Tuesday, August 14, 2018

ව්‍යාපාර චක්‍ර (දෙවන කොටස)


පළමු කොටසින් අපි කතා කළේ ව්‍යාපාර චක්‍රයක දැකිය හැකි අදියර හතර පිළිබඳවයි. මෙයින් අදියර දෙකකදී, රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන පථය එහි දිගුකාලීන ගමන් මාර්ගයෙන් ඉවතට අපගමනය වෙනවා. ඉතිරි අදියර දෙකේදී නැවත එම ගමන් මාර්ගය දිශානුභිමුකව ගමන් කරනවා. මේ විදිහට රටක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන පථය කාලයෙන් කාලයට එහි දිගුකාලීන ගමන් මාර්ගයෙන් පිටතට හා ඒ දෙසට විචලනය වන්නේ ඇයි?

මේ ගැන පැහැදිලි කෙරෙන ප්‍රවාද ගණනාවක් තිබෙනවා. ඒ ප්‍රවාද බොහොමයක් එකිනෙකට පටහැනි ඒවා නෙමෙයි. මේ සංසිද්ධිය පසුපස තිබෙන ක්‍රියාවලියේ වෙනස් මාන වෙතට අවධානය හෙළීම පමණයි මේවායේ වෙනස.

නිපැයුම් පරතරය ධන අගයක් ගන්නවා කියන්නේ රටේ සාමාන්‍ය නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා කියන එකයි. මේක කොහොමද වෙන්නේ?

මේ දවස් වල ලංකාවේ උසස් පෙල විභාගය පැවැත් වෙනවා. මේ වගේ කඩඉම් විභාගයක් කිට්ටු වෙද්දී බොහෝ සිසු සිසුවියන් අධ්‍යාපන කටයුතු සඳහා දවසේ වැඩි වෙලාවක් යොදවනවා. සමහර විට පැය හත අටක්... දහයක් දොළහක්... නිදා ගන්නේ වෙනදා කාලයට වඩා අඩු කාලයක්. රූපවාහිනිය සමඟ ගත කරන කාලය, ක්‍රීඩා කරන කාලය වගේ දේවල් අඩු කරනවා.

ඉහත තත්ත්වය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි. මේ වගේ කට්ටක් කන එක මාසයක් දෙකක් එක දිගට කරන්න පුළුවන් වුනත් හැමදාම කරන්න බැහැ. ඒ නිසා, විභාගය ඉවර වුනු ගමන් ඔය ඔක්කොම කණපිට ගැහෙනවා.

සමහර රැකියා කරන අයට සමහර කාල වලට වැඩ වැඩියි. ගණකාධිකාරීවරයෙක් ගත්තොත් වසරේ අවසන් ගිණුම් හදන කාලයට. අලෙවිකරුවෙක් ගත්තොත් තමන්ගේ අලෙවි ඉලක්ක පරීක්ෂා කෙරෙන කාල පරාසයක අන්තිම කිට්ටුව වෙද්දී. මේ වගේ කාලයකට වැඩි පැය ගණනක් මැරීගෙන වැඩ කරන කෙනෙක් එයින් පස්සේ විවේකයක් ගන්නවා. 

ඉදි කිරීම් වැඩපොළක් වගේ එකක් ගත්තොත් වැඩේ ඉවර කරල බාර දෙන දවස කිට්ටු වෙද්දී තාවකාලික සේවකයින් දමාගෙන, ඉන්න සේවකයින්ට අතිකාල ගෙවමින් රෑ දවල් නැතුව බරටම වැඩ කළත් හැමදාම ඔය විදිහට වැඩ කරන්නේ නැහැ. ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය නිපදවන ඇඟලුම් කම්හලක් ගත්තත්, ඇනවුමක් නැව්ගත කළ යුතු දවස (ෂිප්මන්ට් එකක්) කිට්ටු වෙද්දී තත්ත්වය ඔය වගෙයි.

ඉහත විස්තර කළ පරිදි, පුද්ගලයෙක් හෝ ආයතනයක් තමන්ගේ සාමාන්‍ය ධාරිතාවට වඩා වැඩියෙන් වැඩකරන කාල පරිච්ඡේද තියෙනවා. හැබැයි එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි.

මේ විදිහට තමන්ගේ ධාරිතාව ඉක්මවලා කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් වැඩ කරන්නේ එසේ කිරීමේ වාසියක් තිබෙන වෙලාවට. නිෂ්පාදන ක්‍රියාවලියක නිරතවෙන ආයතනක් ගත්තොත් මේ විදියට වැඩ කරන්නේ පෙළඹෙන්නේ තමන් නිපදවන භාණ්ඩයට හෝ සේවාවට සාමාන්‍ය ඉල්ලුමට වඩා විශාල ඉල්ලුමක් තිබෙන වෙලාවට.

ධාරිතාව ඉක්මවා නිෂ්පාදනය කරන විට පිරිවැය ඉහළ යනවා. මෙයට හේතුව වන්නේ නිෂ්පාදන සාධක වෙනුවෙන් ගෙවිය යුතු මිල වැඩි වීමයි. උදාහරණයක් විදිහට ශ්‍රමය ගත්තොත්, වැඩියෙන් නිපදවන්න වැඩියෙන් ශ්‍රමය අවශ්‍ය වෙනවා. මේ අමතර ශ්‍රමය හොයා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තිබෙනවා. පළමුවන ක්‍රමය දැනට ඉන්න සේවකයන්ගෙන් වැඩි වෙලාවක් වැඩ ගැනීම. දෙවන ක්‍රමය අලුත් සේවකයින් බඳවා ගැනීම.

දැනට ඉන්න සේවකයන්ගෙන් වැඩිපුර වැඩ ගැනීමේදී අතිකාල ගෙවීම් ආදී ලෙස වැඩි මිලක් ගෙවන්න වෙනවා. ඒ වගේම, යම් සීමාවකින් පසුව එක දිගටම වැඩ කරද්දී මේ අයගේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය පහළ වැටීමකුත් සිදුවන නිසා භාණ්ඩ හෝ සේවා ඒකකයක් වෙනුවෙන් වැය කළ යුතු ශ්‍රම ඒකක ගණන ඉහළ යනවා. 

අලුත් සේවකයින් බඳවා ගැනීමත් ආකාර දෙකකට සිදු වෙන්න පුළුවන්. එකක් අලුතින්ම නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම. එවැන්නෙකුගේ කාර්යක්ෂමතාවය දැන් සිටින සේවකයෙකුගේ මට්ටමේ නැති නිසා, මේ අයට සාපේක්ෂව අඩු වැටුපක් ගෙවුවා වුනත් භාණ්ඩ හෝ සේවා එක් ඒකකයක් හදන්න වැඩි වියදමක් යන්න පුළුවන්. 

එහෙම නැතුව පුහුණු ශ්‍රමිකයන් බඳවා ගන්නවානම් එය කරන්න වෙන්නේ තරඟකාරී සමාගමක සේවකයින්ට වැඩි වැටුප් ගෙවීමට පොරොන්දු වීම මඟිනුයි. හැබැයි මේ වගේ වෙලාවක වෙනත් සමාගම් විසිනුත් මේ දෙආකාරයටම සේවකයින් බඳවා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා, තමන් සමඟ දැනට ඉන්න සේවකයින් තරඟකාරී සමාගමකට යන එක වළක්වාගන්න ඔවුන්ටත් වැඩි වැටුප් ගෙවන්න සිදු වෙනවා. ඒ වගේම, මේ වගේ වෙලාවක සමාගම් අතර පවතින තරඟය නිසා රැකියා විරහිතව සිටින නුපුහුණු ශ්‍රමිකයෙක් වුවත් හිතන තරම් අඩු වැටුපකට බඳවා ගන්න බැහැ.

නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වැනි දේ ගැන සැලකුවත් තිබෙන්නේ මේ වගේම තත්ත්වයක්. කලින් සැපයුම්කරුවන් ගණනාවකගේ මිල ගණන් හා අමුද්‍රව්‍ය වල තත්ත්වය පරීක්ෂා කර මිල අඩු, තත්ත්වයෙන් ඉහළ සැපයුම්කරුවන්ගේ අමුද්‍රව්‍ය විතරක් මිල දී ගත්තත් දැන් ඒ ප්‍රමාණය මදි නිසා තත්ත්වයෙන් තරමක් බාල, මිලෙන් වැඩි අමුද්‍රව්‍ය වුවත් මිල දී ගන්න වෙනවා. ඒ වගේම, දැනට ඉන්න සැපයුම්කරුවන්ට පහසුවෙන් වෙනත් නිෂ්පාදකයෙකුට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන් නිසා ඔවුන්ටත් වැඩි මිලක් ගෙවන්න සිද්ධ වෙනවා.

සමස්තයක් ලෙස මේ ආකාරයට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා විකුණන්න වෙන්නේ වෙනදාට වඩා වැඩි මිලකටයි. නමුත්, මේ අදියරේදී රටේ භාණ්ඩ හා සේවාවන්ට විශාල ඉල්ලුමක් තිබෙන නිසා ගාණ ටිකක් වැඩි වුනත් විකුණගන්න පුළුවන්.

ධන නිපැයුම් පරතරයක් ඇති වී ගොඩ නැගෙන මුල් කාලයේදී හෙවත් රූප සටහනේ D හා A අතර කොටසින් පෙන්වන හතරවන අදියරේදී ඉහත ආකාරයේ තත්ත්වයක් ඇති වී රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යනවා. ඒ කියන්නේ උද්ධමනය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙනවා. 

භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යද්දී සමාගම් වලට ලාභ පෙනෙන්න ගන්න නිසා ඔවුන් නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් අලුත් සේවකයින් බඳවා ගන්නවා. ඒ නිසා විරැකියා අනුපාතිකය පහළ යනවා. නිෂ්පාදනය වේගයෙන් වැඩිවන නිසා ආර්ථික වර්ධනය වේගවත් වෙනවා.

කලින් විරැකියාවෙන් පෙළුණු අයට අලුතින් රැකියා ලැබී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යනවා. කලින් සේවය කළ අයගේත් වැටුප් ඉහළ ගොස් වියදම් කිරීමේ හැකියාව වැඩි වෙනවා. සමාගම් වල ආදායම් ඉහළ යාම නිසා කොටස් හිමියන්ගේ ආදායම් වැඩි වී ඔවුනුත් වැඩියෙන් භාණ්ඩ හා සේවා මිල දී ගන්න පෙළඹෙනවා. පරිභෝජන වියදම් පමණක් නෙමෙයි ආයෝජනය කිරීමුත් වැඩි වෙනවා. මෙහෙම වෙනකොට භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම නැවත වටයකින් ඉහළ යනවා. උද්ධමනය තවත් වැඩි වෙනවා. විරැකියාව තවත් අඩු වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය වී නිපැයුම් පරතරය පුළුල් වෙනවා. 

හැබැයි ඉහත තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. ඒ තත්ත්වය ආපසු හැරවෙන්නේ ඒ ක්‍රියාවලිය තුළමයි.

මුලදී සේවකයින්ගේ ආදායම් ඉහළ ගියත්, මිල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යන නිසා ඔවුන්ට එසේ ලැබෙන මුදලින් මිල දී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. එවිට, ඔවුන්ට ජීවන තත්ත්වය කලින් මට්ටමේ පවත්වා ගන්න වැඩි වැටුප් අවශ්‍ය වෙනවා. සමාගම් වලට සේවක වැටුප් ක්‍රමයෙන් වැඩි කරන්න වෙද්දී ඔවුන්ගේ ලාබ අඩු වෙන්න පටන් ගන්නවා. මේ විදිහටම අමුද්‍රව්‍ය ආදියට ගෙවන මිල ගණනුත් ඉහළ යන නිසා නිෂ්පාදන වියදම් ඉහළ ගියත්, එයට අනුරූපීව මිල ඉහළ දැමීම තවදුරටත් කළ නොහැකි දෙයක් වෙනවා. එහෙම මිල වැඩි කළොත් වෙන්නේ සේවක වැටුප් තවත් වැඩි කරන්න වෙන එකයි. ඒ නිසා එය හරියන දෙයක් නෙමෙයි. මේ ටික වෙන්නේ වක්‍රයේ A ස්ථානයට පැමිණි විටයි.

තත්ත්වය ඔය වගේ වුනාම සමාගම් වලට වියදම් අඩු කරන්න වෙනවා. මේ වෙලාවට ඇමරිකාව වගේ සෛද්ධාන්තික ධනවාදයකට කිට්ටු ආර්ථික ක්‍රමයක් තියෙන රටක සේවකයින් ඉවත් කරනවා. මුලින්ම ඉවත් කරන්නේ වඩා අකාර්යක්ෂම සේවකයින්වයි. ඉතිරි සේවකයින්ගේත් පාරිතෝෂික දීමනා වැනි වරප්‍රසාද අඩු කෙරෙනවා. ඇතැම් විට වැටුප් පවා අඩු කෙරෙන්න බැරි කමක්ම නැහැ. එහෙම කළා කියලා මේ වගේ වෙලාවක සේවකයින් අස් වෙලා යන්නේ නැහැ. මොකද එහෙම ගිහින් වෙනත් රැකියාවක් හොයා ගැනීම පහසු නැති නිසා.

අන්තිමේදී විරැකියාව ඉහළ ගිහින්, රැකියා කරන අයගේත් ආදායම් අඩුවී රටේ භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. සමාගම් වල ලාභ අඩු වෙන නිසා ඔවුන් අලුත් ආයෝජන ගැන හිතන්නෙත් අඩුවෙන්. ඒ නිසා ආයෝජන භාණ්ඩ වලට තිබෙන ඉල්ලුමත් අඩු වෙනවා. මේ විදිහට රටේ සමස්ත ඉල්ලුමම පහළ වැටෙන්න ගත්තහම භාණ්ඩ හා සේවා විකුණාගැනීම සඳහා නිෂ්පාදකයින්ට මිල පහත දමන්න සිදු වෙනවා. ගොඩක් නිෂ්පාදකයින් මේ විදිහට කරන කොට රටේ උද්ධමනය අඩුවෙන්න පටන් ගන්නවා. නිෂ්පාදනය අඩු වී ආර්ථික වර්ධන වේගය අඩුවෙන්න පටන් ගන්නවා.  විරැකියා අනුපාතය ඉහළ යන්න පටන් ගන්නවා. 

රූප සටහනේ A සහ B කොටසෙන් දැක්වෙන පළමු අදියරේදී සිදුවන මේ සිදුවීම් මාලාව B වලින් පෙන්වන සමතුලිතතාවයට පැමිණීමෙන් පසුව නවතින්නේ නැහැ. මෙයට හේතුව ධනවාදී ආර්ථිකයක් මෙහෙයවන කෙනෙක් නැති වීමයි. ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වන්නේ තනි පුද්ගලයින් විශාල පිරිසකගේ ස්වාධීන තීරණ වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් ලෙසයි.

සාමාන්‍යයෙන් මිනිස්සු තමන්ට ලබා ගත හැකි එහෙත් අතේ නැති දෙයක් නොලැබෙනවාට වඩා අතේ දැනට තිබෙන දෙයක් නැති වෙනවට බයයි. එය මිනිස් ස්වභාවය. සමාගම් වෙනුවෙන් තීරණ ගන්නෙත් මිනිසුන් නිසා මෙය සමාගම් ක්‍රියාකාරී වන විදිහෙනුත් යම්තාක් දුරට පෙනෙනවා. 

උදාහරණයක් විදිහට පැයක් දණ ගහගෙන හිටියොත් රුපියල් දාහක් දෙනවා කිවුවොත් එසේ කරන්න අකැමැති වන අයගෙන් සෑහෙන දෙනෙක්, පැයක් දණ ගහගෙන හිටියේ නැත්නම් රුපියල් දාහක් ගන්නවා කිවුවොත් වැඩේ කරනවා. චර්යාත්මක ආර්ථික විද්‍යා පර්යේෂණ වලදී නැවත නැවත තහවුරු වී තිබෙන ඉහත හැසිරීම ඉංග්‍රීසින් දහනවවන සියවසේ මුලදී ලංකාවේ ආර්ථිකය වෙනස් කරන කාලයේදීත් අත් දැකපු දෙයක්. වැටුපක් ලබමින් තේ වතු, කෝපි වතු, මාර්ග සංවර්ධන කටයුතු ආදියේ සේවය කරන්න කැමති නොවුණු සිංහලයින් බොහෝ දෙනෙක් ඇඟ බද්ද දැම්මට පස්සේ බදු ගෙවිල්ල වෙනුවට තෝරාගත්තේ නියමිත දින ගණන වැඩ කරන එකයි.

ඔය විදිහටම ලාබ පෙනෙද්දී ක්‍රියාකාරී වෙනවාට වඩා ඉතා ඉක්මණින් අලාභ පෙනෙද්දී මිනිස්සු ක්‍රියාත්මක වෙනවා. මෙයට සමාගම් වෙනුවෙන් තීරණ ගන්න මිනිස්සුත් ඇතුළත්. ඒ නිසා, සමාගමක් රූප සටහනේ C ස්ථානයට වැටුනහම සේවකයින් බඳවා ගන්න තිබෙන උනන්දුවට වඩා A ස්ථානය කිට්ටු වෙද්දී සේවකයින් ඉවත් කරන්න උනන්දුව වැඩියි. ඒ වගේම, භාණ්ඩ හා සේවා වල මිල වැඩි කරන්න කලින් වෙනත් තරඟකාරී සමාගමක් ඉස්සර වෙනකම් බලා ඉන්න ගොඩක් සමාගම් භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමේදී බලන්නේ අනෙක් තරඟකාරී සමාගම් වලට වඩා ඉස්සර වෙන්නයි. 

තනි තනි සමාගම් විසින් වෙන වෙනම සේවකයින් ඉවත්කිරීම, මිල අඩු කිරීම වගේ තීරණ අනෙක් අයට වඩා කලින් ගන්න උත්සාහ කිරීම නිසා කෙටි කාලයක් තුළ එක පාරටම විරැකියාව ඉහළ ගිහින්, දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙලා, මිල මට්ටම් අඩු වෙලා ආර්ථිකය A වල ඉඳලා C දක්වාම වැටෙන එක බොහෝ විට සිදු වෙන දෙයක්. C වලට වැටෙනවා කියන්නේ සෘණ නිපැයුම් පරතරයක් ඇති වෙනවා කියන එකයි. හැබැයි ඉතිං ඔය C ස්ථානයට වැටුනට පස්සේ ආර්ථිකය නැවත නියම පථයට එන එකත් ස්වභාවිකවම සිදු වෙනවා.

රූප සටහනේ C ස්ථානයට වැටුනහම විරැකියා අනුපාතය ඉතාම ඉහළයි. පුහුණු ශ්‍රමිකයෝ පවා ඉන්නේ රැකියාවක් නැතුවයි. ඔය වෙලාවට අඩු වැටුපකට කාර්යක්ෂම සේවකයින් බඳවා ගත හැකියි. ඒ වගේම, සැපයුම්කරුවන් ඉන්නේ අමුද්‍රව්‍ය විකුණාගන්න බැරුවයි. ඔවුන් සමඟ හෙට්ටු කර අමුද්‍රව්‍ය අඩු මිලකට ගන්න පුළුවන්. 

රටේ ආර්ථිකය මේ තත්ත්වයට පැමිණියාම අලුත් ව්‍යවසායකයෝ ව්‍යාපාර ආරම්භ කරනවා. දැනට ඉන්න ව්‍යවසායකයින් අලුත් ආයෝජන කරන්න පටන් ගන්නවා. රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය නැවතත් ක්‍රමයෙන් ඉහළ යනවා. සේවක වැටුප් ඉහළ යනවා. ගෘහස්ථ ඒකක වල ආදායම් ඉහළ යද්දී මිල දී ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. එවිට භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම වැඩි වෙලා සමාගම් වලට නැවතත් මිල ඉහළ දමන්න අවස්ථාව ලැබෙනවා. 

කලින් වගේම මේ අවස්ථාවේදීත් C සිට D දක්වා ඇවිත් වැඩේ නවතින්නේ නැහැ. ආර්ථිකය D පහුකරගෙන ගිහින් A දක්වාම වර්ධනය වෙනවා. හැබැයි ඉතිං මේ උඩට යන කොටසේදී සමාගම් හා පුද්ගලයින් තීරණ ගන්නේ බොහොම සීරුමාරුවට හිතා බලලයි. පහළට වැටෙන කොටසේදී වගේ හදිස්සියෙන් නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් A සිට C දක්වා වැටෙන්න යන කාලය වගේ හතර ගුණයක පමණ කාලයක් යනවා නැවත C සිට A දක්වා එන්න.

දැන් මේ විස්තරය ඔබ සැලකිල්ලෙන් කියෙවුවනම්, පසුගිය අවුරුදු වලදී රටේ ආර්ථික වර්ධනය සිදු වූ රටාව හැර, කිසියම් වෙලාවක රටක නිපැයුම් පරතරය ධනද සෘණද කියා තීරණය කරන්න උදවු වෙන තවත් දේවල් තිබෙන බව පැහැදිලි විය යුතුයි. මෙහි කතා කළ උද්ධමනය හා විරැකියා අනුපාතය ඒ අතරින් ප්‍රධානයි. සාමාන්‍යයෙන් රටක උද්ධමනය ව්‍යාපාර චක්‍රයේ (නිපැයුම් පරතරයේ) දිශාවටත්, විරැකියා අනුපාතය එයින් ප්‍රතිවිරුද්ධ දිශාවටත් විචලනය වෙනවා. ඒ නිසා, නිපැයුම් පරතරය ගැන සැකයක් ඇති විට අපිට උද්ධමනය හා විරැකියා අනුපාතය දෙසත් බලන්න පුළුවන්. ඊට අමතරව මෙවැනි තවත් විචල්‍යයනුත් ගණනාවක් තිබෙනවා.

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.