වත්කම් තිබුණේ ඩොලර් බිලියන 10.4ක් පමණයි. හිඟය ඩොලර් බිලියන 41.4ක්.

දැනට අරගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවන්නනම් රටේ තිබෙන විදේශ සංචිත සියල්ල වැය කිරීමෙන් පසුව තවත් ඩොලර් බිලියන 41.4ක් හොයන්න වෙනවා. මේ මුදල රටේ වාර්ෂික අපනයන ආදායම මෙන් හතර ගුණයක මුදලක්. පසුගිය වසර දෙක තුන තුළ ඩොලරයට යම් තරමකින් ඉහළ යන්න දුන් නිසා ජංගම ගිණුමේ හිඟය යාන්තමින් අඩු වී ඇතත් තවමත් වසරකට ඩොලර් බිලියන 2ක පමණ හිඟයක් තිබෙන නිසා කලින් කී ඩොලර් බිලියන 41.4ක ශුද්ධ විදේශ බැරකම වසරින් වසර ඉහළ යාමයි වෙමින් තියෙන්නේ. රුපියල පාලනයක් ඇතුව සැලකිය යුතු තරමින් අවප්‍රමාණය වෙන්න ඉඩ නොදී, ඔය ඩොලර් බිලියන 41.4ක මුදලට තවත් ඩොලර් බිලියන ගාණක් එකතු වෙලා එක පාරටම ලොකු මුදලක් ආපසු ගියොත්, ඒ මුදල නැවත ණය ලෙස ලබාගෙන රෝල ගෙනියන එක අපහසු වී හිර වුණොත්, ඩොලරයක රුපියල් මිල කොහේ නතර වෙයිද කියා කියන්න බැහැ.

ආසියානු අර්බුදය වෙලාවේ 1997 අප්‍රේල් සිට 1998 ජනවාරි දක්වා කාලය තුළ ඇමරිකන් ඩොලරයක තායි භාත් මිල 25 සිට 53 දක්වා ඉහළ ගියා. ඉන්දුනීසියන් රුපියා මිල 2,900 ඉඳලා 10,000 මට්ටමට ගියා. ඒ වගේ දෙයක් එක වර වුනොත් එය දරාගන්න අමාරුයි. පාලනයක් ඇතුව ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දිය යුත්තේ ඒ නිසයි.

(Image: https://blog.oureducation.in/impact-rupee-depreciation-indian-economy/)

7 comments:

  1. ඔබගේ ලිපිය වැනි, ඩොලරයේ මිල ඉහල යාම ගැන මධ්‍යස්තව සහ ඒ ගැන දැනුමක් ඇතිව තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදු වෙන්නේම නැති තරම්. ලංකාවේ මාධ්‍ය සියල්ලක්ම වාගේ ඔවුනට වර්තමානයේ ලැබී ඇති මාධ්‍ය නිදහස භාවිතා කර මෙහි නරක පැත්ත පමණක්ම උලුප්පා දක්වා, රජය අප්‍රසාදයට පත් කිරීමට කටයුතු යොදන අතර, බන්දුල ගුණවර්ධන මහතාට අනුව හෙට අනිද්දා වෙනකොට ඩොලරයේ බර උසුලාගන්න බැරිව ලංකාව, ඉන්දියන් සාගරයේ ගිලී යාම වැලක්වීමට සක්කරයාගේ පුතා වයිමාට වත් බැරි වෙනවා. මුදල් ඇමති සහ රජයේ අනිකුත් ඇමති වරුන් කියන කතාව සමාන කරන්න පුළුවන් වෙන්නේ ඩොලර් නෝට්ටුවක සහ රුපියලේ කාසියක ශක්තිමත් බව (කඩදාසි සහ ලෝහ දෙකෙන් ශක්තිමත් කොයි එකද ) කියන විහිලුවටයි. 1990 දී මම සංක්‍රමණය වන කාලයේ ඔස් ඩොලර් එකක් රුපියල් 25 කට ආසන්න මුදලක්. මීට වසර පහ හයකට පෙර ලංකාවට ගිය ගමනකදී ඔස් ඩොලරයට රුපියල් එකසිය තිස් හයක් ලැබුනා.
    අවාසනාවට මේ ඩොලරය ඉහල යාම ප්‍රයෝජනයට ගෙන විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට වත්, මෙතෙක් කලක් ලෝක වෙළඳ පොලේ අපට තරඟ කිරීමට අපහසු වූ දේශීය නිෂ්පාදන වලට ලැබෙන තරඟ කාරී තත්වය ප්‍රයෝජනයට ගැනීමටවත් කිසිවෙකු කටයුතු කරන්නේ නැහැ.
    2001 පමණ ඕස්ට්‍රේලියානු ඩොලරය US සත පනහට බැස්ස විට ඕස්ට්‍රේලියාවේ රජය සහ සංචාරක ආයතන එය ප්‍රයෝජනයට අරගෙන ලෝකයේ හැම රටකම ප්‍රචාරණ කටයුතු කරලා මෙහෙට සංචාරකයින් ආකර්ෂණය කරගෙන ඩොලරය අවපාත වීමේ ප්‍රයෝජනය ලබා ගත්තා. ලංකාවේ වෙන්නේ එහි නරක පමණක්ම පෙන්වා රජය අප්‍රසාදයට පත් කිරීම පමණයි.

    ReplyDelete
    Replies
    1. S.A.M.

      ලංකාවේ රුපියල US ඩොලරය හමුවේ වේගයෙන් අව-ප්‍රමාණ වීම නිසා 2017-18 කාලයේ දී US ඩොලර් මිලියන 443ක් රටින් පිටව ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

      ලංකාවේ ආර්ථිකයට ඩොලරය ඉහල යාම දරාගන්න අමාරු තත්වය බලපා ඇති බවත් මෙම තත්වයනට මුහුණ දීම සදහා ඉදිරියේදී කල්පනා කර කටයුතු කරන බව ද අගමැති වරයා සදහන් කරයි.

      තාවකාලික පියවරක් ලෙස වෙනරටවල් මහ බැංකු පොලි වැඩි කර ඇතත් ලංකාවේ ද බැංකුපොලි වැඩි කල හොත් වෙන්නේ ව්‍යාපාරිකයන්ට ද පොලිය වැඩිවනු ඇතැයි ද ලංකාවේ අගමැතිවරයා සදහන් කරයි.

      ලංකාවේ ද එම පියවර අනුගමනය කරන්නේ ද කල්පනා කරන බවත් මේ වන විට US ඩොලරය හමුවේරුපියල 9% කින් අව-ප‍්‍රමාණ වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

      Delete
  2. Excellent article. Respect your proper knowledge sharing

    ReplyDelete
    Replies
    1. Namal,

      See this, video clip;

      https://youtu.be/QHvCOfCwd2U

      It explains the truth

      Delete
  3. පොදුවේ ශ‍්‍රී ලංකා ජාතියේ ම බෙල්ල ණය උගුලක හිර වෙලා ඉකොනොමැට්ටා, හැම දවසකම ඊට කලින් දවසට වඩා තොණ්ඩුව ගෙල හිර කරනවා.

    චන්ද්‍රිකා, මහින්ද, රනිල්-මෙෙත්‍රි කියන චරිත පැත්තකන් තියලා විදේශ ණය කියන විෂය අපක්ෂපාතිව පරීක්ෂා කිරීමෙදි දශක කීපයක් තිස්සේ ණය ගැනීමත් ණය ගෙවීමත් දල වශයෙන් එකම ආකාරයෙන් කෙරීගෙන යන වග පැහැදිලි වෙනවා. විදේශ ණය මගින් රටවල් හසුරවන, කොල්ලකන IMF, IBRD (World bank) වැනි බලවේග මේ කොයි පාලකයත් මේ කොයි ආණ්ඩුවත් තම ග්‍රහණයේ තබාගත් බව මනාව ඔප්පු වෙනවා.

    (The official estimate of what Sri Lanka currently owes its financiers is $64.9 billion — $8 billion of which is owned by China. The country’s debt-to-GDP currently stands around 75% and 95.4% of all government revenue is currently going towards debt repayment.
    Between 2009 and 2014 Sri Lanka’s total government debt tripled and external debt doubled, as the country engaged in a number of costly undertakings. But this doesn’t necessarily mean that Sri Lanka’s current administration is doing much better, under President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe. Sri Lanka may be in a debt trap that it can’t get out of. – Fobes)

    මේ බලවේග අබිභවා ජනතාව බේරාගත හැක්කේ ජනතා විප්ලවයකින් බිහි වන නව රාජ්‍යයකට (පවතින ශ‍්‍රී ලංකා රාජ්‍යය බටහිරන් බිහි කල උන්ගේ අතවැසි යටත් විජිතයක් හෙවත් කොලනියකි පමණි) පොදුවේ “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව” බිහි කිරීමට සටන් වදිමු ඉකොනොමැට්ටා...

    ReplyDelete
  4. ඉකොනො දැන් ලංකාවේ බැංකු පොලි අනුපාතය වැඩි කරන්න යනවා. ඊළඟට බැංකු වලින් තමුන්ගේ තැන්පතු වලින් ගන්න පුළුවන උපරිමයක් හදුන්වලා, ඊලඟට ටෙලර් මැසිමෙන් ගන්න පුළුවන් උපරිමයත් අඩු කරන්න යනවා, ඊළඟ පියවරේදී තමුන්ගේ තැන්පතු වලින් මුදල් ගන්න වාර ගනන් තාවකාලිකව අඩු කරන්න යනවා, ටෙලර් මැෂිමෙන් (ATM) සල්ලි ගන්න එකත් අවහිර කර සල්ලි ගන්න එක අඩු කර සියලුම බහුලව බාවිත වෙන ආනයනික බාන්ඩ මත අදික බද්දක් පනවන එකත් වෙන්න ඉඩ දිය යුත්තේ ඒ නිසයි ඉකොනො.

    ReplyDelete
  5. ලංකාවේ කොටස් වෙළද පොලේ ලැයිස්තු ගත කර ඇති විශාලතම සමාගමක් තවත් සති කිහිපයක් ඇතුලත බංකොලොත් වීමට නියමිත බව කියවෙයි.

    ණය ගෙවා ගැනීමට නොහැකිව මෙම සමාගම බංකොලොත් වීමේ අනතුරකට පත්ව ඇති බවත් කියවෙයි.

    රජය විසින් මෙම සමාගමට ගෙවිය යුතු කෝටි 5,200 (52 billion) ක් පමන වූ කොන්ත්‍රාත් ගෙවීම් නොලැබීම නිසා මෙම තත්වයට මුහුණ දී ඇති බවද කියවෙයි.

    මෙ මගින් ලංකාවේ බැංකු පද්දතියට කෝටි 2,500 (25 billion) ක පමණ හානියක් වනු ඇති බවද කියවෙයි.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.