Sunday, October 29, 2017

ආර්ථික විද්‍යාව වඩා මානුෂික කළ රිචඩ් තේලර්


මෙයට දශක දෙකකට පමණ පෙර ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනු ප්‍රමුඛ අපේක්ෂිකාවගේ උද්‍යෝග පාඨය වූයේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීමයි. මෙමඟින් ඈ විසින් ජනගත කළ අදහස වූයේ ධනවාදය මානුෂික නොවන බවයි.

ධනවාදය අමුතුවෙන් මානුෂික කරන්නට අවශ්‍ය නැත. ධනවාදයේ පදනමම මානුෂික වීමයි. එය "වඩා හොඳ" සමාජයක් තැනීමේ අරමුණින් මිනිස් ස්වභාවය කෘතීම ලෙස වෙනස් කරන්නට උත්සාහ කරන අමානුෂික ක්‍රමයක් නොවේ. මිනිස් ස්වභාවය හඳුනාගනිමින් එයට ඉඩදෙන ක්‍රමයකි.

ඉහත අපේක්ෂිකාවට එම උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට වුනු පසුබිම තේරුම් ගැනීමට අපහසු නැත. නිදහසින් පසු මාරුවෙන් මාරුවට ලංකාව පාලනය කළ සමාජවාදී ආණ්ඩු විසින් ප්‍රචලිත කර තිබුණේත්, තවමත් ප්‍රචලිත කරන්නේත් එම අදහසයි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා කලා කෘති ආදිය හරහා ජනගත කරන ප්‍රමුඛ මතයද එයයි.

ලංකාවේ සමාජවාදී ආණ්ඩු වලට ප්‍රතිසංස්කරණ නොකර තව දුරටත් ඉදිරියට යන්නට නොහැකි මට්ටමට ආර්ථිකය වරින් වර බිඳ වැටෙන විට ඇතැම් ධනවාදී ප්‍රතිසංස්කරණ ගෙන ආවත් ආර්ථිකයේ රාජ්‍ය මූලික මධ්‍යගත සැලසුම් ස්වභාවය මේ දක්වාත් එසේම පවතී. ජේ ආර් ජයවර්ධන විසින් නොකරම බැරි නිසා ආර්ථිකය යම් තරමකින් විවෘත කළත් එහි රාජ්‍ය මූලික ස්වභාවය හැත්තෑ හතේදී තබා අද දක්වාත් වෙනස් වී නැත.

ජේ ආර් විසින් හඳුන්වාදුන් සීමිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් වුවද ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තේය. මේ සීමිත ප්‍රතිසංස්කරණ වලට පවා මුලදී විරෝධය දැක්වූ ශ්‍රීලනිපයට දශක දෙකක් පමණ විපක්ෂයේ සිටීමෙන් පසු තව දුරටත් සිය පක්ෂයේ යල් පැනගිය ප්‍රතිපත්ති සමඟ ඉදිරියට යා නොහැකි බව අවබෝධ වී තිබුණේය.

ඉහත සඳහන් කළ ජනාධිපති අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් අදාළ උද්‍යෝග පාඨය ඉදිරිපත් කරන්නට ඇත්තේ තම පක්ෂය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කළ ප්‍රතිසංස්කරණ ආපසු නොහරවන බවට පොරොන්දුවක් නොදී ඇයට ඉදිරි ගමනක් ගැන සිතිය නොහැකිව තිබුණු නිසා මිස ධනවාදය අමානුෂිකයැයි ඇය සිතූ නිසා නොවිය හැකිය.

ධනවාදය තුළ පිළිගැනෙන මූලික මිනිස් ස්වභාවයක් වනුයේ මිනිසුන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කරන බවයි. එසේ කටයුතු නොකරන සත්ත්ව වර්ගයක් පරිණාමීය ක්‍රියාවලිය තුළදී වඳවී නොයා ඉතිරි විය නොහැකිය. මෙයින් අදහස් වන්නේ මිනිසුන්ට සාමූහිකව කටයුතු කරන්නට ස්වභාවික පෙළඹීමක් නැති බව හෝ අනෙක් මිනිසුන්, ගහවැල, සතුන් ඇතුළු ස්වභාව ධර්මය ගැන සැලකිලිමත් වන්නට පෙළඹීමක් නැති බව නොවේ. මිනිස්සු ඒ සියලු දේ කරති. එහෙත්, ඒ හැමවිටම වාගේ සෘජුව හෝ වක්‍රව මුල් වන්නේ ස්ව අභිමතාර්ථයයි.

ආර්ථික විද්‍යාවේදී පිළිගැනෙන සරල මූලධර්මයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. තාර්කික තීරණයක් යනු තමන්ගේ යහපත පිණිස හේතු වන තීරණයි.

කෙසේ වුවද, අප කවුරුත් දන්නා පරිදි ඕනෑම කෙනෙක් තාර්කික නොවන "මෝඩ" තීරණ ගන්නා අවස්ථා තිබේ. එමෙන්ම, බොහෝ විට අතාර්කික තීරණම ගන්නා සුළු පිරිසක්ද අප අතර සිටිති. එසේනම්, මිනිසුන් තාර්කික තීරණ ගන්නේය යන උපකල්පනය නිවැරදිද?

ඉහත උපකල්පනය මත පදනම්ව කරන විශේලේෂණ නිවැරදි වීම සඳහා සෑම පුද්ගලයෙකුම සෑම අවස්ථාවකදීම තාර්කික තීරණ ගැනීම අත්‍යවශ්‍ය නැත. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම ප්‍රමාණවත්ය. පුද්ගලයින් බහුතරයක් බොහෝ අවස්ථා වල තාර්කික තීරණ ගැනීම මානුෂික ස්වභාවයයි.

කෙසේ වුවත්, ඇතැම් තත්ත්වයන් යටතේ බොහෝ මිනිසුන් අතාර්කික ලෙස හැසිරෙති. මේ බව ආර්ථික විද්‍යාඥයින් මුල සිටම දැන සිටියත් තාර්කික තීරණ මෙන් නොව අතාර්කික තීරණ පුරෝකථනය කිරීම අසීරුය. ඒ නිසා පුද්ගලයින්ගේ අතාර්කික තීරණ ආකෘතිගත කිරීම අසීරුය.

මෙවර ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලැබූ චිකාගෝ සරසවියේ මහාචාර්ය රිචඩ් තේලර් මේ අසීරු කටයුත්තට අත ගැසූ අයෙකි. නොබෙල් ත්‍යාගය කියා කීවත් වෙනත් විෂයයන් සඳහා ලබා දෙන නොබෙල් ත්‍යාගයන්ට සමාන්තරව ආර්ථික විද්‍යාව සඳහා ලබා දෙන ත්‍යාගය පිරිනමන්නේ ස්වීඩනයේ මහ බැංකුවයි. රිචඩ් තේලර් විසින් මෙසේ ලැබූ ත්‍යාග මුදල ස්වීඩිෂ් ක්‍රෝනා මිලියන නවයක්, එනම් රුපියල් මිලියන 160ක පමණ මුදලකි.

රිචඩ් තේලර් විසින් පෙන්වා දුන්නේ මිනිසුන්ගේ ඇතැම් අතාර්කික තීරණ වුවද පුරෝකථනය කිරීමේ හැකියාවක් ඇති බවයි. මේ සඳහා ඔහු මනෝ විද්‍යාවේ මූලධර්ම ආර්ථික විද්‍යාව සමඟ බද්ධ කළේය. චර්යාත්මක ආර්ථික විද්‍යාව බිහිවන්නේ මිනිසුන්ගේ මෙවැනි අතාර්කික ලෙස පෙනෙන හැසිරීම් විග්‍රහ කරමිනි.

චර්යාත්මක ආර්ථික විද්‍යාවේදී හඳුනා ගැනෙන, මිනිසුන් තාර්කික නොවන ලෙස හැසිරීමට හේතුවන කරුණු කිහිපයක් පහත දැක්වේ.

සීමිත විශ්ලේෂණ හැකියාව: මිනිසුන් බොහෝ තීරණ ගන්නේ ලොකුවට විශ්ලේෂණ කරමින් නොවේ. හදිසියට තීරණ ගැනීමේදී සියලුම කරුණු සලකා බලන්නට වෙලාවක් නැත. එමෙන්ම, මිනිසුන් යනු පරිගණක නොවේ. ඒ නිසා බොහෝ මිනිසුන්ට මනසින් ලොකු ගණනය කිරීම් කළ නොහැකිය. මේ නිසා, තමන්ට හොඳම දෙය කියා සිතා මිනිසුන් විසින් ඇතැම් විට තෝරාගන්නේ හොඳම දෙය නොවේ. ලොතරැයි වලට ඇති ඉල්ලුම උදාහරණයකි.

සාධාරණත්වය පිළිබඳ අදහස: මිනිසුන් මූලික වශයෙන් ස්ව අභිමතාර්ථය පිණිස කටයුතු කළත් ඔවුන්ට සාධාරණත්වය පිළිබඳ හැඟීමක්ද තිබේ. ආර්ථික විද්‍යා විද්‍යාගාර පර්යේෂණ වලින් පෙනෙන පරිදි මිනිසුන්ට ඉඩ ලැබුණු පමණින් ඔවුන් දොඩම් ගොඩම බදා ගන්නේ නැත. තමන්ට යම් අවාසියක් වුවත් වෙනත් අයගේ යහපත සලකමින් එය විඳ දරා ගන්නට බොහෝ මිනිසුන් කැමතිය. යාචකයෙකුට කීයක් හෝ දෙන හැම දෙනාම එසේ කරන්නේ ප්‍රදර්ශනාත්මකව හෝ පිං පිණිසම නොවේ.

ස්වයං පාලනය පිළිබඳ ගැටළු: තමන්ගේ ඇතැම් තීරණ තමන්ගේ අයහපතට හේතුවන බව දැන සිටියත් එවැනි තීරණ නොගෙන සිටීම ඇතැම් මිනිසුන්ට අපහසුය. සුරා පොදක් තොල ගන්නට හෝ පැණිරස කන්නට ඇති කැමැත්ත උදාහරණයි.

තරමක් පමා වී වුවත් රිචඩ් තේලර්ට අපේ සුබ පැතුම්!

8 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපිත් තේලර්ට සුභ පතමු.. මේ ගැන කියවිය හැකි ලින්ක් එකකුත් (ඔබගේ නිර්දේශය) ලබා දෙන්නේ නම් මැනවි

    ReplyDelete
    Replies
    1. https://www.nobelprize.org/nobel_prizes/economic-sciences/laureates/2017/advanced-economicsciences2017.pdf

      Delete
  3. සතුටුයි. කාලෙකින් මේකේ පොස්ට් එකක් දකින්න ලැබුනේ....

    ReplyDelete
    Replies
    1. ඔව්, ජීවන්ත. මේ බ්ලොග් එක අමතකව යන්න පෙර මාසය ඇතුළත එක පෝස්ට් එකක් හෝ දැමිය යුතු නිසයි මෙය දැම්මේ. නොබෙල් තෑග්ග නිවේදනය කළ දින සිට මේ ලිපිය ලියන්න හිතා හිටියත් ඉඩක් ලැබුණේ නැහැ.

      Delete
  4. සල්ලි නැති මිනිස්සු වැඩියෙන් අතාර්තික තීරණවලට එලබෙනවා. දුප්පත් රටවල් වල සමාජ වැඩියෙන් අතාර්තික තීරණ ගන්න නිසා ධනවාදය මගින් අපේක්ෂා කරන දිශාව වට ඒ රටවල් ගමන් කරන්නේ නැහැ. උදා: 'කොලිටි බඩු වලට ඉල්ලුම වැඩියි' කිව්වට ලංකාව වගේ රටවල් වලින් ඒවා ප්‍රතික්ෂේප වෙලා බාල බඩු මාර්කට් වෙනවා දකින්න පුළුවන්.

    'රටක් යම් ආර්ථික මට්ටමකට ලගා වෙනකම් ධන වාදයේ කියන ආර්ථික නිදහස සීමා කරලා ඒ තීරණ ගැනීමේ අයිතිය රජය සතු කරගත් අවස්ථා වලදී රටවල් දියුණු වෙලා තියනවා නේද? (සිංගප්පුරුව)

    ReplyDelete
    Replies
    1. පළමුව මම ඔබේ තර්කයේ තිබෙන විසංවාදය (contradiction) පෙන්වා දෙන්නම්. ඒ සඳහා අපි දැනට "සල්ලි නැති මිනිස්සු වැඩියෙන් අතාර්තික තීරණවලට එලබෙනවා." කියන එක නිවැරදියි කියා හිතමු (උපකල්පනය 1). මෙය ඒ අදහස අනුමත කිරීමක් නෙමෙයි. ඒ ගැන සාකච්ඡා කරන්න වෙනම පෝස්ට් එකක් දමන්න වෙනවා. දැන් ඔබේ තර්කය අනුව සල්ලි නැති මිනිස්සු ඔවුන්ගේ අතාර්කික බව නිසා තමන්ගේ අයහපතට හේතු වන තීරණ වැඩිපුර ගන්නවා (ප්‍රතිඵලය 1). උපකල්පනය 1 අනුව ප්‍රතිඵලය 1 නිවැරදියි. ඒ නිසා, ඔබ කියන පරිදි රජය මේ සල්ලි නැති මිනිස්සු වෙනුවෙන් වඩා හොඳ තාර්කික තීරණ ගත යුතුයි (විසඳුම 1).

      මේ විසඳුම 1 වැඩ කරන්නනම් රජය තුළ සිටිය යුත්තේ සල්ලි තියෙන මිනිස්සු පමණයි. රජය ඇතුළේ සල්ලි නැති මිනිස්සු හිටියොත් ඔවුන් අතාර්කික තීරණ ගන්න නිසා මෙය ප්‍රශ්නයට විසඳුමක් වන්නේ නැහැ. ඒකත් ඒ විදිහට වුනයි කියමුකෝ. දැන් මේ රජය ඇතුළෙ ඉන්න සල්ලි තියෙන මිනිස්සු තමන්ගේ කාලය, ශ්‍රමය වැය කර තමන් වෙනුවෙන් ප්‍රතිලාභ උපයා ගැනීමට තිබෙන අවස්ථාව පැත්තකට දමලා කොහේවත් ඉන්න සල්ලි නැති මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කළ යුතුයි. එසේ නැත්නම් සල්ලි නැති මිනිස්සුන්ට යහපතක් වෙන්න විදිහක් නෑනේ.

      ආර්ථික විද්‍යාවේ තාර්කික තීරණයක් කියන්නේ ස්වඅභිමතාර්ථය පිණිස හේතුවන තීරණයක්. ඒ අනුව, තමන්ට ලාභයක් උපයාගැනීමේ අවස්ථාව කැප කර වෙනත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම තාර්කික තීරණයක් නෙමෙයි. එහෙමනම්, රජය ඇතුලෙ සිටිය යුත්තේ තාර්කික තීරණ නොගන්නා මිනිස්සු. තාර්කික තීරණ ගන්න මිනිස්සු එහි හිටියොත් විසඳුම 1 වැඩ කරන්නේ නැහැ. එසේනම්, සල්ලි තියෙන මිනිස්සු අතාර්කික තීරණ ගන්න අය විය යුතුයි. එහෙමනම් උපකල්පනය 1 වැරදියි. මේ අනුව මේ ප්‍රවාදය වැරදි බව පැහැදිලියි. එය විසංවාදී එකක්.

      කාට හරි කියන්න පුළුවන් දේශපාලනඥයින්ට විශාල වැටුප් ගෙවීමෙන් මේ තත්ත්වය වෙනස් කර ගත හැකි බව. කෙතරම් විශාල වැටුපක් ගෙවුවත් තාර්කික පුද්ගලයෙක් දේශපාලනයට එන්නේ එයින් ලැබෙන වාසි පිට සිටින විට ලැබෙන වාසි වලට වඩා වැඩිනම් පමණයි. නැත්නම් ඔහු අතාර්කික පුද්ගලයෙක්. ඒ අනුව, මිල කොපමණ වුවත් කිසියම් නිශ්චිත වැටුපකට රජයට එකතු වන්නේ වෙනත් අයුරකින් ඒ වැටුප ඉපයීමේ හැකියාවක් නැති අකාර්යක්ෂම පුද්ගලයෙක්. එසේ නැත්නම් අතාර්කික තීරණ ගන්නා පුද්ගලයෙක්. දැන් මේ අයගේ වැටුපේ බරපැන දරන්නේ ඔබ කලින් කිවූ අතාර්කික තීරණ ගන්නා සල්ලි නැති මිනිස්සු (තමන් වෙනුවෙන් තීරණ ගන්න රජයට භාර දීම සැලකුවොත්නම් ඔවුන් අතාර්කික තීරණ ගන්නා අය බව ඇත්ත). ඔවුන් තමන් වෙනුවෙන්ම ගන්නා අතාර්කික තීරණ නිසා පාඩු වෙනවා කියා සිතමු. දැන් ප්‍රශ්නය තිබෙන්නේ ඔවුන් තමන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා රජයට ගෙවන මිල මේ පාඩුවට වඩා අඩුද කියන එකයි. ඊට වඩා අඩුනම් ඔවුන් ඇත්තටම ගෙන තිබෙන්නේ තාර්කික තීරණයක්. එහෙමනම් එවැනි තාර්කික තීරණ ගත හැකි සල්ලි නැති මිනිස්සු වෙනුවෙන් වෙනත් අය තීරණ ගත යුතු නැහැ. ඔවුන් අතාර්කික තීරණ ගන්නා අය වීම නිසා තමන්ගේ අතින් ගෙවා අකාර්යක්ෂම රජයක් පත් කර ගන්න ඉඩ තිබෙන බව ඇත්ත. නමුත්, එයින් ඔවුන්ට සිදු වන්නේ අයහපතක්.

      Delete
    2. දෙවනුව, සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම කෙටි කලකින් ඉහළ ගොස් ඇති පමණින් මම එරට දර්ශීය රටක් ලෙස සලකන්නේ නැහැ. සිංගප්පූරුවේ හා බටහිර රටක ටික කලක් ජීවත් වී ඇති අය වෙනස හොඳින්ම දන්නවා ඇති. සිංගප්පූරුවේ කලක් ජීවත් වී සිට ඇති, ස්ථිර පදිංචි වීසා ඇති අය එහි පුරවැසිකම නොගන්නේ ඇයි කියා අහල බලන්න.

      ආර්ථිකයක් දිගුකාලීනව ඉදිරියට යන්නේ නවෝත්පාදන නිසා. සිංගප්පූරුවේ තාර්කික තීරණ ගන්නා රජය විසින් සකස් කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවියේ පළවූ ලිපියක් පහත තියෙනවා.

      http://vidya-gaweshana.blogspot.com/2017/10/childrens-day_1.html

      කිසියම් රටක් නවෝත්පාදන බිහිකළ විට පළමුව එම රටත් දෙවනුව අනෙක් රටවලුත් දියුණු වෙනවා. එය ස්වභාවිකවම සිදුවන දෙයක්. එහෙත්, මේ අයුරින් අනෙක් රටවල් දියුණු වෙන්නේ ජාත්‍යන්තරයට විවෘත වීම තුළ තාක්ෂණය ගලා ඒම සිදුවන තරමටයි. මේ දෙවන කරුණට සංස්කෘතික සාධකත් බලපානවා. කුඩා නාගරික රටක් වන සිංගප්පූරුවේ දියුණුවට හේතුව දෙවන කරුණ මිසක් පළමු කරුණ නෙමෙයි. මේ දියුණුව පවත්වා ගැනීම සඳහා සිංගප්පූරුවට දිගින් දිගටම නවෝත්පාදන බිහිකරන වෙනත් රටවල් වල එල්ලී සිටින්න වෙනවා.

      තෙවනුව, ඔය සිංගප්පූරු පන්නයේ ආර්ථික ප්‍රතිපත්ති වලින් දියුණු වූ හැමෝම කතා කරන උදාහරණ දෙක තුනක් තිබුණත්, එසේ කරන්න ගොස් අසාර්ථක වූ රටවල් ගණන ඊට වඩා බොහෝ විශාලයි. ආසියානු කලාපයේම උදාහරණ ඕනෑ තරම් තියෙනවා.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. මේ වන තුරු ඉකොනොමැට්ටාට මේ වියුණුව වෙත යොමු වුනු කිසිදු පාඨක ප්‍රතිචාරයක් වාරණය කිරීමට සිදුවී නැත. ඒ තත්ත්වය දිගටම පැවතෙනවානම් ඉකොනොමැට්ටා සතුටුය. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.