Thursday, May 18, 2017
අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම
"ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.
ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.
බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා."
"පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා."
"අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා."
ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා විසින් හඳුනාගෙන සිටින බව මේ කතාවෙන් පැහැදිලිය. මේ කරුණට අදාළ විශේෂ සටහනක් මෙවර මහ බැංකු වාර්තාවේ පළ වී තිබුණේය. "අපනයන ප්‍රවර්ධනය සඳහා ජාතික උපාය මාර්ගය" මාතෘකාව යටතේ පළකර තිබුණු එම ලිපියේ මූලික අදහස මෙවැන්නකි.
-ආර්ථිකය වර්ධනය වන විට අපනයනද වර්ධනය විය යුතු බවට පොදු මතයක් තිබුණත් ලංකාවේ එය එසේ වී නැත.
-පසුගිය වසර 16ක කාලය තුළ මේ තත්ත්වය කැපී පෙනේ. 2000-2016 අතර කාලයේදී රටේ දදේනි 10.4%ක සංයුක්ත (compound) වාර්ෂික වර්ධනයක් පෙන්නුවත්, අපනයන වල සංයුක්ත වාර්ෂික වර්ධනය 4%ක් පමණි.
-2005-2012 කාලය අතරතුළ දේශීය ඉල්ලුම වර්ධනය වීම නිසා ආර්ථිකය වර්ධනය වුනත්, බාහිර ඉල්ලුමක් නැති නිසා දේශීය ඉල්ලුම අඩුවීමට සමගාමීව ආර්ථික වර්ධනය බාල වී ඇත.
-ලංකාව කලාපයේ අනෙක් රටවලට වඩා කලින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී දදේනි ප්‍රතිශතයක් ලෙස 18.7%ක් වූ අපනයන 1979 වන විට 29.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
-1977දී ඇමරිකන් ඩොලර් මිලියන 767ක් වූ අපනයන ආදායම 2000 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 5,522 දක්වා ඉහළ ගියේය. එහෙත්, 2000 සිට අපනයන වර්ධනය සතුටුදායක මට්ටමක නැත.
-මේ වන විට (2016) අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 12.7% මට්ටමට පහත වැටී තිබේ. මෙය 1977 දී ආර්ථිකය විවෘත කිරීමට පෙර පැවති මට්ටමටත් වඩා පහත් මට්ටමකි.
-2015දී මැලේසියාවේ අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 67.5%ක්ද, තායිලන්තයේ 54.2%ක්ද, වියට්නාමයේ 83.7%ක්ද විය.
-2000-2015 කාලය තුල ලංකාවේ අපනයන 1.9 ගුණයකින් පමණක් වර්ධනය වෙද්දී, වියට්නාමය 11.2 ගුණයකින්ද, බංග්ලාදේශය 5.1 ගුණයකින්ද, දකුණු කොරියාව හා තායිලන්තය 3.1 ගුණයකින්ද වර්ධනය කරගෙන තිබේ.
මේ කරුණු අනුව, අග්‍රාමාත්‍යවරයා විසින්ද හඳුනාගෙන ඇති පරිදි, කලාපීය රටවල් ඔවුන්ගේ අපනයන ආර්ථිකයන් වර්ධනය කරගනිද්දී, මේ සහස්‍රයේ ආරම්භයේ සිට ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇති බව ඉතාම පැහැදිලිය. මහ බැංකු වාර්තාවේ අදාළ ලිපිය අනුව, මේ වන විට ලංකාව 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පසුව අපනයන ක්ෂේත්‍රයෙහි ලබාගත් ජයග්‍රහණ සියල්ලම ආපසු හැරවී අවසන්ය.
රනිල් වික්‍රමසිංහට අනුව මෙයට හේතුව යුද්ධය නිසා ඇති වූ ආර්ථික පසුබෑම හා 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් නොකිරීමයි. ඔහුගේ කතාව අනුව, ඔහු මෙය දකින්නේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් ලෙසිනි. ඒ අනුව, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට" පත්වීම අපනයන වර්ධනයට හේතු වනු ඇත.
රනිල් වික්‍රමසිංහගේ කතාව අනුව, අපනයන වර්ධනය අවශ්‍ය දෙයක් බව ඔහු හඳුනාගෙන සිටියත් "රටේ ආදායම" වැඩි කරගන්නා තුරු ඔහුට මේ වැඩේ කල් දාන්නට සිදුවී තිබේ. මේ වන විට, වැට් ආදී බදු වැඩිකර ආදායම වැඩි කරගෙන තිබෙන නිසා ඔහුට අපනයන වර්ධනය කිරීම ගැන හිතන්නට ඉඩ ලැබී ඇත.
රනිල් වික්‍රමසිංහ රටේ ආදායම කියා කිවුවත් ඇත්තටම ඔහු මේ කියන්නේ රජයේ ආදායම ගැනය. රජයේ ආදායම හා රටේ ආදායම කියන්නේ එකක් නොව දෙකකි. රජයේ ආදායම කියන්නේ රටේ ආදායමෙන් රජයේ නඩත්තුව සඳහා බදු ලෙස බලහත්කාරයෙන් උදුරා ගන්නා කොටසයි. බදු වැඩි කිරීමෙන් රටේ ආදායම වැඩි නොවනවා පමණක් නොව නිෂ්පාදන අධෛර්යමත් වීමෙන් රටේ ආදායම අඩු වීමට එය හේතුවකි. මෙය අපනයන නිෂ්පාදන වලටද අදාලය. බදු වැඩිවීම හරහා නිෂ්පාදන වියදම් ඉහළයාම යනු අපනයන වර්ධනය තවදුරටත් අඩාල වීමට හේතුවකි.
රනිල් වික්‍රමසිංහ විසින්ම කියන පරිදි මෙන්ම මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි රටේ අපනයන ආර්ථිකය එන්න එන්නම පල්ලම් බැසීමෙන් පෙනෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අකාර්යක්ෂමතාවයයි. මහ බැංකු වාර්තාවේ විශේෂ ලිපියට පාදක වන 2000-2016 කාලය තුළ යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකක්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටි වසර 10ක් මෙන්ම, ඊට පෙර රනිල් හා චන්ද්‍රිකා ආණ්ඩු කළ කාලයද ඇතුළත් බවත් මෙය එක් දේශපාලනික පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ වැරැද්දකට වඩා රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් බවත් මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුතුය. එමෙන්ම, ලංකාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු මුල් දශක දෙකක පමණ කාලය තුළ තත්ත්වය මෙයට වෙනස් වූ බවද අමතක නොකළ යුතුය.
රටේ ආදායම් වර්ධනය අවදානමේ හෙළමින් රජයේ බදු ආදායම් වැඩි කර ගන්නේ රටේ ආර්ථික වර්ධනය උදෙසා අගය එකතු කිරීමක් කරන බවක් පෙනෙන්නට නැති අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීම සඳහාය. පරණ ණය ගැන කතා කළත්, සමස්තයක් ලෙස රජයේ ණය අඩුවී නැත. කෙසේවුවද, රජයේ බදු ආදායම් වැඩි කර නොගත්තේනම් සිදු විය හැකිව තිබුණේ රජය අලුතින් ලබාගන්නා ණය ප්‍රමාණය තවත් ඉහළ යාමයි. එයට සාපේක්ෂව බදු වැඩි කර රජයේ ආදායම වැඩි කර ගැනීම සාධනීය දෙයකි.
රජය කුඩා කිරීම දේශපාලනික කරුණකි. රටේ ඉල්ලුම තිබෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය තවත් පුළුල් කිරීමටනම් ආණ්ඩුවට එය නොසලකා කටයුතු කිරීම අසීරුය. ආණ්ඩුවට පිටින් සිටින බොහෝ කණ්ඩායම් උද්ඝෝෂණය කරන්නේ පවතින අවාසිදායක තත්ත්වයන් යටතේ වුවද අමාරුවෙන් ඇදගෙන යන පෞද්ගලික ව්‍යවසායයන් පවා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ කරන ලෙස ඉල්ලමිනි. එවැන්නක අවසන් ප්‍රතිඵලය වන්නේ බදු බර තවත් ඉහළ යාම හා අදාළ සේවාවන්ගේ ගුණාත්මක භාවය තව දුරටත් පහත වැටීමයි.
ඇතැම් විට රනිල් වික්‍රමසිංහ විසින් ඉඟි කරන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසු අපනයන සංවර්ධනය දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබාදීමට රජයට ඉඩක් ලැබෙන බව වන්නට පුළුවන. රජය විසින් සහනාධාර හරහා අපනයන දිරිමත් කිරීම ප්‍රායෝගිකව සිදුවන්නට විශාල ඉඩකඩක් නැතිවා පමණක් නොව එය රජය විසින් මේ අවස්ථාවේදී ගත යුතු ප්‍රශස්තම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයද නොවේ.
එමෙන්ම, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව" ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල් සමඟ "යාළු වූ" පමණින් ලංකාවේ අපනයන වර්ධනය වෙන්නේ නැත. මෙයින් කියන්නේ යහපත් විදේශ සම්බන්ධතා පවත්වා ගැනීම නොවැදගත් බව නොවේ. ලංකාව වැනි, කුඩා, දියුණු වෙමින් පවතින, ආර්ථිකයකට විදේශ සම්බන්ධතා නොසලකා හැර ආර්ථික වර්ධනය ගැන හිතන්නට නුපුළුවන. ලංකාවේ කළඹේ තිබෙන්නේ ආදේශක කිසිවක් නොමැති, වෙනත් රටවල් විසින් "පස්සෙන් ඇවිත්" මිලදී ගතයුතු දේවල්නම් විදේශ සම්බන්ධතා ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට එවැනි අපනයන නිෂ්පාදන නැත. ඒ නිසා, අපේ අපනයන මිලදී ගන්නා රටකට දේශපාලනික හේතු මත අපේ අපනයන ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබේ.
කෙසේ වුවද, එහි අනික් පැත්ත ඒ අයුරින්ම සිදුවන්නේ නැත. කොයි තරම් යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන සිටියත් කිසිදු රටක් අපේ අපනයන "පාඩුවට" මිල දී ගන්නේ නැත. ලංකාවේ අපනයන වර්ධනය කර ගැනීමටනම් ලංකාවේ අපනයන නිෂ්පාදන සමාන ගුණාත්මක භාවයක් ඇති වෙනත් රටවල නිෂ්පාදන වලට සාපේක්ෂව මිලෙන් අඩුවිය යුතුය.
රජය මඟින් සහනාධාර ලබාදීම හරහා නිෂ්පාදන පිරිවැය අඩුකර අපනයන මිල ගණන් තරඟකාරී මට්ටමකට පහත හෙළිය හැකි වුවත්, ඒ සහනාධාර පිරිවැය බදු ලෙස නැවත එකතු කර ගැනීමේදී නිෂ්පාදන පිරිවැය නැවතත් ඉහළ යන බැවින් මේ උපාය මාර්ගය තිරසාර එකක් නොවේ.
එසේනම් කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්නයේ මුලට ගිය විට විසඳුමද හමුවේ.
ජේ ආර් ජයවර්ධන විසින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව විණිමය අනුපාතිකද ඉතා විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු බව අප අමතක නොකළ යුතුය. 1978 වසර තුළදී පමණක් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 8.87 සිට 15.61 දක්වා 76%කින් ඉහළ ගියේය. ඒ සමඟම ලෝක වෙළඳපොළෙහි ලංකාවේ නිෂ්පාදන වල මිලද ඉතා විශාල ලෙස අඩුවී ලංකාවේ අපනයන තරඟකාරිත්වයද විශාල ලෙස ඉහළ ගියේය. ලංකාවේ අපනයන දෙවසරක් තුළ ඉතා විශාල ලෙස වර්ධනය වීමට හේතු වුනේ විදේශ විණිමය අනුපාතිකයෙහි සිදුවුණු මේ නිවැරදි කිරීමයි.
ඉහත විදේශ විණිමය ප්‍රතිපත්තිය 2000 වසරේදී පමණ සිට ඒ අයුරින්ම ක්‍රියාත්මක වුනේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන වල මිල අනෙකුත් තරඟකාරී රටවල අපනයන මිලට සාපේක්ෂව විශාල ලෙස ඉහළ යද්දී විදේශ නිෂ්පාදන වල දේශීය මිල නියම මට්ටමට වඩා පහළින් පවත්වා ගැනුණේය. මේ අනුව, පසුගිය වසර පහළොවක පමණ කාලය තුළ සිදුවුණේත්, තවමත් සිදුවන්නේත් ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පාදකයින්ට "සහනාධාර" ලැබීමයි.
මේ වාසිය වැඩිපුරම ලබාගත්තේ චීනය හා ඉන්දියාවයි. ඒ තත්ත්වය තවමත් වෙනස් වී නැත. විණිමය ප්‍රතිපත්තියේ වරද නිසා වසරින් වසර ලංකාවේ අපනයන වර්ධනය පහළ යද්දී ආනයන ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ නිසා ඇති වුනු ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇතැම් ආණ්ඩු විසින් රාජ්‍ය දේපොළ විකුණා දැමීමෙන් පියවා ගැනීමට උත්සාහ ගත් අතර, සියළුම ආණ්ඩු විසින් විශාල ලෙස විදේශ ණය ලබා ගැනීමට යොමු විය. මෙයින් ලැබුණේ තුවාලයක් කසන විට ලැබෙන ආකාරයේ සනීපයක් පමණි. දැන් තුවාලය ඔඩු දුවා තිබේ. අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම කෙසේවෙතත් ලංකාවේ ආර්ථිකය තියෙන මට්ටමින් අල්ලාගෙන සිටීම පවා දැන් පහසු වැඩක් නොවේ.
තුවාලය නිට්ටාවට සනීප කර ගැනීමටනම් විණිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය. ලංකාවේ අපනයන වර්ධනය කරගැනීමට අවශ්‍යනම් ඒ මඟ මිස වෙනත් මඟක් නැත!
7 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
This comment has been removed by the author.
ReplyDeleteඔවු, ජීවන්ත. එය නිවැරදි කළා. පෙන්නුවට ස්තුතියි!
Delete/ ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පාදකයින්ට "සහනාධාර" ලැබීමයි. / තිත්ත ඇත්ත, ආර්ථික විජ්ජාවටත් හොදින් ලකුණු අරන් කැම්පස් එන ජෙප්පොන්ට මෙව්වා නොතේරෙන්නේ ඇයි?
ReplyDeleteමෙතැන පළමු ප්‍රශ්නය දාස් කැපිටාල් වල ඇති කාල් මාක්ස්ගේ මූලික 'සොයාගැනීම' පිළිබඳ ප්‍රශ්නයකි. එක් වැරදි මූලික විශ්වාසයක් මත හිතන්නට පටන් ගත් විට ඒ විශ්වාසයට සාපේක්ෂව තවත් බොහෝ දේවල් නිවැරදි බව පෙනේ. එහෙත් මේ කරුණ අදාළ වන්නේ අඩු වශයෙන් දාස් කැපිටාල් හෝ කියවා ඇති ලංකාවේ දැනුම් ආධිපත්‍යය ඉසිලූ අයටය. පහළ ස්ථර වල වැඩි දෙනෙකුට ඇත්තේ දාර්ශනික මට්ටමේ ප්‍රශ්න නොව පෞද්ගලික ප්‍රශ්නයි. මේ පෞද්ගලික ප්‍රශ්න බොහොමයක් සැබෑ ප්‍රශ්න නිසා ඒ ප්‍රශ්න වලට විසඳුම් යෝජනා කරන අයට ඉල්ලුමක්ද තිබේ. අනෙක් අතට ආර්ථික විද්‍යාවේ බොහෝ න්‍යායාත්මක දේ ඇත්තටම සිදුවන බව පැහැදිලිව පෙනෙන්නේ හා ඒ හේතුවෙන් මේ න්‍යාය ගැන විශ්වාසයක් ගොඩනැගෙන්නේ යම් තරමකට හෝ ධනවාදී රටකදී පමණි. (සමාජවාදී රටවල කාලයක් ජීවත් වී ඇති අය සමාජවාදයෙන් මේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් නොලැබෙන බව අත්දැකීමෙන් දන්නා නිසා වෙනත් අයුරකින් මේ අවබෝධයම ලබාගනී.) ලංකාව වැනි බාග සමාජවාදී රටක සිටියානම් මා වුවද තේරුම් ගනු ඇත්තේ ගොඩක් න්‍යායයන් කියන විදිහට වැඩ නොකරන බවයි. ඒ අතරම ලංකාවේ බොහෝ දෙනෙකුට කුඩා කළ සිටම අහන්නට ලැබෙන්නේ ලංකාවේ ධනවාදී ක්‍රමයක් ඇති බවයි. ඒ නිසා ධනවාදයක් නැති වීම නිසා මතු වන ප්‍රශ්න හඳුනාගන්නේ ධනවාදයේ ප්‍රශ්න වශයෙනි.
Deleteඔව් නේ, මගේම ප්‍රශ්නය දෙවෙනිවර කියවනකොට හිතුනේ ඒ ප්‍රකාශ වඩාත් අදාල උනේ සමාජවාදී ආර්ථික ක්‍රම තිබ්බ නැගෙනහිර යුරෝපයේ රටවලටය කියා,
Deleteලංකාවේ මොනව කරන්න ගත්තත් වෙනස් කරනවනෙ ටික දවසකින්
ReplyDeleteසමහර ආන්ඩුවලින් ජාතික ගනුලැබූ තීරන තීන්දු (ජනසතු කිරීම් මුදල්අවලංගුකරීම් නිදහස් සෞඛය නිදහස් අධ්‍යාපනය ආදිය)කොපමන දුරට අද පවතින ආර්ඵික පැවැත්මට දායකවුනාදැයි කරැනාකර පවසන්න
ReplyDelete