Tuesday, March 20, 2018

යී ගැන්ග් - චීන මහ බැංකුවේ නව අධිපති


චීන රජය විසින් චීනයේ මහ බැංකුව වන චීන මහජන බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය යී ගැන්ග්ව නම් කර තිබේ. යී ගැන්ග්ගේ එක් විශේෂත්වයක් වන්නේ ඔහු ඇමරිකාවේ අධ්‍යපනය ලැබූ, වාසය කළ හා කලක් සේවය සේවය කළ අයෙකු වීමයි. මෙයින් පිළිබිඹු වන්නේ චීන ආර්ථිකයේ අනාගතය පිළිබඳව චීන රජයේ දැක්මයි.

මිනසෝටාහි හැම්ලින් සරසවියෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධියක් ලැබූ යී ඉන් අනතුරුව අර්බානා-චැම්පේන්හි ඉලිනෝයි සරසවියෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක්ද ලබා ගැනීමෙන් පසු ඉන්දියානාපොලිස්හි ඉන්දියානා-පර්ඩියු සරසවියේ (IUPUI) ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙක් හා ආශ්‍රිත මහාචාර්යවරයෙක් ලෙස වසර අටක් කටයුතු කළේය. මේ කාලයේදී ඔහු පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

1994 වසරේදී පීකිං සරසවියේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය ඇරැඹු යී තෙවසරකට පසුව චීන මහජන බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස සේවයට බැඳී පසුව නියෝජ්‍ය අධිපති ධුරය දක්වා උසස්වීම් ලැබීය. 2007 දෙසැම්බරයේ සිට ඔහු චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළේය.

චීන මහජන බැංකුව වෙනත් බොහෝ සංවර්ධිත රටවල මහ බැංකු මෙන් රජයෙන් ස්වාධීන ආයතනයක් නොවේ. ඒ නිසා ඔහුට නිල වශයෙන්ම ජනාධිපති ෂී ජින්පින්ට වාර්තා කරන්නට සිදුවනු ඇත.

යී ගැන්ග්ට අපේ සුබ පැතුම්!


3 comments:

  1. අවුරුදු 10ක් නියෝජ්‍ය අධිපති වෙලා හිටපු කෙනාවනේ අධිපති කරලා තියෙන්නේ. චිනේ ආර්ථිකය ලොකු වෙනසක් වෙයි කියල එකෙන් හිතන්නේ කොහොමද? .. එනිවේ .. සුභ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇනෝ! මෙවැනි පත්වීමක් හේතුවෙන් චීන ආර්ථිකයේ ලොකු වෙනසක් වෙන්න හේතුවක් නැහැ.පසුගිය කාලය තුළ කරගෙන ආ ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කිරීමයි ඔහුගෙන් බලාපොරොත්තු වනවා විය හැක්කේ.

      Delete
  2. Dear Economatta,

    What do you think about so called "Global Financial Crisis 2018 - 2020" as boasted by US media? Is it real or just fake news and anti-Trump political activists? What would be the global impact of that?

    What kind of impacts to be experienced by Sri Lankans as a result of this? Please explain & discuss in another post.

    ReplyDelete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.