Tuesday, May 30, 2023

ඇමරිකාවේ ණය ප්‍රශ්නය


ටික දවසකට පෙර ලංකාවේ පාර්ලිමේන්තුව විසින් රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව රුපියල් බිලියන 5000 සිට 6000 දක්වා ඉහළ දැම්මා. බොහෝ රටවල මෙවැනි උපරිම සීමාවන් නැහැ. එහෙත්, ලංකාවේ මෙන්ම ඇමරිකාවේද මෙවැනි උපරිම සීමාවක් තිබෙනවා. එම සීමාව ඉක්මවා රජයට ණය ගැනීමේ හැකියාවක් නැහැ.

දැනට ඇමරිකාවේ මෙම සීමාව ඩොලර් ට්‍රිලියන 31.4ක්. මේ වන විට ඇමරිකාවේ ණය ප්‍රමාණය ඔය සීමාව කිට්ටුවටම ඇවිත්. ඒ නිසා, තවත් ණය ගන්නනම් සීමාව ඉහළ දමා ගත යුතුයි. එසේ නැත්නම් තාවකාලිකව ණය සීමාව අත් හිටවිය යුතුයි. මේ දෙකෙන් කොයි එක කරන්නත් ඇමරිකානු කොන්ග්‍රසයේ කොටස් දෙක වන සෙනෙට් සභාවේ මෙන්ම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද අනුමැතිය හිමි විය යුතුයි.

ඇමරිකාවේ වත්මන් ආණ්ඩු පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය විසින් යාන්තමින් සෙනෙට් සභාවේ බහුතර බලය හදාගෙන සිටියත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැහැදිලි බහුතර බලය තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි. සාමාන්‍යයෙන් කොන්ග්‍රසයේ බලය ආණ්ඩු පක්ෂයට (ජනාධිපතිවරයාගේ පක්ෂයට) තිබෙන අවස්ථාවක ණය සීමාව ඉහළ දමා ගැනීම සරල කටයුත්තක් වුවත් එම බලය විපක්ෂය සතුව ඇති විට මේ වැඩේ ලේසියෙන් කර ගන්න බැහැ.

ණය සීමාව ඉහළ දැමු පමණින් එම සීමාව දක්වා ණය ගන්න බැහැ. රජයට වියදම් කළ හැකි උපරිම මුදල වෙනත් නීති වලින් සීමා වෙනවා. ඇමරිකාවේ මෙන්ම ලංකාවේද මෙය සිදුවන්නේ මේ විදිහටයි. උපරිම ණය සීමාව තාක්ෂනික සීමාවක් පමණක් වුවත් සාමාන්‍යයෙන් කොංග්‍රසයේ බලය විරුද්ධ පක්ෂය සතු වූ විට ආණ්ඩු පක්ෂයේ ප්‍රතිපත්ති මත බලපෑමක් කිරීම සඳහා විරුද්ධ පක්ෂයට මේ සීමාව ප්‍රයෝජනයට ගත හැකියි. මෙවර සිදු වුනේද එයයි.

උපරිම ණය සීමාව නීතිමය බාධකයක් වී තාක්ෂනික හේතුවක් නිසා ඇමරිකන් රජයට ණය ගෙවන්නට නොහැකි වුවහොත් එයින් ඇමරිකාවට මෙන්ම ලෝකයටම විශාල බලපෑමක් වෙනවා. ඒ නිසා, වගකිවයුතු විපක්ෂයක් මේ වගේ දෙයකට පෙළඹෙන්නේ නැහැ. එහෙත්, ණය සීමාව ඉහළ දමා ගැනීමට සහයෝගය දීම වෙනුවෙන් වෙනත් කොන්දේසි දැමීම මගින් ඔවුන්ට ආණ්ඩුවේ ඇතැම් අපේක්ෂිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආපසු හරවන්න පුළුවන්. මේ වගේ වෙලාවක විපක්ෂයට විශාල හෙට්ටු කිරීමේ බලයක් ලැබෙනවා. 

ලංකාව වගේ රටකනම් මේ වගේ වෙලාවක වෙන්නේ මන්ත්‍රීවරුන් මුදලට වෙන්දේසි වීම, අලුත් ඇමති ධුර හැදෙන එක වැනි දේ. නමුත්, ඇමරිකාවේ එහෙම වෙන්නේ නැහැ. රිපබ්ලිකන් පක්ෂයේ හෙට්ටු කිරීම් වල තිබෙන්නේ එවැනි පෞද්ගලික ඉලක්ක නෙමෙයි. ආණ්ඩු පක්ෂය විසින් මහජන මුදල් වැය කිරීම පාලනය කිරීමේ හා ඒ මගින් ණය ගැනීම සීමා කිරීමේ ඉලක්කය පෙරදැරිවයි මේ සාකච්ඡා සිදු වන්නේ. සාමාන්‍යයෙන් ඔය සාකච්ඡා ටික කලක් ඇදිලා අවසානයේදී දෙපාර්ශ්වය යම් එකඟතාවයකට එනවා. මේ ගැන අපෙන් අසා තිබුණු කිහිප දෙනෙකුට අප විසින් ඔය කතාව කලින්ම කියා තිබෙනවා.

වාර්තා වී තිබෙන විදිහට පසුගිය ඉරිදා (මැයි 28) දෙපාර්ශ්වය විසින් (ජනාධිපති බයිඩන් සහ කථානායක කෙවින් මැකාති) මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙනවා. මේ අනුව හෙට (මැයි 31) දින ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ 2025 ජනවාරි දක්වා උපරිම ණය සීමාව අත්හිටවීම පිණිස යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතයි. යෝජනාව සම්මත වුවහොත්, ණය සීමාව වෙනස් නොවන නමුත් තාවකාලිකව සීමාව නොසලකා හැරීමට ඉඩ සැලසෙනවා. කෙසේ වුවත්, දෙපාර්ශ්වය විසින් ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව බයිඩන් රජය විසින් කරන්නට සිටි වියදම් රැසක් කප්පාදු කරන්නට සිදු වෙනවා. 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.