Friday, August 17, 2018

ව්‍යාපාර චක්‍ර (තෙවන කොටස)


පසුගිය ලිපි දෙකෙන් අපි කතා කතා කළේ ව්‍යාපාර චක්‍ර කියන්නේ මොනවාද කියන එක හා ව්‍යාපාර චක්‍රයකදී ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වී නැවතත් ස්වභාවික ලෙසම ස්ථාවර වෙන්නේ කොහොමද කියන එකයි. මේ විදිහට ආර්ථිකයක් තාවකාලිකව අස්ථාවර වීම රටේ සමස්ත ඉල්ලුමේ හා සමස්ත සැපයුමේ නොගැලපීමක් ඇති වීම හා එය නැවත සමතුලිත වීමක් ලෙසත් විස්තර කළ හැකියි.

රටක සමස්ත ඉල්ලුම හා සමස්ත සැපයුම අතර නොගැලපීමක් ඇති විය හැකි ආකාර හතරක් තිබෙනවා. මේ අවස්ථා හතරේදී දැකිය හැක්කේ එකම රෝග ලක්ෂණ නෙමෙයි.

පළමු ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම ඉහළ යාම
දෙවන ආකාරය:  සමස්ත ඉල්ලුම එසේම තිබියදී සමස්ත සැපයුම පහළ යාම
තෙවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම ඉහළ යාම
සිවුවන ආකාරය:  සමස්ත සැපයුම එසේම තිබියදී සමස්ත ඉල්ලුම පහළ යාම

මෙහි පළමු හා සිවුවන අවස්ථා වලදී ඉල්ලුමට වඩා සැපයුම වැඩි නිසා මිල මට්ටම් පහත වැටී උද්ධමනය අඩුවෙනවා. ඉතිරි අවස්ථා දෙකේදී මිල මට්ටම් වේගයෙන් ඉහළ ගොස් උද්ධමනය වැඩි වෙනවා. ඒ වගේම, පළමු හා දෙවන අවස්ථා වලට මුල් වෙන්නේ සමස්ත සැපයුමේ ඇතිවන තාවකාලික කම්පනයන්.

උදාහරණයක් ලෙස කෘෂිකාර්මික නිෂ්පාදිතය හා අදාළව  කාලගුණ චක්‍ර වල බලපෑම නිසා සාමාන්‍ය අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ලැබීම හෝ අස්වනු පාළු වීම දැක්විය හැකියි. ඒ වගේම විදේශ අංශය දෙස බැලුවොත් රබර් වගේ අපනයන නිෂ්පාදනයක් සඳහා ලෝක ඉල්ලුම හදිසියේ වැඩි වී ජාත්‍යන්තර මිල ගණන් එකවර විශාල ලෙස ඉහළ යාම හෝ රටකින් තෙල් වැනි ස්වභාවික සම්පතක් හමු වීම දැක්විය හැකියි.

සමස්ත ඉල්ලුමේ විචලනයන් ඇති වන ආකාරය ඊට වඩා තරමක් සංකීර්ණයි. එක පැත්තකින් මෙයට හේතුව රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම දැන ගැනීමේ හැකියාවක් තනි පුද්ගලයෙකුට නැතිවීම කියා කියන්න පුළුවන්. උදාහරණයක් ලෙස සමහර වෙලාවට කවර හෝ හේතුවක් නිසා තෙල් හිඟයක් ඇති වෙයි කියා බොහෝ දෙනෙකුට හිතුනහම පැට්‍රෝල් ෂෙඩ් ඉදිරිපිට පෝලිම් ගැහෙන එක පෙන්වන්න පුළුවන්.

මේ ගොඩක් අය පැට්‍රෝල් මිල දී ගන්නේ තමන්ට ඒ වෙලාවේ පැට්‍රෝල් අවශ්‍ය නිසාම නෙමෙයි. මේ විදිහට පැට්‍රෝල් දැනට අවශ්‍ය නැති අයත් කලින්ම ටැංකි පුරවා ගැනීම නිසා එකවර පැට්‍රෝල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යනවා වගේම දවසකට දෙකකට පසුව පැට්‍රෝල් ඉල්ලුම සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටීමත් අනිවාර්යයයෙන්ම සිදු වෙනවා. හැමෝගෙම ටැංකි පිරුණට පස්සේ තව කොහාට පැට්‍රෝල් ගහන්නද?

ව්‍යාපාර චක්‍ර වල ක්‍රියාකාරීත්වය යම් තරමකින් අවබෝධ කරගත්තට පස්සේ මේ ව්‍යාපාර චක්‍ර වල බලපෑම අවම කරන්න මිනිස්සුන්ට අවශ්‍යතාවයක් ඇති වීම අමුතු දෙයක් නෙමෙයි. අවිනිශ්චිතතාවන් අඩු වෙනවට ගොඩක් මිනිස්සු කැමතියි. මහ බැංකු වල මුදල් ප්‍රතිපත්ති හා රජයයන්හි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ඉස්සරහට පනින්නේ ඔන්න ඔය කැමැත්ත ප්‍රයෝජනයට ගනිමිනුයි.

කොහොම වුනත් මහ බැංකුවට හෝ රජයට රටක සමස්ත සැපයුම වෙනස් කරන්න අමාරුයි. ඔවුන්ට කළ හැක්කේ සමස්ත ඉල්ලුම පාලනය කිරීම පමණයි. එය කළ හැක්කේත් තාවකාලිකව පමණයි. මෙහිදී වෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සැපයුම ගැන හරියටම නොදන්න මිනිස්සුන්ගේ තීරණ වලට බලපෑමක් කිරීමෙන් මිනිසුන්ගේ තීරණ වෙනස් කර ඒ මඟින් සමස්ත ඉල්ලුම වෙනස් කිරීමයි.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා බදු අඩු කළ විට මිනිසුන්ගේ ආදායම කලින් මට්ටමේදීම තියෙද්දී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. බදු වැඩි නොකර, රජයේ වියදම් වැඩි කළ විට වෙන්නේත් මිනිස්සුන්ගේ අතට වැඩිපුර සල්ලි එන එකයි. ඒ වගේම, මහ බැංකුව විසින් පොලී අනුපාතික පහළ දමා රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය වැඩි කළ විට මිනිස්සු වැඩිපුර ණය ගන්න පෙළඹෙනවා. එවිට වෙන්නෙත් අතට ලැබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන එකයි.

ස්වභාවික තත්ත්වයන් යටතේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වී මිල දී ගැනීමේ හැකියාව ඉහළ යන්නේ රටේ නිෂ්පාදිතය වැඩි වන අවස්ථා වලදීයි. සමාගමක් වැටුප් වැඩි කරන්නේ හෝ පාරිතෝෂික දෙන්නේ ලාභ වැඩි වන විට. ලාභ වැඩි වන්නේ නිෂ්පාදනය ඉහළ ගිය වෙලාවටයි. නමුත්, ඉහත ආකාරයෙන් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හෝ මුදල් ප්‍රතිපත්ති හේතුවෙන් මිනිස්සු අතට සල්ලි එන්නේ රටේ සමස්ත නිෂ්පාදනය ඒ විදිහටම තියෙද්දීයි.

කොහොම වුනත් මේ විදිහට සල්ලි අතට එනකොට මිනිස්සු වැඩියෙන් මිල දී ගන්න පෙළඹෙන නිසා රටේ සමස්ත ඉල්ලුම ඉහළ යනවා. අසමතුලිතතාවය ඇති වී තිබෙන්නේ සමස්ත ඉල්ලුමේ අඩුවක් නිසානම් ඒ අසමතුලිතතාවය ඉක්මනින් නැති වී යනවා. මේ විදිහට නැවත ඉහළ ගිය ඉල්ලුම සමඟ ගැලපිය හැකි සමස්ත සැපයුමක් රටේ තිබෙන නිසා මිල මට්ටම නියම තැනට නැවත එනවා.

හැබැයි ඔය විදිහට ඉල්ලුම හා සැපයුම නැවත සමතුලිත වීමෙන් පසුව රජය හා මහ බැංකුව විසින් අර කලින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතුයි. ඒ කියන්නේ නැවත රජයේ වියදම් කප්පාදු කර, බදු වැඩි කර, පොලී වැඩි කර මිනිසුන්ගේ වියදම් කිරීමේ හැකියාව සීමා කළ යුතුයි. එහෙම නොකළොත්, රටේ සමස්ත ඉල්ලුම සාමාන්‍ය සැපයුම් මට්ටමටත් වඩා වැඩි වෙලා ධන නිපැයුම් පරතරයක් ඇති වෙනවා.

ඉල්ලුම සැපයුමට වඩා පහත වැටී තිබෙන්නේ ඉල්ලුමේ අඩුවක් නිසා නොව සැපයුම හදිසියේ ඉහළ යාම නිසා වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවක මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් වෙන්නේ උඩින් කියූ දෙයම නෙමෙයි. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්ති වල හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වල බලපෑම ආර්ථිකයට එන්නත් කලින්ම වාගේ සැපයුම් කම්පන වල බලපෑම ස්වභාවිකවම වගේ නැති වී යන නිසා ඔය වගේ වෙලාවක මුදල් සැපයුම වැඩි කළොත් බොහෝ විට වෙන්නේ ඒ හේතුවෙන්ම අසමතුලිතතාවයක් ඇති වෙන එකයි.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා ව්‍යාපාර චක්‍ර වල බලපෑම පාලනය කරන්න උත්සාහ කරන එක ලෝකයේ සෑම රටක්ම වාගේ කරන දෙයක්. මෙය ප්‍රතිඵලදායක නොවන බව කියන්න බැරි වුනත් මේ විදිහට ව්‍යාපාර චක්‍ර පාලනය කරන්න යාමේදී නොසැලකිල්ලෙන් හෝ අත්වැරදීම් නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වූ අවස්ථා ගැන උදාහරණ ඕනෑ තරම් තියෙනවා.

මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පළමුව ව්‍යාපාර චක්‍රයේ තමන් සිටින්නේ කොතැනද කියන එක නිවැරදිව දැන ගත යුතුයි. ඒ සඳහා රටේ විභව දළ දේශීය නිෂ්පාදිතය කුමක්ද කියා හරියට දැනගත යුතුයි. උදාහරණයක් ලෙස රටේ විභව ආර්ථික වර්ධන වේගය 5%නම් හා සැබෑ වේගය 6%නම් ඒ වගේ වෙලාවක තියෙන්නේ ධන නිපැයුම් පරතරයක් නිසා අවශ්‍ය වන්නේ දැඩි මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ආර්ථික වර්ධනය අඩු කිරීමයි.

නමුත්, ඔය වගේ වෙලාවක නිමැවුම් පරතරය වැඩි වී නැති බවත්, විභව ආර්ථික වර්ධන වේගය 7% දක්වා වැඩි වී ඇති බවත් කවුරු හෝ හිතුවොත් පෙනෙන්නේ සෘණ නිමැවුම් පරතරයක් තිබෙන බවයි. ඒ මත පදනම්ව මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කළොත් අන්තිමට වෙන්නේ තිබෙන ධන නිමැවුම් පරතරය තවත් වැඩි වී රටේ ආර්ථිකය එහි ස්ථාවර සමතුලිතාවයෙන් තවත් ඈතට ගමන් කිරීමයි.

(Image: https://www.teacherspayteachers.com/Product/Mini-BusinessEconomic-Unit-on-Business-Cycle-incl-activities-quiz-answer-keys-3425921)

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.