Thursday, February 11, 2016

කොළඹ: ඉක්මන් මරණයකට අගනා නගරයක්!


"මගෙ පුතු හරි හපනා -හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා- මටත් එකක් දෙනවා"

ලංකාවේ ඒක පුද්ගල ගෘහස්ත ආදායම වැඩිම නගරය කොළඹයි. සියවස් ගණනක සිටම ගම් පළාත් වල ඉපදුණු අයගේ අපේක්ෂාවේ නගරය වුනේ කොළඹය. ඒක ඒ දවස්වල සිට අද දක්වාම එහෙමය. කොළඹ හැරුණු විට ලංකාවේ ඇති දෙවන ප්‍රධානම නගරය ලෙස සැලකිය හැක්කේ මහනුවරයි.

අනෙක් අතට මොණරාගල හා හම්බන්තොට කාලයක සිටම සැලකුණේ ලංකාවේ දුෂ්කරම ප්‍රදේශ ලෙසය. පසුගිය කාලයේනම් මේ තත්ත්වයේ තරමක වෙනසක් සිදුවිය.

මොණරාගල හා හම්බන්තොට ජීවිතය කොළඹ හා මහනුවර වැනි නාගරික ප්‍රදේශයක ජීවිතයට වඩා ඇත්තටම දුෂ්කරද?

පහත වගුවේ ඇත්තේ 1981 හා 2001 වසර වල පැවැත්වූ ජන සංගණන අනුව ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ වැසියෙකුගේ අපේක්ෂිත ආයුකාලයයි. සංගණන දත්ත සාමාන්‍යයෙන් නිරවද්‍යතාව අතින් වෙනත් සමීක්ෂණ දත්ත වලට වඩා බොහෝ නිවැරදිය. 2012 වසරේදීද සංගණනයක් පැවැත්වූ නමුත් එම සංගණනය ඇසුරින් මේ සංඛ්‍යාලේඛණ තවමත් සකස් කර නොමැති බව පෙනේ.



1980-2000 අතර දශක දෙකක කාලය තුළ ආයු අපේක්ෂාවේ ප්‍රාදේශීය විෂමතාවන්ගේ රටාව සැලකිය යුතු ලෙස වෙනස් වී නැත. මේ කාලය තුළ සමස්තයක් ලෙස පිරිමින්ගේ ආයු අපේක්ෂාව සුළු වශයෙනුත් ගැහැණුන්ගේ ආයු අපේක්ෂාව තරමක් වැඩියෙනුත් ඉහළ ගොස් තිබේ.

විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි ආයු අපේක්ෂාව වෙනත් දිස්ත්‍රික්ක වලට වඩා විශාල ලෙස අඩුය. කොළඹට අමතරව පසුපසින්ම සිටින දිස්ත්‍රික්කය මහනුවරයි. ආයු අපේක්ෂාව අතින් ඉදිරියෙන් සිටින්නේ හම්බන්තොට හා මොනරාගල වැනි දුෂ්කර ලෙස සැලකෙන දිස්ත්‍රික්කයි.


මෙයට හේතුව කුමක්ද? කොළඹ ඇතැයි සිතන වැඩි පහසුකම් වැඩි පිරිසක් අතර බෙදීයාමද? නැත්නම් වැඩි ආදායම් විෂමතාවයද? කාර්ය බහුල ජීවන රටාවද? ආහාර පුරුදු වල වෙනස්කම්ද? නැත්නම් අපිරිසිදු වාතයද?

මේ කවරක් වුවද, ඉසුරු සොයා නගරයට ඇදෙන්නන් ඒ වෙනුවෙන් ගෙවන මිලට සිය ජීවිත කාලයෙන් සැලකිය යුතු වසර ගණනක්ද ඇතුළත් වන බවනම් පැහැදිලිය.


(Image: www.srilanka-guide.org)

10 comments:

  1. සුපිරි පැහැදිලි කිරීමක්............. පුද්ගලික ව මං ගැන කිව්වොත් (දැන් කමෙන්ටු දාන්නා) කොළඹට යෑමට අකමැති ම කෙනෙකි... විශ්ව විද්‍යාල කාලයේ කොළඹ ඉන්න වුණා..... පස්සේ තවත් වසර දෙකක් රස්සාවක් කරන්න වුණා.... ඒත් මට ලැබුණු පළවු අවස්ථාවෙන් කොළඹින් අයින් වුණා.... අද ජීවත් වෙන්නේ දුෂ්කර යැයි කියන පැත්තක. හැබැයි මාර සතුටින්..... අැත්තට ම කොළඹ ජීවත් වෙන්න දත කන බහුතරයක් තුළ තියෙන තර්කය තමා හැම දේම පහසුයි සහ රෝහල් පාසල් වගේ තර්ක. ඒත් ඔවුන් කල්පනා කරන්නෑ කොළඹ ඉන්න නිසාමයි ඔය රෝහල් අවශ්‍ය කියලා. අනික් අතට පාසල් ගැන තත්වය නං වෙනස්.... කොළඹින් පිට දියුණු පාසල් තියෙනවා. අනික තමා කොහේ ගියත් ඉගෙන ගන්න ඒකා ඉගෙන ගන්නවා....

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කොළඹ සමග අැති සම්බන්ධය ලෝකය සමග ගමන් කිරීමට වැදගත්.... ඒත් දැන් දැන් තියෙන පහසුකම් ඒක්ක ඒ තත්වයත් වෙනස් වෙනවා.

    ReplyDelete
  2. ඔන්න ඕකනේ අපි යන්නේ මොණරාගල.. :)

    ReplyDelete
    Replies
    1. හම්බන්තොට හා මොණරාගල අතහැර වෙනත් ප්‍රදේශ වලට සංක්රමණය වන අය අතර මෙහෙම අයත් ඉන්නවා.
      http://vidya-gaweshana.blogspot.com/2014/01/blog-post_2.html

      Delete
  3. මෙයට එක් හේතුවක් විය හැක්කේ කොලඹ දිස්ත්‍රික්කයේ රෝහල් පහසුකම් වැඩි බැවින් පිටත දිස්ත්‍රික්වල පුද්ගලයින්ද කොලඹදී මියයාම විමට හැකිය. මොනරාගල සහ හම්බන්තොට සාපේක්ශව ආයුකාලය වැඩිවීමටද මෙය හෙතුවක් වීමට හැකිය

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා.කොලඹට පිටිපස්සෙන් නුවර ඉන්න කොට ඒ සැකය තරමක් තහවුරු වෙනවා.

      Delete
    2. හොඳ අදහසක්, ඇනෝ සහ මනෝ. සමහර විට එය එසේ වෙන්න පුළුවන්. මේ සංඛ්‍යාලේඛණ ගන්නේ මරණ ලියාපදිංචි කරන දත්ත වලින්නම් ඔබ කියන කරුණ මේ වෙනසට දායක විය හැකියි. මම දන්න තරමට රෝහලක සිදුවන මරණ ලියාපදිංචි කරන්නේ රෝහල පිහිටි ප්‍රදේශය අයත් විවාහ, උප්පැන්න, මරණ රෙජිස්ට්‍රාර්. සංගණනයකදී නිවාස වල පදිංචිකරුවන්ගෙන් ගන්න තොරතුරු මත මේ සංඛ්‍යාලේඛණ පදනම් වෙනවනම් එසේ විය නොහැකියි. මේවායේ ප්‍රාථමික මූලාශ්‍රය ගැන මම හරියටම දන්නේ නැහැ. එහෙත්, ඔබ කියන දේ වෙන්න පුළුවන් කියල හිතෙනවා. ඇත්තටම සංඛ්‍යාලේඛණ කියවිය යුත්තේ මතුපිටින් නොබලා ඔබ බැලූ අයුරින් තමයි.

      Delete
    3. සොයා බැලු විට උපත් හා මරණ ගණන් ගෙන ඇත්තේ සාමාන්‍යයෙන් පදිංචි දිස්ත්‍රික්කය අනුව බව පෙනේ. ඒ නිසා මේ වෙනසට හේතුව ඉහත කරුණ නොවේ.

      Delete
  4. උතුරු පලාතේ කාන්තා සහ පිරිමි අපේක්‍ෂිත ආයු කාලය මේ වකවානුවේ වෙනස් වී ඇති ආකාරය නම් ඉතා දුක්බර කතාවක් කියනවා.

    අපි කොළඹ සහ හම්බන්තොට ගැන කතා කරමින් ඉන්නා මේ කාමරයේ නොපෙනෙන අලියා එයයි.

    ReplyDelete
    Replies
    1. අලියා මඟ හැර ගියා නොවේ. ඔබ කියන කරුණ වගේම හේතුවත් ඉතාම පැහැදිලි නිසාත්, මෙය වඩා විශාල ඛේදවාචකයක එක් පිළිබිඹුවක් පමණක් නිසාත්, එවැන්නක් නැවත සිදු නොවනු ඇතැයි අපේක්ෂා කරමින් ඒ ගැන විශේෂයෙන් කතා නොකළා පමණි. එමෙන්ම, 2001 සංගණනය උතුරු පළාත තුළ නිසියාකාරව නොපැවැත්වුණු බැවින් මේ දත්ත එතරම් විශ්වසනීය නැත. නිසි ලෙස දිවයින පුරාම පැවැත්වුණු, තවම අදාළ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර නැති 2012 සංගණනය අනුව මේ තත්ත්වය වඩා නරක විය හැකිය.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.