Wednesday, March 16, 2016

අනේ මගෙන් බඩුගන්න එපා!




"මාළු මාළු මාළෝ...."

ඒ කෑගහන්නේ මාළු පෙට්ටිය බයිසිකලේ බැඳගෙන ගම වටේ යන ප්‍රනාන්දු නොවේ. බයිසිකලේ පස්සේ දුවන මැගි නෝනාය.

"අනේ ප්‍රනාන්දු, පොඩ්ඩක් ඔහොම නැවතියං බං!"


ප්‍රනාන්දු බයිසිකලේ නැවැත්තුවේය.

"මාළු පන්සීයක් දීල පලයං බං."

"පන්සීයක්ම ඕනැද? ඇයි දෙසිය පනහක් මදිද? දෙසිය පණහක් ගන්නවනං රුපියල් සීයකට දෙන්නං!"

"දෙසිය පනහක් මොනව කරන්නද බං. පන්සීයක්ම දීපං. මේං රුපියල් දෙසීයක් තියෙනව"

"පන්සීයක්ම ගන්නවනං රුපියල් තුන්සීයයි! ඔච්චර මාළු කන එක ඇඟටත් හොඳ නෑ බං!! දෙසිය පනහක් ගන්නවනං අඩුවට දෙන්නං."

"කමක් නෑ, තුන්සීයක් දෙන්නං. පන්සීයක්ම කිරපන්. ශෝක් අළුත් මාළු ටික."

"මොන අලුත්ද බං. දවස් දෙකක් පරණයි."

"දවස් දෙකනේ. ඕක මොකක්ද?"

"ඒ වුනාට හොඳට ෆෝමලිනුත් ගහල තියෙන්නේ. ඕව කාල මොන ලෙඩ හැදෙයිද කියල මංනං දන්නෙ නෑ."

"ඒකට කමක් නෑ, බං! කාලනේ මැරෙන්නේ"

"ඔන්න එහෙනං උඹට ඕනෑමනං පන්සීයක් ගනිං"

"යන්නං මල්ලියෙ එහෙනං. ලබන සතියෙත් මේ පැත්තෙ එනවැයි?"

"ඒක කියන්න බෑ. හිතුනොත් එනව."

"අනේ කොහොම හරි වරෙන් බං. ලබන සතියේ දානෙකට මාළු කිලෝ දෙක තුනක් ඕනෑ කල්ල තියෙනවා."

"කිලෝ දෙක තුනක්? උඹට කිලෝ දෙක තුනක් දුන්නහම මං අනිත් අයට මොනවද දෙන්නේ?"

"එහෙම කියන්න එපා බං. දානෙකටනේ!"

"එච්චර ඕනැනම් දෙන්න වෙන්නේ කිලෝ එක දාහ ගානෙවත් තමයි!"

"කමක් නෑ! ඒ ගානට හරි දීපං මොකෝ අපි වෙන කෙනෙක්ගෙන් මාළු ගන්න කියලයැ?"

***

- තමන් නිපදවන භාණ්ඩය විකිණීමට උත්සාහ කරනවා වෙනුවට එය පරිභෝජනය කිරීමේ අවාසි ගැන කියමින් ඉල්ලුම සීමා කිරීමට මහන්සි වන වෙළෙන්දෙක්
- වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වට්ටමක් දෙනවා වෙනුවට වැඩිපුර අයකරන වෙළෙන්දෙක්

ප්‍රනාන්දු වගේ වෙළෙන්දන් ඇත්තටම ඉන්න පුලුවන්ද? ප්‍රනාන්දුට පිස්සුද?

ලංකා විදුලිබල මණ්ඩලය ඊට වඩා වෙනස්ද?

19 comments:

  1. :)
    අැයි, ජල සම්පාදනේ?

    විදුලි බිල ඔන්ලයින් ගෙවන අයටත් අපූරු (-)වට්ටමක් ලැබෙනවා,ඒකට එයාල කියන්නේ collection convenience fee කියල, ගෙවන මුදලට තව 2%ක් එකතු කරනවා, වැඩ පහසු කිරිම වෙනුවෙන් කරන දඩුවමක්, ඒ අයකිරීමට ඒවගේ නමක් දාන්න ඇත්තේ චම්පික රනවක වෙන්න ඕන කියා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මෑතක මට විදුලිබල මණ්ඩලයට රුපියල් 50,000. ගෙවන්න වුනා, මාසේ බිල ගෙවනවා වගේ මේ මුදලත් ඔන් ලයින් ගෙවන්න ගියාම මට වැඩිපුර 1,000 ක්ම ගෙවන්න වෙන බව දුටුවාම සෑහෙන්න කල්පනා කරා, ටවුමට යන කෙනෙකුට රුපියල් 200 ක සන්තෝෂමක් දුන්නත් මට 800ක් ලාබයි, නමුත් බිලක් අය කිරීමේ දී එක ට්‍රාන්සැක්සන් එකකට ඔවුන් දරණ පිරිවැය බිලේ වටිනාකම අනුව වෙනස් වෙන්නේ නෑ නේද?

      මණ්ඩලේ මේ වගේ නුවනක්කාර තීරණයක් ගත්තේ කොහොම ද කියා ඉබේටම සිතුනා ..., ඇමති කීවා අපිත් අළුත් තාක්ෂණයට යන්න ඕන කියා, එකවුන්ට් බ්‍රාන්ච් එක කීවා ඒකට ආයෝජනය කළ යුතු මුදල, දැම්ම ටිකිරි මොලේ අය කරමු එයාලගෙන්ම, 2% ක් ඇතිවේ ද, අය්යෝ 1000ට 20යි නේ, කවුන්ටරෙන් බිල ගෙවන්න ගියාම අපි එයාලව කොච්චර නම් රස්තියාදු කරනවද, ඒ අතින් අපි එයාලට කොච්චර නම් පහසුවක්ද මේ කරන්නේ ...

      Delete
    2. ඒකාධිකාර ඇති වෙනත් තැන් වලත් මෙවැනි තත්ත්වයන් තියෙනවා.

      Delete
  2. මගේ LECO බිල සම්පත්නෙට් එකන් ඔන්ලයින් ගෙවමි. කිසිම surcharge එකක් නැත.

    ReplyDelete
    Replies
    1. ප්‍රාග්ධන ඉපැයීම් බද්ද ගැන වෙලාවක් ලැබුණු විට ලියන්නම්. අමතක කරල නෑ.

      Delete
  3. මෙහෙම මාළු කාරයොත් ඉන්නවද?? හික් හික්..

    ReplyDelete
  4. දැන්ම නැතත් 2030 වගේ වෙනකොට සමහර කිසියම් පිරිසක් පමණක් උවමනා ප්‍රමාණයට වඩා පරිභෝජනය කරන ආහාර වර්ග වලට මේ වගේ තත්වයක් උද්ගත වෙන්න පුළුවන්.

    විශේෂයෙන්ම මාළු වගේ මිනිස්සුන්ට වඩා හිතකර නමුත් තාමත් ස්වභාවික සම්පත් මත වැඩිපුර යැපෙන ප්‍ර්‍ර්ටීන ප්‍රභව වලට.
    අපි සාමාන්‍යෙන් විහිළුවටත් කියන්නෙ 2030 සත්ව නිෂ්පාදන සම්බන්ද ටාගට් වලට යන්න තියෙන එක ක්‍රමයක් ඉන්දියාවෙන් භාගයක් වෙජිටේරියන් කරන එක කියලා

    ReplyDelete
    Replies
    1. ඉන්දියානුවන්ගේ හා චීනුන්ගේ සංස්කෘතික පුරුදු ඉදිරි කාලයේදී බොහෝ භාණ්ඩ වල මිල සමතුලිතතාවයට බලපෑමක් කරයි!

      Delete
  5. මෙයට හේතුව මුල් මාලු කෑලි පරිබෝජනයට සහනාධාරයක් සහිත අඩු මිලක් නියම කිරීම නේද?

    ඒ කියන්නේ මාලු කිලෝවක ඇත්තම වියදම සහ ලාබය සහිත මිල රුපියක් දාහයි.

    ඊට අඩුවෙන් ගන්න අයට සහනාධාරයක් ලැබෙනවා!

    ReplyDelete
    Replies
    1. ලංවිම හා අදාලවනම් තියෙන පටලැවිලි නිසා ඇත්තම මිල හොයා ගැනීම ඉතාම අසීරු කාර්යයක්.

      Delete
  6. නියම උාදහරණ‍ෙ. අපේ රාජ්‍ය බැංකුත් ඔහොමයි. බලං ගියාම හැම රාජ්‍ය ආයතනයක්ම ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය ආයතන බොහෝවිට ඔහොම තමයි.

      Delete
  7. විදුලි බල මණ්ඩලය විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියන්නේ විදුලිය නිපදවීම උදෙසා වන පිරිවැයට වඩා අඩු මුදලකට විදුලිය පාරිභෝගිකයින්ට ලබා දෙන නිසා නෙමේද ?

    ReplyDelete
    Replies
    1. මූලික හේතුව අවශ්‍ය ඉල්ලුමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් කළ නොහැකිවීම. මිල වැඩි කර ඉල්ලුම හා සැපයුම සමතුලිත කළ හැකිවුවත් ඒ හේතුවෙන් නිෂ්පාදනය වැඩිවී එයින් ප්‍රශ්නය විසඳෙන්නේ විදුලිය නිපදවීමේ ඒකාධිකාරයක් නැත්නම් පමණයි.

      Delete
  8. 'ඉල්ලුමට අනුව සැපයීම නොමැතිවීම', 'අත්‍යවශ්‍ය සේවා' සහ 'වෙළඳපල ඒකාධිකාරය' යන කාරණා සැලකූවිට, විදුලි බල මණ්ඩලයේ හැසිරීම සාධාරණීකරනය(???) කළහැකියි නේද

    ReplyDelete
    Replies
    1. සාධාරණීකරනය කෙසේවුවත් පැහැදිලි කළ හැකියි.

      Delete
  9. අදනේ මේක දැක්කේ
    එල ද බ්‍රා

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.