Friday, July 1, 2016

සංක්‍රමණයට දොරටු විවර කළොත්?


ජාත්‍යන්තර වෙළඳාම නිසා එයට සම්බන්ධ වන දෙරටේම වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන ආකාරය අපි පෙර ලිපි වලින් කතා කළෙමු. මේ වාසියේ ප්‍රභවය වන්නේ එක් එක් රටෙහි ඇති නිෂ්පාදන සාධක එම රටට පරිපූර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් ඇති ක්ෂේත්‍ර කරා විතැන් වීම හේතුවෙන් ඇති වන කාර්යක්ෂමතාවයයි. රටක් විදෙස් භාණ්ඩ හා සේවාවන්ට විවෘත වීමෙන් පසු, තවදුරටත් අකාර්යක්ෂම ක්ෂේත්‍රයන්හි රැඳී සිටීනම් මේ වාසි අඩුවිය හැකි අතර එසේ රැඳී සිටින පිරිස් වලට අවාසියක් සිදුවීමටද ඉඩ තිබේ.

අල්ලංකාවට හා ගලවංකාවට නැවත ගියොත්, ජාත්‍යන්තර වෙළඳාමට විවෘත වීමෙන් පසුව එක් එක් රටේ ඒක පුද්ගල පරිභෝජනය දෙගුණ විය හැකි නමුත් ඒ සඳහා ඉහත කී ලෙස වඩා ඵලදායී ක්ෂේත්‍ර කරා සම්පත් විතැන් වීම අත්‍යවශ්‍ය සාධකයකි. එහෙත්, මෙය හිතන තරම්ම පහසුවෙන් සිදු නොවිය හැකිය. කුසලතා පිලිබඳ ගැටළු, සමාජ ආකල්ප ආදිය නිසා ඇතැම් අය තමන්ගේ රැකියාව වෙනස් කිරීමට කැමති නැත. විදෙස් භාණ්ඩ වල බලපෑම නිසා එවැන්නන්ගේ ජීවන තත්ත්වය පහත වැටෙන්නට පුළුවන.

මෙතෙක් අප කතා කළේ රටවල් අතර භාණ්ඩ හා සේවා සංචරණයට ඇති බාධා ඉවත් වීමේ වාසි පමණි. එසේනම්, අල්ලංකාව හා ගලවංකාව අතර ශ්‍රම හුවමාරුවට ඉඩකඩ විවර කළහොත් කුමක් වෙයිද?

මෙය තීරණය වන්නේ එක් එක් රටේ තුලනාත්මක වාසියෙහි ප්‍රභවය කුමක්ද යන්න මතය. අල්ලංකාවේ වැසියෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වෙද්දී, ගලවංකාවේ වැසියෙකුට දිනකට මාළු කිලෝ තුනක් නිපදවිය හැකිව ඇත්තේ කෙසේද? එමෙන්ම, අල්ලංකාවේ වැසියෙකුට වැඩිපුර මාළු නිපදවිය හැකිව ඇත්තේ කෙසේද?

මේ වෙනසට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කා
ගුණයට අදාළ කරුණක්නම් නිෂ්පාදනය සඳහා යොමු වන පුද්ගලයා කවරෙකු වුවද තත්ත්වයෙහි වෙනසක් නොවේ. අනෙක් අතට, මේ වෙනසට හේතුව කර්මාන්තයෙහි නියැලෙන්නන්ගේ කුසලතා වෙනස්කම් වන්නටද පුළුවන.

පළමුව, එක් එක් රටෙහි තුලනාත්මක වාසියට හේතුව අදාළ රටේ භූ සැකැස්මට, පිහිටීමට හෝ කාලගුණයට අදාළ කරුණක්යැයි සිතමු. එසේනම්, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය කුසලතා ඔප් නංවා ගැනීම මඟින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරගෙන, විදෙස් ආනයන සමඟ තරඟ කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා, නිදහස් වෙළඳාම ඇරඹුණු පසු සිය රැකියාව වෙනස් නොකළහොත් ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යයි.

එහෙත්, සංක්‍රමණයටද දොරටු විවර වුවහොත් ඔවුන්ට තවත් තෝරාගැනීමක් ඉතිරි වේ. ඒ, රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමයි. මේ තත්ත්වය යටතේදී, අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට සිය රැකියාව වෙනස් නොකර රට වෙනස් කිරීමෙන්ද සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තෙගුණයකින් වැඩි කර ගත හැකිය. අවසානයේදී, පෙර අවස්ථාවේදී මෙන්ම දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වේ. (මේ දෙගුණවීම මේ ලිපියේ උදාහරණයට පමණක් අදාළය. එය කවර හෝ වැඩිවීමක් විය හැකිය.) මේ අවස්ථාවේදී, සංක්‍රමණයට අමතරව  දෙරට අතර අල හා මාළු වෙළඳාමද තව දුරටත් සිදු විය යුතුය.

ගිවිසුම් මඟින් කෘතීම බාධා නැති කළද, භාණ්ඩ හා සේවා වෙළඳාමට ප්‍රවාහන ගාස්තු, කල් තබා ගැනීමේ සීමාවන් වැනි ස්වභාවික බාධා ඇති අයුරින්, සංක්‍රමනයටද ස්වභාවික බාධාවන් තිබේ. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් බැහැරව ජීවත් වන්නට බොහෝ දෙනෙකු මැලි වන අතරම, වෙනත් රටකින් පැමිණෙන වෙනස් සංස්කෘතියට අයත් පිරිස් සමඟ මුසු වීමටද බොහෝ දෙනෙකු අකමැත්තක් දක්වති. මෙයට අමතරව සංක්‍රමණය හා අදාළ මූලික පිරිවැය දරා ගැනීමටද සංක්‍රමනිකයෙකුට සිදුවේ. ඒ නිසා, කිසියම් පුද්ගලයෙකු වෙනත් රටකට සංක්‍රමණය වීමට පෙළඹෙන්නේ එසේ කිරීමෙන් ලැබෙන ආර්ථික වාසි ඉහත කී සියළු මුදලින් මැනිය හැකි හා එසේ මැනීම අපහසු වෙනත් පිරිවැය (monetary and emotional costs) ඉක්මවන්නේනම් පමණි.

තුලනාත්මක වාසියට හේතුව කුසලතා වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නයක්නම්?

සංක්‍රමණයට ඉඩකඩ නොමැතිනම් දැන් අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට රැකියා වෙනස් නොකර සිය කුසලතා දියුණු කර ගැනීමේ විකල්පයක්ද තිබේ. එය නිසියාකාරව සිදු වුවහොත්, එක් එක් රටෙහි තුලනාත්මක වාසි නැති නිෂ්පාදනයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයද ඉහළ යාමෙන්, තුලනාත්මක වාසි නැතිව යන නිසා අල හා මාළු හුවමාරු කරගැනීමක්  අවශ්‍ය වන්නේද නැත. කෙසේවුවද, එසේ කුසලතා වර්ධනය කර ගැනීම කෙටිකාලීනව කළ නොහැක්කකි.

මේ දෙවන තත්ත්වය යටතේදී, සංක්‍රමණයට ඉඩ සැලසීම ජාත්‍යන්තර වෙළඳාමට විකල්පයකි. අල්ලංකාවේ අල වවන්නෙකුට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණක් වුවත්, ගලවංකාවේ අල වවන්නෙකුට අල්ලංකාවට පැමිණ අල කිලෝ තුනක් නිපදවිය හැකිය. මේ අයුරින්ම, ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට නිපදවිය හැක්කේ මාළු කිලෝවක් පමණක් වුවත්, අල්ලංකාවේ මාළු අල්ලන්නෙකුට ගලවංකාවට පැමිණ මාළු කිලෝ තුනක් නිපදවිය හැකිය. මෙසේ, ගලවංකාවේ මාළු හා අල්ලංකාවේ අල නිෂ්පාදනය ඉහළ ගිය විට එම භාණ්ඩ අනෙක් රටෙන් ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඩුවී හෝ නැති වී යයි.

කෙසේ වුවද, තවදුරටත් අල වවන අල්ලංකාවේ අල වවන්නෙකුට හෝ තවදුරටත් මාළු අල්ලන ගලවංකාවේ මාළු අල්ලන්නෙකුට දැන් තර්ජන දෙකකි. එක් පසෙකින් අඩු මිලට එන ආනයන වල තරඟයයි. අනෙක් පසින්, තමන්ට වඩා තෙගුණයක් කාර්යක්ෂම විදෙස් ශ්‍රමිකයින්ගේ තරඟයයි. 


මේ බලපෑම් ක්ෂණික හා විශාලනම් එක් වර සිය ජීවන තත්ත්වයෙහි සිදුවන පහත වැටීමට මුහුණ දීම ඔවුන්ට ඉතා අසීරු කරුණක් වනු ඇත. එහෙත්, මේ වෙනස සිදුවන්නේ සාපේක්ෂව හෙමින්නම්, මුලින්ම පැමිණෙන සංක්‍රමණිකයින් සමඟ එක්ව වැඩ කිරීමෙන් ඔවුන්ගේ ඉහළ කාර්යක්ෂමතාවයට හේතු වූ කරුණු හඳුනාගෙන තමන්ගේද කුසලතා වර්ධනය කර ගැනීමට ඔවුන්ට කාලයක් ලැබේ. ඒ අතරම, මෙය මෙසේ සිදුවීමටනම්, සංක්‍රමණිකයින් තමන්ගේ අකාර්යක්ෂමතාවයන්ට තර්ජනයක් බව පෙනෙන්නට තරම් සැලකිය යුතු සංක්‍රමණයක් රට තුළට සිදු වීමද අවශ්‍යය. 

(Image: http://www.fibre2fashion.com/_resources/industry-articles/45/4453/1_files/image001.jpg)

2 comments:

  1. මෙහාට එන අයටනම් ගොඩක් අවශ්තා තිබ්බත් අපේ ඉතිරි වෙලා ඉන්න අයට එහේ ගිහිල්ලා කරන්න දෙයක් තියේවිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තියෙයි කියලා. බටහිර රටකට යන්න තරම් තරඟකාරී විය නොහැකි නිසා රට තුළ ඉතිරිව සිටින අයගෙන් කොටසක් ඉන්දියානු වෙළඳපොළ තුළ තරඟකාරී විය හැකියි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.