Thursday, June 30, 2016

ජාත්‍යන්තර වෙළඳාමෙන් අවාසි කාටද?

රටවල් දෙකක් අතර ජාත්‍යන්තර වෙළඳාම නිසා සමස්තයක් ලෙස එයට සම්බන්ධ වන දෙරටටම වාසියක් සැලසේ. එහෙත්, ඒ එක් එක් රටේ සියළුම පුද්ගලයින්ට එයින් වාසි සැලසෙන බව එයින් අදහස් නොවේ. ජාත්‍යන්තර වෙළඳාම නිසා ඇතැම් කණ්ඩායම් වල බඩට වදින්නට පුළුවන.

ඉහත තත්ත්වය ජාත්‍යන්තර වෙළඳාමට පමණක්ම අදාළ වන්නක්ද නොවේ. තරඟකාරීත්වයක් නැති තැනක ඇති අකාර්යක්ෂමතාවයන්ගෙන් වාසි ලබන පිරිස් සිටිති. තරඟකාරීත්වය නැවත ප්‍රතිෂ්ඨාපනය වූ විට එවැනි කණ්ඩායම් වලට කලින් ලැබූ අනිසි ලාභ නැති විය හැකිය.

උදාහරණයක් ලෙස ලංකාවේ දුරකථන සේවා සැපයීම සම්බන්ධව ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත පැවති ඒකාධිකාරය ඉවත් කිරීමෙන් පසුව දුරකථන ගාස්තු ඉතා සීඝ්‍රයෙන් පහත වැටී, දුරකථන සේවාවන් රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් 'පරිභෝජනය කළ හැකි' දෙයක් බවට පත් වූ නමුත් ඒ හේතුවෙන් ටෙලිකොම් සමාගමට සිදුවූයේ අවාසියකි.

මේ ගැන තවදුරටත් කතා කිරීම සඳහා මගේ පෙර ලිපියක් වෙත නැවත යමු.


ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1

"ගලවංකාව සහ අල්ලංකාව කියා රටවල් දෙකක් තිබේ. මේ රටවල් දෙක ජනගහණය අතින් සමානය. එක් රටක 100 බැගිනි. රටවල් දෙකේම ජනජීවිතය හා ආහාර පුරුදු සමානය. රටවැසියෝ එක්කෝ ඉබේ වැවී ඇති අල ගලවති. නැත්නම් මාළු අල්ලති. ඉන්පසු අල සහ මාළු යොදා හදන කෑමක් කා ඇල්වතුර බී නිදාගනිති. රටවල් දෙකේම තත්ත්වය මේ කරුණු අනුව සමානය. කෙසේ වුවද, අල සහ මාළු නිෂ්පාදනය කිරීමට වැය කළ යුතු ශ්‍රමය (නිෂ්පාදන සාධක) අතින් රටවල් දෙක සමාන නැත.

පළමුව අපි අල්ලංකාවට යමු. මෙහි වැසියෙකුට දවසක් මහන්සි වී මාළු කිලෝ 3ක් ඇල්ලිය හැකිය. නැත්නම් අල කිලෝවක් ගැලවිය හැකිය. ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා අල්ලංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම අල කිලෝවකි. නැත්නම්, මාළු කිලෝ තුනකි. ඒ අනුව, අල්ලංකාව තුල අල කිලෝවක් මාළු කිලෝ තුනකට හුවමාරු වේ.

අල්ලංකාවේ අල වවන්නෝ අල ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කරති. මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 2250ක් අල ග්‍රෑම් 750කට (අල වවන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ අල්ලංකාවේ කවුරුත් අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

ගලවංකාවේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. එහි වැසියෙකුට දවසක් මහන්සි වී අල කිලෝ 3ක් ගැලවිය හැකිය. නැත්නම් මාළු කිලෝවක් ඇල්ලිය හැකිය. ගලවංකාවේ එක් පුද්ගලයෙකුගේ දවසක ශ්‍රමයේ වටිනාකම මාළු කිලෝවකි. නැත්නම්, අල කිලෝ තුනකි. ඒ අනුව, ගලවංකාව තුල මාළු කිලෝවක් අල කිලෝ තුනකට හුවමාරු වේ.

ගලවංකාවේ මාළු අල්ලන්නෝ මාළු ග්‍රෑම් 250ක් අල ග්‍රෑම් 750කට හුවමාරු කරති. අල වවන්නෝ අල ග්‍රෑම් 2250ක් මාළු ග්‍රෑම් 750කට (මාළු අල්ලන්නන් තිදෙනෙකු සමඟ) හුවමාරු කරති. අවසානයේ ගලවංකාවේ වැසියනුත් අල්ලංකාවේ වැසියන් මෙන්ම අල ග්‍රෑම් 750ක් සහ  මාළු ග්‍රෑම් 750ක් බැගින් පරිභෝජනය කරති.

මේ රටවල් දෙකෙන් අල්ලංකාවට ගලවංකාවට සාපේක්ෂව මාළු නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. එමෙන්ම, ගලවංකාවට අල්ලංකාවට සාපේක්ෂව අල නිෂ්පාදනයේදී පරිපූර්ණ වාසියක් තිබේ. මෙහිදී පරිපූර්ණ වාසියක් ලෙස හැඳින්වෙන්නේ සමාන නිෂ්පාදන සාධක යොදවා එක් රටකට වෙනත් රටකට වඩා වැඩි නිෂ්පාදනයක් කිරීමට ඇති හැකියාවයි.

තමන්ට පරිපූර්ණ වාසියක් ඇති භාණ්ඩයක් නිපදවා වෙනත් රටකට විකිණීමෙන් ඕනෑම රටකට වාසියක් ලැබේ. උදාහරණයක් වශයෙන් අල්ලංකාවේ සියල්ලෝම මාළු අල්ලද්දී ගලවංකාවේ සියල්ලෝම අල ගලවතැයි සිතමු. දැන් අල්ලංකාවේ මාළු කිලෝ 300ක්ද ගලවංකාවේ අල කිලෝ 300ක්ද නිපදවේ. අල්ලංකාවේ මාළු වලින් කිලෝ 150ක් ගලවංකාවේ අල කිලෝ 150ක් සමඟ හුවමාරු කරයි.

අන්තිමේදී අල්ලංකාවේ වැසියෙකු තමන් අල්ලන මාළු කිලෝ තුනෙන් කිලෝ 1.5ක් ගලවංකාවේ වැසියකුගේ අල කිලෝ 1.5ක් වෙනුවෙන් හුවමාරු කරයි.  අල්ලංකාවේ මෙන්ම ගලවංකාවේ වැසියෝත් අල කිලෝ 1.5ක් සහ මාළු කිලෝ 1.5ක් බැගින් පරිභෝජනය කරති. රටවල් දෙක අතර වෙළඳාම නිසා දෙරටේම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ."


ඉහත උදාහරණයෙන් පෙන්වා දුන් පරිදි ඉතා පැහැදිලිවම දෙරටේම සියළුම වැසියන්ගේ පරිභෝජනය දෙගුණ වී තිබේ. කෙසේ වුවද, මේ කතාවේ සැඟවී ඇති කරුණක් තිබේ.

"ඕනෑම අල ගලවන්නෙකුට මාළු අල්ලන්නෙකු වීමට හෝ මාළු අල්ලන්නෙකුට අල ගලවන්නෙකු වීමට හැකි නිසා..."

ඉහත වාසිය ඒ අයුරින්ම ලැබීම සඳහා අල්ලංකාවේ සියළුම අල ගලවන්නන්ට මාළු ඇල්ලීමටත්, ගලවංකාවේ සියළුම මාළු අල්ලන්නට අල ගලවන්නටත් සිදුවේ. එය ඒ අයුරින්ම සිදු නොවුවද සමස්තයක් ලෙස දෙරටට ලැබෙන වාසි තවදුරටත් පවතින නමුත්, අළුත් තත්ත්වයට හැඩ ගැසී වෙනස් විය නොහැකි අයට පාඩුවක් සිදුවන්නට පුළුවන.

මෙය පෙන්වාදීම සඳහා අපි පළමුව අපි අල්ලංකාවට යමු. එහි මාළු අල්ලන්නෙකු දිනකට මාළු කිලෝ තුනක් නිෂ්පාදනය කළේය. ජාත්‍යන්තර වෙළඳාම ඇරඹීමට පෙර අල ග්‍රෑම් 750ක් ලබා ගැනීම සඳහා මේ මාළු වලින් ග්‍රෑම් 2250ක් අවශ්‍ය විය. එහෙත්, දැන් මාළු වලට සාපේක්ෂව අල මිල තුනෙන් එකක් දක්වා අඩු වී ඇති බැවින් අල ග්‍රෑම් 750ක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ මාළු ග්‍රෑම් 750ක් පමණි. ඉතා පැහැදිලිවම අල්ලංකාවේ මාළු නිෂ්පාදකයින්ගේ ජීවන තත්ත්වය උසස් වී තිබේ. මේ අයුරින්ම, ගලවංකාවේ අල ගලවන්නන්ගේ ජීවන තත්ත්වයද උසස් වී ඇත.

අල්ලංකාවේ අල ගලවන්නෙකු තව දුරටත් අල ගලවමින් සිටියහොත් වෙන්නේ කුමක්ද?

අල්ලංකාවේ අල ගලවන්නෙකුට දිනකට නිපදවිය හැක්කේ අල කිලෝවක් පමණි. ජාත්‍යන්තර වෙළඳාමට බාධා පැවති තත්ත්වය තුළ, මේ අල වලින් ග්‍රෑම් 250ක් මාළු ග්‍රෑම් 750කට හුවමාරු කළ හැකි වුවත් දැන් එය තවදුරටත් කළ නොහැකිය. දැන් අල ග්‍රෑම් 250ක් හුවමාරු වන්නේ මාළු ග්‍රෑම් 250ක් වෙනුවෙන් නිසා අල හා මාළු පරිභෝජනය සමානව තබාගැනීමටනම් පරිභෝජනය අල ග්‍රෑම් 500ක් හා මාළු ග්‍රෑම් 500ක් දක්වා අඩු කරන්නට සිදුවේ. මෙය අල්ලංකාවේ අල ගලවන්නෙකුගේ ජීවන තත්ත්වයෙහි සිදුවන සැලකිය යුතු පහත වැටීමකි. මේ අයුරින්ම, වෙනස් නොවී සිටියහොත්, ගලවංකාවේ මාළු අල්ලන්නෙකුගේ ජීවන තත්ත්වයද පහත වැටෙනු ඇත.

කිසියම් රටකට පරිපුර්ණ වාසියක් හෝ තුලනාත්මක වාසියක් නොමැති භාණ්ඩයක් නිෂ්පාදනයෙහි නියැලීම අකාර්යක්ෂමය. එවැනි කටයුත්තක නියැලෙන්නෙකුට වාසි ලැබිය හැක්කේ තරඟකාරිත්වයට ස්වභාවික හෝ කෘතීම බාධා පවතින වාතාවරණයකදී පමණි. එවැනි බාධා ගැන මම පෙර ලිපියක කතා කළෙමි.

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...

කිසියම් කෘතීම හෝ ස්වභාවික බාධාකාරී තත්ත්වයකින් වාසි ලබන පිරිස් ඒ බාධාවන් ඉවත් වනවාට විරුද්ධ වීම ඉතා පැහැදිලිය.

2 comments:

  1. මීට වඩා සරලව පැහැදිලිව සිංහලෙන් විස්තර කරන්න මයිකල් පෝටර්ටත් බැහැ. මිනිහ සිංහල නොදන්න නිසා. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ඉයන් මයිකල් පෝටර්ගෙන් ඉගෙනගෙන තියෙනවද?

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.