Thursday, February 25, 2016

ලාහය, ලාභයට හේතුව සහ ලාභය නැති කිරීමේ මාර්ගය


ප්‍රදීප්ගේ පසුගිය ප්‍රතිචාරය ගැන කතා කිරීම බොහෝ සේ කල් පසුවිය. ඇත්තටම මට කතා කරන්නට අවශ්‍ය එහි කොටස් කිහිපයක් ගැන පමණි.

"මෙවැනි තත්වයක් මෙම වෙළද පොලතුල ඇතිකිරීමට සිදුවී ඇත්තේ සමාගම් සහ බහුතරයක් මිනිසුන් ලාභය ලැබිමේ අපේක්ෂාවෙන් පමණක් කටයුතු කිරීම නිසාය. අපි මොහොතකට මිනිසුන් ලාභය පිලිබදව අපේක්ෂා නොකර මිනිසුන්ගේ යහපත පිලිබදව සිතන්නේයැයි සිතමු. එවිට සිදුවනු ඇත්තේ නව නිශ්පාදනයන් සිදුවීම සදහාවන පෙළඹිම අඩුවීමක්ද නැතහොත් නව නීශ්පාදනයන් වෙගවත් වීමක්ද?"

ඔහු කියන්නේ මිනිසුන් සහ සමාගම් පෞද්ගලික ලාභ වෙනුවෙන් කටයුතු නොකර මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නේනම් අවසන් ප්‍රතිඵලය වඩා හොඳ එකක් වනු ඇති බවයි. මෙයට මට දෙන්නට ඇති සරලම පිළිතුර මිනිසුන් සාමාන්‍යයෙන් එසේ කටයුතු නොකරන බවයි. ඇතැම් අවස්ථා වල ඇතැම් මිනිසුන් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය නොතකා වෙනත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අවස්ථා ඇතත් සමස්තයක් වශයෙන් මිනිස්සු එසේ ක්‍රියා නොකරති. එහෙත්, තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් බොහෝ විට බොහෝ දෙනා කටයුතු කරති.

අපට මැටි වලින් රන් පිළිම තැනිය නොහැකිය. රන් නැත්නම් අපට කළ හැක්කේ වඩා හොඳ මැටි පිළිමයක් සැදීමයි. ස්වභාවිකව පරිණාමය වන මිනිසා හෝ මිනිස් සමාජය බලහත්කාරයෙන් පරිවර්තනයකට ලක් කළ නොහැකිය. නිදහස් වෙළඳපොළ ක්‍රමයකින් කරන්නේ වත්මන් සමාජයේ බොහෝ පුද්ගලයින් බොහෝ අවස්ථා වලදී සිය පෞද්ගලික වාසිය වෙනුවෙන් කටයුතු කරන්නේය යන පදනම මත, ඔවුන් එසේ කළත් අවසන් ප්‍රතිපලය හොඳ එකක් වන ක්‍රමවේදයක් තහවුරු කිරීමයි.

ලාභ වලට නැවත පැමිණියහොත් පළමුව ලාභයේ ඇති වැරැද්ද කුමක්දැයි විමසන්නට සිදුවේ. අප ඉතාම සරල උදාහරණයකට ගියහොත් මා සිටවන කෙසෙල් ගසක ලොකු කැනක් වැටුණොත් මට ලාභයක් වෙයි. කෙසෙල් ගස වඳ පීදුනොත් පාඩුවක් වෙයි. ඇතැම් විටක, මා සිටවන කෙසෙල් ගස් දිගින් දිගටම වඳ බහිද්දී මගේ අසල්වැසියාගේ වත්තේ දිගින් දිගටම ලොකු කෙසෙල්කැන් වැටෙන්නට පුළුවන. මගේ වැස්සීගේ පැටවුන් අඩු මාසෙන් ගබ්සා වෙද්දී අල්ලපු ගෙදර වැස්සී අවුරුදුපතා පැටවූ දමන්නට පුළුවන. මෙවැනි අවස්ථාවක මගේ අසල්වැසියාගේ ලාභය ගැන මා අසතුටු වේනම් එය ඊර්ශ්යාවට වඩා වැඩි දෙයක් නොවන බව ඉතා පැහැදිලිය.

ලාභය පිලිබඳ ප්‍රශ්නය වඩා සංකීර්ණ වන්නේ නිෂ්පාදන කාර්යයේදී එක් අයෙකුගේ ශ්‍රමය වෙනත් අයෙකු විසින් මිල දී ගන්නා විටය. මා දවස් පඩියට අල්ලපු වත්තේ කෙසෙල් හිටවද්දී මගේ අසල්වැසියා කෙසෙල් විකුණා විශාල ලාභයක් ලබයි. මෙහිදී මා මගේ කැමැත්තෙන් දවස් පඩියට වැඩ කරන්නේ එසේ වැඩකිරීම මට වාසියක් ඇති නිසාය. කෙසේවුවද, මට වැඩිපුර මුදලක් ගෙවනවානම්, එනම් මගේ ලාභය වැඩි වනවානම්, මා වඩා සතුටුය.

අසල්වැසියාගේ පැත්තෙන් ගත් විට මගේ ශ්‍රමයට ඔහු ගෙවන මුදල ආයෝජනයකි. මේ මුදල ආයෝජනය කිරීමේදී ඔහු අවදානමක් ගනී. ඔහුගේ භූමි සම්පතද මේ සඳහා යොදවයි. භෞතික ශ්‍රමයක් නොවුවත් යම්කිසි ශ්‍රමයක්ද යොදවයි. මේ සියල්ල වෙනුවෙන් ඔහුට ආපසු ගෙවීමක් ලැබිය යුතුය. මේ හා අදාළව ප්‍රදීප්ද එකඟ වේ. මෙහි පෙනෙන්නට ඇති ප්‍රශ්නය මේ සියළු කාර්යයන් සඳහා ලැබිය යුතු 'සාධාරණ' ලාභයට අමතරව මගේ අසල්වැසියා තවත් වැඩිපුර ලාභයක් ලබන්නේද යන්නයි. එමෙන්ම, එසේ වැඩිපුර ලාභයක් ලබයිනම් ඒ ලාභයෙන් කොටසක් මටත් ලැබෙන ආර්ථික ක්‍රමයක් වඩා සාධාරණ නොවන්නේද යන්නයි.

ඉහත උදාහරණය ඉතා සරලය. එහෙත්, විශාල සමාගමක සිදුවන කාර්යයද මීට වඩා බොහෝ සේ සංකීර්ණ නැත. කවරෙකු හෝ තමන්ට හිමි 'සාධාරණ' ලාභයට වඩා වැඩි ලාභයක් ලබනවානම් එය වැළැක්විය යුතුය. නිදහස් ආර්ථික ක්‍රමයකින් කරන්නේ මෙයයි. ඒ සඳහා මිනිසුන්ගේ ලාභ ලැබීමේ අපේක්ෂාවන් බාධාවක් නොවේ. ඇත්තටම මේ අසාධාරණ ලාභ නැති වෙන්නේම මිනිසුන්ගේ ලාභ ලැබීමේ අපේක්ෂාවන් නිසාය.

නිදහස් වෙළඳපොළක් යනු තමන් කැමති (භාණ්ඩ හෝ සේවා) නිෂ්පාදන කාර්යයකට දායක වී නිසි ලාභයක් ලැබීමට සියල්ලන්ටම ඉඩප්‍රස්තා ඇති සමාජයකි. මගේ අසල්වැසියා අසාධාරණ ලාභයක් ලබන්නේයැයි මොහොතකට සිතමු. වැඩි කල් නොයා, මේ බව වෙනත් අයට පෙනේ. එවිට වෙනත් අයද ඔහු කරන දෙයම කිරීමට පෙළඹේ. එවිට මගේ අසල්වැසියාට මගේ ශ්‍රමය මිල දී ගැනීමට තරඟයකට මුහුණ දීමට සිදුවේ. වෙනත් අයෙකු වැඩි දවස් පඩියක් ගෙවනවානම් මා මගේ අසල්වැසියාට අඩු මිලකට ශ්‍රමය විකුණන්නේ නැත. අවසානයේදී මගේ දවස් පඩිය ඉහළ යයි. මගේ අසල්වැසියාගේ ලාභය අඩුවෙයි. 

මෙය සිදුවන්නේ සමාජයේ බොහෝ දෙනෙකු ලාභ අපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා මිස එසේ නොකිරීම නිසා නොවේ. මට අඩු වැටුපකට වැඩ කිරීමට වෙන්නේ බොහෝ දෙනෙකු ලාභ අපේක්ෂාවෙන් කටයුතු නොකරන්නේනම්ය. 

එමෙන්ම, කිසියම් අයුරකින් සියල්ලන්ටම මෙසේ සමාන ඉඩප්‍රස්තා නොලැබේනම් එවිටද ඇතැම් අයට අසාධාරණ ලාභ ලැබිය හැකිය. අනිසි ලාභ නැති වන්නේ තරඟය නිසාය. අනිසි ලාභ වලට හේතුව ප්‍රමාණවත් තරඟකාරිත්වයක් නැතිවීමයි.


"ඹෟෂධ (හෝ වෙනත් ඕනෑම ක්ෂෙත්‍රයක) සමාගම් තමන් අතර දැනුම හුවමාරු කරගනු ලබන ක්‍රමවේදයක් හෝ සියලු සමාගම් වෙනුවෙන් පරියේෂණ සිදුකරනු ලබන ආයතන කිහිපයක් නිර්මාණය කරවා ගැනීම මගින් බහුතරයක්වන ජනතාවට ලබාගතහැකි ලාභය වැඩිකල හැකියැයි මම දකිමි."

මේ ගැන කියන්නට ඇත්තේද ඉහත කරුණමය. ස්වේච්ඡාවෙන් දැනුම හුවමාරු කරගැනීමක් සිදු නොවේනම් එය බලහත්කාරයෙන් කළ හැකි ක්‍රමයක් නැත. කළ හැකි එකම දෙය රජය මුල් වී පර්යේෂණ කිරීමයි. මෙය ඕනෑ තරම් අත්හදා බලා ඇති දෙයකි. එයින් වැඩක් වෙන්නේම නැතැයි කිව නොහැකි නමුත්, සමස්තයක් වශයෙන් ලාභ මුල් කරගත් සමාගම් අතින් සිදුවන තරමේ වටිනාකම එකතු කිරීමක් සිදු වී නැත.

"මෙම නිර්මාණය වන නව දැනුම යම් නිශ්චිත කාලයක් දක්වා සමාජයට ලබාදීම ප්‍රමාද කරමින් සිටින්නේ එම දැනුම සොයා ගැනිම වෙනුවෙන් එම ආයතනය විසින් සිදුකරන ලද වියදම පියවා ගැනිම සදහාය. ඒ මගින් එම ක්ෂෙත්‍රයේ සිදුවිය හැකි වර්ධනයට යම් බාධාවක් ඇතිවිය හැකි බව මම සිතමි."
 


පේටන්ට් අහෝසි කළහොත් යම් නව නිර්මාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව එක් වරම බොහෝ දෙනෙකුට ලැබෙන නිසා එක් වරම බොහෝ දෙනෙකුට වාසියක් සිදුවනු ඇත. එහෙත්, ඉන්පසු පර්යේෂණ සඳහා ආයෝජනය කිරීම අධෛර්යමත් වන නිසා නව නිෂ්පාදන බිහිවීම අඩුවනු ඇත. මේ නිසා ක්ෂණිකව වාසියක් ලැබුණත් දිගුකාලීනව සිදුවන්නේ අවාසියකි.

කෙසේවුවද, පේටන්ට් නැති කිරීම නිසා පර්යේෂණ සඳහා සිදුකෙරෙන වියදම් විශාල ලෙස අඩු වනු ඇතත් බොහෝ දේ කවදා හෝ දිනෙක අහම්බෙන් හෝ සොයාගැනෙනු ඇත. පේටන්ට් මඟින් කෙරෙන්නේ කෘතීම ලෙස මෙය ඉක්මන් කිරීමකි. අනෙක් අතට පෞද්ගලික දේපල අයිතිය පිළිගන්නා සමාජයකට වුවද පෞද්ගලික දේපලක් යනු කුමක්ද යන්න පිළිබඳව (සෛද්ධාන්තිකව) නිශ්චිත නිර්වචනයක් නැත. බොහෝ විට බුද්ධිමය දේපලක් යනු කුමක්ද යන ගැටළුව මතුවේ. මෙය නිශ්චිත පිළිතුරක් දීමට අපහසු ප්‍රශ්නයකි.

මේ ලිපිය පළ කිරීමෙන් පසු එහි අයිතිය ඇත්තේ මටද? නැත්නම් සමාජයටද? නීතිය අමතක කළහොත් මෙයට "හරි" පිළිතුරක් දීම පහසු නැත. එවැනි ගැටළුකාරී ප්රශ්න වලට ලබාදෙන පිළිතුරුද කලින් කලට සිදුවන සමාජ තේරීම්ය.


උඩින් මාතෘකාවට ආපසු පැමිණියහොත්,
-ලාභය යනු යම් නිෂ්පාදන  කාර්යයකදී යොදාගන්නා නිෂ්පාදන සාධක වල ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ගෙවිය යුතු පිරිවැය වෙන් කළ පසු ඉතිරි වන අමතර ලාභයයි.
-ලාභයට හේතුව කිසියම් වෙළඳපොළ දුර්වලතාවයකි.
-ලාභය නැති කිරීමේ මඟ වෙළඳපොළ බාධක ඉවත් කර තරඟකාරිත්වය ඇති කිරීමයි.
-ලාභ ලැබීමට මිනිසුන්ගේ ඇති ස්වභාවික කැමැත්තට බාධා නොකර ඉඩදුන් විට තරඟකාරිත්වය නිසා සියල්ලන්ටම ලැබෙන්නේ තමන් යොදවන නිෂ්පාදන සාධක වල ආන්තික ඵලදායීතාවය වෙනුවෙන් ලැබිය යුතු මිල පමණි.


(Image: www.netpicks.com)

11 comments:

  1. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  2. කිහිප දිනක්ම ඔබගේ වියමන බැලිමට නොහැකිවු බැවින් මාගේ සටහනක් තැබිමට නොහැකිවිය.

    ඔබ විසින් ලියා ඇති කරුණු පිලිබදව නැවත සලකා බැලිමක් කල යුතුයැයි මම සිතමි. ඔබගේ මුලික දැක්ම තුලම තිබෙනුයේ මිනිසුන්ට සාමුහිකවිය නොහැකි බව සහ ඒ වෙනුවෙන් වන පෙළඹුමක් මිනිසුන්තුල නොමැති බවයි. එබැවින් මිනිසුන්තුල ඇති පෞද්ගලික අපේක්ෂාවන් උපයෝගිකර ගනිමින් සමාජයතුල තරගකාරිත්වය ඇතිකර ඒ තුලින් සමාජය තුලිත කල යුතු බවයි. දැනට පවතින සමාජ තත්වයතුල මිනිසුන් අනෙකා සමග තරග කරනුයේ ඔහුට එවැනි තත්වයකට මුහුණදිය යුතුයැයි සමාජය විසින් බලකර ඇති හෙයිනියැයි මම විශ්වාස කරමි. මෙම පවතින ක්‍රමය තවදුරටත් ඉදිරියට යමින් මිනිසුන්ව තමන්ගේ පෞද්ගලික තරගයක් තුල හිරකරනු ලැබුවහොත් අනාගතයේදි අනවශ්‍ය වියදමක්වන බැවින් ළමුන් සෑදීමද සිදුකරනු ඇත්තේ යම් සීමිත පිරිසක් විසින් රුකියාවක් ලෙස වනු ඇත. ඒ අනුව ස්ත්‍රින්ට ජිවත්වීම උදෙසා තමන්ගේ ගර්භාෂය කුලියට දීමට සිදුවනු ඇතැයි විශ්වාස කල හැකිය.

    මට ඇති ගැටලුව වන්නේ සමාජයක් ඒ ආකාරයට සංවර්ධනය කල යුත්තේ කුමක් සදහාද යන්නයි. සමාජයක් සංවර්ධනය කිරීමේ පදනම විය යුත්තේ මානුෂිකත්වය වර්ධනය කිරීමයි. සියල්ල දෙස තමාට ලැබෙන ලාභය කුමක්ද යන්න පිලිබදව නොසිතා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් සකස් කිරීමයි. තමන් සිදුකරන කටයුතුවල නිවරදි තේරුම එයින් ලැබෙන ප්‍රතිලාභය පිලිබදව අවබෝධයකින් යුතුව කටයුතු කිරීමයි.එනම් සංවර්ධනයේ අරමුණ විය යුත්තේ කුමක්ද යන්නයි. එය මගින් සිදුකල යුත්තේ මිනිසුන්ව නිරෝගි කිරීම මිස මිනිසුන්ට වැලදෙන රෝගවලට බෙහෙත් සොයා ගැනීම නොවේය. සමාජ සංවර්ධනය විසින් කල යුත්තේ සාමුහිකව සමාජයකට ජිවත්විය යුතු අවශ්‍යතාවයන් සකස් කිරීම මිස එකිනකා අතර තරගයක් ඇතිකර තමන්ට බලපෑමක්විය හැකි පුද්ගලයින් හෝ සමාජයන් භෞතිකව විනාශකර දැමිම නොවෙය.

    සමාජය දැනුම ලබා ගනුයේ සහ දැනුම වෙනුවෙන් දැනට පවතින තත්වයන් යටතේ ආයතන විසින් මුදල් ආයෝජනය කරනු ලබන්නේ තමන්ට දෙයක් ලැබෙන බැවින්ය. මෙම සමාජ තත්වයතුල තමන් සොයාගනු ලබන දැනුමට ආරක්ෂණයක් නොමැතිනම් ඔවුන් ඒ වෙනුවෙන් සුදු කෙලින්නට යන්නේ නැතිය. එබැවින් මේ අවස්ථාවේදි වඩාත් ස්ථායි තත්වයක් සැදීමකින් තොරව පෙටන්ට් ක්‍රමය මේ සමාජයෙන් ඉවත් කල නොහැකිය. එහෙත් සමාජයක් ක්‍රියාත්මක වන්නේ සමාජීය අවශ්‍යතාවයන් අනුවනම් එහි මුලික අවශ්‍යතාවය මිනිසුන්ගේ ජිවිත වඩ වඩා මානුෂික කිරීමනම් එවිට පෙටන්ට් පිලිබදව අවශ්‍යතාවයක් ඇතිනොවනු ඇත.

    මා දකිනා ආකාරයටනම් ලාභය යනු මිනිසුන්ව හුදකලාකරනු ලබන මිනිසුන් අතර ඇති මානුෂික සම්බන්ධතාවයන් සදහා මිලක් නිර්මාණය කරනු ලබන සමාජ ක්‍රමයක් පවත්වාගෙන යෑමේ මුලික පදනමයි. පෞද්ගලික දේපල පවත්වාගෙන යාමට හැක්කේ ලාභයට ප්‍රවේශවීමට සියල්ලන්ටම ඉඩක් විවර කිරිමෙන් පමණය.

    ලාභය නැතිකිරිමේ මාර්ගයනම් සමාජය වඩ වඩාත් සාමුහික කිරීමයි..

    ReplyDelete
    Replies
    1. //ඔබගේ මුලික දැක්ම තුලම තිබෙනුයේ මිනිසුන්ට සාමුහිකවිය නොහැකි බව සහ ඒ වෙනුවෙන් වන පෙළඹුමක් මිනිසුන්තුල නොමැති බවයි.//
      මිනිසුන්ට සාමූහික විය හැකි අතර ඒ සඳහා පෙළඹුමක්ද තිබේ. එහෙත් එසේ සාමූහිකව ක්‍රියා කළ යුත්තේ මොන වෙලාවටද එසේ නොකළ යුත්තේ මොන වෙලාවටද යන්න එක් එක් මිනිසාගේ තෝරාගැනීමකි. කණ්ඩායමක් කැමැත්තෙන් සාමූහිකව ක්‍රියාකරන්නේ එසේ ක්‍රියා කිරීමෙන් ඒ කණ්ඩායමේ සියල්ලන්ටම වාසි ඇති බැවිනි. තනි තනිව ක්‍රියාකිරීම වඩා වාසිදායකනම් මිනිස්සු තනිව ක්‍රියා කරති. සාමූහිකව ක්‍රියා කිරීම වඩා වාසිදායකනම් එසේ කරති. සාමාන්‍ය මිනිස් ස්වභාවය එයයි. ඒ හැරුණු විට සාමූහිකව ක්‍රියාකිරීමට කිසිවෙකුට බලහත්කාරයෙන් පෙළඹවීමක් කිරීමට වෙනත් අයෙකුට ඇති අයිතිය කුමක්ද?

      //අනාගතයේදි අනවශ්‍ය වියදමක්වන බැවින් ළමුන් සෑදීමද සිදුකරනු ඇත්තේ යම් සීමිත පිරිසක් විසින් රුකියාවක් ලෙස වනු ඇත.// කොහොමටත් පසුගිය කාලය තුල සමාජය පරිණාමය වී ඇත්තේ එවැනි තැනකටය. සියවස් ගණනකට පෙර ළමයෙකුට වැඩිහිටියෙකු වීමට අවශ්‍ය පුහුණුව ලබා දුන්නේ දෙමවුපියන් විසිනි. ඒ අය තමන් දන්නා වෘත්තිය දරුවන්ට පුහුණු කළේය. දැන් සිදුවන්නේ සීමිත පිරිසක් රැකියාවක් ලෙස ඒ කාර්යය (උදාහරණ පාසැල් ගුරුවරුන්) කිරීමයි. එමෙන්ම, මේ වන විට පාසැල් නොයන වයසේ දරුවෝ බොහෝ දෙනෙකු දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීම සිදුවේ. මෙය සමාජය ස්වභාවිකව පරිණාමය වන ආකාරයයි.

      වසර දහසකට හෝ දෙදහසකට පෙර පැවති කෘෂිකාර්මික සමාජ වල දරුවන් හැකි තරම් වැඩි ගණනක් හැදුවේත්, පිරිමි දරුවන්ට වැඩි සැලකිල්ලක් කළේත් ළමුන් ආදායමක් (නිෂ්පාදන සාධකයක්) වූ නිසාය. දැන් බොහෝ සමාජ වල ළමුන් අඩු ගණනක් හදන්නේ වැඩි ළමුන් ගණනක් හැදීමට වැඩි වියදමක් යන නිසාය. එදා මෙන්ම අදත් මේවා පුද්ගල තෝරාගැනීම්ය. අයෙකුට ළමුන් යම් කිසි ගණනක් හැදීමට බලපෑමක් කිරීමට වෙනත් අයෙකුට ඇති අයිතිය කුමක්ද?

      //මිනිසුන් අතර ඇති මානුෂික සම්බන්ධතාවයන් සදහා මිලක් නිර්මාණය කරනු ලබන// මේ මිල කිසිවකු නිර්මාණය කරන එකක් නොවේ. ස්වභාවිකවම ඇති එකකි. මුදල් ගනුදෙනුවක් සිදු නොවුවද මිල කොහොමටත් තිබේ. මානුෂික සම්බන්ධතාවකින් කෙනෙකු ලබන සතුටට යම් නිශ්චිත වටිනාකමක් තිබේ. එය අසීමිත නැත.

      //පෞද්ගලික දේපල පවත්වාගෙන යාමට හැක්කේ // දේපල පෞද්ගලික වුවත් පොදු වුවත් ඒවා පරිභෝජනය කරන්නේ තනි පුද්ගලයින් විසිනි. පොල්ගහ පොදු වුවත් එහි හැදෙන කුරුම්බා ගෙඩි තුන යම් කිසි ක්‍රමයකට පුද්ගලයින් අතර බෙදිය යුතුය. දැන් මේ බෙදන ආකාරය හරියටම දන්නා 'සර්ව බලධාරියා' කවුද? පෞද්ගලික දේපල යටතේ මා සිටුවා මා සාත්තු කරන පොල් ගසේ කුරුම්බා මට ලැබෙන බව දන්නා නිසා එයට වතුර දැමීමට මට උනන්දුවක් තිබේ. එහෙත්, මා වතුර දැම්මත් නොදැම්මත් මට ලැබෙන්නේ එක කුරුම්බාවක්නම් මම මහන්සි විය යුත්තේ ඇයි?

      //ලාභයට ප්‍රවේශවීමට සියල්ලන්ටම ඉඩක් විවර කිරිමෙන් පමණය.// සමානාත්මතාවය කියන්නේ මෙයයි. ලාභයක් ලැබීමට මට ඇති අයිතියම ඔබටත් තිබේ. ඔබේ ලාභය පැහැර ගැනීමට මට අයිතියක් නැත. එහෙත්, ඔබට ඔබේ කැමැත්තෙන් එයින් කොටසක් මට දිය හැකිය. එය මට ලැබෙන පාරිතෝෂිකයක් මිස මගේ වරප්‍රසාදයක් නොවේ.

      //ලාභය නැතිකිරිමේ මාර්ගයනම් සමාජය වඩ වඩාත් සාමුහික කිරීමයි..// මේ සාමූහික කිරීම කියන්නේ කුමක්ද, එය කරන්නේ කෙසේද යන්න මට පැහැදිලි නැත. ඊට පෙර, තමන්ට පාඩුවක් නොවෙද්දී වෙනත් කෙනෙකුගේ ලාභය නැති කිරීමට අවශ්‍ය වන්නේ ඇයි කියන කරුණ පැහැදිලි නැත. (තමන් ලාභයට අකැමතිනම් එය නැති කර ගැනීමට කිසිවෙකුට බාධාවක් නැත. මෙතැනදී කතා කරන්නේම වෙනත් අය ලබන ලාභ ගැනය.)

      Delete
  3. //ඒ හැරුණු විට සාමූහිකව ක්‍රියාකිරීමට කිසිවෙකුට බලහත්කාරයෙන් පෙළඹවීමක් කිරීමට වෙනත් අයෙකුට ඇති අයිතිය කුමක්ද?//
    ඔබගේ ප්‍රශ්නයම වෙනත් කෙනෙකුට අනෙක් පසටද ඇසිමට පුලුවන, එනම් මිනිසුන් කර්මාන්තශාලාවකදී, පාසැලකදී, මහපාරේදී හෝ තමන්ගේ බොහෝ ක්‍රියාකාරකම් සිදුකිරීමේදී පොදුවේ කටයුතු කරනු ලැබුවද තමන්ගේ ලාභය වෙනුවෙන් පවතින සමාජ හා ආර්ථික කොන්දේසිවලින් ඔවුන්ව එම ස්ථානවලම තනි තනි ඒකක බවට ගැටගසා දමා ඇත. එලෙස මිනිස් ජිවිත හුදකලාකිරීමට පෙළඹවීම යහපත්ද? ඒ සදහා ප්‍රග්ධනයට ඇති අයිතිය කුමක්ද?

    //මේ වන විට පාසැල් නොයන වයසේ දරුවෝ බොහෝ දෙනෙකු දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීම සිදුවේ//
    සමහර අවස්ථාවලදි පාසැල් නොයන වයසේ දරුවෝ සහ අධ්‍යපනය ලැබිය යුතු වයසේ ළමයි සිගමන් යැදිමේ සිට තමන්ගේ පවුල් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මුදල් සෙවිමට මේ සමාජ තත්වයන් බලපෑම් ඇතිකර තිබේ. මෙය අතීතයේදීද මේ ආකාරයටම පැවතුනි. මෙම වෙළදපොළතුල ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ වගකීම ගනු ලබන්නේ කවුරුන්ද? දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන් වැඩි දියුණු කල යුත්තේ අනාගතයේදී තමන්ව රුකගැනීම වෙනුවෙන්වන ආයෝජනයක් ලෙසද?

    //පෞද්ගලික දේපල පවත්වාගෙන යාමට හැක්කේ ලාභයට ප්‍රවේශවීමට සියල්ලන්ටම ඉඩක් විවර කිරිමෙන් පමණය.//

    //දැන් මේ බෙදන ආකාරය හරියටම දන්නා 'සර්ව බලධාරියා' කවුද?//

    නිදහස් වෙළදපොළයි - සියල්ලන්ටම නිදහසේ ප්‍රවේශවිය හැකි සිමාවන් යෙදවීමකින් තොරව සංවර්ධනයවන වෙළදපොලක් තුලින් සමාජයේ සියලුම සම්පත් අවශ්‍යතාවය අනුව සාධාරණව බෙදා දැමිය හැකිය. පවතින වෙළදපොළ නිදහස් වෙළදපොලක් නොවේය. එය විසින් බහුතරයකගේ ලාභයේ අපේක්ෂාව කේවල් කිරීම සදහා නීතී රීතී හා රෙගුලාසි සකස් කර ඇත. අප සියල්ලන්ටම බාධාවකින් සීමාකිරීමකින් තොරව ලාභයට ප්‍රවේශවීමට ඉඩ සකස්කර දිය යුතුය. එය ස්භාවිකවම ඇතිවනු ඇතැයි උපකල්පනය කිරීම හෝ එය සකස්කිරීම සදහා මිනිසුන් පෙළඹවිය යුතුයැයි සිතීම ධාරාවන් දෙකක්ය.

    වඩ වඩාක් සාමුහිකවීම යනු සමාජයේ සහ වෙළදපොලේ අවශ්‍යතාවය වෙනුවෙන් සියල්ලන් විසින් සියල්ලන්ව ආරක්ෂා කරන සමාජයක් නිර්මාණය කිරීමයි. එවිට දරුවන් දෙමව්පියන්ට බරක් හෝ වැඩිහිටියන් දරුවන්ට වියදමක් නොවනු ඇත. සමාජය විසින් දරුවන් සමාජයේ සංවර්ධනය වෙනුවෙන් වැඩි දියුණු කරනු ඇත. වැඩිහිටියන් විසින් සමාජය පවත්වා ගැනිමට තමන් විසින් යෙදවු ශ්‍රමය හා මහන්සිය වෙනුවෙන් පෙරලා සමාජයෙන් ඔවුනට රුකවරණයක් ලැබෙනු ඇත. එය ඇතිකල යුත්තේ කෙලෙසද යන්න පිලිබද උත්තරයක් අප විසින් සොයාගත යුතුය.

    //තමන්ට පාඩුවක් නොවෙද්දී වෙනත් කෙනෙකුගේ ලාභය නැති කිරීමට අවශ්‍ය වන්නේ ඇයි කියන කරුණ පැහැදිලි නැත.//

    ඔබ තමන්ට පාඩුවක් නොවේයැයි පවසන්නේ ඇයිද යන්න පිලිබදව මම නොදනිමි. එහෙත් ලංකාවේ ඇතුලු ලෝකයේ බහුතරයක් මිනිසුන්ට සිදුවන්නේ ලාභයක් යන්න සිතිමට මට නොහැක. මා දකින ලෝකයතුල දරුවන් රෝගින් තමන්ගේ ජිවිතය රුක ගැනීම උදෙසා සිගමන් යදිනවාය. තවත් බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය දිනපතා සපයා ගැනීමට ආරක්ෂනයක් නොමැතිව ජිවත් වෙනවාය. මා හෙට හදිසි අනතුරකට මුහුණදුන්විට මාගේ ජිවිතයට කුමක් වේදැයි සිතා ගැනීමටවත් මා හට නොහැකිය. එවන් සමාජ තත්වයක් තුල තමන්ට පාඩුවක් නැතැයි සිතිය හැක්කේ කේසේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප්, ඔබ නිදහස් වෙළඳපොළ යන වචනය භාවිතා කිරීම ගැන සතුටුයි. එවිට, ඒ පදනමේ සිට කතා කළ හැකියි.

      //නිදහස් වෙළදපොළයි - සියල්ලන්ටම නිදහසේ ප්‍රවේශවිය හැකි සිමාවන් යෙදවීමකින් තොරව සංවර්ධනයවන වෙළදපොලක් තුලින් සමාජයේ සියලුම සම්පත් අවශ්‍යතාවය අනුව සාධාරණව බෙදා දැමිය හැකිය. පවතින වෙළදපොළ නිදහස් වෙළදපොලක් නොවේය.//

      //අප සියල්ලන්ටම බාධාවකින් සීමාකිරීමකින් තොරව ලාභයට ප්‍රවේශවීමට ඉඩ සකස්කර දිය යුතුය.//

      මේ ටික ගැන මම එකඟයි. එහෙත් "එය විසින් බහුතරයකගේ ලාභයේ අපේක්ෂාව කේවල් කිරීම සදහා නීතී රීතී හා රෙගුලාසි සකස් කර ඇත." යනුවෙන් ඔබ කියන දේ මට පැහැදිලි නැත. බහුතරයට ලාභයක් වනවානම් එය නරකක් නොවේ.

      //එය ස්භාවිකවම ඇතිවනු ඇතැයි උපකල්පනය කිරීම හෝ එය සකස්කිරීම සදහා මිනිසුන් පෙළඹවිය යුතුයැයි සිතීම ධාරාවන් දෙකක්ය.//
      සමාජයක් ස්වභාවිකව පරිණාමය වීම සිදුවන්නේ මිනිසුන්ගේ සක්‍රිය මැදිහත්වීම් නිසාය. ඒ නිසා එවැනි මැදිහත්වීම් අවශ්‍ය නැති බවක් මා කියන්නේ නැත. එහෙත්, 'මිනිසුන් පෙළඹවිය යුතුයැයි සිතීම' තුළ අනිත් අයට වඩා වැඩිපුර මා දන්නවා යන අදහස ඉස්මතු වුනොත් එහි ප්‍රශ්නයක් තිබේ. මා සිතන ආකාරය මට අනෙත් අයට පැහැදිලි කළ හැකිය. එය වෙනත් අයෙකුට වෙනස් වීමට යම් ස්වභාවික පෙළඹවීමක් කළ හැකිය. බොහෝ දෙනෙකුට පෙළඹවීමක් කර සමාජයේ දිශානතිය වෙනස් කිරීමටද යම් ඉඩකඩක් තිබේ. එහෙත්, එය තීරණය වන්නේ අනිත් අය සිතන ආකාරය අනුවය. බොහෝ දෙනෙකු සිතන්නේ මා සිතන ආකාරයට නොවේනම් සහ මට ඔවුන්ව වෙනස් කිරීම අපහසුනම් මා ඔවුන්ව තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය.

      Delete
    2. //එනම් මිනිසුන් කර්මාන්තශාලාවකදී, පාසැලකදී, මහපාරේදී හෝ තමන්ගේ බොහෝ ක්‍රියාකාරකම් සිදුකිරීමේදී පොදුවේ කටයුතු කරනු ලැබුවද තමන්ගේ ලාභය වෙනුවෙන් පවතින සමාජ හා ආර්ථික කොන්දේසිවලින් ඔවුන්ව එම ස්ථානවලම තනි තනි ඒකක බවට ගැටගසා දමා ඇත.//
      මෙහි මිනිසුන්ව තනි තනි ඒකක බවට ගැටගසා ඇති බවක් මා දකින්නේ නැත. කර්මාන්තශාලාවකදී, පාසැලකදී හෝ මහපාරේදී සිදුවන්නේම සාමූහික ක්‍රියාවන්ය. ඒ සාමූහික ක්‍රියාවන් මඟින් සියල්ලෝම ලාභ ලබති.

      Delete
    3. //මා හෙට හදිසි අනතුරකට මුහුණදුන්විට මාගේ ජිවිතයට කුමක් වේදැයි සිතා ගැනීමටවත් මා හට නොහැකිය. එවන් සමාජ තත්වයක් තුල තමන්ට පාඩුවක් නැතැයි සිතිය හැක්කේ කේසේද?//
      මෙය ඔබට මෙන්ම මටද අනෙත් සියල්ලන්ටමද ඇති ප්‍රශ්නයකි. රක්ෂණ ක්‍රම බිහි වී ඇත්තේ මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි. ඔබට සිදුවන පාඩුව වලක්වා ගත හැකි වීම ඔබ ලබන වාසියකි. ඔබ එහි මිල ගෙවයි.

      Delete
    4. //මා දකින ලෝකයතුල දරුවන් රෝගින් තමන්ගේ ජිවිතය රුක ගැනීම උදෙසා සිගමන් යදිනවාය. තවත් බොහෝ පිරිසක් තමන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය දිනපතා සපයා ගැනීමට ආරක්ෂනයක් නොමැතිව ජිවත් වෙනවාය// ඉතිහාසය පුරාම මිනිසුන් වැඩි හරියක් හිටියේ බඩගින්නේය. මෙය වෙනස් වුනේ පසුගිය සියවස් දෙක තුළය. (කියවන්න "මැල්තුසියානු උගුලෙන් ගැලවීම" ලිපිය). එය වුනේ තාක්ෂණය නිසාය. තාක්ෂනය දියුණු කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ ලාභය නිසාය. ඔබ කතා කරන මේ පහළ ස්ථර වල සිටින අය බොහෝ දෙනෙකු තමන්ගේ ජීවිතය පවත්වා ගැනීමටවත් නිෂ්පාදනයක් කර ගැනීමේ හැකියාවක් නොමැති අයයි. එවැනි අයගේ අවශ්‍යතා සැපිරීමට වෙනත් අයට වැඩි නිෂ්පාදනයක් කිරීමට සිදුවේ. ඒ සඳහා කළ යුත්තේ එසේ කළ හැකි පිරිස් වැඩිපුර බිහි කිරීමයි.

      Delete
    5. //සමහර අවස්ථාවලදි පාසැල් නොයන වයසේ දරුවෝ සහ අධ්‍යපනය ලැබිය යුතු වයසේ ළමයි සිගමන් යැදිමේ සිට තමන්ගේ පවුල් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මුදල් සෙවිමට මේ සමාජ තත්වයන් බලපෑම් ඇතිකර තිබේ.//
      ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය ඔවුන්ගේ දෙමවුපියන්ට අමතරව සමාජයටම ලාභයකි. ළමයින් දෙමවුපියන් තෝරාගෙන ඉපදෙන්නේ නැත. ඒ නිසා දරුවන් දෙමවුපියන්ගේ අකාර්යක්ෂමතාවන්ගේ ගොදුරු විය යුතු නැත. දරුවන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් කුඩා කාලයේ කරන ආයෝජන පිළිබඳව මා වරදක් දකින්නේ නැත. මෙය සිදුවිය යුත්තේද අවසාන වශයෙන් එය සියල්ලන්ටම ලාභයක් බැවිනි. එමෙන්ම ආබාධිත පුද්ගලයෙක් වුවද සිඟමනට නොයවා සුදුසු නිෂ්පාදන කාර්යයක් සඳහා පුහුණු කිරීම අවසාන වශයෙන් කාටත් ලාභයකි.

      Delete
    6. //ඇතිකල යුත්තේ කෙලෙසද යන්න පිලිබද උත්තරයක් අප විසින් සොයාගත යුතුය.// එය කිරීමේ ආරම්භක පියවර විය යුත්තේ පවතින ක්‍රමයේ අඩුපාඩු වලට හේතු නිවැරදිව හඳුනාගැනීමයි. ඔය කියන බොහෝ කරුණු වලට අදාළව ලාභය මත පදනම් වූ බටහිර රටවල් සිටින්නේ ඉදිරියෙනි.

      (ඔබේ කමෙන්ට් එකේ ඇති පුළුල් කරුණු ගණනකට ක්ෂණිකව සැපයු පිළිතුරු බැවින් මා කියන දේ වලද අඩුපාඩු තිබිය හැකිය)

      Delete
  4. //එය විසින් බහුතරයකගේ ලාභයේ අපේක්ෂාව කේවල් කිරීම සදහා නීතී රීතී හා රෙගුලාසි සකස් කර ඇත.//

    බහුතරයකගේ ලාභයේ අපේක්ෂාව කේවල් කිරීම සදහා යනුවෙන් මා ප්‍රකාශ කරන ලද්දේ යම්කිසි පුද්ගලයකුට මෙම පවතින සමාජය තුල තොරාගැනිමට ඇති අවස්ථාවන් වලින් තමන්ට වැඩිපුරම දෙයක් ලැබේයැයි සිතන අපේක්ෂාවට කැපකල යුතු අනෙකුත් සාධකයන්වල මිලද ඉතා අධිකය. උදාහරණ වශයෙන් ;

    සමහර අවස්ථාවලදි වසර දෙක තුනක් හෝ ඊටත් වැඩි කාලයක් තමාගේ පවුලෙන් සහ ඥාතින්ගේන් දුරස්ව වෘත්තියන්වල යෙදිමට සිදුවනවාය.

    තවත් සමහර අවස්ථාවලදී සතියේ සෑම දිනකම උදේ 4 සිට රාත්‍රි 10 පමණවනතුරු පැය 18 කාලයක් (සාමාන්‍යයෙන් අවම වශයෙන් පැය 16 වැඩි කාලයක්වත් ) රුකියාව වෙනුවෙන් හෝ රුකියාව කිරිමට යාම එමේ සිට රුකියාව කරන කාලයද ඇතුලුව තම ජිවිතයෙන් කැප කිරීමට සිදුවනවාය.

    එමෙන්ම රුකියාවන් කරන ස්ථානවල සෞඛ්‍යාරක්ෂිතභාවය පිලිබදව ගැටලු සහිතව සමහර පුද්ගලයින්ට රුකියා කිරීමට සිදුවනවාය. උදාහරණයක් ලෙස ලංකාවේ කුණු කසල බැහැරකරන කම්කරුවන් වෙනුවෙන් යෙදවෙන සෞඛ්‍ය පහසුකම් ඉතාමත් අල්පය. එමෙන්ම ඉදිකිරිම් කර්මාන්තවල යෙදවෙන ආරක්ෂණ පහසුකම්ද සමහර අවස්ථාවලදී ඉතාමත් අල්පය.

    තවත් සමහරුන්ට රුකියාවන් කිරිමට සිදුවී තිබෙන්නේ ඉඩමක් ගෙන ගෙවල් සැදීමට, වාහනයක් ගැනීමට සහ විවාහය වෙනුවෙන් සිදුකරන වියදම් පියවීම සදහාය. එයින් අමතර වියදමක් කිරීම වෙනුවෙන් හෝ අමතර විනෝදයක්, අධ්‍යපනයක් ලැබිම වෙනුවෙන් කාලයක් හෝ වියදමක් කිරිමට මුදලක් බොහෝ මිනිසුන් අත නැතිය.

    මෙය මිනිසුන්ගේ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය හෝ වෙනත් දෙයක් හෝ ලෙස කිව හැකි වුවද ඇත්තටම මිනිසුන්ව පවතින වෙළදපොළට ඉතා තදින් ගැටගසා ඇති ආකාරයක් සහ නැවත් හැරිය නොහැකි උගුලකට හසුකර ඇති බවක් මටනම් නිරික්ෂණය වේ.

    මෙවැනි එක් උගුලක පැටලුනු පසු ඔවුනට වෙනත් තොරාගැනීමක් සිදුකිරීම වෙනුවෙන් අවදානමක් ගැනීමට නොහැකි වනවාය.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.