Sunday, February 19, 2017

පර්පෙචුවල් ලාභ (හයවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

 

දැන් අපි දන්නා පරිදි රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන්නෙකුට ලාභ ලැබිය හැකි ක්‍රම දෙකක් තිබේ. පළමුවැන්න, ආයෝජනය කල් පිරෙන තෙක් සිට පොලී ආදායම ලබා ගැනීමයි. දෙවැන්න, කල් පිරෙන්නට පෙර 'සුදුසු අවස්ථාවේදී' මේ රාජ්‍ය සුරැකුම්පත් වෙනත් අයෙකුට විකුණා ප්‍රාග්ධන ලාභයක් ලැබීමයි.

පළමු ක්‍රමයේ ප්‍රතිලාභ සාපේක්ෂව අඩු අතර අවදානමද සාපේක්ෂව අඩුය. දිගුකාලීනව ආයෝජනය කිරීම කෙටිකාලීන ආයෝජන වලට සාපේක්ෂව අවදානම් සහගත වුවත් මෙසේ ආයෝජනය කරන්නේ තමන්ගේම මුදල් හෝ කෙටි කලකින් ආපසු ගෙවිය යුතු නැති වෙනත් අයෙකුගේ මුදල්නම් වැඩි ප්‍රතිලාභයක් වෙනුවෙන් මේ වැඩි අවදානම ගන්නට බැරිකමක් නැත. එමෙන්ම, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් හා අදාළව මේ 'දිගු කාලය' වන්නේ වසර තිහකි. අවදානම එම කාලය අතරතුර රජය බංකොලොත් වී ණය ආපසු ගෙවීමට නොහැකි වීමේ අවදානමයි.

රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත වුවත් වසර තිහක් වැනි දිගුකාලයක් ඇතුළත ලංකාව වැනි ණය උගුලක පැටලී සිටින රටක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැක්කකි. කෙසේ වුවද, මෙවැනි දිගු ආයෝජනයක් කිරීමෙන් වුවද ලබාගත හැකි වාර්ෂික ප්‍රතිලාභ අනුපාතය 13-14% මට්ටම නොඉක්මවයි. පොලී ආදායම් වලින් පමණක් කිසිවකුගේ ආයෝජන වෙනුවෙන් 500%ක් වැනි විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීමේ හැකියාවක් නැත.

ඉතා වැඩි අවදානම් සහගත ක්‍රමයක් වන දෙවැනි ක්‍රමයෙන් මුල් ආයෝජනය මෙන් 5-6 ගුණයක නොව ඊටත් වඩා වැඩි ප්‍රතිලාභයක් වුවද ලබා ගැනීමට කිසියම් ඉඩක් පවතී. මෙහිදී මා දෙවැනි ක්‍රමය ලෙස හඳුන්වන්නේ සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජන කරන, දිගු කාලයකට අරමුදල් හිරකළ හැකි, අයෙක් අවස්ථාව හඳුනාගෙන ආයෝජනයක් කලින් මුදල් කිරීම නොවේ. ආයෝජන ක්‍රමෝපායයක් ලෙසින්ම තමන් සතුව නැති හෝ තමන්ට දිගුකාලයකට හිරකළ නොහැකි අරමුදල් කෙටිකලකින් ද්වීතියික වෙළඳපොළේ විකුණා අධික ලාභයක් ලැබීමේ අරමුණින්ම දිගුකාලීනව ආයෝජනය කිරීමයි. මෙවැනි අයෙකු බොහෝ විට දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කරන්නේ කෙටිකාලීන ණයක් ලෙස ලබාගත් අරමුදල් වන්නට පුළුවන.

මේ දෙවන ක්‍රමයේදී ආයෝජකයා නිරත වන්නේ සූදුවකයැයි කීම නිවැරදිය. පළමු ක්‍රමයේදී, ලැබෙන ආදායම බොහෝ දුරට යටකරන ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභයයි. එහි ඇති අවදානම් අධිභාරය විශාල නැත. දෙවන ක්‍රමයේ ලැබෙන ආදායම බොහෝ දුරට අවදානම් අධිභාරයකි. එහිදී ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභය ලෙස ලැබෙන කොටස සාපේක්ෂව අඩු මුදලකි. මෙසේ ණයට ගත් හෝ 'නැති මුදල්' ආයෝජනය කිරීම සූදුවක් වන්නේ එබැවිනි.

කෙසේවුවද, රජය බංකොලොත් වීමේ ඉඩකඩ අමතක කළහොත් මේ සූදුව 'හොඳ' සූදුවකි.

සාමාන්‍යයෙන් සූදුවක ස්වභාවය වන්නේ එහි දිගින් දිගටම නියැලෙන අයෙකු අනිවාර්යයයෙන්ම පරාජිතයෙකු වීමයි. ඒ, සාමාන්‍ය සූදුවකින් අපේක්ෂා කළ හැකි දිගුකාලීන ප්‍රතිලාභ දිගුකාලීනව සූදුව වෙනුවෙන් වැය කරන මුදලට වඩා නොවැඩි බැවිනි. එහෙත්, මේ සූදුවේදී -රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර- සූදුවෙහි දිගින් දිගටම නිරත වීමෙන් ප්‍රතිලාභයක් ලැබීමේ හැකියාව තිබේ.

ඉහත කරුණ මෙසේ පැහැදිලි කළ හැකිය. රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී හැර, රටක පොලී අනුපාතික වසර හත අටකට වරක් පුනරාවර්තනය වන චක්‍රයක ඉහළ පහළ ගියත් දිගුකාලීනව කිසියම් ස්ථාවර මට්ටමක පවතී. ඒ නිසා දිගුකාලීනව පොලී අනුපාතික ඉහළ යාමට හා පහළ යාමට ඇති ඉඩකඩ ආසන්නව සමානය.

අප පෙර ලිපියේ (පස්වන කොටසේ) උදාහරණයකින් පැහැදිලි කළ පරිදි, පොලී අනුපාතික වෙනස් නොවුවහොත් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට වසරකට පසු එය විකුණා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. වසරක කාලය තුළ පොලී අනුපාතික පහළ ගියහොත් වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකි අතර, පොලී අනුපාතික ඉහළ ගියද ඒ ඉහළ යාම ඉතා සුළු ඉහළ යාමක් පමණක්නම් එහිදීද වැඩි ලාභයක් ලැබිය හැකිය. පාඩුවක් වන්නේ පොලී අනුපාතික කිසියම් මට්ටමක් ඉක්මවා ඉහළ ගියහොත් පමණි. රජය (හෝ වෙනත් බැඳුම්කර නිකුත් කරන්නෙකු) ආර්ථික වශයෙන් ස්ථාවරනම් මේ ඉඩකඩ 50%ට වඩා අඩු නිසා සූදුවෙන් දිගුකාලීනව ලාභයක් ලබන්නට පුළුවන.

කෙසේ වුවද, රජය අනිවාර්ය බංකොලොත් භාවය කරා යන තත්ත්වයකදී, පොලී අනුපාතික එන්න එන්නම වැඩි වනවා මිස අඩු වීමට ඉඩක් නැති නිසා ඉහත පරිදි ලාබයක් ලැබිය නොහැකි අතර විශාල අලාභයක් වුවද සිදුවන්නට පුළුවන. එවැනි විටෙක වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් මේ ආකාරයේ අවදානමක් ගන්නා ආයෝජකයෙකුට සිදුවන්නේ විශාල පාඩුවක් ලබමින් වුවත්, ඊටත් වඩා වැඩි පාඩුවක් විඳින්නට ඇති ඉඩකඩ වලක්වා ගැනීමේ අරමුණින් සිය ආයෝජන ක්ෂණිකව විකුණා දමන්නටය. මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කර ආයෝජන පාඩු ලබමින් විකුණා දැම්මේ මේ පදනමිනි.

දිගුකාලීනව මුදල් හිර කර තැබීමේ හැකියාව ඇති සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයක් අනුගමනය කරන්නේ මේ ක්‍රමවේද දෙකෙන් පළමු ක්‍රමවේදයයි. 2015 වසර තුළදී සේවක අර්ථසාධක අරමුදල විසින් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමෙන් රුපියල් මිලියන 144,226ක ආදායමක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 143,055ක්ම (99.2% ක්) උපයා ඇත්තේ පොලී අදායම් වශයෙනි. ප්‍රාග්ධන ප්‍රතිලාභ ලෙස උපයා ඇත්තේ රුපියල් මිලියන 1,171ක් පමණි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභාලාභ ගිණුම් දෙස බැලූ විට පෙනෙන්නේ තනිකරම මෙහි අනිත් පැත්තයි. එම සමාගම විසින් 2015 වසර තුළදී රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කර උපයා ඇති රුපියල් මිලියන 5,574.8ක මුදලින් ශුද්ධ පොලී ආදායම් ලෙස උපයා ඇති රුපියල් මිලියන 353.6ක් (6.34%ක්) පමණි. ඉතිරි ආදායම් උපයා ඇත්තේ ප්‍රාග්ධන ප්‍රතිලාභ වශයෙනි.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් කරන්නේ ආයෝජනය කිරීමකට වඩා සූදුවක නිරත වීමක් වැනි දෙයකි. ඔවුන්ගේ රුපියල් මිලියන 353.6ක් වන ශුද්ධ පොලී ආදායමෙහි සංයුතිය පරීක්ෂා කළ විට මේ කරුණ වඩාත් පැහැදිලි වේ. එම සමාගම වසර තුළ පොලී ආදායම් ලෙස රුපියල් මිලියන 942.8ක් උපයා ඇති අතර එයින් රුපියල් මිලියන 589.2ක්ම පොලී වියදම් ලෙස ආපසු ගෙවා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් වැඩිපුර ආයෝජනය කර ඇත්තේ වෙනත් අයගෙන් අඩු පොලියකට ණයට ගත් මුදල් බවයි. එසේනම්, ඔවුන්ගේ ව්‍යාපාරික ක්‍රමෝපායය වී ඇත්තේ අඩු පොලියට කෙටිකාලීන ණය ගනිමින්, වැඩි පොලී ලබා දෙන දිගුකාලීන ආයෝජන වල එම අරමුදල් යොදවා, මේ දිගුකාලීන බැඳුම්කර ඉතා ඉක්මණින් නැවත ද්වීතියික වෙළඳපොළෙහි විකුණා ප්‍රාග්ධන ලාභයක් මෙන්ම පොලී ආන්තිකයක්ද ඉපැයීමයි. ඉතා අවදානම් සහගත මේ සූදුව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉතා හොඳින් ක්‍රීඩා කර තිබේ.

එසේනම්, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් ඉපැයූ ඉතා විශාල ප්‍රතිලාභ අනුපාතිකය ඔවුන්ගේ සුවිශේෂී අවදානම් කළමණාකරණ කුසලතාවය මත උපයාගත් දෙයක්ද? එසේ නැත්නම්, වාසනාවට ලැබුණු දෙයක්ද? එසේත් නැත්නම්, අවදානම් කළමණාකරණ කුසලතාවය සඳහා ලැබිය හැකි ප්‍රතිලාභ මඟින් හා හුදෙක් වාසනාව මත ලැබිය හැකි ප්‍රතිලාභ වලින් පමණක් පැහැදිලි කළ නොහැකි 'වෙනත්' කොටසක් මෙහි තිබෙනවාද?

මේ ප්‍රශ්න වලට අපට නිශ්චිත පිළිතුරු දිය නොහැකි වුවත්, ප්‍රසිද්ධව ඇති තොරතුරු මත පදනම්ව, සිදුවිය හැකිව තිබුණු දේවල් යම් තරමකට විමර්ශනය කිරීමට බැරිකමක් නැත. අපි එය හෙමින් සැරේ කරමු.

Friday, February 17, 2017

පර්පෙචුවල් ලාභ (පස්වන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

 

දැන් අප දන්නා පරිදි, රාජ්‍ය සුරැකුම්පතක දිගුකාලීනව ආයෝජනය කිරීම වැඩි අවදානමක් ගෙන දෙනවා මෙන්ම වැඩි ප්‍රතිලාභද ගෙන දේ. ඒ නිසා, වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන ආයෝජකයෙකු සිතන්නේ තමන්ට කොපමණ කලක් අරමුදල් හිර කර තැබිය හැකිද යන්නයි. කෙසේ වුවද, දිගු පරිණත කාලයක් ඇති රාජ්‍ය සුරැකුම්පතක් මිල දී ගන්නා ආයෝජකයෙකු තමන් මුලදී අපේක්ෂා කළ ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැම විටම සුරැකුම්පතේ පරිණත කාලය අවසන් වන තුරු සිටිය යුතු නැත.

මෙය තවදුරටත් පැහැදිලි කිරීම සඳහා අපි පසුගිය (සිවුවන) කොටස සමඟ පළ කළ, ඔබේ පහසුව සඳහා මෙහි පහත නැවත පළ කරන, දෙවන වගුවේ අවසන් සිරස් තීරුව වෙත හැරෙමු. 2015 පෙබරවාරි 11න් අවසන් වූ සතිය තුළ පැවති රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළදපොල පොලී (ඵලදා) අනුපාතික එහි ඔබට පෙනේ. මේ වගුවේ පෙර සිරස් තීරු වලින් මෙන්ම පහතින් ඇති දෙවන රූප සටහන මඟින්ද පෙන්වා ඇති පරිදි පිළිවෙළින් වසරක හා දෙවසරක කාලයකට පසු සියළුම පරිණත කාල සඳහා වන පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 



කෙසේ වුවද, මෙය 2015 පෙබරවාරි 11 දින කිසිවකු නිශ්චිතවම දැන නොසිටි තත්ත්වයකි. තවත් වසරකට පසු පොලී අනුපාතික සමස්තයක් ලෙස ඉහළ යන්නට වැඩි ඉඩකඩක් ඇති බව දැන් අපට පෙනෙන නමුත් එම ඉහළ යාම කොතරම් විය හැකිද යන්න හෝ අඩුම වශයෙන් ස්ථිරවම පොලී අනුපාතික ඉහළ යන බව වුවද අපට අද කියන්නට නුපුළුවන. එය බාහිර සාධක රැසක් මත තීරණය වන්නකි.

අපට දැන් කතා කරන්නට අවශ්‍ය කරුණ පැහැදිලි කර ගැනීම සඳහා 2015 පෙබරවාරි 11 පැවති ඵලදා වක්‍රය වෙනස් නොවී වසර ගණනාවක් එසේම තිබුනේයැයි අපි සිතමු. එසේ වීනම්, 2015 පෙබරවාරි 11 දින 6.29% පොලියකට දෙවසරක බැඳුම්කරයක මුදල් හිර කරන අයෙකු (අජිත් කියා කියමු.) වසරකට පසු මුහුණ දෙන වෙළඳපොළ තත්ත්වය කුමක්ද?

ඵලදා වක්‍රය වෙනස් නොවී තිබුණේනම්, 2016 පෙබරවාරි 10 දින මාස 12ක සුරැකුම්පතක ආයෝජනය කරන්නෙකුට (බිමල් කියා කියමු.) ලැබෙන පොලිය 6.08%කි. නමුත්, වසරකට පෙර මිලදී ගත් තවත් වසරකින් කල් පිරෙන බැඳුම්කරයට අජිත්ට 6.29%ක පොලියක් ලැබේ. (පහසුව සඳහා අප මෙහිදී සලකා බලන්නේ කූපන් ගෙවීම් රහිත බැඳුම්කරයි.)

අජිත් විසින් වසරකට පෙර මිලදී ගත් 2017 පෙබරවාරිහිදී කල් පිරෙන බැඳුම්කරයේත්, 2016 පෙබරවාරි වලදී අළුතින් නිකුත් කරන සුරැකුම්පතකත් ආයෝජකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. මේ දෙකේම ඇත්තේ සමාන අවදානමකි. නමුත්, එයින් එකකට 6.08%ක පොලියක්ද, අනෙකට 6.29%ක පොලියක්ද ලැබේ. මෙය විය නොහැක්කකි. ඒ නිසා වැඩි පොලියක් ලැබෙන දෙවැන්නේ වෙළදපොළ වටිනාකම ඉහළ යයි. බිමල් විසින් පළමුවන්න මිලදී ගන්නේ රුපියල් මිලියන 10 කටනම්, දෙවැන්න සඳහා ඊට වඩා ආසන්න වශයෙන් 0.20% ක පමණ මිලක් ගෙවන්නට අකැමැති වන්නේ නැත. ඒ, එසේ කිරීමෙන් වසරකට පසු ඔහු ලබන ප්‍රතිලාභය අඩු නොවන බැවිනි.

වසරකට පෙර දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කළ අජිත්ට මේ වන විට 6.29%ක පොලී ආදායමක් ලැබී ඇති අතර තවත් වසරකින් එවැනිම පොලී ආදායමක් ලැබෙනු ඇත. එහෙත්, ඔහුට එතෙක් කල් බලා නොසිට දැන් ඔහුගේ සුරැකුම්පත බිමල්ට විකුණා ක්ෂණික ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකිය. මේ ප්‍රාග්ධන ලාභයද සමඟ අජිත් විසින් වසරක් තුළ ලබන ප්‍රතිලාභය 6.49% දක්වා ඉහළ යයි.

අජිත්ට 2015 පෙබරවාරි 11 දින වසරකට වඩා කාලයකට මුදල් හිර කිරීමේ කිසිදු හැකියාවක් නොතිබුණේයැයි සිතමු. එසේනම්, ඔහුට තමන්ගේ මුදල් ආයෝජනය කර ලබාගත හැකිව තිබුණු උපරිම ප්‍රතිලාභ අනුපාතිකය වන්නේ 6.08% කි. එහෙත්, අජිත් අවදානම් ලෝලියෙකු වීනම් ඔහු විසින් එදින වසරකින් පසු විකිණීමේ බලාපොරොත්තුවෙන් දෙවසරක බැඳුම්කරයක් මිල දී ගෙන එය වසරකට පසු විකිණීමෙන් (ඉහත උපකල්පනය පරිදි ඵලදා වක්‍රය නොවෙනස්ව පැවති තත්වයක් යටතේ) 6.08%ට වඩා 0.41%කින් වැඩි 6.49%ක ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සිදු විය හැකිව තිබුණි. අජිත්ගේ අතේ වසරකට හිර කරන්නටවත් මුදල් නොතිබුණු තත්ත්වයක් යටතේදී වුවද, ඔහුට වෙනත් අයෙකුගෙන් (චන්දිමාගෙන්) 6.08%ක පොලියට වසරක කාලයක් සඳහා ණයක් ගෙන දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර වසරකට පසු එය විකුණා 0.41%ක ලාභයක් ප්‍රාග්ධන ඉපැයීමක් ලෙස ලබා ගත හැකිව තිබුණි.

ඇත්තටම කියනවානම්, අජිත් වැනි අවදානම් ලෝලියෙකුට මෙසේ ණයට මුදල් ලබාගෙන පස් වසරක, දස වසරක හෝ තිස් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කර වුවද මිල දී ගන්නට බැරිකමක් නැත. මේ කාලය වැඩිවන විට ඔහුගේ අවදානම මෙන්ම ලාභාපේක්ෂාවන්ද විශාල ලෙස වැඩි වේ. කෙසේ වුවද, එසේ අතේ මුදල් නැතිව ලබා ගන්නා බැඳුම්කර වසරකට පසු (හෝ ණය ආපසු ගෙවිය යුතු වන විට) අනිවාර්යයෙන්ම විකුණන්නට සිදුවේ.

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින මිල දී ගත්තේ සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් යයි සිතමු. ඒ සඳහා ඔහුට ලැබෙන වාර්ෂික පොලිය 7.49% කි. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින, මේ බැඳුම්කරය පස් අවුරුදු බැඳුම්කරයකට සමානය. ඵලදා වක්‍රය නොවෙනස්ව පැවතියේනම්, 2016 පෙබරවාරි 10 දින වන විට පස් අවුරුදු බැඳුම්කරයක පොලී අනුපාතිකය වන්නේ 7.27%ක් පමණි. එවැන්නක් මිල දී ගන්නා අයෙකුට (බිමල්ට) වසර පහකට පසු 42.03%ක (=(1.0727^5-1)*100%) ප්‍රතිලාභ අනුපාතිකයක් හිමි වෙද්දී අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්ද තුළ ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය 43.50% (=(1.0749^5-1)*100%) කි. ඒ නිසා, අජිත්ට 1.03% පමණ (=1.4350/1.4203) වැඩි මිලකට ඔහු සතු බැඳුම්කරය බිමල්ට විකිණීමට ඉඩක් ලැබෙන අතර වසරක් තුළ අජිත් ලබන ප්‍රතිලාභ අනුපාතිකය 8.52%ක් දක්වා (7.49%+1.03%) ඉහළ යයි. මෙය අජිත් විසින් චන්දිමාට ගෙවිය යුතු පොලිය වන 6.08%ට වඩා 2.44%කින් වැඩිය. මෙහිදීද පෙර මෙන්ම අප සලකා බලා ඇත්තේ කූපන් රහිත බැඳුම්කරයි. කූපන් බැඳුම්කර හා අදාළ ගණනය කිරීම් වඩා සංකීර්ණ වුවත් එහිදී වෙන්නේද මෙවැනිම දෙයකි.

කෙසේ වුවද, දැන් අප දන්නා පරිදි 2016 පෙබරවාරි 10 දින වන විට ඵලදා වක්‍රය වසරකට පෙර පැවති මට්ටමේ තිබුණේ නැත. සියළුම පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. මෙසේ පොලී අනුපාතික ඉහළ යාම අජිත් වැනි අවදානම් ලෝලියෙකුට බලපාන්නේ කෙසේද?

අජිත් විසින් 2015 පෙබරවාරි 11 දින සය වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක් 7.47%ක පොලී අනුපාතිකයකට මිල දී ගත්තේය. ඒ සඳහා ඔහු චන්දිමාගෙන් 6.08% පොලියට මුදල් ලබා ගත්තේය. වසරකට පසු, 2016 පෙබරවාරි 10 දින වන විට, පස් අවුරුදු බැඳුම්කර සඳහා වන පොලී අනුපාතිකය 9.95% දක්වා ඉහළ ගියේය. මේ පොලී අනුපාතිකයට ආයෝජනය කර පස් වසරකින් 60.69% ක ප්‍රතිලාභ අනුපාතිකයක් ඉපැයිය හැකි වුවත්, අජිත්ගේ බැඳුම්කරයේ ඉතිරිව ඇති පස් අවුරුද්දට ලැබෙන්නේ 43.50%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. ඒ නිසා, අජිත්ගේ ආයෝජනයේ වෙළඳපොළ අගය දැන් 10.70% කින් අඩුවී තිබේ. එසේ වුවද, චන්දිමාගෙන් ලබාගත් කෙටිකාලීන ණය ආපසු ගෙවිය යුතු නිසා ඔහුට සිය බැඳුම්කරය විශාල පාඩුවක් විඳිමින් එහි වෙළඳපොළ වටිනාකමට විකුණන්නට සිදු වේ. අජිත් විසින් පළමු අවුරුද්දේ පොලිය ලෙස 7.47%ක් දැනටමත් උපයා ඇති නිසා චන්දිමාගේ ණය හා පොලිය ගෙවූ පසු 1.39%ක ඉතිරියක් වෙතත්, 10.70%ක ප්‍රාග්ධන අලාභය නිසා සමස්තයක් ලෙස 9.31%ක අලාභයකට මුහුණ දෙන්නට සිදුවේ.

සාමාන්‍ය කරුණක් ලෙස යමෙකු දිගුකාලීන සුරැකුම්පතක ආයෝජනය කිරීමෙන් පසු පොලී අනුපාතික ඉහළ ගියහොත් අදාළ ආයෝජනයේ වෙළදපොළ වටිනාකම අඩුවී ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. ආයෝජනයේ පරිණත කාලය වැඩි වන තරමට මෙන්ම පොලී අනුපාතික ඉහළ යන තරමට මේ අලාභයද ඉහළ යයි. මෙසේ වෙළදපොළ වටිනාකම අඩුවී අලාභ ඉහළ යද්දී ඉවසීමක් ඇති හා දිගුකාලයකට හිර කරන්නට අරමුදල් ඇති ආයෝජකයෙකුට නැවත පොලී අනුපාතික පහළ වැටෙන තුරු බලා සිටින්නට හැකි වුණත්, එවැනි දිගුකාලයක් මුදල් හිර කරගෙන සිටීමේ හැකියාවක් නැති අයෙකුට සිය සුරැකුම්පත් පාඩුවට විකුණන්නට සිදුවේ. මුදල් හිරකරගෙන සිටීමේ හැකියාවක් තිබුණත් පොලී අනුපාතික එන්න එන්නම ඉහළ යනු මිස පහත වැටෙන පාටක් නොපෙනේනම් කළ යුතු ඥානාන්විත ක්‍රියාව වන්නේ තියෙන පාඩුව තවත් වැඩි වන්නට පෙර සිය ආයෝජන මුදල් කිරීමයි. ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී මහ බැංකුව විසින් කළේ එවැන්නකි.

මේ අයුරින්ම දිගුකාලීන ආයෝජනයක් කිරීමෙන් පසු පොලී අනුපාතික පහත වැටුණොත් ආයෝජකයෙකුට විශාල ලාභයක් ලබන්නට පුළුවන.

අප පෙර ලිපි මාලාවෙන් කතා කළ 2015 පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියෙන් පසුව පොලී අනුපාතික ඉහළ ගිය බව ජනප්‍රිය කතාවකි. මේ කතාව බොරුවක් නොවේ. එහෙත්, එසේ පොලී අනුපාතික ඉහළ යාම නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබ වැඩි වූ බව කිසිවකු සිතනවානම් එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇත. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමට ලාභ ලැබිය හැකිව තිබුණේ බැඳුම්කර මිලදී ගැනීමෙන් පසු පොලී අනුපාතික පහළ යන තරමටය.

Wednesday, February 15, 2017

පර්පෙචුවල් ලාභ (සිවුවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස) 

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පසුගිය (තුන්වන) කොටසින් අපි රාජ්‍ය සුරැකුම්පත් වල පරිණත කාලය හා ඵලදා අනුපාතිකය අතර සම්බන්ධතාවය පෙන්වන ද්වීතියික වෙළදපොළ ඵලදා වක්‍රය හඳුනා ගත්තෙමු. පරිණත කාලය වැඩි වෙද්දී වැඩි වන අවදානම නිරූපණය කරමින් ඵලදා වක්‍රය සාමාන්‍යයෙන් මඳක් ඉහළට බෑවුම් වෙයි. එයට අමතරව, මේ ඵලදා වක්‍රය ඇසුරෙන් ඉදිරිකාලයේ පොලී අනුපාතිකයේ සිදුවීමට නියමිත වෙනස්කම් වෙළදපොළ අපේක්ෂාවන්ද හඳුනා ගත හැකිය.

ඉදිරි වසර තුළ පොලී අනුපාතික වෙනස් නොවීමට ඉඩ ඇති බව ඵලදා වක්‍රය ඇසුරෙන් හඳුනා ගන්නේ කෙසේද?

වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය දැන් 10%ක් බවත්, වසරකට පසුවද ඒ වන විට වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ඵලදා අනුපාතිකය 10% මට්ටමේම පවතිනු ඇති බවත් අපි සිතමු. ඒ අනුව යමෙකු අද රුපියල් මිලියනයක් වසරක පරිණත කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු පොලිය සමඟ ආපසු ලැබෙන රුපියල් මිලියන 1.1 නැවත තවත් වසරකට ආයෝජනය කළ හොත් ඔහුට හෝ ඇයට දෙවසරකට පසු රුපියල් මිලියන 1.21ක් හිමිවේ. මෙසේ නොකර, අද එක් වරම 10%ක වාර්ෂික පොලියක් ලබාදෙන දෙවසරක ආයෝජනයක් කළද ඔහුට හෝ ඇයට දෙවසරකට පසු මේ මුදලම හිමි වේ.

අවසානයේ ලැබෙන මුදල සමාන වුවත් දෙවන තේරීමේදී මුදල් වැඩි කලකට හිර වන නිසා අවදානම වැඩි බැවින් පොලී අනුපාතික සමානනම් බොහෝ දෙනෙකුගේ තේරීම වන්නේ පළමුවැන්නයි. ඒ නිසා, දෙවසරක බැඳුම්කරයක් නිකුත් කරන අයෙකුට පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනී ගියත් වසරක බැඳුම්කරයකට ගෙවන මුදලට වඩා තරමක් වැඩි පොලී අනුපාතිකයක් ගෙවන්නට සිදුවේ. මෙසේ වැඩිපුර ගෙවිය යුතු පොලිය පරිණත කාල අධිභාරය (term premium) ලෙස  හැඳින්වේ. ඉහත උදාහරණයේදී දෙවසරක් සඳහා වන පරිණත කාල අධිභාරය (වසරක පරිණත කාලයට සාපේක්ෂව) 0.5%ක් ලෙස සැලකුවහොත් වසරක බැඳුම්කරයක පොලිය 10% වෙද්දී, දෙවසරක බැඳුම්කරයක පොලී අනුපාතිකය 10.5%ක් වනු ඇත. පරිණත කාලය තවත් වැඩි වෙද්දී පරිණත කාල අධිභාරය තවත් වැඩි වී පොලිය ක්‍රමක්‍රමයෙන් වැඩි වන නිසා අපට මේ අවස්ථාවේදී දැකිය හැකි වන්නේ මඳක් ඉහළට බෑවුම් වුණු ඵලදා වක්‍රයකි. ඒ අනුව මඳක් ඉහළට බෑවුම් වුනු ඵලදා වක්‍රයකින් පෙන්නුම් කරන්නේ පොලී අනුපාතික නොවෙනස්ව පවතින්නට ඇති ඉඩකඩ ගැන වෙළඳපොළ අපේක්ෂාවන්ය.

ලබන වසරේදී වසරක බැඳුම්කරයක පොලිය 9% දක්වා අඩු වන්නට නියමිතනම් සිදු වන්නේ කුමක්ද? දැන් ඔබට වසරක බැඳුම්කරයක ආයෝජනය කර, වසරකට පසු ලැබෙන මුදල් නැවත ආයෝජනය කිරීමෙන් දෙවසරකින් ලබා ගත හැකි මුදල ආසන්න වශයෙන් රුපියල් මිලියන 1.2කි  (හරියටම මිලියන 1.199කි). දෙවසරක බැඳුම්කරයක ආයෝජනය කර මේ මුදලම ලබා ගැනීමටනම් ආසන්න වශයෙන් 9.5%ක පමණ (හරියටම 9.4989%ක) පොලී අනුපාතිකයක් ලැබිය යුතුය. කෙසේ වුවද, දෙවසරක  ආයෝජනයක් වෙනුවෙන් 0.5%ක පරිණත කාල අධිභාරයක්ද එකතු කළ යුතු නිසා මේ පොලී අනුපාතිකය ආසන්න වශයෙන් 10%ක් වේ.

දැන් මේ අවස්ථාවේදී, වසරක හා දෙවසරක පරිණත කාල සහිත බැඳුම්කර වල පොලිය සමාන නිසා එම පරාසය තුළ ඵලදා වක්‍රය තිරස් හැඩයක් ගනී. මේ අනුව පෙනී යන පරිදි තිරස් හැඩයක් ඇති ඵලදා වක්‍රයකින් පෙන්වන්නේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික අඩු වන්නට ඇති ඉඩකඩයි.

වෙළඳපොළ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී පොලී අනුපාතික ඉහළ යනු ඇති බවනම්, ඵලදා වක්‍රයේ බෑවුම වඩා දැඩි බෑවුමක් වනු ඇත. බෑවුම වැඩි වන තරමට පොලී අනුපාතික ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩිය.

ඵලදා වක්‍රය පහළට බෑවුම් වීම අඩුවෙන් දැකිය හැකි දෙයකි. එසේ පහළට බෑවුම් වී ඇත්නම් එයින් පෙනෙන්නේ පොලී අනුපාතික ඉදිරියේදී ඉතා විශාල ලෙස පහත වැටෙන්නට ඉඩ ඇති බවයි.

හැඩයේ ඉහත වෙනස්කම් පෙන්නුම් කරන අතරම, වෙළදපොළ පොලී අනුපාතික අඩු වැඩි වන විට සාමාන්‍යයෙන් ඵලදා වක්‍රය සමස්තයක් ලෙස ඉහළ පහළ යයි. පසුගිය දෙවසරක පමණ කාලය තුළ ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික සමස්තයක් ලෙස පෙන්වූයේ ඉහළ යාමේ ප්‍රවණතාවයකි. එයට මහ බැංකුව විසින් ගත් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මෙන්ම රජයේ දේශීය ණය ගැනීම් වැඩි වීමද හේතු විය.

පහත වගුවෙන් (වගුව 2) හා රූප සටහනෙන් (රූප සටහන 2) පෙන්වන්නේ පසුගිය සතියේ, වසරකට පෙර හා දෙවසරකට පෙර ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් ද්වීතියික වෙළඳපොළ ඵලදා වක්‍රයේ වෙනස් වීමයි.

 


Monday, February 13, 2017

හාල් මිල, ජීවන වියදම හා උද්ධමනය

මේ දවස් වල ලංකාවේ හාල් හොඳටම ගණන්ය. හාල් විතරක් නොව පොල්ද ගණන්ය. වසර කිහිපයකට වරක් ඇති වන වියලි කාලගුණය සමඟ වී හා පොල් නිෂ්පාදනය පහත වැටී, ලංකාවේ නිපදවන හාල් වර්ග වල හා පොල් වල මිල ඉහළ යාම අමුතු දෙයක් නොවේ. ඇතැම් වසර වල මෙහි අනිත් පැත්තද මේ අයුරින්ම සිදු වේ. එහෙත්, හාල් පොල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක් ගණන් යද්දී මෙන් මිල අඩුවන විට ඒ ගැන වැඩිපුර අවධානය යොමු වෙන්නේ නැත.

හාල් හා පොල් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආහාර වේලේ මූලික කොටස් දෙකකි. වෙන මොනවා නැතත් බොහෝ ලාංකිකයින්ට හාල් හා පොල්නම් නැතුවම බැරිය. ඒ නිසා, මිල වැඩි වුනත් හාල් හා පොල් සඳහා ලංකාවේ තිබෙන ඉල්ලුම එතරම් අඩු වෙන්නේ නැත.

හාල් හා පොල් ගණන් ගිය විට බොහෝ දෙනෙකුගේ ජීවන වියදම වැඩි වේ. බොහෝ දෙනෙකුගේ කියා කීවේ හාල් හා පොල් නොකන අයත් සිටිය හැකි බැවිනි. හාල් හා පොල් මිල ඉහළ යාම නිසා හාල් හා පොල් නොකන අයගේ ජීවන වියදමට බලපෑමක් නොවේ. ජීවන වියදම කියන්නේ එක් එක් පුද්ගලයාට, වඩා නිවැරදිව කිවුවොත් පවුල් ඒකකයකට සාපේක්ෂ දෙයකි. ජීවන වියදම ඉහළ යාම කියා හඳුන්වන්නේ කිසියම් පුද්ගලයෙකුට හෝ පවුල් ඒකකයකට සාමාන්‍යයෙන් අවශ්‍ය වන භාණ්ඩ මල්ලේ මිල ඉහළ යාම නිසා ඇතිවන අපහසුතාවයයි.

උද්ධමනය කියන්නේත් භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම හා සම්බන්ධ දෙයකි. එහෙත්, උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම කියන්නේ එකක් නොව දෙකකි. උද්ධමනය කියන්නේ පොදුවේ කිසියම් රටක භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව එම රටේ මුදල් ඒකකයේ අගය අඩු වීමයි. හැමවිටම වාගේ උද්ධමනයට හේතු වෙන්නේ වැඩියෙන් මුදල් අච්චු ගැසීමයි. මේ මුදල් අච්චු ගැසීම කුමක්ද කියා පෙර පැහැදිලි කර තිබේ. උද්ධමනය රටක් තුළ එකම මුදල් ඒකකය භාවිතා කරන පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පවුලෙන් පවුලට වෙනස් නොවේ. උද්ධමනය වැඩි වීම රටේ සියල්ලන්ටම පොදුවේ බලපායි.

උද්ධමනය මැනීම සඳහා පහසුවට පාරිභෝගික මිල දර්ශක යොදා ගත්තත්, පාරිභෝගික මිල දර්ශකයකින් ඇත්තටම මනින්නේ රටේ යම්කිසි කණ්ඩායමක ජීවන වියදමෙහි සිදුවන වෙනස් වීමයි. රටේ මුදල් සැපයුම වැඩි වීම හැර වෙනත් හේතු නිසාද ඇතැම් භාණ්ඩ වල මිල ඉහළ ගොස් ජීවන වියදම වැඩි වුනත් බොහෝ විට මෙවැනි මිල වැඩිවීම් කෙටිකාලීනය. එහෙත්, උද්ධමනය යනු දිගුකාලීනව සිදුවන ක්‍රියාවලියකි.

අප කවුරුත් දන්නා පරිදි මේ දවස් වල හාල් හා පොල් මිල ඉහළ ගොස් ඇත්තේ නිෂ්පාදනය අඩු වීම නිසා මිස රටේ මුදල් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් නොවේ. මුදල් ප්‍රමාණය වැඩිවීමේ බලපෑම සෑම භාණ්ඩයකට හා සේවාවකටම එකසේ බලපායි. මෙය එවැනි තත්ත්වයක් නොවේ.
(මුදල් සැපයුම වැඩි වීමේ ප්‍රතිඵල පසුව තැපෑලෙන් ලැබෙන්නට පුළුවන.) 

මුදල් සැපයුම සමාන්තරව වැඩි නොවේනම් කිසියම් භාණ්ඩයක හෝ භාණ්ඩ කිහිපයක මිල වැඩි වීම සාමාන්‍යයෙන් උද්ධමනකාරී තත්ත්වයක් ඇති නොකරයි. ඒ වෙනුවට සිදුවන්නේ වෙනත් භාණ්ඩ කිහිපයක මිල අඩු වීමෙන් රටේ සාමාන්‍ය මිල මට්ටම කිසියම් සමතුලිතතාවයකට පැමිණීමයි.

රටේ සාමාන්‍ය පවුලකට ආහාර සඳහා වියදම් කළ හැක්කේ නිශ්චිත මුදලකි. මේ මුදල සමාන්තරව වැඩි නොවේනම්, හාල් හා පොල් මිල ඉහළ ගිය විට එම පවුලට සිය පරිභෝජන මට්ටම පවත්වා ගැනීම අසීරු වේ. එවිට, හාල් හා පොල් පරිභෝජනය අඩු කරන්නට සිදුවේ. එහෙත්, ලංකාවේ බොහෝ දෙනෙකුට මෙය කළ නොහැකි දෙයකි. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ මෙතෙක් පරිභෝජනය කළ වෙනත් දේවල් වලින් කිසියම් ප්‍රමාණයක් කපා හරින්නටය.

ලංකාවේ හාල් හා පොල් වැඩිපුර ආහාරයට ගන්නා බහුතර ජනතාව දිනපතා මස්, මාළු කන්නේ නැත. ඔවුන්ගේ ආහාර වේලට සාමාන්‍යයෙන් බොහෝ විට එකතු වන්නේ බිත්තරයක් හා එළවළු කිහිපයකි. කෑම සඳහා සාමාන්‍යයෙන් වෙන් කරන මුදලින් වැඩි කොටසක් හාල් හා පොල් වෙනුවෙන්ම පමණක් වියදම් වූ විට ඔවුන්ට වෙනදා මෙන් එළවළු හා බිත්තර වැනි දේ මිල දී ගන්නට ප්‍රමාණවත් මුදලක් අතේ ඉතිරි නොවේ. ඒ නිසා එළවළු හා බිත්තර මිල දී ගන්නට වෙන්නේ වෙනදාට වඩා අඩුවෙනි. හාල් හා පොල් ඇත්නම් සම්බෝලයක් හදාගෙන හෝ බඩ පිරෙන්නට බත් ටිකක් කන්නට පුළුවන.

බොහෝ දෙනෙක් මේ අයුරින් එළවළු හා බිත්තර මිල දී ගැනීම සීමා කරන විට ඒවාට ඇති ඉල්ලුම අඩු වේ. අනෙක් අතට, නියඟය නිසා වී වැවිය නොහැකි ඇතැම් කුඹුරු වල එළවළු වැවීම හේතුවෙන් එළවළු සැපයුම වැඩි වේ. රටේ ඉල්ලුම අඩුවුන බව කිකිළියන් දන්නේ නැති නිසා බිත්තර නිෂ්පාදනයද අඩු වෙන්නේ නැත. දැන් මේ එළවළු හා බිත්තර විකුණා ගන්නට විදිහක් නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ එළවළු හා බිත්තර වල මිල අඩුවීමයි. එවිට, නැවතත් හාල් හා පොල් වලින් බඩ පුරවාගන්නා අඩු හා පහළ මැදි ආදායම් ලබන පවුල් වලට එළවළුවක් බිත්තරයක් සමඟ කෑම කන්නට ඉඩක් ලැබේ.

පහළ හා පහළ මැදි ආදායම් ලබන පවුල් මෙන් හාල් හා පොල් වලට ආහාර වේලේ ලොකු බරක් නොදමන ඉහළ මැදි ආදායම් ලබන පවුල් වලට හාල් හා පොල් මිල ඉහළ යාම දැනෙන්නේ අඩුවෙනි. ඔවුන් අඩු ආදායම් ලබන පවුල් වලට සාපේක්ෂව එළවළු හා මස් මාළු වැඩිපුර ආහාරයට ගනිති. එළවළු හා බිත්තර මිල අඩු වීම නිසා දැන් මේ අයට තමන් පෙර ආහාර සඳහා වියදම් කළ මුදලින් කොටසක් ඉතිරි වේ. එම ඉතිරිය ඔවුහු මස් මාළු ආදිය මිලදී ගැනීමට වැය කරති. ඒ නිසා අඩු ආදායම් ලබන අයගේ මස් මාළු ඉල්ලුම අඩු වුනත්, ඉහළ ආදායම් ලබන අයගේ ඉල්ලුම වැඩි වන නිසා සමස්තයක් ලෙස සිදුවන්නේ ඉල්ලුම වැඩි වීමකි. ඒ නිසා, එළවළු හා බිත්තර වල මෙන් මස් හා මාළු වල මිල අඩු නොවේ. ඇතැම් විට තරමක් මිල වැඩි වේ. විශේෂයෙන්ම මාළු සැලකූ විට අඩු ආදායම් පවුල් වල තේරීම වන මිල අඩු පොඩි මාළු වර්ග වල මිල තරමක් හෝ අඩු වන්නටත්, ඉහළ ආදායම් ලබන අයගේ තේරීම වන මිල අධික ලොකු මාළු වර්ග වල මිල තරමක් වැඩි වන්නටත් ඉඩ ඇති බව අපට පෙනේ.

මේ සියල්ලේ ශුද්ධ ප්‍රතිඵලය ලෙස, සැපයුම් සාධක මත හාල් හා පොල් මිල විශාල ලෙස වැඩි වුවත් උද්ධමනයෙහි සැලකිය යුතු වෙනසක් නොවේ. පහත වගුවේ ඇත්තේ පසුගිය වසරක කාලය තුළ ලංකාවේ ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි.



 (Image: https://nohopenofear.net/2012/03/12/eat-this-it-will-please-and-sustain-you-sri-lanka/)

Sunday, February 12, 2017

පර්පෙචුවල් ලාභ (තෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)


පසුගිය (දෙවන) කොටසෙන් පෙන්වා දුන් එක් මූලික කරුණක් වූයේ කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම වැඩි අතර ප්‍රතිලාභද වැඩි බවයි. ඊට සාපේක්ෂව රජය හෝ සමාගමක් විසින් නිකුත් කරන බැඳුම්කර වල අවදානම මෙන්ම ප්‍රතිලාභද අඩුය.

සමාගමක කොටස් මිලදී ගන්නා අයෙකුට තමන් විසින් ආයෝජනය කළ මුල් මුදල ආපසු ලැබෙන බවට කිසිදු සහතිකයක් නොලැබේ. එහිදී සිදුවන්නේ මේ ආයෝජකයා අදාළ සමාගමේ හිමිකරුවෙකු බවට පත් වීමයි. සමාගම ලබන ලාභ මෙන්ම අලාභද එක සේ දරා ගැනීමට කොටස් හිමිකරුවෙකුට සිදුවේ.

කිසියම් සමාගමක් විසින් වැඩිපුර හෝ "අධික" ලාභ උපයනවා කියා ඔබ සිතනවානම් ඔබ විසින් කළ යුත්තේ අදාළ සමාගමේ කොටස් මිල දී ගැනීමයි. ලංකාවේ සමාගම් වලින් කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර ඇත්තේ සීමිත සමාගම් ගණනක් නිසාත්, ඉතා සුළු මුදලක් අතේ ඇති කෙනෙකුට කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීම පිණිස ප්‍රවේශ වීම සාපේක්ෂව අසීරු කරුණක් නිසාත් මෙය කියන තරම්ම සරල කරුණක් නොවූවත්, වඩා පැතිරුණු හා දියුණු කොටස් වෙළදපොළක් ඇති රටක ඉතා සුළු මුදලක් වුවද කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කර වැඩි ප්‍රතිලාභයක් ලැබීමට සාමාන්‍ය පුද්ගලයෙකුට අවස්ථාව තිබේ.

සමාගම් කොටස් වලින් වෙනස්ව, බැඳුම්කර වල ආයෝජනය කරන්නෙකුට මුල් මුදල මෙන්ම කිසියම් නිශ්චිත ප්‍රතිලාභයක්ද ලැබෙන බවට සහතිකයක් එම බැඳුම්කර නිකුත් කරන රජයෙන් හෝ සමාගමෙන් මුලදීම ලැබේ. ඒ නිසා එහි ඇත්තේ අඩු අවදානමකි. අවදානම අඩු වුවද අවදානමක් නැතුවා නොවේ.

බැඳුම්කර නිකුත් කරන රජය හෝ සමාගම විසින් මෙසේ මුලදී පොරොන්දු වුවත් අවසානයේදී ඒ පොරොන්දුව ඉටු නොකරන්නට ඉඩ තිබේ. බොහෝ විට මෙසේ වන්නේ අදාළ සමාගම හෝ රජය බංකොලොත් වීම හේතුවෙනි.

කොටස් මිල දී ගන්නෙකු කිසියම් සමාගමක අයිතිකරුවෙකු වන නිසා සමාගම බංකොලොත් වුවහොත් එහි පාඩුව අය කර ගන්නට කෙනෙක් නැත. මෙහිදී සිදු වන්නේ තමන් විසින්ම ව්‍යාපාරයක් අරඹා එය බංකොලොත් වූ විට සිදු වන පාඩුවට සමාන තත්ත්වයකි. එහෙත්, බැඳුම්කර මිල දී ගන්නෙකු කරන්නේ කිසියම් සමාගමකට හෝ රජයකට ණය දීමයි. ඒ නිසා, ණය ආපසු නොගෙවුවහොත් නඩු පැවරීමට හැකිය. කෙසේ වුවද, බංකොලොත් සමාගමක නඩු පවරා ලබා ගත හැකි තරමේ වත්කම් නොමැත. බංකොලොත් වූ රජයක තත්ත්වයේද වෙනසක් නැත!

සමාගමක් බංකොලොත් වීමට ඇති ඉඩකඩට වඩා රජයක් බංකොලොත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු වුවත්, රජයයන් විසින් නිකුත් කළ බැඳුම්කර හරහා ලබාගත් ණය ආපසු නොගෙවා පැහැර හැරි අවස්ථාද ඕනෑ තරම් තිබේ. ග්‍රීක බැඳුම්කර ආසන්නම උදාහරණයකි. මෙසේ රජයක් හෝ සමාගමක් බංකොලොත් වීම නිසා ණය ආපසු නොගෙවීමේ අවදානම වැඩි වන තරමට ආයෝජකයින් බැඳුම්කර සඳහා අපේක්ෂා කරන පොලී අනුපාතික ඉහළ යයි.

බැඳුම්කරයක් කල් පිරීමට ගත වන කාලය වැඩි වන තරමට එම කාලය තුළ අදාළ බැඳුම්කරය නිකුත් කළ සමාගම හෝ රජය බංකොලොත් වීමට ඇති ඉඩකඩ වැඩිය. මේ හේතුවත්, මෙහි සාකච්ඡා කර නැති වෙනත් හේතු ගණනාවකුත් නිසා සාමාන්‍යයෙන් එකම ආයතනය මඟින් නිකුත් කරන බැඳුම්කර වල කල් පිරීමේ කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද ක්‍රමයෙන් වැඩි වේ. ඒ නිසා, වැඩි අවදානමක් ගෙන දිගු කල්පිරීමේ කාලයක් ඇති බැඳුම්කරයක ආයෝජනය කරන්නෙකුට වැඩි ප්‍රතිලාභයක්ද ලැබිය හැකිය. ලංකාවේ නිකුත් කෙරෙන වැඩිම පරිණත කාලයක් ඇති බැඳුම්කර වන්නේ තිස් අවුරුදු බැඳුම්කර නිසා එවැනි දිගුකලක් මුදල් හිර කර අවදානමක් ගන්නට සූදානම් අයෙකුට සිය ආයෝජනය වෙනුවෙන් සැලකිය යුතු ඉහළ පොලී අනුපාතිකයක් හිමිවේ.

පසුගිය සතියේ (2017 පෙබරවාරි 8න් අවසන් වූ) ලංකාවේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ද්වීතියික වෙළඳපොළෙහි පැවති සාමාන්‍ය ඵලදා අනුපාතික පහත පළමු වගුවේ පෙන්වා දී තිබේ. දත්ත මහ බැංකුවේ වෙබ් අඩවියෙනි. 


ඉහත වගුවේ ඇති තොරතුරු පහත පළමු රූප සටහනේ පරිදි ප්‍රස්තාරගත කළ විට දැකිය හැකි සම්බන්ධතාවය "ඵලදා වක්‍රය" ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් ඵලදා වක්‍රයේ හැඩය මෙහි අග කොටසේ දැකිය හැකි පරිදි මඳ බෑවුමක් සහිතව ඉහළට නැඹුරු වූවකි. එයින් පෙනෙන්නේ පරිණත කාලය වැඩි වෙද්දී පොලී අනුපාතිකද වැඩි වන බවයි.

 

Wednesday, February 8, 2017

පර්පෙචුවල් ලාභ (දෙවන කොටස)

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

 

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ ගැන කතා කරන්නට පෙර අප විසින් එම සමාගම වැනි මූල්‍ය ආයෝජන මඟින් ලාභ ඉපැයීම අරමුණු කරගත් සමාගමකට ලාභ වැඩි කරගත හැක්කේ කෙසේද යන කරුණ තේරුම් ගත යුතුය. මූල්‍ය ආයෝජන සමාගමක් විසින් ආදායම් උපයන ප්‍රධානම ප්‍රභවය වන්නේ සිය ආයෝජන වෙනුවෙන් ලැබෙන පොලී ආදායමයි.

විවිධ මූල්‍ය ආයෝජන සඳහා ලැබෙන්නේ විවිධ පොලී අනුපාතිකයන්ය. එසේනම්, වැඩි පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් මඟහැර අඩු පොලී අනුපාතිකයක් ලැබෙන ආයෝජනයක් කරා කිසියම් ආයතනයක් යොමු වන්නේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.

ආයෝජනය කිරීමෙන් පොලිය ලෙස ආදායමක් ලැබෙන නමුත් පොලිය මෙන්ම මුල් ආයෝජනයද නැති වී යාමේ අවදානමක්ද එහි තිබේ. බිඳ වැටුණු බැංකු ගැන හෝ සක්විතිලා හා දඬුවම් මුදලාලිලා ගැන මා විසින් අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. ඒ නිසා වැඩි අවදානමක් ඇති ආයෝජන වලට ඇත්තේ අඩු ඉල්ලුමකි. මෙහි ප්‍රතිපලයක් ලෙස, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, ආයෝජනයක ඇති අවදානම හා පොලී අනුපාතික අතර ඇත්තේ අනුලෝම සම්බන්ධතාවයකි. එනම්, වැඩි අවදානමක් ඇති ආයෝජන සඳහා වැඩි පොලියක්ද ලබා ගත හැකි අතර අඩු අවදානමක් සහිත ආයෝජන සඳහා ලැබෙන්නේ අඩු පොලියකි.

-ආයෝජනයක මුල් මුදල ආපසු ලබා ගැනීමට ගත වන කාලය වැඩි වන තරමට අවදානම වැඩිය.
-රාජ්‍ය ණය සුරැකුම්පත් වල කරන ආයෝජන පෞද්ගලික ආයතනයකින් නිකුත් කරන ණය සුරැකුම්පත් වල හෝ ව්‍යාපාර වස්තු (කොටස් වෙළඳපොළ ආයෝජන) වල කරන ආයෝජනකට වඩා අවදානම අඩුය.
-සුරැකුම්පත් නිකුත් කරන්නෙකුගේ ණය බර වැඩි වන තරමට අවදානම වැඩි වේ.

මේ හේතු ඇතුළු කවර හේතුවකින් හෝ ආයෝජනයක අවදානම වැඩි වන විට පොලී අනුපාතිකයද වැඩි වන නිසා වැඩි අවදානමක් ගන්නා අයකුට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට, අවදානමක් නොගෙන වැඩි ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිය. ඒ නිසා, කිසියම් මූල්‍ය ආයෝජන සමාගමකට තමන් විසින් ගන්නට සූදානම් අවදානමේ ප්‍රමාණය ගැන තීරණයකට එළැඹෙන්නට සිදු වේ.

ලංකාවේ විශාලතම මූල්‍ය ආයෝජකයා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. 2015 වසර අවසන් වන විට එම අරමුදල සතු වූ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 1,664.6 ක් විය. මෙය කෙතරම් විශාල මුදලක්ද කියනවානම් කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති සමාගම් කොටස් වලින් අඩක් මිල දී ගන්නට මේ අරමුදල් ප්‍රමාණවත් වූ අතර රජයේ මුළු දේශීය ණය ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ විය.

සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වලින් රුපියල් බිලියන 1,487.1ක් ආයෝජනය කර තිබුණේ රජය විසින් නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලය. මේ මුදල 2015 අවසානයේදී රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය වූ රුපියල් බිලියන 3,963.4 න් 37.5%ක් විය. මේ ආයෝජන මඟින් අර්ථසාධක අරමුදල ඉපැයූ පොලී ආදායම රුපියල් බිලියන 167.7කි. මෙය එම ආයෝජන මත 11.28% ක ප්‍රතිලාභ අනුපාතිකයකි. 

සේවක අර්ථසාධක අරමුදලට සෑම වසරකදීම වාගේ අළුතින් එකතුවන සාමාජික මුදල් ප්‍රමාණය වසරක් තුළ ආපසු ගෙවිය යුතු ප්‍රතිලාභ ප්‍රමාණයට වඩා වැඩිය. ඒ නිසා, අරමුදලේ වත්කම් කිසියම් ලෙසකින් "හිර වී" තිබුණද, අළුතින් එකතු වන අරමුදල් වලින් පමණක් වුවද ආපසු ගෙවීම් කරන්නට බැරිකමක් නැත. මේ හේතුව නිසා සේවක අර්ථසාධක අරමුදලට "බය නැතිව" දිගුකාලීනව අරමුදල් ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාව තිබේ.

මේ "දිගුකාලය" වසර පහළොවක් පමණ ලෙස අපි සිතමු. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සතු අරමුදල් වසර පහළොවක් වැනි දිගුකාලයකට ආයෝජනය කිරීම සඳහා ප්‍රධාන විකල්ප දෙකක් තිබේ. පළමු විකල්පය වන්නේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. දෙවන විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කිරීමයි. තෙවන විකල්පය ලෙස සැලකිය හැකි සමාගම් මඟින් නිකුත් කරන බැඳුම්කර සදහා ලංකාවේ පුළුල් වෙළඳපොළක් නැත.

රාජ්‍ය සුරැකුම්පත් වල කරන ආයෝජන වල අවදානම අඩුය. එමෙන්ම ප්‍රතිලාභද අඩුය. කොටස් වෙළඳපොළ ආයෝජන වල අවදානම මෙන්ම ප්‍රතිලාභද වැඩිය. රජය විසින් නිකුත් කරන වසර 15ක පමණ පරිණත කාලයක් ඇති බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් දිගුකාලීනව වත්කම් මත 12%ක පමණ ප්‍රතිලාභයක් ලබා ගත හැකි අතර දිගුකාලීනව කොළඹ කොටස් වෙළදපොළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 20% පමණ වේ.

කෙසේ වුවද, කෙටිකාලීනව කොටස් වෙළදපොළෙහි ආයෝජනය කිරීමෙන් මුල් ආයෝජනයන්ද කොටසක් අහිමි වීමට ඉඩ තිබේ. පසුගිය 2016 වසරේදී කොටස් වෙළදපොළ ආයෝජන කළ අයෙකුට සාමාන්‍ය වශයෙන් 9.7%ක පාඩුවක්ද, ඊට පෙර 2015 වසරේදී 5.5%ක පාඩුවක්ද සිදුවිය. රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කළ විට කෙටිකාලීනව වුවද මෙසේ මුල් මුදල අහිමි වීමේ අවදානම ඉතා අඩුය.

සේවක අර්ථසාධක අරමුදල වැනි දිගුකාලීනව අරමුදල් හිර කර තැබීම ප්‍රශ්නයක් නොවන ආයතනයක් වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ සිය ආයෝජන කළඹෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් කොටස් වෙළපොළෙහි ආයෝජනය කිරීමය. එසේ කිරීමෙන් කෙටිකාලීනව පාඩු සිදු වුවද, වසර දහයක් හෝ පහළොවක් වැනි දිගුකාලයකදී අනිවාර්යයෙන්ම සැලකිය යුතු වැඩි ප්‍රතිලාභයක් ලැබිය හැකිය. එහෙත්, සේවක අර්ථසාධක අරමුදල විසින් කරන්නේ එහි අනිත් පැත්තයි. එනම්, සිය ආයෝජන කළඹෙන් 90-95%ක් පමණම රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීමයි. අරමුදල විසින් කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේ මුළු අරමුදල් ප්‍රමාණයෙන් 5%ක් වැනි අඩු ප්‍රතිශතයකි.

සේවක අර්ථසාධක අරමුදලට ඉහත පරිදි ක්‍රියා කරන්නට සාධාරණ හේතු තිබේ. පළමුව, අරමුදලේ ආයෝජන තීරණ ගන්නේ මහ බැංකු නිලධාරීන් විසිනි. සිය ශ්‍රේණිය අනුව නිශ්චිත වැටුප් තලයක සිටින මේ නිලධාරීන්ට අවදානමක් ගෙන අරමුදලේ වත්කම් වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගිණුම් හිමියන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා දුන්නා කියා විශේෂ වාසියක් නොලැබේ. එහෙත්, ආයෝජන කරන පෞද්ගලික සමාගමක සේවකයෙකුට අවදානම ගෙන එසේ ලබා ගන්නා කිසියම් ලාබයක් වෙතොත් එයින් සැලකිය යුතු කොමිස් මුදලක් ලැබේ. ඒ නිසා, පෞද්ගලික ආයෝජන සමාගමක සේවකයෙකු වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් වැඩි අවදානමක් ගන්නට පෙළඹේ.

අනෙක් අතට මෙවැනි අවදානමක් ගෙන පාඩුවක් සිදුවුවහොත්, සේවක අර්ථසාධක අරමුදලේ සේවකයෙකුට පෞද්ගලිකව ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවේ. වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවදානමක් ගෙන ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවේදී හා හෙජින් ගනුදෙනුවේදී පාඩු සිදුකර ගැනීමෙන් පසු අදාළ මහ බැංකු නිලධාරීන්ට මුහුණ දෙන්නට සිදු වූ අපහසුතා උදාහරණයි. ඒ නිලධාරීන්ගේ පැත්තෙන් වඩා සුරක්ෂිත දෙය හැකි තරම් අඩු අවදානමක් ගැනීමයි. ඔවුහු එය කරති. ඒ නිසා, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන්නේ ලබාගත හැකි උපරිම ප්‍රතිලාභයට වඩා සැලකිය යුතු ලෙස අඩු ප්‍රතිලාභයකි.


මෙසේ ක්‍රියා කිරීමට දෙවන හේතුවක් විය හැක්කේ සේවක අර්ථසාධක අරමුදල විසින් සිය ප්‍රධාන කාර්යය විය යුත්තේ සාමාජික ගිණුම් හිමියන්ට ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම බව අමතක කර, රජයට අඩු පොලියට අරමුදල් සොයා ගැනීමට උදවු කිරීම සඳහා යොමුවීම වන්නට පුළුවන. මෙය මේ අයුරින් සිදුවීමට හේතු වන්නේ සේවක අර්ථසාධක අරමුදලෙහි පාරිභෝගිකයින් මෙන්ම "කොටස් හිමියන්" ලෙසද එක්තරා ආකාරයකින් සැලකිය හැකි සාමාජික ගිණුම් හිමියන්ට අරමුදලේ කළමනාකරණය වෙත බලපෑමක් කිරීමට තබා සිය අරමුදල් ස්ව-කැමැත්තෙන් බැහැර ගෙන යාමට හෝ හැකියාවක් නැති වීමයි. යම් හෙයකින් සේවක අර්ථසාධක අරමුදලට වෙනත් තරඟකරුවකු සිටියේනම්, සාමාජිකයින් විසින් දිගුකාලීනව වැඩි ප්‍රතිලාභ ලබාදෙන ආයතනයට සිය අරමුදල් රැගෙන යා හැකිව තිබුණි.

Saturday, February 4, 2017

පර්පෙචුවල් ලාභ (පළමු කොටස)

දැන් අළුතෙන් නැවත විස්තර කල යුතු නැති, මහ බැංකු බැඳුම්කර සිද්ධියට ඇති මාධ්‍ය වටිනාකම තවමත් අඩු වී නැත. මේ ගැන විග්‍රහ කරන්නට බොහෝ දෙනා ඉදිරිපත් වෙති. මේ ඇතැම් 'විශ්ලේෂණ' 'ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි තරම්' ඉතාම සරලය. සරලව විග්‍රහ කළ හැකි දෙයක් මහා ලොකු සංකීර්ණ දෙයක් ලෙස විස්තර කරන්නට යාම විකාරයකි. එහෙත්, ඇත්තටම සංකීර්ණ දෙයක් ඕනෑවට වඩා සරල කළ විට කියැවෙන්නේ අවශ්‍ය දෙය නොව වෙනත් දෙයකි.

බැඳුම්කර හා අදාළ ඇතැම් මූලික සිද්ධාන්තද පැහැදිලි කරමින් මේ සිද්ධිය ගැන ඉකොනොමැට්ටා විසින් ලිපි විස්සක් ලියා පළ කළත් ඒ ලිපි විස්සෙන්ම සමස්තයක් ලෙස සාකච්ඡා කර ඇත්තේ මේ සිද්ධියට අදාළ සම්පූර්ණ ක්‍රියාදාමයෙන් සුළු කොටසක් පමණි. එම ලිපි මාලාවෙන් මා පෙන්වා දුන්නේ අදාළ සිද්ධිය නිසා රජයට වූ පාඩුව ගැන ඇති ඇස්තමේන්තු බොහොමයක්, විගණකාධිපති වරයාගේ ඇස්තමේන්තුවද ඇතුළුව, නිවැරදි නොවන බවයි. එමෙන්ම මේ ඇස්තමේන්තු අධිතක්සේරු වන්නට ඇති ඉඩකඩ ඉතා වැඩි බවයි. කෙසේ වුවද, එම ලිපි මාලාව අවසානයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවූයේය යන නිගමනයට මා එළඹුණේ නැත. ඒ අතරම, රජයට වූ පාඩුව ලෙස නිශ්චිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේද නැත.

බොහෝ දෙනෙකු මේ ලිපි කියවීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ රජයට සිදු වූ පාඩුව ලෙස ඔවුන් සිතා සිටි මුදල තහවුරු කරන ඇස්තමේන්තුවකි. තවත් කොටසක් මේ පිලිබඳ චෝදනා වලින් එම චෝදනා ලැබූවන් නිදහස් කරමින් ලබා දෙන නිගමනයක් අපේක්ෂා කළා විය හැකිය. ලිපි මාලාව ලියාගෙන යද්දී මේ දෙපිරිසේම උනන්දුව ක්‍රමයෙන් අඩුව යන බව පෙනුණේය. කෙසේ වුවද, අවසන් නිගමනයක් වෙනුවට මේ විෂය පිළිබඳව දැනුම වැඩි කර ගැනීමේ අරමුණින් මා සමඟ රැඳී සිටි සුළු පිරිසක්ද වූහ. ලිපි මාලාව ඒ මට්ටමට හෝ ඇදගෙන යන්නට දිරිය සැපයූවේ එම සුළු පිරිසයි.

මගේ පාඨකයින් කිසිවකු නිගමන වලට එළඹීමේදී මා සමඟ එකඟ විය යුතුයැයි මා සිතන්නේ නැත. මා හෝ වෙනත් අයෙකු විසින් "අලෙවි කරන" හෝ "බලෙන් තල්ලු කරන" නිගමන සමඟ විමසුමකින් තොරව එකඟ වීම යහපත් දෙයක් නොවේ. එහෙත්, නිගමන වලට එළඹීමේදී තමන් නොදන්නා කරුණු හා පුහුණුවක් ලබා නැති තාක්ෂනික කරුණු ගැන වැඩි යමක් දැනගැනීම වඩා හොඳ නිගමනයකට එළඹීමට උදවුවකි. මගේ ලිපි වලින් ටික දෙනෙකුට හෝ ඒ සඳහා උදවුවක් ලැබී ඇති බව පෙනෙන්නට තිබීම දිරිගන්වන සුළු කරුණකි.

විගණකාධිපති වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 වෙන්දේසියෙන් රජයට වූ අලාභය රුපියල් මිලියන 889.4 කි. ඉන් පසුව, 2016 මාර්තු 29 වෙනි දිනද මෙවැනිම සිදු වීමක් නැවත සිදුවීම නිසා සිදුවූ අලාභය රුපියල් මිලියන 784.9කි. අධිතක්සේරු ලෙස මා සලකන මේ ඇස්තමේන්තු අනුව අදාළ වෙන්දේසි වලින් රජයට සිදු වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 1,674.3 කි. ඒ අතර, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් 2015 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ලබා ඇති ලාභය එමෙන් තුන් ගුණයක්ද ඉක්මවන අතර රුපියල් මිලියන 5,124.2කි. එම සමාගම විසින් පෙර වසරේ ලබා ඇති ලාභයද රුපියල් මිලියන 959.6කි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම මෙවැනි ඉහළ ලාබයක් ලැබුවේ කොහොමද?

ඇතැම් අය සරල ලෙස පැහැදිලි කර තිබුණු පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉහළ ලාභයක් ලැබුවේ 12.5%ක ගිණි පොලියට ආණ්ඩුවට ණය දීමෙනි. ආණ්ඩුවට 12.5% ක වාර්ෂික පොලියකට ණය දී රුපියල් බිලියන 5 ක ඉක්මවන ලාභයක් ලබන්නට එසේ ණයට දෙන මුදල රුපියල් බිලියන 40 ඉක්මවන මුදලක් විය යුතුය. ආණ්ඩුවට ණයට සල්ලි දී එපමණ පොලී ආදායමක් උපයන්නට තරම් තමන්ගේම ප්‍රාග්ධනයක් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සතු නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත. වෙනත් අයෙකුගෙන් ලබාගත් මුදල් ආණ්ඩුවට ණයට දෙන්නට එම සමාගමට හැකි වුවත්, එවිට එසේ මුදල් ලබාදෙන අයට නැවත පොලී මුදලක් ගෙවිය යුතු බැවින් රජයෙන් ලබාගන්නා පොලී ආදායම සම්පූර්ණයෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාබයක් වන්නේ නැත. ඒ නිසා, මේ පළමු පැහැදිලි කිරීම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොවේ.

ඇතැම් අය විසින් කර තිබුණු, වඩා හොඳ පැහැදිලි කිරීමක් වන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විසින් රුපියල් 90 බැගින් මිලදී ගත් බැඳුම්කර (රුපියල් 120 කට ආසන්න?) ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදලට විකිණීමෙන් මේ ලාබය ලබා ගත් බවයි. සේවක අර්ථසාධක අරමුදලට කොපමණ බැඳුම්කර ප්‍රමාණයක් විකුණුවේද, ඒ කවර මිලකටද යන්න මා නොදන්නා නමුත් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ වලින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ අඩුවට ගත් බැඳුම්කර කල් පිරීමට පෙර වැඩි මිලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් බව ඇත්තකි.

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ රුපියල් මිලියන 5,124.2ක ලාබයෙන් ශුද්ධ පොලී ආදායම වන්නේ රුපියල් මිලියන 353.6ක් පමණි. එම සමාගමේ පරිපාලන හා ප්‍රචාරණ වියදම් ලෙස රුපියල් මිලියන 197.0 ක් වසර තුළ වියදම් කර ඇති නිසා වෙනත් ආකාරයකින් ආදායමක් නොලැබුවේනම් එම සමාගමේ ශුද්ධ ලාභය වන්නේ රුපියල් මිලියන 156.6ක් පමණි. මූල්‍ය වසර ආරම්භයේදී පැවති ප්‍රාග්ධන ආයෝජනය වූ රුපියල් මිලියන 1,065.9 සැලකූ විට මෙහි ඇත්තේ 14.7%ක ප්‍රතිලාභ අනුපාතිකයක් පමණි. එය හොඳ ප්‍රතිලාභ අනුපාතිකයක් වුවත් කිසිසේත්ම අසාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකයක් නොවේ.

කෙසේවුවද, මේ පොලී ආදායම පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ මුළු ලාභයෙන් සුළු කොටසක් පමණි. පොලී ආදායමට අමතරව ප්‍රාග්ධන ලාභ ලෙස එම සමාගම විසින් මූල්‍ය වසර තුළ තවත් රුපියල් මිලියන 5,377.7ක ලාභයක් උපයා ඇත. ප්‍රාග්ධන ලාභ ලෙස හඳුන්වන්නේ බැඳුම්කරයක් කල් පිරීමට පෙර එය මිලදී ගත් මුදලට වඩා වැඩි මුදලකට ද්වීතියික වෙළඳපොළේ විකිණීම මඟින් ලබන ලාබයි.

මෙය විශාල හා අසාමාන්‍ය ලාභයකි. සිදු කළ ආයෝජනය මෙන් 500% ඉක්මවන ප්‍රතිලාභ අනුපාතිකයකි.

තරඟකාරී වෙළඳපොල ආර්ථිකයක ලාභ උපයන්නෙකු විසින් කරන්නේ වරදක් හෝ නරක දෙයක් නොවේ. එමෙන්ම, එක් අයෙකු වැඩි ලාබයක් ඉපැයීම යනු වෙනත් අයෙකුට පාඩුවක් සිදු වීමද නොවේ.  තරඟකාරී වෙළඳපොල ආර්ථිකයකයම් සමාගමක හෝ පුද්ගලයෙකුගේ ලාභය යනු ඔහු හෝ එම සමාගම විසින් ආර්ථිකයට අළුතින් එකතු කරන දෙයකි. ඒ නිසා, යමෙකුට වසරක් තුල එක් රුපියලක් රුපියල් හයක් බවට පත් කරන්නට හැකිනම් ඔහු හෝ ඇය සුවිශේෂී පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින් සිටීනම් ඔවුන් ජාතික සම්පත් ලෙස සැලකීමේ වරදක් නැත.

කෙසේවුවද, ඉහත තර්කය අදාළ වන්නේ තරඟකාරී තත්ත්වයන් තුළ අනෙක් කිසිවෙකුට නොමැති විශේෂ වාසි කිසිවක් නොලබමින්, තමන්ගේ කිසියම් සුවිශේෂී දක්ෂතාවයක් උපයෝගී කරගෙන එවැනි ලාබයක් ලබා පෙන්වා ඇත්තේනම් පමණි. එවැන්නෙකු විසින් "එකතු කළ දෙය" බොහෝ විට පෙනෙන්නට තිබේ. බිල් ගේට්ස්, මාක් සකබර්ග් හෝ ස්ටීව් ජොබ්ස් විසින් එසේ එකතු කළ දේවල් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිව, අනෙක් අයට නැති විශේෂ වරප්‍රසාද ලබමින් යම් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් ලාබ ලබන විට සිදුවන්නේනම් අළුත් ධනයක් නිර්මාණය වීම නොව වෙනත් අයෙකුගේ දෙයක් අහිමි වීමයි.

ඒ නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ විශ්ලේෂණය කිරීම සඳහා අප විසින් සලකා බැලිය යුතු එක් පදනමක් වන්නේ ඔවුන් විසින් උපයා ඇති විශාල ප්‍රාග්ධන ලාබ ලබා ඇත්තේ කෙසේද යන්නයි. අඩු මිලට ගන්නා දෙයක් වැඩි මිලට විකුණා ලාබයක් ලැබීම ඕනෑම ව්‍යාපාරයක් විසින් කරන, කිසිදු වැරැද්දක් නැති කටයුත්තක් වුවත් මෙසේ මිල දී ගැනීම හා විකිණීම පිලිබඳ තීරණ ගන්නා විට අනෙක් අයට නොලැබෙන විශේෂ "රහසිගත" හෝ "අභ්‍යන්තර" තොරතුරක් එක් අයෙකුට පමණක් ලැබේනම් හා ඒ හේතුවෙන් විශාල ලාභයක් ලැබිය හැකිනම් එහි පැහැදිලි ප්‍රශ්නයක් තිබේ.

මෙහි එවැන්නක් වීමට පැවති ඉඩකඩ මොනවාද? මෙවැනි වාසිදායක හා රුපියල් බිලියන ගණන් වටිනා තොරතුරු මොනවාද?

අපි ඒ ගැන ඉදිරියේදී විමසමු.