Wednesday, August 31, 2016

ආණ්ඩුව නැත්නම් ආයෝජන නැද්ද?

ලංකාව විසින් දශක ගණනක් පුරා දිගින් දිගටම ලබා ගත් විදෙස් ණය හේතුවෙන් මේ වන විට ලංකාව ණය උගුලක පැටලී සිටින බව රජය විසින් නිල වශයෙන්ම පිළිගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් පහසුකමේ උදවුවෙන් තාවකාලිකව ගොඩ දාගෙන සිටියත් දිගුකාලීනව ප්‍රශ්නය එසේමය.

ලංකාව ණය උගුලක පැටලුනේ රටේ ආදායම ඉක්මවා වියදම් කළ බැවිනි. එසේ කරන්නට සිදුවුනේ සුබසාධන වියදම් වැඩි නිසා බව කියවෙතත්, ලංකාව මෙන් ලෝකයට ණය නැති අධික සුබසාධන වියදම් සහිත රටවල්ද තිබේ. වෙනස තියෙන්නේ සුබසාධනය වෙනුවෙන් වියදම් කිරීමේ නොව සුබසාධනය හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් ආදායමට වඩා වියදම් කිරීමෙහිය.

ලංකාවට මෙසේ ආදායමට වඩා වියදම් කිරීමට සිදුවී තිබීම සාධාරණීකරනය කෙරෙන එක් තර්කයක් වන්නේ රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය කරන මට්ටමට ආයෝජන කිරීමට තරම් ප්‍රාග්ධනය රට තුල නැති බවයි. ඒ නිසා ණය ගන්නට සිදුවේ. (නැත්නම් ආයෝජකයින් පස්සේ යන්නට සිදුවේ.)

තර්කයක් ලෙස ඉහත කතාවේ වැරැද්දක් නැත. ණය ගැනීම යනු පුද්ගලයෙකු හෝ රටක් කිසිවිටක නොකළ යුතු මහා නරක දෙයක් නොවේ. ණය ගැනීමේ ප්‍රතිපලය තීරණය වන්නේ එසේ ගත් ණය වියදම් කරන ආකාරය අනුවය. ණය ගත් විට ගෙවන්නට වෙන්නේ පොලියත් සමඟය. එහෙත්, ගත් ණය ආයෝජනය කර ලැබෙන ආදායම ණය හා පොලිය ගෙවා තවත් ගණනක් ඉතිරි කර ගැනීමටත් ප්‍රමාණවත්නම් ණය ගැනීමෙන් දිගුකාලීනව සිදුවන්නේ යහපතකි. අළුතින් ණය ගන්නා හැම විටකම ලංකාවේ රජය ණය ලබා දෙන්නන්ට කියන්නේත්, රටේ ජීවත් වන අයට කියන්නේත් එය එසේ වන බවයි.

පහත කොටස මගේ පසුගිය ලිපියෙනි.

"ලංකාවේ ජාතික ආදායම පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී යන්නේ කෙසේද?

පසුගිය 2015 වසරේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 30.1%ක් වෙන් කෙරුණේ ආයෝජන වෙනුවෙනි. මේ අනුව, බැලූ බැල්මට පෙනෙන පරිදි පරිභෝජනය සඳහා ඉතිරි වන්නේ 69.9%ක් පමණි. එහෙත්, සැබෑවටම සිදු වූ පරිභෝජනය දළ දේශීය නිෂ්පාදිතයෙන් 77.4%කි. මේ අනුව, ආයෝජන හා පරිභෝජන වියදම් වල එකතුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 107.5%කි. මෙය වුනේ කොහොමද? රුපියලක භාණ්ඩ හා සේවා නිපදවන විට රුපියල් 107.50ක් ආයෝජනය හා පරිභෝජනය වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් අපට ලැබුණේ කොහොමද?"


රටවැසියන්ගේ පරිභෝජන මට්ටම පවත්වා ගැනීමට ඉඩ දෙන අතරම, ජාතික ඉතිරි කිරීම් ඉක්මවා දිගින් දිගටම ආයෝජන ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ලංකාවට හැකිවී තිබෙන්නේ දිගින් දිගටම විදෙස් ණය ගැනීම මඟිනි. මෙසේ දිගින් දිගටම ආදායම ඉක්මවා විදෙස් ණය ගැනීම හේතුවෙන් විදෙස් ණය මල්ල අවුරුදු පතා ලොකු වේ.

පහත පළමු ප්‍රස්ථාරයේ දැක්වෙන්නේ ලංකාවේ ආයෝජන අනුපාතය හා ජාතික ඉතිරිකිරීම් අනුපාතයයි. ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු රටේ ජාතික ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ විට ඉතිරි වන කොටසයි. බාහිර ප්‍රාග්ධනය රට තුළට නොපැමිණේනම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ඉතිරිවන්නේ මේ කොටස පමණි.





ප්‍රස්ථාරයේ පෙනෙන පරිදි ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම රටේ ජාතික ඉතිරිකිරීම් ඉක්මවා ආයෝජන සිදු කර තිබේ. ඒ ණය ගැනීම මඟිනි. එසේනම්, එහි ඇති වරද කුමක්ද?

පළමුව බැලිය යුත්තේ මෙසේ ණය ලබා ගනිමින් ආයෝජන සිදු කිරීමෙන් වැඩක් සිදුවී ඇත්ද යන්නයි. ආයෝජන අනුපාතය හා ජාතික ආදායම වර්ධනය වීම අතර ඇති සම්බන්ධය එක් වසරකට සීමා වූ සරල සම්බන්ධයක් නොවේ. එහෙත්, එක් එක් වසර තුළ මේ විචල්‍යයන් දෙකේ හැසිරීම සරල ලෙස හැදෑරීමෙන් වුවද එසේ 'වැඩක් වී ඇති බව' පැහැදිලිය.




පහත දෙවන ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි යම් වසරක් තුළ ලංකාවේ ආයෝජන අනුපාතය 10%කින් වැඩිවන විට ආර්ථික වර්ධනය 1.5%කින් පමණ වැඩි වී තිබේ. ණය වෙනුවෙන් ගෙවන පොලිය ආදායම් වර්ධනයට වඩා අඩුනම් වැඩේ නරක නැත. එසේනම්, කළ යුත්තේ ණය වී හෝ ආයෝජනය කිරීමද? ලංකාවේ ආණ්ඩු ලෝකයට ණය නොවේනම් රටට ගොඩ යාමට වෙන විදිහක් නැද්ද?

රටක ජාතික ඉතිරිකිරීම් හැදෙන්නේ කොටස් දෙකකිනි. ඒ පෞද්ගලික ඉතිරි කිරීම් හා රාජ්‍ය ඉතිරි කිරීම්ය. පෞද්ගලික ඉතිරිකිරීම් යනු ගෘහස්ථ ඒකක වල පුද්ගලයින් විසින් බදු ගෙවීමෙන් අනතුරුව කරන (ශුද්ධ) ඉතිරි කිරීම් හා සමාගම් මඟින් බදු ගෙවීමෙන් පසුව (ලාභ ලාභාංශ ලෙස බෙදා නොදී) කරන ඉතිරි කිරීම්ය. රාජ්‍ය ඉතිරි කිරීම් යනු රජයේ බදු හා වෙනත් ආදායම් වලින් රජයේ වියදම් පියවූ පසු ඉතිරි වන කොටසයි.

ලංකාවේ රාජ්‍ය ආදායම වියදමට වඩා අඩු නිසා රාජ්‍ය ඉතිරි කිරීම් සෘණ අගයකි. ඒ නිසා ලංකාවේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය යනු පෞද්ගලික ඉතිරිකිරීම් අනුපාතයෙන් අයවැය හිඟය අඩු කළ විට ඉතිරිවන කොටසයි. වෙනත් විදිහකින් කියනවානම් රජයේ අයවැය හිඟය ශුන්‍ය වී රාජ්‍ය ඉතිරි කිරීම්ද ශුන්‍ය වුවහොත් රටේ ජාතික ඉතිරිකිරීම් අනුපාතය පවතින අගයට වඩා බොහෝ වැඩි වනු ඇත.

පහත තෙවන ප්‍රස්ථාරයේ පෙන්වා ඇත්තේ ලංකාවේ පෞද්ගලික ඉතිරි කිරීම් අනුපාතය සහ ආයෝජන අනුපාතයයි. එසේනම්, රටට විදෙස් ණය අවශ්‍ය වී තියෙන්නේ රට තුළ ප්‍රාග්ධනය නැති නිසාද? එසේ නැත්නම් පෞද්ගලික අංශයට අකාර්යක්ෂම රජයක් නඩත්තු කිරීමට සිදු වී ඇති නිසාද? 



2 comments:

  1. මේ පෞද්ගලික ඉතිරිකිරීම් කියන එක තව ප්‍රසාරණය විය යුතුයි මං හිතන්නේ.එතකොට හොදට තේරුම් ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, දේශා! ඉඩ ලැබුණු විට වැඩි යමක් ලියන්නම්.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.