Friday, April 7, 2017

2016 ආර්ථික වර්ධනය

පසුගිය 2016 වසර සඳහා වන මහ බැංකු වාර්තාව තවමත් නිකුත් වී නැතත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තු මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව, පසුගිය 2016 වසර තුළ ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 4.4%කින් වර්ධනය වී තිබේ.



ලංකාවට නිදහස් ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දුන් වසර ලෙස සැලකෙන 1977 සිට 5.25%ක පමණ සාමාන්‍ය වර්ධනයක් පෙන්වූ ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය බොහෝ වසර වලදී 5% ඉක්මවන වර්ධනයක් පෙන්වූයේය. ජවිපෙ විසින් ආර්ථික වර්ධනයට තිරිංග දැමූ 1987-89 කාලයේදී හැර, 1977 වසරෙන් පසුව කිසිදු විටෙක ලංකාවේ ආර්ථික වර්ධනය එක දිගට සිවු වසරක් 5% මට්ටමට අඩුවෙන් පැවතුණේ නැත. එහෙත්, පසුගිය 2016 වසරේදී පිටපිටම හතරවන වරටත් ලංකාවේ ආර්ථික වර්ධනය 5% සීමාවට පහළින් නැවතී තිබේ.


පසුගිය වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය මේ මට්ටමට පහත වැටීමට එක් හේතුවක් වී ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකාර්මික අංශය 4.2%කින් හැකිලීමයි. එයට සාපේක්ෂව, කර්මාන්ත අංශය 6.7%කින්ද, සේවා අංශය 4.2%කින්ද වර්ධනය වී තිබේ. 




කෘෂිකාර්මික අංශය තුළ වී නිෂ්පාදනය 31%කින්ද, අනෙකුත් ධාන්‍ය නිෂ්පාදනය 10.5%කින්ද, තේ නිෂ්පාදනය 11.2%කින්ද, රබර් නිෂ්පාදනය 10.7%කින්ද පහත වැටී තිබේ. කෙසේ වුවද, ලංකාවේ ආර්ථිකයෙන් 7.5%ක් පමණක් වන කෘෂිකාර්මික අංශයෙන් සමස්ත ආර්ථික වර්ධනයට සිදුකෙරෙන බලපෑම එතරම්ම විශාල නැත. ලංකාවේ ආර්ථිකයෙන් 57%ක් වන සේවා අංශයට හා 27.1%ක් වන කර්මාන්ත අංශයට අයත් බොහෝ අනු අංශ කිසියම් ප්‍රමාණයකින් වර්ධනය වී ඇති නිසා කෘෂිකාර්මික අංශයේ හැකිලීම හමුවේ වුවද, සමස්තයක් ලෙස ආර්ථිකය 4.4%කින් වර්ධනය වී තිබේ.

10 comments:

  1. 2001 දි පට්ට වර්ධනයක්නේ ලබලා තියෙන්නේ.. ව්‍යවස්ථාව වෙනස් කරළා හරී ආයේ සීට් එක දුන්නත් වටිනවා.. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ 2001 පෙන්වන්නේ ඒයට පෙර වසරේ එනම් 2000 වසරේ ආර්ථික දත්ත කියලා.මොකද අහලා තියෙන විදියට ආර්ථිකය සෘණ මට්ටමට ගියේ චනද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ.2000 තිබ්බ ආණ්ඩුවත් අස්ථාවර එකක් වීම මේකට හේතුවක් වෙන්න ඇති.

      Delete
    2. මෙය වුණේ 2000දී නෙමෙයි 2001දී. ඒ වන විට තිබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව තමයි. නමුත්, 2002දී මේ සංඛ්‍යාලේඛණය ප්‍රසිද්ධ කරන විට ආණ්‌ඩුව වෙනස් වෙලා.

      Delete
  2. සෙන්නා ඔයාගේ වයස කීයද? 2001 කියන්න කොටි කටුනායක ගුවන් තොටුපොළට ගහලා අලිමංකඩ වැටිලා රටම අරාජික වෙච්ච යුගයක්! ඒ හැටියට බලන කොට දැන් යනවා මදි!

    ReplyDelete
  3. මෙයට පිළිතුරු ලියන්න හිටියත් ඇනෝ කලින්ම කමෙන්ට් එකක් දමල තියෙනවා. 2001 වසරේ LTTE සංවිධානය විසින් කටුනායක ගුවන් තොටුපොළට පහර දීමෙන් පසුව ලංකාවේ ආර්ථිකය සෑහෙන කලකට අකර්මන්‍ය වුනා කියන්න පුළුවන්. උතුරේ පැවති තත්ත්වයන් නිසා රජයේ වියදම් වැඩි වීමෙන් රටේ ආර්ථිකයට නරක බලපෑමක් ඇති වුනත් රටේ ආර්ථික මර්මස්ථාන වලට පහර දුන් වසර වලදී සිදු වුනු බලපෑම ඊට වඩා බොහෝ වැඩියි. මහ බැංකු බෝම්බය හා කොළොන්නාව තෙල් සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුවත් ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වුනත් කටුනායක ප්‍රහාරයෙන් පසුව ලංකාවට නැව් හා ගුවන් යානා පැමිණීම විශාල ලෙස සීමා වීම රක්ෂණ ගාස්තු විශාල ලෙස ඉහළ යෑම සංචාරකයින් පැමිණීම විශාල ලෙස අඩුවීම ආදී හේතු ගණනාවක් නිසා නිදහසින් පසු පළමු වරට ලංකාවේ ආර්ථිකය හැකිළුනා.

    ReplyDelete
  4. ඉකොනෝමැට්ටා, රජයේ සේවකින්ට 2017 අලුත් අවුරුදු වැටුප් ගෙවීමටත් රජයේ අනිකුත් අමතර වියදම් සඳහාත් විශාල වශයෙන් අලුතින් සල්ලි අච්චු ගැසීමට ශ්‍රී ලංකා මහ බැංකුව පොලබවා ඇත.

    2017 වසරේ දී ජනවාරි 01 වෙනිදා සිට අප්‍රියෙල් 7 වෙනිදා දක්වා පමණක් රුපියල් බිලියන 304 එනම් මිලියන 304050 ක් අලුතින් සල්ලි මුද්‍රණය කොට ඇත.

    මහා බැංකුවේ 2017.04.07 දින ප්‍රකාශයට පත්කල සතියේ ආර්ථික වාර්තාවේ (Weekly Economic Indicator) සඳහන් වේ, (එම වාර්තාවේ 8 වෙනි පිටුවේ CBSL Treasury Bill Holdings -Face 07.04.2017 ට (Rs.mn) 304.050 සඳහන් කොට ඇත.

    මෙය හම්බන්තොට වරාය චීන සමාගමට විකුණා ලබාගත් ඩොලර් බිලියන 1.1 ක මෙන් දෙගුණයකට ආසන්න ය. මෙතරම් විශාල මුදලක් සල්ලි අලුතින් මුද්‍රණය කිරීම තුලින් තව මාස 6 ක් යනවිට උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යන අතර රුපියල ඩොලරයට සාපේක්ෂව දරුණු කඩා වැටිමකට ලක්විම අනිවාර්ය අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන් පවසා තිබෙනව.

    එමෙන්ම විදේශිකයන් භාණ්ඩාගාර බැදුම්කර තුල කර ඇති සියලු ආයෝජන ඉවත්විමේ අවධානම තවත් ඉහළ යනු ඇත. එමෙන්ම ඉදිරියේදී සියලුම ආනයනය භාණ්ඩ පෙට්‍රල් ඇතුලුව ඉහළ යෑම අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන්ගේ මතය යි. මේ ගැන ඉකොනොමැට්ටාගේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. //මෙතරම් විශාල මුදලක් සල්ලි අලුතින් මුද්‍රණය කිරීම තුලින් තව මාස 6 ක් යනවිට උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යන අතර රුපියල ඩොලරයට සාපේක්ෂව දරුණු කඩා වැටිමකට ලක්විම අනිවාර්ය අනිවාර්ය බව ආර්ථික විශේෂඥයන් පවසා තිබෙනව.//

      මේ කියන්නේ ලංකා සී නිවුස් ආර්ථික විද්‍යාඥයින් ගැන විය යුතුය. මීට සමාන පුවත් එහි කිහිපවරක්ම පළවී තිබෙනු දැකිය හැකි විය. මේ පුවත් වලට වැටෙන කමෙන්ට් වලින් පෙනෙන පරිදි එම අඩවියේ පාඨකයෝ මේවා විශ්වාස කරති.

      //2017 වසරේ දී ජනවාරි 01 වෙනිදා සිට අප්‍රියෙල් 7 වෙනිදා දක්වා පමණක් රුපියල් බිලියන 304 එනම් මිලියන 304050 ක් අලුතින් සල්ලි මුද්‍රණය කොට ඇත.

      මහා බැංකුවේ 2017.04.07 දින ප්‍රකාශයට පත්කල සතියේ ආර්ථික වාර්තාවේ (Weekly Economic Indicator) සඳහන් වේ, (එම වාර්තාවේ 8 වෙනි පිටුවේ CBSL Treasury Bill Holdings -Face 07.04.2017 ට (Rs.mn) 304.050 සඳහන් කොට ඇත.//

      CBSL Treasury Bill Holdings -Face Value (Rs.mn) 304,050 යනු 2017 වසරේ දී ජනවාරි 01 වෙනිදා සිට අප්‍රියෙල් 7 දක්වා අළුතින් මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය නොවේ. අප්‍රේල් 7 දින මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල මුහුණත අගයයි. මේ අගය ජනවාරි 01 දින රුපියල් මිලියන 331,389ක් ලෙස පැවති අතර ඇත්තටම සිදුවී ඇත්තේ ජනවාරි 01 වෙනිදා සිට අප්‍රියෙල් 7 දක්වා රුපියල් මිලියන 27,339කින් අඩු වීමයි. එමෙන්ම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් වලින් පෙන්වන්නේ රටේ මුදල් සැපයුමෙහි එක් සංරචකයක් පමණි. ඒ නිසා ඒ දෙස පමණක් බලා අළුතින් මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය දැනගත නොහැකිය.

      Delete
    2. ස්තූතියි ඉකෝන් පැහැදිලි කිරීමට.

      Delete
  5. කෘෂිකාර්මික අංශයට වඩා වැඩි දායකත්වයක් දැන් සේවා හා කර්මාන්ත අංශ වලින් ලැබෙනවා නම් තවදුරටත් "කෘෂිකාර්මික රටක්" කියලා අපිව හඳුවන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම බැහැ. ලංකාව දැන් කිසිසේත්ම කෘෂිකාර්මික රටක් නෙමෙයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.