Sunday, July 9, 2017

අධ්‍යාපන සේවා වෙළඳපොළ වඩා කාර්යක්ෂම කළ හැකිද?


පසුගිය ලිපියෙන් අපි වැඩිහිටි සිසුන් වෙනුවෙන් ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම සඳහා පන්ති පවත්වන වෙළඳපොළ ගැන කතා කළෙමු. මේ වෙළඳපොල නියාමනය නොවන්නකි. මෙහි පාරිභෝගිකයින් තමන්ගේ මුදල් හා කාලය ඇතුළු වෙනත් දේ කැප කරමින් ස්ව කැමැත්තෙන් ඉංග්‍රීසි කතාව ඉගෙන ගන්නා අයයි. ඔවුන් එසේ කරන්නේ ඒ වෙනුවෙන් තමන් දරන ආවස්ථික පිරිවැයට සරිලන ලාබයක් ඔවුන්ට ලැබෙන බැවිනි. එවැනි වාසියක් නැති අය ආවස්ථික පිරිවැයක් දරමින් ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට නොපෙළඹෙති.

මුදල් අයකර ඉංග්‍රීසි කතාව උගන්වන පන්තියක් පැවැත්වීමට නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැත. එහෙත්, මේ වෙළඳපොළේ ගුරුවරුන් ලෙස සිටින්නේ ඉංග්‍රීසි කතාව ඉගැන්වීමට නිපුණතාවයක් ඇති අයයි. එවැනි නිපුණතාවයක් නැති අය වෙළඳපොළ තුළ ස්වභාවිකවම ප්‍රතික්ෂේප වේ. රට පුරා ඉංග්‍රීසි කතාව උගන්වන පන්ති පැවැත්වෙන තැන්ද ස්වභාවික ලෙසම නිශ්චය වෙයි. එය සිදුවන්නේ පාරිභෝගික ඉල්ලුම අනුවය. ඇතැම් ගුරුවරු තමන්ගේ නගරයේ පමණක් පන්ති කරද්දී තවත් අය රටපුරා නගර ගණනක පන්ති කරති.

රටේ බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට උවමනාවක් නැත. මේ අයගෙන් කොටසක් පවුල් පසුබිම හෝ වෙනත් හේතුවක් නිසා ඉංග්‍රීසි කොහොමටත් කතා කළ හැකි අයයි. තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙනීමට යොමු නොවන්නේ ඒ සඳහා වැය කළ යුතු ආවස්ථික පිරිවැය එයින් ලැබෙන වාසි වලට වඩා අඩු බැවිනි. ආවස්ථික පිරිවැය අඩුනම් තවත් පිරිසක් ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගන්නට යොමු වනු ඇත.

මෙවැනි අවස්ථාවක ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගැනීමට රටේ සියලු දෙනාටම ඉඩප්‍රස්ථා සැලසීම සඳහා රජයක් මැදිහත් වන්නට ඉඩ තිබේ. මෙහිදී, රටේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමැත්තෙන් සිටින බොහෝ දෙනෙකුට ඒ සඳහා ඉඩප්‍රස්ථා නැති බැවින් නිදහස් වෙළඳපොළ තුළ සිදුවන "වැරැද්ද" හරි ගස්වා සමාජ සාධාරණත්වය ඇති කරන්නට තමන් දන්නා බව රජය සිතයි. දැන් මේ වෙළඳපොළෙහි සිදු වන්නේ කුමක්ද?

පළමුව රජයට මේ කටයුත්ත කිරීමට අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් ඇති කර නිලධාරීන් පිරිසක් පත් කරන්නට සිදු වේ. අදාළ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව සඳහා වෙනත් සම්පත්ද සම්පාදනය කර ගත යුතුය. ඉන්පසුව අවශ්‍ය ගුරුවරුන් බඳවා ගන්නට සිදුවේ. මෙය කරන්නට සිදු වන්නේ අධ්‍යාපන සුදුසුකම් හා කිසියම් තරඟ විභාගයක ප්‍රතිඵල වැනි දෙයක් දෙස බලමිනි. අවසාන වශයෙන් රජයට අවශ්‍ය සියලු දෙනාටම "නොමිලේ" ඉංග්‍රීසි කතා කරන්නට ඉගෙන ගන්නට ඉඩප්‍රස්ථා සැලැස්වීමට හැකි වේ.

ඉහත කටයුතු සියල්ල සඳහා සැලකිය යුතු පිරිවැයක් දරන්නට රජයට සිදුවේ. ඒ සඳහා අරමුදල් අවශ්‍ය වෙයි. ලංකාවේ ක්‍රමයට සාමාන්‍යයෙන් රජය විසින් මේ අරමුදල් එකතු කර ගන්නේ වක්‍ර බදු හරහාය. වක්‍ර බදු ඉහළ යන විට රටේ ජනතාවට සිය පරිභෝජනය සීමා කරන්නට සිදු වේ. ඒ අනුව, නොමිලේ ඉංග්‍රීසි කතාව ඉගෙන ගැනීමට ලැබීමේ ඉඩප්‍රස්ථාව සඳහා රටේ සියලුම අයට සිය පරිභෝජනයෙන් කොටසක් කැප කරන්නට සිදු වේ.

දැන් මේ "නොමිලේ" පැවැත්වෙන පන්ති වලින් යහපතක් සැලසෙන්නේ කාටද?

කලින් මුදල් ගෙවා ඉංග්‍රීසි ඉගෙනගත් අයට දැන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට පුළුවන. ඒ අයට කලින් මුදල් ගෙවීමෙන් පසුවද වාසියක් තිබුණේය. දැන් ඔවුන් ලබන වාසිය වැඩි වී තිබේ. එහෙත්, ඒ අතරම කලින් නොතිබුණු පිරිවැයක්ද දැන් ඔවුන්ට දරන්නට සිදු වේ. මෙහි ශුද්ධ ප්‍රතිඵලය කිසියම් වාසියක් විය හැකිය.

කලින් රැකියා නොතිබුණු පිරිසකට දැන් රැකියා ලැබී තිබෙනවා විය හැකිය. ඔවුන්ටද වාසියක් සිදු වී තිබේ. එය ඔවුන් ගෙවන අමතර බදු මුදලට වඩා වැඩි විය යුතුය.

කලින් මුදල් නොමැතිකම නිසා ඉංග්‍රීසි පන්ති යන්නට නොසිතූ පිරිසකට දැන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ඔවුන්ගෙන් කොටසකට මේ දැනුම හේතුවෙන් රැකියා ලැබෙන්නටද ඉඩ තිබේ. එය වාසියකි.

කෙසේ වුවද, "නොමිලේ" ලැබෙන නිසා බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතාව ඉගෙන ගත්තත් ඒ සියල්ලන්ටම ඒ හේතුව නිසා රැකියා ලැබෙන්නේ නැත. ඔවුන්ට අවසාන වශයෙන් තමන් ගෙවූ බදු වලට සරිලන තරමේ වාසියක් නොලැබේ.

කලින් ටියුෂන් කළ ගුරුවරුන්ට දැන් ඉල්ලුමක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක්ට රජයේ රැකියා ලැබී තිබෙන්නට ඉඩ ඇතත් එයින් ලැබෙන වේතනය පෙර ලැබූ ආදායමට වඩා අඩු විය හැකිය. මේ අයට ගෙවන්නට සිදුවන අමතර බදු හා අහිමි වූ ටියුෂන් ආදායම ලෙස අවාසි වර්ග දෙකකි.

ඉංග්‍රීසි පන්ති නොමිලේ පැවැත්වුනද ඉංග්‍රීසි ඉගෙනීම සඳහා ගත කළ යුතු කාලය ඇතුළු වෙනත් ආවස්ථික පිරිවැය නැති වන්නේ නැත. ඒ නිසා, රටේ බොහෝ දෙනෙකු තව දුරටත් මේ ඉංග්‍රීසි පන්ති වලට සහභාගී වන්නේ නැත. එහෙත්, ඒ අයටද බදු බරට කර ගහන්නට වේ. මෙය ඔවුන්ට සිදුවන අවාසියකි.

අවසාන වශයෙන් රජයේ මැදිහත්වීම නිසා සුළු පිරිසකට වාසියක් සැලසෙන නමුත් විශාල පිරිසකට සිදුවන්නේ අවාසියක් නිසා ශුද්ධ ලෙස සිදු වන්නේ සමාජ අතිරික්තය අඩු වීමකි.

නිදහස් වෙළඳපොළකට වෙනස් වන තත්වයන් හමුවේ හැඩගැසී අකාර්යක්ෂමතාවයන් ඉවත් කිරීමට ඇති හැකියාව සමඟ රජයකට අලගු තියන්නටවත් නුපුළුවන. ප්‍රවාහන ගාස්තු හා ප්‍රවාහනය සඳහා ගත වන කාලය මේ වෙළපොලෙහි කාර්යක්ෂමතාවයට බලපාන ස්වභාවික බාධාවකි. මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කර වෙළඳපොල යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්නේ තාක්ෂනය විසිනි. ස්කයිප් හරහා පැවැත්වෙන ඉංග්‍රීසි ටියුෂන් පන්ති වලින් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළකට මෙවැනි ස්වභාවික බාධාවන් ඉවත් කිරීමට ඇති ස්වභාවික හැකියාවයි.


නියාමනයක් නැති, අධ්‍යාපනය විකුණන වෙළඳපොලක පවතින තවත් ස්වභාවික බාධාවක් වන්නේ නිෂ්පාදකයා (ගුරුවරයා) හා පාරිභෝගිකයා (ශිෂ්‍යයා) අතර ඇති තොරතුරු අසමමිතියයි. තමන් මුදල් ගෙවා ලබා ගන්නා භාණ්ඩයේ ගුණාත්මක භාවය ගැන ශිෂ්‍යයා දැනගන්නේ මුදල් ගෙවීමෙන් පසුවය. ඒ වන විට භාණ්ඩය පරිභෝජනය කර අවසන් නිසා එය ආපසු දීමේ හැකියාවක් ශිෂ්‍යයා සතුව නැත. "පළමු දිනය නොමිලේ" ඉගෙන ගන්නට ලැබීම මෙයට විසඳුමක් ලෙස ස්වභාවිකව බිහි වී ඇති විසඳුමකි.


රජයක් කිසියම් හේතුවක් නිසා නිදහස් වෙළඳපොළක් නියාමනය කිරීමට යොමු වන්නේනම් එසේ කළ යුත්තේ නිදහස් වෙළඳපොල ක්‍රියාකාරීත්වයට ඉඩ නොසලසන ස්වභාවික බාධාවන් ඇත්නම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීම සඳහා මිස නැති අකාර්යක්ෂමතාවයන් ඇති කිරීම සඳහා නොවේ.

5 comments:

  1. මෙම ලිපියට අදාල නොවන දෙයක්.රාජ්‍ය සේවය තවදුරටත් පුළුල් නොකළ යුතු බව මගේ අදහසයි .නමුත් මෙම මෙම කමෙන්ටුව මා කලින් නොසිතු තව දෙයක් ගෙන සිතන්න යොමුකලා.ඔබේ විෂයට අදාලව මේගැන පැහැදිලි කල හැකිද?

    "මෙරට විශාල රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යාම ගැන ඔබ කරන නිර්දය විවේචනය. විශාල රාජ්‍ය සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීම ඔබට අනුව රටේ ඇති දැවැන්තතම ප්‍රශ්නයක් (දෙවැනි වන්නේ නම්, ජාතිවාදී ප්‍රශ්නයට පමනක් දෙවැනි වන). දැවන්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් නඩත්තු කිරීමට කරන දැවැන්ත වියදම සහ ඊට කිසිසේත්ම නොසරිලන කාර්යක්ශමතාව සම්බන්ධව, මෙය කරුනක් වශයෙන් නැතැයි කියන්න කාටවත් බැහැ. නමුත් මම තවමත් හිතන්නේ, රජය මේ අන්දමින් රැකියා නොසැපයුවානම් ඇතිවන අතිවිශාල විරැකියාව මගින් ඇතිකරනු ඇති සමාජයීය ප්‍රශ්නය (මේ තරුන කොටස්තුල ඇති ආතතිය, අවිනිශ්චිතභාවය, ඉච්ඡාභංගත්වය මගින් ඇතිකරන ප්‍රශ්න) ඊට වඩා කීප ගුනයකින් වැඩි වනු ඇති බවයි (ඔවුන් ලද අධ්‍යාපනය ප්‍රමිතියෙන් අඩුයි, ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම අඩුයි, නවීන ආකල්පවලින් තොරයි, තාක්ශනය සමග හුරුව අඩුයි, පෞද්ගලික අංශය ඔවුන්ගැන උනන්දු නොවන්නේ ඒ නිසයි වැනි කතා හෝ ධනාත්මක චින්තන කතා මේ සඳහා උත්තර නොවෙයි). එමගින් (මහා පරිමානයෙන් රජයේ රැකියා ලබාදීම මගින්) මගහරවාගන්නා ලද අනර්ථයන් (avoided social evils?), ඔවුන්ට පඩි ලෙස සහ වෙනත් පහසුකම් ලෙස ගෙවන ලද මුදල සමග සාධාරන සංසන්දනයක් මා දන්නා තරමින් කවුරුවත් කර නැහැ"

    http://www.w3lanka.com/2017/06/blog-post_95.html

    ReplyDelete
    Replies
    1. මේ ගැන මගේ අදහස් මම එහි ලිවුවා.

      http://www.w3lanka.com/2017/06/blog-post_17.html?showComment=1497735064342#c490415135678431188

      http://www.w3lanka.com/2017/06/blog-post_17.html?showComment=1497796362771#c1013410304415170764

      පහත ඇත්තේ එයින් කොටසක්.

      "ව්‍යවසායකයා පිළිබඳ තිබෙන නිශේධනීය ආකල්ප එසේම තිබියදී රජය මේ අන්දමින් රැකියා නොසැපයුවානම් අතිවිශාල විරැකියාව ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබුණා තමයි. ප්‍රශ්නයට විසඳුම රැකියා ජනනය කරන පිරිස් දිරිමත් කිරීම මිස පැලැස්තර විසඳුමක් ලෙස රජය මඟින් වැඩි වැඩියෙන් රැකියා සපයන එක නෙමෙයි.

      අවුල් වී තිබෙන නූල් බෝලයේ පැටලුම් ඇරීම සඳහා පටන් ගත යුත්තේ ව්‍යවසායකයින් දිරිමත් කරන වාතාවරණයක් හැදීමෙනුයි. ඒ සඳහා රජය විසින් කළ යුතු ප්‍රධානම දෙය දේපළ අයිතිවාසිකම් (property rights) තහවුරු කිරීමයි. පෞද්ගලික අංශයේ රැකියා හා ප්‍රතිලාභ වැඩි වන විට රජයේ රැකියා වලට ඇති ආකර්ශනය නිකම්ම නැති වී රජය කුඩා වන එක ඉබේම සිදු වෙනවා.

      මා දන්නා තරමින් තොරතුරු තාක්ෂණ අංශයේ හා පළාත් සභා ඉංජිනේරු වැනි තනතුරු සඳහා වන රජයේ පුරප්පාඩු පිරවීම පහසු නැහැ. රජයේ කිසියම් තනතුරකට විශාල ඉල්ලුමක් තිබීම එම තනතුරේ අකාර්යක්ෂමතාවය පෙන්වා දෙන කරුණක්. ඉල්ලුම අඩු තැන් ඇත්නම් ඒවා සාපේක්ෂව කාර්යක්ෂම තැන්."

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. නිදහස් වෙලදපොල අර්ර්‍ථිකයේ හැඩරුව කියා දෙන්න ගත් උපමාව ඉතා අනර්ඝයි

    ලංකාවේ බහුතරයකට මේක හරියට අල්ල ගන්න බැරි උනාට ලෝකය මේ මූලධර්මය ඔස්සේ ගිහිල්ලා ගොඩක් කල්නේ.....

    නිදහස් වෙලදපොල ආර්ථිකයේ කථිකාවත අද ලෝක මට්ටමේදී තියෙන්නේ වෙනම තැනක....ඒගැනත් ඉකෝන්ගේ ශෛලෛලියෙන් එන සරල පැහැදිලි කිරීමක් එනකං බලං ඉන්නවා....

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.