Friday, May 6, 2016

ජාතික ආදායමෙන් 68%ක් කොහේද?



පසුගිය වසර සඳහා වූ මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 533,398කි. එනම්, මසකට රුපියල් 44,450කි. ලංකාවේ සාමාන්‍ය පවුලක සාමාජිකයින් ගණන හතරකි. ඒ අනුව සාමාන්‍ය පවුලක මාසික ආදායම රුපියල් 177,799ක් විය යුතුය. මේ මුදල උපයන පවුල් කොපමණ ගණනක් ලංකාවේ ඉන්නවාද? මගේ ඇස්තමේන්තු අනුව මේ මට්ටම ඉක්මවා ආදායම් ලබන පවුල් ගණන 3%කට නොවැඩි විය යුතුය.

පසුගිය වසරේ දත්ත වලින් පමණක් මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය නොහැකිය. ඒ නිසා අපි 2012 වසරට යමු. එම වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම රුපියල් 427,559ක් විය. ඒ අනුව, 2012දී පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 142,520කි. එහෙත්, 2012/13 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව ලංකාවේ පවුලක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878ක් පමණි. මේ මුදල ඉහත කී මුදලින් 32%ක් පමණි. වෙනත් අයුරකින් කිවහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 68%ක් නිවාස ඒකක වෙත ළඟා වී නැත. එසේනම්, ජාතික ආදායමෙන් ඉතිරි 68%ට මොකද වෙන්නේ?

ඒක පුද්ගල ආදායම සහ ඒක පුද්ගල ගෘහස්ත ආදායම අතර පරතරයක් පැවතීම ලංකාවට පමණක් සුවිශේෂී සිදුවීමක් නොවේ. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (2014 දත්ත අනුව) නිවාස ඒකක වෙත ලඟා වෙන්නේ 54%ක් පමණි. මේ වෙනසට එක් හේතුවක් විය හැක්කේ රට තුළ ඉපැයෙන ආදායම් රටින් පිටතට ගලා යාමයි. විදෙස් ආයෝජන වෙනුවෙන් ලැබෙන ලාභාංශ මෙසේ රටින් පිටතට යයි. එහෙත්, මේ මුදල විශාල මුදලක් නොවේ. වෙනසට ප්‍රධානම හේතුව සමාගම් වල ලාභයි.

දළ දේශීය නිෂ්පාදිතයට සමාගම් වල ලාභ ඇතුලත් වුවත් එම ලාභ නිවාස ඒකක වල ආදායමට එකතු වන්නේ ලාභාංශ ලෙස බෙදා හැරියොත් පමණි. එම ලාභ නැවත ප්‍රති-ආයෝජනය කළහොත් එසේ නිවාස ඒකක කරා ලඟා නොවේ. ලාභාංශ කොටස් හිමිකරුවන් වෙත බෙදා නොහරිමින් ප්‍රති-ආයෝජනය කිරීම සමාගම් විසින් බොහෝ විට කරන්නකි. එසේ කරන්නේ සමාගමේ කොටස් මිල වැඩි වීමේ වාසිය ලාභාංශ ලබා ගැනීමේ වාසියට වඩා වැඩි බැවිනි. ඒ නිසා අවසාන වශයෙන් මේ ලාභ පුද්ගලයින් සතු ප්‍රාග්ධනයයි.

ලංකාව ඇමරිකාවටත් වඩා ආදායම් විෂමතාවය වැඩි රටකි. ඉහත කී ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව නිවාස ඒකක වල මුළු ආදායමෙන් සියයට 30%ක්ම ඇත්තේ ඉහළම ආදායම් ලබන 10%ක කණ්ඩායම අතේය. ඇමරිකානුවන් අඩකට පමණ කිසිදු කොටස් ආයෝජනයක් නැතත් බොහෝ දෙනෙකු කොටස් වෙළඳපොළෙහි සෘජුව හෝ වක්‍රව කිසියම් ආයෝජනයක් සිදු කර තිබේ. එහෙත්, ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන්නේත්, කොටස් වෙළඳපොළෙහි ලැයිස්තුගත කර නැති සමාගම් වල කොටස් අයිතිය දරන්නේත් ඉහළම ආදායම් ලබන 10% අතරින් කණ්ඩායමක් බව රහසක් නොවේ. මේ අනුව, සමාගම් වල ලාභාංශ ලෙස බෙදා හැර නැති ලාභ වලින් විදෙස් අයිතිකරුවන් සතු කොටස හැරුණු කොට ඉතිරි කොටසේ හිමිකරුවන් වන්නේද මේ කණ්ඩායමයි. මේ කරුණ සැලකිල්ලට ගත් විට ලංකාවේ ආදායම් විෂමතාවය පෙනෙන්නට තිබෙනවාට වඩා බොහෝ විශාලය.


(Image: www.nssp.info)

7 comments:

  1. අමු සින්හලෙන් කියනවානම් ලන්කාවේ ඉහල ආදායම් ලබන්නේ ඉතාම සුලු කොටසකි. ඔවුන් ට සීයට සීයක් බදු ගැසුවත් ආන්ඩුවට ලැබෙන්නේ ඉතාම සීමිත මුදලකි.

    එපමනක් නොව, අපේ යුතුකම වන්නේ ඔවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වූ කොට්ටාසයක් ලෙස සලකා (චීනේ පැන්ඩා ලා වගේ) එම දනපතින් ට කරදර නොකර ඉන්නට හැරීමයි!

    මේ තත්වය හොඳින්ම අවබෝද කොර ගත් ආන්ඩුව කරන්නේ වැඩියෙන් සිටිනා මිනිසුන් කාන්ඩයෙන් එනම් දුපත්තුන් ගෙන් වැඩියෙන් බදු එකතු කිරීමයි!

    කොහොමද රනිල් තුමා ගේ ටිකිරි මොලේ?

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක වෙනත් පැත්තක් ගැන හිතන්න මාව යොමු කළා.

      Delete
  2. මසකට රුපියල් 44,450කි//
    බහුතරයකට මේ ගාන සිහිනයක්
    මෙයින් බාගයක් වත් මාසික ආදායම විතියට නොලබල අය වැඩියි

    ReplyDelete
  3. තවදුරටත් සරල කරලා අපේ භාෂාවෙන් කිව්වොත්

    තියෙන එකාට උතුරන්නත් -නැති එකට නැත්තටම නැති වෙන්නත් කියන එකද මේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක පුද්ගල ආදායමේ වැඩිවීම නොපෙනෙන්න එයත් එක් හේතුවක්.

      Delete
  4. දල දේශීය නිෂ්පාදනයට GDP රජය වියදම් කරන මුදලත් එනිසාම දුශනයට වැයවන මුදලත් අතුලත්නේද ?

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.