Sunday, May 21, 2017
ඔක්ස්ෆෑම් ධනවතුන්ගේ ප්‍රශ්නය
අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේය.
බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40
මේ ලැයිස්තුවේ සිටින්නන්ගෙන් ඇමන්සියෝ ඔටේගා හා කාලෝස් ස්ලිම් හෙලු දෙදෙනා හැරුණු විට ඉතිරි හය දෙනාම ඇමරිකානුවන් වීම විශේෂත්වයකි. අනෙක් අතට, ඉහත ඔක්ස්ෆෑම් වාර්තාව පිළියෙළ කිරීම සඳහා පදනම් කරගෙන ඇති ක්‍රෙඩිට් සුවිස් වාර්තාව අනුව, ලෝකයේ දුප්පත්ම බිලියන 3.6න් වැඩි දෙනෙකු ජීවත් වන්නේ ඉන්දියාව, චීනය, නයිජීරියාව, ඉතියෝපියාව, කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, බංග්ලා දේශය, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බ්‍රසීලය වැනි රටවලය. අදාළ වාර්තාව අනුව ඇමරිකා එක්සත් ජනපදයේද වත්කම් අතින් දුප්පත් සැලකිය යුතු පිරිසක් සිටිති.
බැලූ බැල්මටම මේ ආදායම් විෂමතාවය විශාල ප්‍රශ්නයක් බව පෙනේ. එහෙත්, එය සැබෑවටම ප්‍රශ්නයක් වන්නේ ඉහළ ලැයිස්තුවේ සිටින අටදෙනා ඔවුන්ගේ වත්කම් උපයා ගැනීමේදී අඩු වත්කම් සහිත අය සතු විය යුතුව තිබුණු වත්කම් ඔවුන්ගෙන් කිසියම් අයුරකින් සෘජුව හෝ වක්‍රව උදුරාගෙන ඇත්නම් පමණි.
මෙය විමසා බැලීමට පෙර අපි වත්කම් යනු මොනවාද යන්න පැහැදිලි කර ගත යුතුය. විශේෂයෙන්ම වත්කම් හා ආදායම් අතර ඇති වෙනසත්, වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයත් අප පැහැදිලිව අවබෝධ කරගත යුතුය.
වත්කමක් ලෙස හැඳින්වෙන්නේ අනාගතයේදී ආදායම් උපදවන කිසියම් දෙයකි. ඔබ සතු මුදල් බැංකුවක තැන්පත් කර පොලී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. ඔබට හිමි නිවසක් කුලියට දී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. එය කුලියට නොදී ඔබම එහි ජීවත් වූවද එසේ කිරීමෙන් ඔබට ඉතිරි වන ගෙවල් කුලී මුදල ඔබේ ආදායමකට සමාන නිසා ගෙයක් යනු බොහෝ විට කෙනෙකුගේ වත්කමකි. මේ අයුරින්ම ඔබ සතු ඉඩම්, යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජනද වත්කම් ලෙස සැලකිය හැකිය.
අනෙක් අතට අනාගතයේදී ඔබට වියදම් හදන දේ ඔබේ බැරකම්ය. ඔබ නිවාස ණයක් හෝ වාහන ණයක් ලබාගෙන ඇත්නම් ඒ වෙනුවෙන් මාසිකව හෝ වාර්ෂිකව පොලී වියදමක් දැරිය යුතුය. ඒ නිසා, මේවා ඔබේ බැරකම්ය. වත්කම් අනුව කෙනෙකුගේ පොහොසත්කම මනින විට උපයෝගී කරගන්නා නිර්ණායකය වන්නේ වත්කම් වලින් බැරකම් අඩු කළ විට ශුද්ධ වත්කම්ය. යම් කෙනෙකුගේ වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් ශුද්ධ වත්කම් සෘණ අගයක් ගනී.
කෙනෙකුගේ ආදායම යනු වත්කම් වලට සෘජු ලෙස සම්බන්ධ දෙයක් නොවේ. ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නා බොහෝ දෙනෙකුට සැලකිය යුතු ආදායමක් තිබේ. එමෙන්ම, වැඩි ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායමට වඩා අඩු ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායම වැඩි වන්නට පුළුවන. එහෙත්, වත්කම් මත පදනම් නොවූ ආදායම් (උදාහරණයක් ලෙස රැකියාවෙන්) සමාන තරමට උපයන දෙදෙනෙකු අතරින් වැඩි වත්කම් හිමි අයෙකුගේ සමස්ත ආදායම වැඩි එකකි.
වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයද තරමක් සංකීර්ණය. ආදායම් හා පරිභෝජන වියදම් අතර වෙනස පුද්ගලයෙකුගේ වත්කම් වලට එකතු වේ. එවිට වත්කම් තවත් වැඩි වේ. ආදායමට වඩා පරිභෝජන වියදම් වැඩිනම් සිදුවන්නේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් අඩු වී යාමයි. අනෙක් අතට පරිභෝජනය සීමා කරමින් උපයන ආදායම් වලට වඩා අඩු මට්ටමක තබා ගන්නා අයෙකුගේ වත්කම් ක්‍රමයෙන් ඉහළ යයි. මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි දෙයකි.
මේ අනුව පැහැදිලි වන්නේ අධි පරිභෝජනය කෙනෙකුගේ වත්කම් වැඩි කිරීමට නොව අඩු කිරීමට හේතු වන්නක් බවයි.
තමන් සතුව දෙමවුපිය උරුමයෙන් ලැබුණු වත්කම් නැති අයෙකුට වත්කම් ඒකරාශි කර ගත හැක්කේ සකසුරුවම් කමින් වියදම් කර තමන්ගේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ඒ ආදායම් අනාගතයේ තවත් ආදායම් උපදවන වත්කම් වල ආයෝජනය කිරීමෙනි. අනෙක් අතට, දෙමවුපිය උරුමයෙන් විශාල වත්කමක් ලැබී ඇති අයෙකු වුවද, ඒ වත්කම් ආයෝජනය කර හෝ වෙනත් ක්‍රමයකින් උපයන ආදායම් ඉක්මවා පරිභෝජනය කරයිනම් ඔහුගේ හෝ ඇයගේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් ක්ෂය වී යයි.
මේ අනුව පැහැදිලි විය යුත්තේ වත්කම් යනු හැමවිටම පුද්ගලයෙකුගේ පරිභෝජන මට්ටම හෝ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් නොවන බවයි.
මේ ලැයිස්තුවේ සිටින අය ගැනත් ඔවුන්ගේ වත්කම් ගැනත්, ආදායම් හා වියදම් ගැනත් ඉදිරියේදී කතා කරමු.
2 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
මේ වත්කම් කථාවට එක එල්ලේ සම්බන්දයක් නැති උනත් ......මීට කාලෙකට කලින් මං ලියපු ලිපියකත් මේ පරිබෝජන විශමතාවය ගැන පොඩ්ඩක් සාකච්චා කලා...
ReplyDeleteඊට පසුව, ජීවන දර්ශනයක් ලෙස බුදුදහමෙන් ඊට ලබාදිය හැකි පිලිතුරක් ගැන ද සාකච්චා කලා....
බුද්ධාගම කෝකටත් තෛලයද? : Can Buddhism Save the Planet from Climate Change?
///මේක පැහැදිලි කරන්න ගොඩක් දෙනා දන්න 80-20 තියරිය මම යොදා ගන්නවා. දල වශයෙන් ගත්තොත් ලෝකයේ ඇති ස්භාවික සම්පත් වලින් 80% පමන පාවිච්චි කරන්නේ දියුණු රටවල ජනතාවයි. බිලියන 7.1 උන සමස්ථ ලෝක ජනතාවගෙන් දියුණු රටවල ජීවත්වෙන ජනගහනය දල වශයෙන් 20% පමන වෙනවා. ඉතිරි 80% පමණ වූ බහුතරය ජීවත් වන්නේ දිලිදු හෝ දියුණු වෙමින් පවතින රටවල. ඒ අනුව 20% පමන උන ධනවත්, දියුණු ඇත්තො 80%ක ස්භාවික සමිපත් කොටසක් පාවිච්චි කරමින් පරිසර දූශණයට , නැතිනම් ලෝක කාබන් විමෝචනයේන් 80% ට වග කියනවා.//
//
මේ පරිසර ප්‍රශ්න කියන ඒවා ගැනත් ඇත්තටම නැවත හිතා බැලිය යුතුයි. කෙටිකාලීනව මිනිසුන්ගේ ක්‍රියාවල සැලකිය යුතු බලපෑමක් තිබෙනවා වුවත් දිගුකාලීනව බැලූ විට තවමත් ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසා කුරා කුහුඹුවෙක් පමණයි. දෙවනුව, බොහෝ විට කතා වෙන බටහිර රටවල ජීවත් වන අයගේ අධිපරිභෝජනය කියන එක මට අත්දැකීමෙන් පෙනෙන්නේ නැහැ. මට බොහෝ විට පෙනෙන්නේ තනිකරම එහි අනිත් පැත්තයි. ඒ වගේම, කාබන් විමෝචනය හා අදාළ සංඛ්‍යාලේඛණ ඉතා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. 2014දී ලෝකයේ කාබන් විමෝචනය අතින් ඉදිරියෙන්ම සිටියේ චීනයයි. 2014දී චීනයේ දායකත්වය 30%ක් වූ අතර ඇමරිකාවේ මෙන් දෙගුණයක්. තෙවැනි තැන ඉන්නේ ඉන්දියාව. (පහත ලින්ක් එක බලන්න)
Deletehttp://cdiac.ornl.gov/trends/emis/top2014.tot
බටහිර රටවල් කාබන් විමෝචනය අඩු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිද්දී චීනය, ඉන්දියාව වැනි රටවල කාබන් විමෝචනය එන්න එන්නම වැඩි වෙනවා. දෙවනුව, බටහිර රටවල සංවර්ධනය දරාගත හැකි ලෙස කාලයක් තිස්සේ හෙමින් සිදු වූ එකක්. ඇමරිකාව ගත්තොත් ගහකොළ වලට වෙන්වී ඇති ඉඩ ඉතා විශාලයි. ප්‍රධාන නගර කිහිපය රටේ මුළු භූමි ප්‍රමාණයෙන් ඉතා කුඩා ප්‍රමාණයක්. ලංකාව වැනි රටක තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. කුණු ප්‍රශ්නය හරහා මතුවන්නේත් මේ විෂමතාවයයි.