Tuesday, December 17, 2019

බෝංචි ගණන් වැඩිද?


මේ දවස් වල ලංකාවේ ඇතැම් එළවළු වර්ග වල මිල ගණන් ගොඩක් ඉහළ ගිහින්. මහ බැංකුවේ දත්ත අනුව අද (දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 390ක්. එම දත්තම අනුව, හරියටම වසරකට පෙර (2018 දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 210ක් පමණයි. බෝංචි කිලෝවක් හිටිවනම මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ ඇයි?

බෝංචි කිලෝවක මිල තීරණය කරන්නේ රජය විසින් නෙමෙයි. රජය විසින් කරන දේවල් වල වක්‍ර බලපෑමක් බෝංචි මිලටත් තිබෙන එක වෙනම කරුණක්. බෝංචි කිලෝවක සිල්ලර මිල තීරණය වන්නේ බෝංචි වලට තිබෙන ඉල්ලුම හා සැපයුම මතයි.

බෝංචි වැනි එළවළු ලංකාවට පිටරටින් ආනයනය කරන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ හදන බෝංචි වැනි එළවළු සුරක්ෂිතව කාලයක් ගබඩා කර තබා ගෙන අවශ්‍ය අවස්ථාවක වෙළඳපොලට නිකුත් කළ හැකි තාක්ෂණයක්ද රටේ නැහැ. ඒ නිසා, අස්වනු නෙලන කාල හා කාලගුණ සාධක වැනි කරුණු මත වෙළඳපොළට සැපයෙන බෝංචි ප්‍රමාණය සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. ඒ විදිහට සැපයුම වෙනස් වුවත්, බෝංචි වලට රටේ තිබෙන ඉල්ලුම සතියෙන් සතියට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිලත් සතියෙන් සතියට වගේ වෙනස් වෙනවා. මේක සිදු වෙන්නේ කොහොමද කියලා අපි හරියටම පැහැදිලි කර ගනිමු.

අපි එක් එක් කෙනාගේ බෝංචි වලට තියෙන කැමැත්ත වෙනස්. බෝංචි එක් අයෙකුගේ ප්‍රියතම එළවලුව වෙද්දී තවත් අයෙකුට බෝංචි පෙන්නන්න බැරි වෙන්න පුළුවන්. බෝංචි වලට ලොකු කැමැත්තක් නැති අකැමැත්තකුත් නැති අය වගේම වෙන කන්නම දෙයක් නැත්නම් පමණක් බෝංචි කන අයත් ඉන්නවා. මේ ආකාරයට බෝංචි වලට තිබෙන කැමැත්ත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙද්දී ඔවුන් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිලත් වෙනස් වෙනවා.

අපි පුද්ගලයින් පහළොස් දෙනෙක් ගනිමු. පහතින් තියෙන්නේ මේ පහළොස් දෙනා බෝංචි කිලෝවකට ගෙවන්න කැමැත්තෙන් සිටින උපරිම මිලයි. සියලුම ගණන් රුපියල් වලින්.

අමල් - 1000
බිමල් - 700
චමල් - 550
දයාල් - 500
එමිල් - 450
ෆසල් - 420
ගයාන් - 400
හසන් - 390
ඉයන් - 375
ජෙයන් - 350
කෙවින් - 320
ලොහාන් - 300
මෝහන් - 280
නුවන් - 250
ඔෂාන් - 220

දැන් කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝ 10ක් පමණක්නම් මේ 15 දෙනාටම බෝංචි මිල දී ගන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම සමාන විය යුතුයි. නිදහස් වෙළඳපොළක මේ බෝංචි කිලෝ 10 අයිති කර ගන්න ඉඩ ලැබෙන්නේ බෝංචි වලට වැඩිම වටිනාකමක් ලබා දෙන දහ දෙනාටයි. ඒ කියන්නේ ලැයිස්තුවේ ජෙයන්ගේ සිට උඩින් සිටින අයටයි. බෝංචි කිලෝවක සමතුලිත වෙළඳපොළ මිල වෙන්නේ ජෙයන් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල වන රුපියල් 350ක මිලයි.

ලැයිස්තුවේ ජෙයන්ට වඩා පහළින් සිටින අයට බෝංචි කිලෝවක් රුපියල් 350ක් වටින්නේ නැහැ. ඒ නිසා, ඔවුන් තමන්ගේ අතේ මුදල් තිබුණත් මිල දැක්ක හැටියේම ආපසු හැරී එනවා. මේ අය ලැයිස්තුවේ උඩින් සිටින අය තරමට බෝංචි වලට කැමැති නැති අය. ජෙයන්ගේ සිට උඩින් සිටින අයට රුපියල් 350ක මිල ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔවුන්ට බෝංචි කිලෝවක් අඩුම වශයෙන් රුපියල් 350ක්වත් වටිනවා. ජෙයන් හැර ඉතිරි නව දෙනාට ඊටත් වඩා කීයක් හෝ වටිනවා. ඒ නිසා, රුපියල් 350 වුවත් ඒ අය දකින ආකාරයට වාසිදායක මිලක්.

ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල කාටත් සාධාරණ මිලයි. බෝංචි මිල දී ගන්නා සියලු දෙනාටම බෝංචි කිලෝවක වටිනාකම ගෙවූ මිලට වඩා වැඩියි. බෝංචි කිලෝවක වටිනාකම මිලට වඩා අඩුයි කියා හිතන අය බෝංචි මිල දී නොගෙන තමන් වඩා කැමති වෙනත් දෙයක් මිල දී ගන්නවා. වෙළඳපොළට බෝංචි සපයන අයට ලැබිය හැකි ඉහළම මිල ලැබෙනවා. බෝංචි නොවිකිණී ඉතිරි වෙන්නෙත් නැහැ. රුපියල් 350ක මිල ගෙවා බෝංචි මිල දී ගන්න කැමති අයට බෝංචි නොලැබී යන්නේත් නැහැ. එහෙත්, මේ දේවල් මේ ආකාරයට සැලසුම් කරන්නට කිසිවෙකු අවශ්‍ය වෙන්නේත් නැහැ. නිදහස් වෙළඳපොලක අපූර්වත්වය මෙයයි.

දැන් ඊළඟ සතියේ බෝංචි සැපයුම කිලෝ 12ක් දක්වා වැඩි වුනොත් වෙන්නේ මොකක්ද? පසුගිය සතියේ මිල තව දුරටත් හරියන්නේ නැහැ. බෝංචි කිලෝවක මිල රුපියල් 350 මට්ටමේම තිබුණොත් බෝංචි මිල දී ගන්නේ පෙර සතියේත් බෝංචි මිල දී ගත් ජෙයන්ගෙන් උඩ දහ දෙනා පමණයි. එහෙම වුනොත්, බෝංචි කිලෝ දෙකක් නොවිකිණී ඉතුරු වෙනවා. ඒ කිලෝ දෙකත් විකුණගන්න හැකි වෙන්නේ රුපියල් 300 දක්වා මිල අඩු වුනොත් පමණයි. කෙවින් හා ලොහාන් දෙන්නා රුපියල් 350ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැති වුනත්, රුපියල් 300කට බෝංචි මිල දී ගන්නවා. ඒ නිසා, මිල රුපියල් 300 දක්වා අඩු වූ විට ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා.

බෝංචි සැපයුම කිලෝ 8ක් දක්වා අඩු වුනොත් වෙන්නේ මොකක්ද? මිල 350නම් බෝංචි කිලෝ 8 පහසුවෙන්ම විකිණෙනවා. නමුත්, ඒ මිලට බෝංචි මිල දී ගන්න කැමති 10 දෙනෙක්ම ඉන්න නිසා එයින් දෙදෙනෙක්ටම බෝංචි මිල දී ගැනීමේ අවස්ථාව නැති වෙනවා. එසේ අවස්ථාව නැති වුනේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන්. අමල් බෝංචි කිලෝවකට රුපියල් 1000ක් වුවත් ගෙවන්න කැමතියි. එහෙත් වෙළඳපොළේ බෝංචි නැහැ. ඒ නිසා ඔහු ඉන්නේ සතුටෙන් නෙමෙයි. බෝංචි සැපයුම්කරු ඉන්නේත් සතුටෙන් නෙමෙයි. ඔහුට ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ලැබී නැහැ. නමුත්, මිල රුපියල් 390 දක්වා ඉහළ ගිය විට මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. හසන් සහ ජෙයන් රුපියල් 390ක් ගෙවා බෝංචි කිලෝවක් මිල දී නොගන්නා නිසා ඒ මිලට බෝංචි ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයින් අට දෙනෙක් පමණයි. ඔවුන් සියලු දෙනාටම බෝංචි ලැබෙනවා.

පසුගිය දිනක දේශපාලනඥයෙක් විසින් උපදෙස් දී ඇති පරිදි පාරිභෝගිකයින් විසින් මිල වැඩි එළවලු මිල දී නොගෙන ප්‍රතික්ෂේප කළොත් එළවලු මිල අඩු වෙයිද? අපි මේ උදාහරණයම බලමු. දැන් බෝංචි කිලෝවක මිල රුපියල් 390යි. හසන්ගේ සිට උඩට ඉන්න අයට සාපේක්ෂව මේ රුපියල් 390ක මිල වැඩි මිලක් නෙමෙයි. ඔවුන්ට බෝංචි ඊට වඩා වටිනවා. ඒ නිසා, ඔවුන් කොහොමටත් බෝංචි මිල දී ගන්නවා. රුපියල් 390 වැඩි මිලක් කියා හිතන හසන්ට පහළින් සිටින හත් දෙනා කොහොමටත් රුපියල් 390ක් ගෙවා බෝංචි මිල දී ගන්නේ නැහැ. ඒ නිසා, ඔවුන්ට අමුතුවෙන් බෝංචි ප්‍රතික්ෂේප කරන්න දෙයක් නැහැ. කිසිවකුගේ මිල දී ගැනීමේ තීරණ වෙනස් නොවන නිසා, බෝංචි කිලෝවක සමතුලිත මිල වෙනස් වෙන්නේත් නැහැ.

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.