Monday, August 1, 2016
මිල පාලනය නිසා නැඟී එන උද්ධමනය නොපෙනී යයිද?
මේ වන විට මිල පාලනයට ලක් කර ඇති භාණ්ඩ සියල්ලේම පාහේ මිල සාමාන්‍යයෙන් තීරණය වන්නේ තරඟකාරී වෙළඳපොළ තත්ත්වයකට ඉතා ආසන්න තත්ත්වයන් යටතේය. ඒ නිසා සාමාන්‍යයෙන් ඒ භාණ්ඩ වල ඉල්ලුම හා සැපයුම මනාව සමතුලිත වන අතර භාණ්ඩ හිඟයක් (හෝ නිෂ්පාදන අතිරික්තයක්) නොපවතී. මිල පාලනය යටතේ සිදුවන්නේ වෙළඳපොළ මිල මට්ටම නිදහස් වෙළඳපොළෙහි සමතුලිත මිලට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමට බල කිරීමයි.
යම් භාණ්ඩයක මිල එහි නියම මිලට වඩා කෘතීම ලෙස පහත හෙලනු ලැබූ විට ඒ සඳහා වන ඉල්ලුම වඩාත් වැඩිවීමත්, සැපයුම වඩාත් අඩුවීමත් හේතුවෙන් ඉල්ලුම හා සැපයුම අසමතුලිත වී භාණ්ඩ හිඟයක් ඇති වේ. මේ තත්ත්වය මේ වන විටද රට තුළ ඇති වී ඇති බව පුවත්පත් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, සුපිරි වෙළඳසැල් වල මෙන්ම සතොස ශාඛා වලද දැනටම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙමින් පවතී. "පොතේ හැටියට" භාණ්ඩයක මිල අඩු වුවත් ඒ මිලට ගන්නට කඩේ බඩු නැත්නම් සිදුවන්නේ පාරිභෝගික ජනතාවට සහන සැලසීම නොව ඔවුන්ගේ අසහනය තවදුරටත් වර්ධනය වීමයි.
රටේ භාණ්ඩ වල මිල පොදුවේ ඉහළ යන්නේනම් එයින් පෙනෙන්නේ රටේ සමස්ත ඉල්ලුම හා සමස්ත භාණ්ඩ සැපයුම (නිෂ්පාදනය + ආනයන - අපනයන) අතර පරතරයක් ඇති බවයි. රටේ ඇති භාණ්ඩ තොගයට සාපේක්ෂව මුදල් තොගය වැඩි වූ විට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය. උද්ධමනය කියන්නේද මෙයමය. මිල පාලනය උද්ධමනයට විසඳුමක් නොවේ.
උද්ධමනය යනු කිසියම් රටක මුදල් ඒකකයට සාපේක්ෂව එම රටේ භාණ්ඩ හා සේවාවන්හි මිල පොදුවේ ඉහළ යාමයි. එය හරියටම මනින්නටනම් රට තුළ අළෙවි වන සියළුම භාණ්ඩ හා සේවාවන්හි මිල නිරන්තරෙන් නිරීක්ෂණය කළ යුතුය. මෙය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බැවින්, සාමාන්‍යයෙන් උද්ධමනය මනිනු ලබන්නේ රටේ ආර්ථිකය නියෝජනය වන පරිදි තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස්වීම නිරීක්ෂණය කිරීම මඟිනි. රට තුළ බහුලව විකිණෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට මේ භාණ්ඩ පැසෙහි ලොකු බරක් තිබේ.
කිසියම් හෙයකින් උද්ධමනය මැනීම සඳහා නියැදියක් ලෙස උපයෝගී කර ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල රටේ අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩිවීමට අනුරූප ලෙස වැඩි නොවේනම්, උද්ධමනය ලෙස මැනෙන අගය සැබෑ උද්ධමනයට වඩා අඩු අගයකි. එමඟින් රටේ සැබෑ උද්ධමනය සැඟවී යා හැකිය.
රජයේ අයවැය පරතරය පියවීම සඳහා මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම හේතුවෙන් රටේ මුදල් සැපයුම වැඩි වී උද්ධමනකාරී තත්ත්වයක් ඇති වන්නට ඉඩ ඇති අවස්ථාවක, අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය කිරීම හේතුවෙන් උද්ධමනය ලෙස නිල වශයෙන් මනින අගය අඩුවෙන් පෙනේනම් පාරිභෝගික ජනතාවට සහන ලැබීම කෙසේ වුවත් රජයටනම් සැලසෙන්නේ වාසියකි.
8 comments:
ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.
සීනිවගේ දේවල්වලින් ආන්ඩුවට ලැබුන ආදායම සම්පුර්ණයෙන්ම වගේ අහෝසිකර සීනි මිල අඩුකිරීම මට නම් තේරුම්ගත නොහැකි දෙයකි. සීනි ගනන් වැඩිනම් සීනි අඩුවෙන් පාවිචිචි කිරීමට ජනතාවට ක්‍රම ඇත. "අල්ලේ කාලා තේ බීම" වැනි ක්‍රම මගින්. සීනි වැඩිපුර ගැනීමත් සරීරසෘඛ්‍යට හොඳනෑ නේද?
ReplyDeleteලංකාවේ සීනි පාවිච්චිය ඉතාම වැඩි බව මගේ අදහසයි. ලංකාවේ ගොඩක් ගෙවල් වල සීනි අඩුවෙන් දාන්න කිවුවට පස්සේ හදන තේ එකෙත් මම දැන් පුරුදු වෙලා ඉන්න සීනි ප්‍රමාණයට සාපේක්ෂව කටේ තියන්න බැරි තරමට සීනි.
Deleteඉකොනොමැට්ටා තමන් මුදල් අමාත්ය ගරු රවී කරුණානාකය තුමාටත් වඩා පඬියෙක් බව පෙන්නීමට ලියනා මෙවැනි මාරා වාදී කුහක බොග් පෝස්ට් පිලිකුලෙන් යුතුව හෙලාදකිමු!
ReplyDelete:D
PS:
රනිල් කියන්නෙ මොලයක් නෙවෙයි අලයක්!
ඉකොනොමැට්ටා කිසිසේත්ම මරාවාදියෙක්නම් නොවේ. ඒ වගේම, වෙනත් වාදීකම්ද නැත.
Deleteසෑහෙන කාලෙකින් ඉකෝ ගෙ ලිවිම් කියවන හින්දද මංද ඉස්සර තිබ්බ අර කියවන්න හිතෙන තත්වය බැහැල වගේ දැනෙනව. එහෙම නැත්තං මම මොට්ට වෙලා...
ReplyDeleteකෝමත් මේ වගේ ලිපි කියවන්නෙ ආසාවට දැනුමට නිසා ඒ තරං දෙයක් කියන්න නොතේරුණත් අර මුල් දවස් වල තිබ්බ සරල ගතිය ටිකක් අවම වේගන යනව වගේ..
සබ්ජෙක්ට් අවුල වෙන්න ඇති නේහ්
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි, මහේෂ්! අන්තර්ගතයේ ස්වභාවය නිසා සමහර ලිපි මම වැඩිපුර සරල කරන්න හිතුවේ නැහැ.
Deleteඅද රටේ නිවැරදි උද්ධමනය කොයි වගේ අගයක පවතිනවා ඇත්ද? මගේ හැඟීම නම් සෑම වසර 5කට හෝ 6කට වරක් මූලික ජීවන වියදම් සඳහා අවශ්‍ය මුදල දෙගුණ වන බවයි.
ReplyDelete1977න් පසු සෑහෙන කාලයක් පැවතුණේ එවැනි හෝ ආසන්න තත්ත්වයක්. ඒත් පසුගිය වසර කිහිපය තුළ මෙය තරමක් යහපත් පැත්තට හැරුණා.
Delete