Thursday, September 8, 2016

රේන්හාර්ඩ් සෙල්ටන්


1930 වසරේ ඔක්තෝබර් මස පස්වන දින, එවකට ජර්මනියට අයත් ප්‍රදේශයක් වූ බ්‍රෙස්ලෝහිදී යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට දාව ප්‍රොතෙස්තන්ත ආගම ඇදහූ කැතී ලූතර්ගේ කුසින් දරුවකු බිහි වේ. මේ දරුවා රේන්හාර්ඩ් ජස්ටස් රෙජිනෝල්ඩ් සෙල්ටන් (Reinhard Justus Reginald Selten) ලෙස නම් කෙරේ.

එවකට ඇඩොල්ෆ් සෙල්ටන් සුළු ව්‍යාපාරයක නිරතව සිටියේය. ඒ, පැරණි පොත් හා සඟරා ගොනු කියවන්නට කැමති අයට සතියක කාලයකට කුලියට දීමයි. වසර තුනක පාසැල් අධ්‍යාපනයක් පමණක් ලබා සිටි මේ යුදෙවුවා සිය තරුණ වියේදීම අන්ධ බව උරුම කරගෙන සිටි නමුත් සිය ව්‍යාපාරය සාර්ථක ලෙස කරගෙන යන්නට එය ඔහුට බාධාවක් වුනේ නැත.

කෙසේ වුවද, යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට හිට්ලර්ගේ ජර්මනියේදී මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්නට නොලැබේ. මාධ්‍ය සම්බන්ධ ව්‍යාපාර වල යෙදීම යුදෙවුවන්ට තහනම් කෙරෙන බැවින් ඔහුට සිය ව්‍යාපාරය විකුණා දමන්නට සිදුවේ.

ඇඩොල්ෆ් සෙල්ටන් උපතින් යුදෙවුවෙකු වුවද ඇත්තටම ඔහු කිසිදු ආගමක් නොඇදහූ පුද්ගලයෙකු විය. ඔහු සිය දරුවා වන රේන්හාර්ඩ්ව ඇති දැඩි කරන්නේද අනාගමික පසුබිමකය.

"ඒ මඟින් ඔහු අදහස් කළේ ලොකු වුනාම කැමති ආගමක් තෝරා ගැනීමට (හෝ නොගැනීමට) මට ඉඩ හරින්නයි. ඒත්, ඒ වන විට පැවති දේශපාලන වාතාවරණය අනුව අනාගමිකයෙකු ලෙස සිටීම අවදානම් වැඩක්. මේ නිසා ඔහු තීරණය කළා මාව නමට හෝ බෞතීස්ම කළ යුතුයි කියා."

මේ ඇඩොල්ෆ් සෙල්ටන්ගේ පුත් රේන්හාර්ඩ් සෙල්ටන් සිය ළමා කාලය ගෙවුණු හැටි විස්තර කරන ආකාරයයි.

ඇඩොල්ෆ් සෙල්ටන් ඔහුගේ 'වාසනාවට' 1942දී ස්වභාවික හේතුවකින් මිය යයි. එසේ නොවූවානම් ඔහු බොහෝ විට හිට්ලර්ගේ යුදෙවු සමූලඝාතනයේ (holocaust) ගොදුරක් විය විය හැකිව තිබුණි. 



ඉන්පසුව තමන් මුහුණදුන් අත්දැකීම් රේන්හාර්ඩ් සෙල්ටන් විසින් මෙසේ විස්තර කරයි.


"හිට්ලර්ගේ ඒකාධිපතිත්වය යටතේ බාග-යුදෙවු කොල්ලෙකු සේ ගත කළ ජීවිතය පහසු එකක් වුනේ නැහැ. වයස දාහතරේදී පාසැල් අධ්‍යාපනය අතරමඟ අවසන් කරන්නට සිදුවීමෙන් පසු වැඩිදුර ඉගෙනීම සඳහා කිසිදු ඉඩප්‍රස්තාවක් මට ලැබුණේ නැහැ. නාසි ජර්මනියේ මට කරන්න ඉඩකඩ තිබුණු එකම දෙය නුපුහුණු ශ්‍රමිකයෙකු ලෙස වැඩ කිරීම පමණයි."

"කොහොම වුනත් අපි මේ විදිහට ජීවත් වුනේ මාස හයක් පමණයි. මගේ මවත්, සොහොයුරනුත්, සොහොයුරියත්, මමත් යාන්තම් අන්තිම කෝච්චියෙන් ජර්මනියෙන් පැනගත්තා. එහෙම පැන නොගත් අයට ඉන්පසු රටෙන් පිටවෙන්න අවසරයක් ලැබුණේ නැහැ."

දේශපාලන සරණාගතයෙකු ලෙස බ්‍රෙස්ලෝවෙන් පිට වන රේන්හාර්ඩ් සෙල්ටන්ට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කිහිප වරක්ම පදිංචිය වෙනස් කරමින් තැනින් තැනට යන්නට සිදුවේ. 1946 දක්වා වසර හතරක් ගොවිපොළ සේවකයෙකු ලෙස වැඩ කරන රේන්හාර්ඩ් සෙල්ටන් 1947දී පාසැල් නැවත විවෘත කිරීමෙන් පසු සිය ඉගෙනුම නැවැත්වූ තැනින් යළිත් පටන්ගෙන 1951දී පාසැල් අධ්‍යාපනය නිම කරයි.

පාසැල් අධ්‍යාපනය නිම කරන රේන්හාර්ඩ් සෙල්ටන් ගණිත විෂයයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට තීරණය කරයි. එහෙත්, ආර්ථික විද්‍යාව හා මනෝ විද්‍යාව යන විෂයයන්
ද ඔහුගේ ඇත්තේ දැඩි කැමැත්තකි. මේ නිසා උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පාඨමාලා වලට අමතරව වෙනත් විෂයයන්ද ඔහු හදාරයි. මෙහි ආවස්ථික පිරිවැය වන්නේ රේන්හාර්ඩ් සෙල්ටන්ට උපාධිය ලබා ගැනීමට සාමාන්‍යයෙන් ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.

අධ්‍යාපන ඉණිමඟේ ඉහළටම නඟින රේන්හාර්ඩ් සෙල්ටන් 1957දී ජොහෑන්-වුල්ෆ්ගැන්ග්-ගොතේ සරසවියෙන් (Johann-Wolfgang-Goethe-University) පශ්චාත් උපාධියක්ද, 1961 දී ෆ්‍රෑන්ක්ෆර්ට් සරසවියෙන් ආචාර්ය උපාධියක්ද ලබා ගනී. ඉන්පසුව, සරසවි කිහිපයකටම සම්බන්ධ වී ශාස්ත්‍රාලීය පර්යේෂණ වල නිරත වන රේන්හාර්ඩ් සෙල්ටන් අවසානයේ නවතින්නේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේය. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ ක්‍රීඩා න්‍යාය (Game Theory) හා පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාවයි.

සමාජ විද්‍යාවක් ලෙස වර්ධනය වූ ආර්ථික විද්‍යාව රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව වැනි ශුද්ධ විද්‍යාවක් මෙන් විද්‍යාගාර වල කෙරෙන පරීක්ෂණ, නිරීක්ෂන හා නිගමන හරහා ඉදිරියට ගෙන යා හැකි විද්‍යාවක් බව දශක කිහිපයකට පෙර වැඩි දෙනෙකු විශ්වාස නොකරන්නට ඇත. එහෙත්, අද වන විට ලෝකයේ සරසවි බොහොමයක ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු වල චර්යාත්මක ආර්ථික විද්‍යා (Behavioral Economics) මූලධර්ම තේරුම් ගැනීමට උදවු කරන ආර්ථික විද්‍යා පර්යේෂණාගාර (Experimental Laboratories) ප්‍රමුඛ අංගයක් බවට පත් වී ඇත.

බොහෝ ආර්ථික විද්‍යා ආකෘතීන්හිදී සිදු කෙරෙන උපකල්පනයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. එහෙත්, ඇතැම් මිනිසුන් බොහෝ විටත්, බොහෝ මිනිසුන් ඇතැම් විටත් අතාර්කික තීරණ ගනිති. පර්යේෂණාත්මක ආර්ථික විද්‍යාඥයන් විසින් මෙය නැවත නැවතත් නිරීක්ෂනය කර තහවුරු කර තිබේ. චර්යාත්මක ආර්ථික විද්‍යාඥයෝ ඒ සඳහා පාදක වන කරුණු ඉදිරිපත් කරමින් පවතින ආර්ථික විද්‍යා ආකෘති වඩා සවිබල ගන්වති.

චර්යාත්මක ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම ක්‍රීඩා න්‍යාය දියුණු කිරීමට, ලබාදුන් දායකත්වය වෙනුවෙන් රේන්හාර්ඩ් සෙල්ටන් 1994 වසරේදී ('බියුටිෆුල් මයින්ඩ්' චිත්‍රපට කතාවට මුල් වූ ජෝන් නෑෂ් සහ ජෝන් හාසානි සමඟ හවුලේ) ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට හිමිකම් ලැබීය. මේ ජර්මානුවෙකු ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් පළමු අවස්ථාවයි.

දෙසතිකට පෙර පසුගිය අගෝස්තු 23 දින රේන්හාර්ඩ් සෙල්ටන් සිය දිවිසැරිය නිමා කළේය.


(Image: www.nobelprize.org)

4 comments:

  1. අපි සාමාන්‍යෙයන් අහන්න පිරියක් නැති විස්තර. ඔබ ඉදිරිපත් බුහුටි විලාශය නිසාම රසවත්.. බියුටුපුල් මයින්ඩ් ආයි බලන්න හිතුනා.. ඒක මතක් වෙනකොට මතක් වෙන්නෙම කඩුවක් අරන් කොටන්න එන්න 300 එකේ ස්පාටන්ස්ලා.. හැක්

    ReplyDelete
  2. "ඇඩොල්ෆ්" කියන වාසගම යුදෙව්වනුත් භාවිතා කෙරුවාද ඉකනෝ.මම හිතුවේ "ඇඩොල්ෆ්" කියන වාසගම ආර්ය ජර්මානුවන්ගේ ප්‍රියතම වාසගමක් කියලායි."ඇඩොල්ෆ්" හිට්ලර්,"ඇඩොල්ෆ්" අයික්මාන් වගේ.

    //ජර්මානුවෙකු ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් පළමු අවස්ථාවයි.//

    "ඇඩොල්ෆ් හිට්ලර්"එපා කිව්වා යුදෙව්වෝ කොයිතරම් ජයග්‍රහණ ගෙනැත් දී තිබෙනවාද ජර්මනියට.

    ReplyDelete
    Replies
    1. යුදෙවුවෝ කියන්නේ ඊශ්‍රායලය හදන තුරු ලෝකය පුරා විසිරී සිටි ජන කොටසක්නේ, මනෝජ්. ඉතිං රුසියන් යුදෙවුවෝ, ඇමරිකන් යුදෙවුවෝ, ජර්මන් යුදෙවුවෝ ආදීන් සිටියා. ඇඩොල්ෆ් සෙල්ටන් ජර්මානු යුදෙවුවෙක්. යුදෙවු ආගම අදහන පවුලක ඉපදුනත් ඔහුගේ මවුබස ජර්මන්. ඔහු යුදෙවුවෙක් මෙන්ම ජර්මානුවෙක් කියන එක වඩා නිවැරදියි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.