Sunday, May 21, 2017

ඔක්ස්ෆෑම් ධනවතුන්ගේ ප්‍රශ්නය

පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමාජ ජාල වල පුළුල් ලෙස සංසරණය විය. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමාන බවයි.

අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේය.

බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40

මේ ලැයිස්තුවේ සිටින්නන්ගෙන් ඇමන්සියෝ ඔටේගා හා කාලෝස් ස්ලිම් හෙලු දෙදෙනා හැරුණු විට ඉතිරි හය දෙනාම ඇමරිකානුවන් වීම විශේෂත්වයකි. අනෙක් අතට, ඉහත ඔක්ස්ෆෑම් වාර්තාව පිළියෙළ කිරීම සඳහා පදනම් කරගෙන ඇති ක්‍රෙඩිට් සුවිස් වාර්තාව අනුව, ලෝකයේ දුප්පත්ම බිලියන 3.6න් වැඩි දෙනෙකු ජීවත් වන්නේ ඉන්දියාව, චීනය, නයිජීරියාව, ඉතියෝපියාව, කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, බංග්ලා දේශය, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බ්‍රසීලය වැනි රටවලය. අදාළ වාර්තාව අනුව ඇමරිකා එක්සත් ජනපදයේද වත්කම් අතින් දුප්පත් සැලකිය යුතු පිරිසක් සිටිති.

බැලූ බැල්මටම මේ ආදායම් විෂමතාවය විශාල ප්‍රශ්නයක් බව පෙනේ. එහෙත්, එය සැබෑවටම ප්‍රශ්නයක් වන්නේ ඉහළ ලැයිස්තුවේ සිටින අටදෙනා ඔවුන්ගේ වත්කම් උපයා ගැනීමේදී අඩු වත්කම් සහිත අය සතු විය යුතුව තිබුණු වත්කම් ඔවුන්ගෙන් කිසියම් අයුරකින් සෘජුව හෝ වක්‍රව උදුරාගෙන ඇත්නම් පමණි.

මෙය විමසා බැලීමට පෙර අපි වත්කම් යනු මොනවාද යන්න පැහැදිලි කර ගත යුතුය. විශේෂයෙන්ම වත්කම් හා ආදායම් අතර ඇති වෙනසත්, වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයත් අප පැහැදිලිව අවබෝධ කරගත යුතුය.

වත්කමක් ලෙස හැඳින්වෙන්නේ අනාගතයේදී ආදායම් උපදවන කිසියම් දෙයකි. ඔබ සතු මුදල් බැංකුවක තැන්පත් කර පොලී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. ඔබට හිමි නිවසක් කුලියට දී ආදායම් ඉපදවිය හැකි නිසා එය වත්කමකි. එය කුලියට නොදී ඔබම එහි ජීවත් වූවද එසේ කිරීමෙන් ඔබට ඉතිරි වන ගෙවල් කුලී මුදල ඔබේ ආදායමකට සමාන නිසා ගෙයක් යනු බොහෝ විට කෙනෙකුගේ වත්කමකි. මේ අයුරින්ම ඔබ සතු ඉඩම්, යන්ත්‍ර සූත්‍ර වැනි ආයෝජනද වත්කම් ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට අනාගතයේදී ඔබට වියදම් හදන දේ ඔබේ බැරකම්ය. ඔබ නිවාස ණයක් හෝ වාහන ණයක් ලබාගෙන ඇත්නම් ඒ වෙනුවෙන් මාසිකව හෝ වාර්ෂිකව පොලී වියදමක් දැරිය යුතුය. ඒ නිසා, මේවා ඔබේ බැරකම්ය. වත්කම් අනුව කෙනෙකුගේ පොහොසත්කම මනින විට උපයෝගී කරගන්නා නිර්ණායකය වන්නේ වත්කම් වලින් බැරකම් අඩු කළ විට ශුද්ධ වත්කම්ය. යම් කෙනෙකුගේ වත්කම් වලට වඩා බැරකම් වැඩිනම් ශුද්ධ වත්කම් සෘණ අගයක් ගනී.

කෙනෙකුගේ ආදායම යනු වත්කම් වලට සෘජු ලෙස සම්බන්ධ දෙයක් නොවේ. ශුද්ධ වත්කම් සෘණ අගයක් ගන්නා බොහෝ දෙනෙකුට සැලකිය යුතු ආදායමක් තිබේ. එමෙන්ම, වැඩි ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායමට වඩා අඩු ශුද්ධ වත්කම් ඇති අයෙකුගේ ආදායම වැඩි වන්නට පුළුවන. එහෙත්, වත්කම් මත පදනම් නොවූ ආදායම් (උදාහරණයක් ලෙස රැකියාවෙන්) සමාන තරමට උපයන දෙදෙනෙකු අතරින් වැඩි වත්කම් හිමි අයෙකුගේ සමස්ත ආදායම වැඩි එකකි.

වත්කම්, ආදායම් හා පරිභෝජනය අතර ඇති සම්බන්ධතාවයද තරමක් සංකීර්ණය. ආදායම් හා පරිභෝජන වියදම් අතර වෙනස පුද්ගලයෙකුගේ වත්කම් වලට එකතු වේ. එවිට වත්කම් තවත් වැඩි වේ. ආදායමට වඩා පරිභෝජන වියදම් වැඩිනම් සිදුවන්නේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් අඩු වී යාමයි. අනෙක් අතට පරිභෝජනය සීමා කරමින් උපයන ආදායම් වලට වඩා අඩු මට්ටමක තබා ගන්නා අයෙකුගේ වත්කම් ක්‍රමයෙන් ඉහළ යයි. මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි දෙයකි.

මේ අනුව පැහැදිලි වන්නේ අධි පරිභෝජනය කෙනෙකුගේ වත්කම් වැඩි කිරීමට නොව අඩු කිරීමට හේතු වන්නක් බවයි.

තමන් සතුව දෙමවුපිය උරුමයෙන් ලැබුණු වත්කම් නැති අයෙකුට වත්කම් ඒකරාශි කර ගත හැක්කේ සකසුරුවම් කමින් වියදම් කර තමන්ගේ ආදායමෙන් කොටසක් ඉතිරි කරගෙන ඒ ආදායම් අනාගතයේ තවත් ආදායම් උපදවන වත්කම් වල ආයෝජනය කිරීමෙනි. අනෙක් අතට, දෙමවුපිය උරුමයෙන් විශාල වත්කමක් ලැබී ඇති අයෙකු වුවද, ඒ වත්කම් ආයෝජනය කර හෝ වෙනත් ක්‍රමයකින් උපයන ආදායම් ඉක්මවා පරිභෝජනය කරයිනම් ඔහුගේ හෝ ඇයගේ ශුද්ධ වත්කම් ක්‍රමයෙන් ක්ෂය වී යයි.

මේ අනුව පැහැදිලි විය යුත්තේ වත්කම් යනු හැමවිටම පුද්ගලයෙකුගේ පරිභෝජන මට්ටම හෝ ජීවන තත්ත්වය පිළිබඳ නිර්ණායකයක් නොවන බවයි. 


මේ ලැයිස්තුවේ සිටින අය ගැනත් ඔවුන්ගේ වත්කම් ගැනත්, ආදායම් හා වියදම් ගැනත් ඉදිරියේදී කතා කරමු.
 

Thursday, May 18, 2017

අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම

"යහපාලන ආර්ථික දර්ශණය" නම් වූ ලිපියක් ඊයේ වෙනත් බ්ලොග් අඩවියක (ඉයන්ගේ අඩවිය) පළ වී තිබුණේය. මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඌව පරණගම-යාලගම දී පවත්වා ඇති කතාවක සංක්ෂිප්තයක් බව පෙනේ. පහතින් ඇත්තේ අදාළ ලිපියෙන් උපුටාගත් කොටස් කිහිපයකි. මෙහි නැවත පළ කරන්නේ තෝරාගත් කොටස් කිහිපයක් පමණක් නිසා අවශ්‍ය අයෙකුට අදාළ අඩවියෙන් මුළු ලිපියම කියවීමේ අවස්ථාව තිබේ.

"ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මීට වසර 40කට පෙර ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළට එකතු කර අපනයන ආර්ථිකයේ මූලාරම්භය ඇති කළා. යුද්ධය නිසා යම් යම් පසුබෑම් ඇති වුණා. 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතුව තිබුණා. යුද්ධයෙන් පසුව අපේ ආර්ථිකය විනාශ වුණා. ආර්ථිකය දියුණු කරන්න ශක්තියක් තිබුණේ නැහැ.

ආර්ථිකය දියුණු කිරීම සඳහා තිබෙන එකම මාර්ගය අපනයන වෙළෙඳපොළට ගමන් කිරීමයි. ශ්‍රී ලංකාවට දැන් යුරෝපා වෙළෙඳපොළ විවෘතයි. 2003 වසරේ මා අගමැතිවරයා වශයෙන් සිටිය දී ඒ පිළිබඳ සාකච්ඡා කළා. නමුත් ඉන්පසු පැමිණි ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා.

බංග්ලාදේශය යුරෝපා වෙළෙඳපොළ අල්ලා ගත්තා. දැන් බංග්ලාදේශයට ගෙවුම් ශේෂයේ ප්‍රශ්නයක් නැහැ. ඕනෑ තරම් විදේශ විනිමය තිබෙනවා. අපට වඩා පස් හය ගුණයකින් බංග්ලාදේශය විදේශ විනිමයෙන් පෝසත් වෙලා. බංග්ලාදේශය ඔවුන්ගේ අවස්ථා මෙන්ම ශ්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවලින් ද ප්‍රයෝජන ගැනීම නිසා මේ දියුණුව ලබා ගැනීමට හැකි වුණා."

"පළමුවෙන්ම කළ යුත්තේ රටේ ආදායම වැඩි කිරීමයි. අප ඒ වැඩ කටයුත්ත කරමින් සිටිනවා. ආදායම් බදු නොගෙවූ පුද්ගලයන්ගෙන් ආදායම් බදු අය කර ගත්තා. වැට් බදු අය කර ගත්තා."

"අප දැන් ලෝකයේ සෑම රටක් සමඟම මිතුරු වී සිටිනවා. යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට පත්වෙලා."


ලංකාවේ අපනයන වර්ධනය කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා විසින් හඳුනාගෙන සිටින බව මේ කතාවෙන් පැහැදිලිය. මේ කරුණට අදාළ විශේෂ සටහනක් මෙවර මහ බැංකු වාර්තාවේ පළ වී තිබුණේය. "අපනයන ප්‍රවර්ධනය සඳහා ජාතික උපාය මාර්ගය" මාතෘකාව යටතේ පළකර තිබුණු එම ලිපියේ මූලික අදහස මෙවැන්නකි.

-ආර්ථිකය වර්ධනය වන විට අපනයනද වර්ධනය විය යුතු බවට පොදු මතයක් තිබුණත් ලංකාවේ එය එසේ වී නැත.
-පසුගිය වසර 16ක කාලය තුළ මේ තත්ත්වය කැපී පෙනේ. 2000-2016 අතර කාලයේදී රටේ දදේනි 10.4%ක සංයුක්ත (compound) වාර්ෂික වර්ධනයක් පෙන්නුවත්, අපනයන වල සංයුක්ත වාර්ෂික වර්ධනය 4%ක් පමණි.
-2005-2012 කාලය අතරතුළ දේශීය ඉල්ලුම වර්ධනය වීම නිසා ආර්ථිකය වර්ධනය වුනත්, බාහිර ඉල්ලුමක් නැති නිසා දේශීය ඉල්ලුම අඩුවීමට සමගාමීව ආර්ථික වර්ධනය බාල වී ඇත.
-ලංකාව කලාපයේ අනෙක් රටවලට වඩා කලින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1977දී දදේනි ප්‍රතිශතයක් ලෙස 18.7%ක් වූ අපනයන 1979 වන විට 29.2% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.
-1977දී ඇමරිකන් ඩොලර් මිලියන 767ක් වූ අපනයන ආදායම 2000 වන විට ඇමරිකන් ඩොලර් මිලියන 5,522 දක්වා ඉහළ ගියේය. එහෙත්, 2000 සිට අපනයන වර්ධනය සතුටුදායක මට්ටමක නැත.
-මේ වන විට (2016) අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 12.7% මට්ටමට පහත වැටී තිබේ. මෙය 1977 දී ආර්ථිකය විවෘත කිරීමට පෙර පැවති මට්ටමටත් වඩා පහත් මට්ටමකි.
-2015දී මැලේසියාවේ අපනයන දදේනි ප්‍රතිශතයක් ලෙස 67.5%ක්ද, තායිලන්තයේ 54.2%ක්ද, වියට්නාමයේ 83.7%ක්ද විය.
-2000-2015 කාලය තුල ලංකාවේ අපනයන 1.9 ගුණයකින් පමණක් වර්ධනය වෙද්දී, වියට්නාමය 11.2 ගුණයකින්ද, බංග්ලාදේශය 5.1 ගුණයකින්ද, දකුණු කොරියාව හා තායිලන්තය 3.1 ගුණයකින්ද වර්ධනය කරගෙන තිබේ.




මේ කරුණු අනුව, අග්‍රාමාත්‍යවරයා විසින්ද හඳුනාගෙන ඇති පරිදි, කලාපීය රටවල් ඔවුන්ගේ අපනයන ආර්ථිකයන් වර්ධනය කරගනිද්දී, මේ සහස්‍රයේ ආරම්භයේ සිට ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍රයෙන් පල්ලම් බැස ඇති බව ඉතාම පැහැදිලිය. මහ බැංකු වාර්තාවේ අදාළ ලිපිය අනුව, මේ වන විට ලංකාව 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් පසුව අපනයන ක්ෂේත්‍රයෙහි ලබාගත් ජයග්‍රහණ සියල්ලම ආපසු හැරවී අවසන්ය.

රනිල් වික්‍රමසිංහට අනුව මෙයට හේතුව යුද්ධය නිසා ඇති වූ ආර්ථික පසුබෑම හා 2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු නැවතත් අපනයන ආර්ථිකයකට ගමන් නොකිරීමයි. ඔහුගේ කතාව අනුව, ඔහු මෙය දකින්නේ විදේශ ප්‍රතිපත්තියේ වරදක් ලෙසිනි. ඒ අනුව, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව ආදී රවටල් ද අපේ හොඳ මිතුරන් බවට" පත්වීම අපනයන වර්ධනයට හේතු වනු ඇත.

රනිල් වික්‍රමසිංහගේ කතාව අනුව, අපනයන වර්ධනය අවශ්‍ය දෙයක් බව ඔහු හඳුනාගෙන සිටියත් "රටේ ආදායම" වැඩි කරගන්නා තුරු ඔහුට මේ වැඩේ කල් දාන්නට සිදුවී තිබේ. මේ වන විට, වැට් ආදී බදු වැඩිකර ආදායම වැඩි කරගෙන තිබෙන නිසා ඔහුට අපනයන වර්ධනය කිරීම ගැන හිතන්නට ඉඩ ලැබී ඇත.

රනිල් වික්‍රමසිංහ රටේ ආදායම කියා කිවුවත් ඇත්තටම ඔහු මේ කියන්නේ රජයේ ආදායම ගැනය. රජයේ ආදායම හා රටේ ආදායම කියන්නේ එකක් නොව දෙකකි. රජයේ ආදායම කියන්නේ රටේ ආදායමෙන් රජයේ නඩත්තුව සඳහා බදු ලෙස බලහත්කාරයෙන් උදුරා ගන්නා කොටසයි. බදු වැඩි කිරීමෙන් රටේ ආදායම වැඩි නොවනවා පමණක් නොව නිෂ්පාදන අධෛර්යමත් වීමෙන් රටේ ආදායම අඩු වීමට එය හේතුවකි. මෙය අපනයන නිෂ්පාදන වලටද අදාලය. බදු වැඩිවීම හරහා නිෂ්පාදන වියදම් ඉහළයාම යනු අපනයන වර්ධනය තවදුරටත් අඩාල වීමට හේතුවකි.

රනිල් වික්‍රමසිංහ විසින්ම කියන පරිදි මෙන්ම මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි රටේ අපනයන ආර්ථිකය එන්න එන්නම පල්ලම් බැසීමෙන් පෙනෙන්නේ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අකාර්යක්ෂමතාවයයි. මහ බැංකු වාර්තාවේ විශේෂ ලිපියට පාදක වන 2000-2016 කාලය තුළ යහපාලන ආණ්ඩුවේ අවුරුදු දෙකක්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස සිටි වසර 10ක් මෙන්ම, ඊට පෙර රනිල් හා චන්ද්‍රිකා ආණ්ඩු කළ කාලයද ඇතුළත් බවත් මෙය එක් දේශපාලනික පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ වැරැද්දකට වඩා රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් බවත් මෙහිදී විශේෂයෙන් තේරුම් ගත යුතුය. එමෙන්ම, ලංකාවේ ආර්ථිකය විවෘත කිරීමෙන් පසු මුල් දශක දෙකක පමණ කාලය තුළ තත්ත්වය මෙයට වෙනස් වූ බවද අමතක නොකළ යුතුය.

රටේ ආදායම් වර්ධනය අවදානමේ හෙළමින් රජයේ බදු ආදායම් වැඩි කර ගන්නේ රටේ ආර්ථික වර්ධනය උදෙසා අගය එකතු කිරීමක් කරන බවක් පෙනෙන්නට නැති  අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කිරීම සඳහාය. පරණ ණය ගැන කතා කළත්, සමස්තයක් ලෙස රජයේ ණය අඩුවී නැත. කෙසේවුවද, රජයේ බදු ආදායම් වැඩි කර නොගත්තේනම් සිදු විය හැකිව තිබුණේ රජය අලුතින් ලබාගන්නා ණය ප්‍රමාණය තවත් ඉහළ යාමයි. එයට සාපේක්ෂව බදු වැඩි කර රජයේ ආදායම වැඩි කර ගැනීම සාධනීය දෙයකි.

රජය කුඩා කිරීම දේශපාලනික කරුණකි. රටේ ඉල්ලුම තිබෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය තවත් පුළුල් කිරීමටනම් ආණ්ඩුවට එය නොසලකා කටයුතු කිරීම අසීරුය. ආණ්ඩුවට පිටින් සිටින බොහෝ කණ්ඩායම් උද්ඝෝෂණය කරන්නේ පවතින අවාසිදායක තත්ත්වයන් යටතේ වුවද අමාරුවෙන් ඇදගෙන යන පෞද්ගලික ව්‍යවසායයන් පවා රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බද්ධ කරන ලෙස ඉල්ලමිනි. එවැන්නක අවසන් ප්‍රතිඵලය වන්නේ බදු බර තවත් ඉහළ යාම හා අදාළ සේවාවන්ගේ ගුණාත්මක භාවය තව දුරටත් පහත වැටීමයි.

ඇතැම් විට රනිල් වික්‍රමසිංහ විසින් ඉඟි කරන්නේ රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසු අපනයන සංවර්ධනය දිරිමත් කිරීම සඳහා සහනාධාර ලබාදීමට රජයට ඉඩක් ලැබෙන බව වන්නට පුළුවන. රජය විසින් සහනාධාර හරහා අපනයන දිරිමත් කිරීම ප්‍රායෝගිකව සිදුවන්නට විශාල ඉඩකඩක් නැතිවා පමණක් නොව එය රජය විසින් මේ අවස්ථාවේදී ගත යුතු ප්‍රශස්තම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයද නොවේ.

එමෙන්ම, "යුරෝපය පමණක් නොව ඉන්දියාව, ජපානය, චීනය, සිංගප්පූරුව" ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල් සමඟ "යාළු වූ" පමණින් ලංකාවේ අපනයන වර්ධනය වෙන්නේ නැත. මෙයින් කියන්නේ යහපත් විදේශ සම්බන්ධතා පවත්වා ගැනීම නොවැදගත් බව නොවේ. ලංකාව වැනි, කුඩා, දියුණු වෙමින් පවතින, ආර්ථිකයකට විදේශ සම්බන්ධතා නොසලකා හැර ආර්ථික වර්ධනය ගැන හිතන්නට නුපුළුවන. ලංකාවේ කළඹේ තිබෙන්නේ ආදේශක කිසිවක් නොමැති, වෙනත් රටවල් විසින් "පස්සෙන් ඇවිත්" මිලදී ගතයුතු දේවල්නම් විදේශ සම්බන්ධතා ලොකු ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලංකාවට එවැනි අපනයන නිෂ්පාදන නැත. ඒ නිසා, අපේ අපනයන මිලදී ගන්නා රටකට දේශපාලනික හේතු මත අපේ අපනයන ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබේ.

කෙසේ වුවද, එහි අනික් පැත්ත ඒ අයුරින්ම සිදුවන්නේ නැත. කොයි තරම් යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වාගෙන සිටියත් කිසිදු රටක් අපේ අපනයන "පාඩුවට" මිල දී ගන්නේ නැත. ලංකාවේ අපනයන වර්ධනය කර ගැනීමටනම් ලංකාවේ අපනයන නිෂ්පාදන සමාන ගුණාත්මක භාවයක් ඇති වෙනත් රටවල නිෂ්පාදන වලට සාපේක්ෂව මිලෙන් අඩුවිය යුතුය.

රජය මඟින් සහනාධාර ලබාදීම හරහා නිෂ්පාදන පිරිවැය අඩුකර අපනයන මිල ගණන් තරඟකාරී මට්ටමකට පහත හෙළිය හැකි වුවත්, ඒ සහනාධාර පිරිවැය බදු ලෙස නැවත එකතු කර ගැනීමේදී නිෂ්පාදන පිරිවැය නැවතත් ඉහළ යන බැවින් මේ උපාය මාර්ගය  තිරසාර එකක් නොවේ. 


එසේනම් කළ යුත්තේ කුමක්ද? ප්‍රශ්නයේ මුලට ගිය විට විසඳුමද හමුවේ.

ජේ ආර් ජයවර්ධන විසින් 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීමට සමගාමීව විණිමය අනුපාතිකද ඉතා විශාල ලෙස අවප්‍රමාණය කෙරුණු බව අප අමතක නොකළ යුතුය. 1978 වසර තුළදී පමණක් ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 8.87 සිට 15.61 දක්වා 76%කින් ඉහළ ගියේය. ඒ සමඟම ලෝක වෙළඳපොළෙහි ලංකාවේ නිෂ්පාදන වල මිලද ඉතා විශාල ලෙස අඩුවී ලංකාවේ අපනයන තරඟකාරිත්වයද විශාල ලෙස ඉහළ ගියේය. ලංකාවේ අපනයන දෙවසරක් තුළ ඉතා විශාල ලෙස වර්ධනය වීමට හේතු වුනේ විදේශ විණිමය අනුපාතිකයෙහි සිදුවුණු මේ නිවැරදි කිරීමයි.

ඉහත විදේශ විණිමය ප්‍රතිපත්තිය 2000 වසරේදී පමණ සිට ඒ අයුරින්ම ක්‍රියාත්මක වුනේ නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ අපනයන වල මිල අනෙකුත් තරඟකාරී රටවල අපනයන මිලට සාපේක්ෂව විශාල ලෙස ඉහළ යද්දී විදේශ නිෂ්පාදන වල දේශීය මිල නියම මට්ටමට වඩා පහළින් පවත්වා ගැනුණේය. මේ අනුව, පසුගිය වසර පහළොවක පමණ කාලය තුළ සිදුවුණේත්, තවමත් සිදුවන්නේත් ලංකාවේ ජනතාවගේ බදු මුදල් වලින් වෙනත් රටවල නිෂ්පාදකයින්ට "සහනාධාර" ලැබීමයි.

මේ වාසිය වැඩිපුරම ලබාගත්තේ චීනය හා ඉන්දියාවයි. ඒ තත්ත්වය තවමත් වෙනස් වී නැත. විණිමය ප්‍රතිපත්තියේ වරද නිසා වසරින් වසර ලංකාවේ
අපනයන වර්ධනය පහළ යද්දී ආනයන ඉතා සීඝ්‍රයෙන් වර්ධනය විය. මේ නිසා ඇති වුනු ගෙවුම් ශේෂ ප්‍රශ්නය ඇතැම් ආණ්ඩු විසින් රාජ්‍ය දේපොළ විකුණා දැමීමෙන් පියවා ගැනීමට උත්සාහ ගත් අතර, සියළුම ආණ්ඩු විසින් විශාල ලෙස විදේශ ණය ලබා ගැනීමට යොමු විය. මෙයින් ලැබුණේ තුවාලයක් කසන විට ලැබෙන ආකාරයේ සනීපයක් පමණි. දැන් තුවාලය ඔඩු දුවා තිබේ. අපනයන ආර්ථිකයෙන් ලෝක වෙළෙඳපොළ අල්ලා ගැනීම කෙසේවෙතත් ලංකාවේ ආර්ථිකය තියෙන මට්ටමින් අල්ලාගෙන සිටීම පවා දැන් පහසු වැඩක් නොවේ.

තුවාලය නිට්ටාවට සනීප කර ගැනීමටනම් විණිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය. ලංකාවේ අපනයන වර්ධනය කරගැනීමට අවශ්‍යනම් ඒ මඟ මිස වෙනත් මඟක් නැත!

Wednesday, May 3, 2017

ලංකාවේ 2016 ආර්ථික වර්ධන වේගය නිවැරදිද?



පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධියට පත් කළ 2015 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව අනුව එම වසරේ වෙළඳපොළ මිල පදනම මත ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 11,183ක් විය.

අද ජනාධිපතිතුමා වෙත පිළිගන්වා ඇති 2016 වසර සඳහා වන වාර්ෂික වාර්තාව අනුව 2016 වසරේ වෙළඳපොළ මිල පදනම මත ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 11,839කි. මේ සංඛ්‍යා දෙක සැසඳූ විට, පසුගිය වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ නාමික වර්ධනය 5.87%කි.

සැබෑ (මූර්ත) ආර්ථික වර්ධනය දැනගැනීමට නාමික වර්ධනයෙන් දෙවසර තුළ මිල වෙනස්වීම (උද්ධමනය) නිසා සිදුවූ බලපෑම ඉවත් කළ යුතුය. මහ බැංකු වාර්තාව අනුව 2016 දදේනි අවධමනකය 3.6%කි. ඒ අනුව, 2016 මූර්ත දදේනි වර්ධනය 2.2% කට නොවැඩි විය යුතු වුවත් මහ බැංකු වාර්තාවට අනුව ආර්ථික වර්ධනය 4.4%කි. මෙසේ ආර්ථික වර්ධනය දෙගුණ වුණේ කොහොමද?

පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය 4.4%ක් වී තිබෙන්නේ 2016 දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ ඉදිරිපත් කළ 2015 ඇස්තමේන්තුවට වඩා එපමණකින් වර්ධනය වීමෙන් නොවේ. 2015 දළ දේශීය නිෂ්පාදිතය ලෙස 2016 දී ඉදිරිපත් කළ රුපියල් බිලියන 11,183ක ඇස්තමේන්තුව 2017 වන විට රුපියල් බිලියන 10,952 දක්වා 2.1%කින් අඩුවීම නිසාය!

ජාතික ගිණුම් ඇස්තමේන්තු පසුව සංශෝධනය කිරීම අමුතු දෙයක් නොවූවත්, මේ තරම් විශාල වෙනසක් වීම සංඛ්‍යාලේඛණ වල නිරවද්‍යතාවය පිළිබඳ සැක මතු කරවයි.

පසුගිය 2015 දළ දේශීය නිෂ්පාදිතය 2.1%කින් අඩුවන විට එම වසරේ ආර්ථික වර්ධනයද පෙර ඇස්තමේන්තුවට වඩා එපමණකින් අඩුවිය යුතුය. එහෙත්, පුදුම සහගත ලෙස 2015දී පැවති 4.8% ආර්ථික වර්ධනය නොවෙනස්ව එසේම තිබේ. සංඛ්‍යාලේඛණ සංශෝධනය වීමේදී පෙර වාර්තා කළ මූර්ත ආර්ථික වර්ධනය එසේම තිබියදී කලින් වාර්තා කළ 2015 දදේනි අවධමනකය (උද්ධමනය) 2.2% සිට 0.8% දක්වා අඩුවී තිබේ!



(Image: http://www.hirunews.lk/160511/central-bank-annual-report-presented-to-president)