Wednesday, September 14, 2016

ඩයලොග් සමාගමත් යන්නද යන්නේ?


පහතින් තියෙන්නේ අද දින ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රවෘත්තියකි.

"ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකතන හිමි සමාගම වන ඩයලොග් ඇක්ශිටා සමාගම තම ශ්‍රීලංකා ඩයලොග් සමාගමේ අයිතිය අතහැර නේපාලය තුල ආයෝජනනය කිරීම ආරම්භ කර ඇත.

අසියාවේ ප්‍රධානතම දුරකතන ක්‍රියාකාර සමාගමක් වන මැලේසියා ඩයලොග් ඇක්ශිටා සමාගම ඉන්දීයවා පකිස්තානය බoගලිදේශය ශ්‍රීලංකාව ඇතුළු රටවල් 10ක පමණ ඉතා සාර්තථකව තම වියාපාර කටයුතු කරගෙන යන අතර එම සමාගම මේ වන විට නේපාලය තුල පවත්වාගෙන යන ප්‍රධානතම ජංගම දුරකතන සමාගමක් වන නේපාල නේසෙල් පුද්ගලික සමාගම මිලදීගෙන ඇත.

ඒ අනුව දැනට 85% හිමිකාරිත්වය ඇති ශ්‍රීලංකාවේ ඩයලොග් සමාගම තම අයිතිය අඩුකිරීම සඳහා එහි කොටස් අලෙවි කිරීමට මැලේසියානු ඩයලොග් ඇක්ශිටා සමාගම තීරණය කොට ඇත.

ශ්‍රීලංකාවේ ජංගම දුරකතන පාරිභෝගිකයන්ට නව තාක්ෂණයමෙන්ම විශිෂ්ට සේවාවක් සපයමින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කල ඩයලොග් සමාගමේ මෙම තීරණය නිසා රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට මෙම සමාගමේ තීරණය බලපෑම් කිරීමට අවකාශ ඇත."


මේ ප්‍රවෘත්තිය කියවූ විට පාඨකයෙකුට ඇති වන අදහස එම ප්‍රවෘත්තිය සඳහා පාදක කරගෙන ඇති මුල් පුවත කියවූ විට ඇති වන අදහසම නොවේ. මේ ලිපියෙන් මතුවන්නේ ඇක්ශිටා සමාගම තුළ ලංකාව කෙරෙහි ඇතිවී ඇති සෘණාත්මක ආකල්පයකි. එහෙත්, මුල් පුවත අනුව එය එවැන්නක් නොවේ.

ඕනෑම ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනය ප්‍රශස්ත ලෙස ආයෝජනය කිරීමේදී අපේක්ෂා කරන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න ප්‍රතිලාභ අනුපාතිකය වැඩි කර ගැනීමයි. දෙවැන්න අවදානම අඩු කර ගැනීමයි. මේ අරමුණු දෙක බොහෝ විට එකිනෙක ගැටෙන නිසා ඒ දෙක අතර කිසියම් සමතුලිතතාවයක් පවත්වා ගත යුතුය. අවදානම අඩු කර ගන්නා ප්‍රධාන ක්‍රමයක් වන්නේ ආයෝජන විවිධාංගීකරණය කිරීමයි.

තමන් සතු බිත්තර සියල්ල එකම කූඩයේ දැමීම හොඳ තීරණයක් නොවේ. යම් හෙයකින් කූඩය බිම වැටුණොත් බිත්තර කිසිවක් ඉතිරි නොවේ. මැලේසියානු සමාගමක් වන ඇක්ශියාටා සමාගම ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් මිලදී ගෙන ඇත්තේද මෙසේ සිය ආයෝජන විවිධාංගීකරණය කිරීමේ අරමුණිනි.

ඇක්ශියාටා මවු සමාගමට මැලේසියාවේ සෙල්කොම් සමාගමේ මුළු කොටස් අයිතියට අමතරව, ඉන්දුනීසියාවේ ඇක්ශියාටා සමාගමේ 66.4%ක කොටස් අයිතියක්ද, ලංකාවේ ඩයලොග් සමාගමේ 83.3%ක කොටස් අයිතියක්ද, බංග්ලාදේශයේ රෝබි සමාගමේ 91.6%ක කොටස් අයිතියක්ද, කාම්බෝජයේ ස්මාර්ට් ඇක්ශියාටා සමාගමේ 95.3%ක කොටස් හිමිකම්ද, නේපාලයේ එන්සෙල් සමාගමේ 80.0%ක කොටසක් හිම්කම්ද, පකිස්ථානයේ මල්ටිනෙට් සමාගමේ 89.0%ක කොටස් හිමිකාරිත්වය ඇතුළු ආසියාවේ ජංගම දුරකථන සමාගම් රැසක කොටස් අයිතිය හිමිය. මේ අතරින් නේපාලයේ එන්සෙල් සමාගමේ කොටස් මිලදී ගැනීම සිදු වුනේ මේ වසරේදීය.

කෙසේ වුවද, පසුගිය කාලය තුළ ඇක්ශියාටා සමාගමේ ණය බර සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බැවින් ඉන්දුනීසියාවේ, ලංකාවේ හා කාම්බෝජයේ සමාගම් වල ඇක්ශියාටා මවු සමාගමට අයත් කොටස් වලින් යම් ප්‍රමාණයක් විකුණන්නට සූදානම් වන බවට ආරංචි පැතිර ගොස් තිබේ. මේ අනුව, ඉන්දුනීසියාවේ ඇක්ශියාටා සමාගමේ කොටස් අයිතිය 55.4% දක්වාත්, ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් අයිතිය 53.3% දක්වාත්, කාම්බෝජයේ ස්මාර්ට් ඇක්ශියාටා සමාගමේ කොටස් අයිතිය 65.3% දක්වාත් අඩු කරන්නට අපේක්ෂා කරන බව කියැවේ.

වැදගත් කරුණනම් ඇක්ශියාටා
සමාගම මේ සමාගම් එකකවත් කොටස් හිමිකම 50% මට්ටමට වඩා අඩු කිරීමට නොසිතන බවයි. වෙනත් අයුරකින් කිවහොත් ඔවුන් එම සමාගම් වල කළමණාකාරීත්වය ගිලිහෙන්නට ඉඩ හරින්නට සූදානම් නැත.

මේ පුවත ඇත්තක්නම් බොහෝ විට ඇක්ශියාටා මවු සමාගම විසින් ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් වලින් 30%ක් මිල දී ගැනීමට කැමති දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු සොයාගෙන පෞද්ගලික ගණුදෙනුවක් ලෙස මේ කොටස් හුවමාරුව සිදු කිරීමට ඉඩ තිබේ. එම කොටස් මිල දී ගන්නේ දේශීය ආයෝජකයෙකුනම් කිසියම් ප්‍රමාණයක ප්‍රාග්ධනයක් රටින් පිටවනු ඇත. ඇතැම් විට ඩයලොග් සමාගමේ කොටස් මිල කෙටිකාලීනව තරමක් පහත වැටෙන්නටත් පුළුවන. ඒ හැරුණු විට 'රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට' හෝ වෙනත් ලොකු අහිතකර බලපෑමක් ඇති වීමට ඉඩක් නැත.


(Image: http://www.dialog.lk/)

11 comments:

  1. පච වංශගේ සී නිව්ස් වල දැම්මොත් දාන්නේ මෝඩයෝ අන්දන ඔය වගේ ප්‍රවෘතියක් තමයි

    ReplyDelete
    Replies
    1. එතැනම මූලාශ්‍රයත් දමල තියෙනවා. එය කියවූ විටම වැරැද්ද තේරෙනවා. මෙයින් පෙනෙන්නේ ඔවුන් ඉලක්ක කරන්නේ සිංහල පමණක් කියවා තේරුම් ගත හැකි කොටස් බවයි.

      Delete
  2. සාමාන්‍යෙයන් සී නිව්ස් වල ඒවා ගොඩක් සුද්ද කරලයි අපි ගන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ඔවු, ගොඩක් ප්‍රවෘත්ති මේ වගේ තමයි.

      Delete
  3. මං නං ඔය සී නිවුස් කතා දැන ගන්නේත් කවුරු හෝ ඒ ගැන බැනලා ලිව්වාමයි.

    මොකට බලනවා ද වීරවංශ ගේ විකාර.

    මා ජීවිතේට ටැමිල් නෙට් හෝ ඩිෆෙන්ස් ඩොට් එල් කේ ගොස් කියවා ද නැත.

    ReplyDelete
    Replies
    1. //මා ජීවිතේට ටැමිල් නෙට් හෝ ඩිෆෙන්ස් ඩොට් එල් කේ ගොස් කියවා ද නැත.// මමනම් යුද්ධය තිබුණු කාලයේ ඔය දෙකම බැලුවා. දෙපැත්තම බැලුවහම බැලන්ස් කරගන්න ලේසියි. අනිත් එක ස්වාධීන මාධ්‍ය කොහෙද තියෙන්නේ?

      Delete
  4. සී නිවුස් ප්‍රවුත්ති වල තාර බර ඇරලා තමා ගන්න ඕනා.. මමනම් ඒක බලන්නේ වෙන සිදුවීම ගැන දැනුවත් වෙන්න විතරයි.. උන්ගෙ විග්‍රහ කිරීම් පට්ට ඒකපාර්ශවිකයි... මේ ප්‍රවෘත්තියෙන් වුනත් පේන්වන්න හදන්නේ ලංකාවේ පවතින වාතාවරණය නිසා ඔවුන් ව්‍යාපාර කට යුතු අත්හරින්න යනවා කියලා..ඒත් ඒක එහෙම නෙමේනේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැබැයි සී නිවුස් කණ්ඩායමේ හෝම් වර්ක් කිරීම හොඳයි. ලියන්නේ ඒකපාර්ශ්විකව වුණත් අහුමුළුවල තියෙන ගොඩක් දේවල් හොයල දානවා.

      Delete
  5. "සී නිව්ස්" බලන එක නවත්වලා ගොඩක් කල්.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම හැමෝම දන්නව පත්තරේ විස්තරේ.

      Delete
  6. නාරද කියනව වගේ, ස්වාධීන මධ්‍ය නොමත. සියල්ලම එක් පැත්තකට හෝ නැඹුරුය. ප්‍රජාතන්ත්‍රවදී මධ්‍ය අවකාශය බ්ලොග් අවකාශයයි.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.