Friday, June 23, 2023

2048දී ලංකාව මොන වගේ වෙයිද?


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2048 වන විට ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමේ ඉලක්කයක් වගේ දෙයක් ගැන ටික දවසකට පෙර කියා තිබුණා. මේ ප්‍රකාශය ගැන දෙආකාරයක විවේචන දැකිය හැකි වුනා. සමහර විචේචන චව්චව් වර්ගයේ සෘණාත්මක විවේචන. ඒ අයට අනුව, මේ වැඩේ කීයටවත් වෙන්නේ නැති වැඩක්. ඒ නිසා ඔය සංවර්ධන සිහිනය විහිළු කතාවක්. අනෙක් පැත්තෙන් තවත් සමහර අයට අනුව, ඔය ඉලක්කයට යන්න 2048 වෙනකම් බලා ඉන්න වෙන එක විහිළුවක්. එතෙක් බලා නොඉඳ මේ ඉලක්කයට ඊට කලින් යා යුතුයි. 

සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ලෙස රටවල් බෙදන එක ටිකක් පරණ කතාවක්. ඊටත් කලින් ඌණ සංවර්ධිත රටවල් ලෙස රටවල් නම් කළ කාලයකුත් තිබුණා. සංවර්ධිත රටක් කියන එකට කිට්ටුවෙන්ම යන වර්තමාන අර්ථදැක්වීම විදිහට ලෝක බැංකුවේ ඉහළ ආදායම් රටවල් කියන වර්ග කිරීම සලකන්න පුළුවන්.

ලෝක බැංකුවේ වත්මන් වර්ගීකරණය අනුව ඉහළ ආදායම්ලාභී රටක් සේ සැලකෙන්නේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 13,205 ඉක්මවන රටවල්. මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, 2022දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,474ක්. එහෙමනම්, ඔය ආදායම 2048 වන විට ඇමරිකන් ඩොලර් 13,205 දක්වා වැඩි කරගන්න බැරි වෙයිද? එතෙක් බලා නොසිට, ඊට කලින්ම ඔය ඉලක්කයට යන්න බැරිද?

ඒක පුද්ගල ආදායම 2048 වන විට ඩොලර් 13,205 දක්වා වැඩි කර ගන්නනම් 2023 සිට වසර 26ක් තිස්සේ 5.27%ක සාමාන්‍ය වේගයකින් ඒක පුද්ගල ආදායම වැඩි විය යුතුයි. ඒ කියන්නේ ඊට කලින් ඔය ඉලක්කයට යන්නම් වර්ධන වේගය මීටත් වඩා වැඩි විය යුතුයි. 

මේ වෙද්දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2033 පමණ වන තුරු ලංකාවේ ශක්‍ය ආර්ථික වර්ධන වේගය සේ සලකා තිබෙන්නේ 3.1% මට්ටම. ඔය කාලය තුළ රටේ ජනගහණයද වර්ධනය වන නිසා, ආර්ථිකය 3.1% වේගයෙන් වර්ධනය වුනත් ඒක පුද්ගල ආදායම එම වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඊට අමතරව, මුල් වසර කිහිපයේදී 3.1% ආර්ථික වර්ධන වේගය එන්නෙත් නැහැ. මේ වසරේදී වෙන්නේ ආර්ථිකය හැකිලෙන එක. ඒ නිසා, 2048ට ගොඩක් කලින් ඔය ඉලක්කයට යා හැක්කේ හාන්සි පුටු සැලසුමක පමණයි. 

එක දිගටම 3.1% වේගයෙන් ආර්ථිකය වර්ධනය වුනොත්, ජනගහණය වෙනස් නොවුනත්, ඩොලර් 13,205 ඉලක්කයට යන්න අවුරුදු 44ක් යනවා. ඒ කියන්නේ වැඩේ වෙන්නේ 2066 අවුරුද්දේ. 

ලෝක බැංකු දත්ත අනුව, 2001-2021 අතර ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.91%ක් පමණ වෙනවා. 2001-2021 අතර ජනගහණ වර්ධන වේගය 0.83%ක්. මේ අනුව, ඒක පුද්ගල ආදායමේ සාමාන්‍ය වර්ධනය 4.08%ක්. මේ වේගයෙන් වර්ධනය වුනොත්, ලංකාවට ඉහළ ආදායම් රටක් වෙන්න අවුරුදු 34ක් යනවා. ඒ කියන්නේ ඒ වේගයෙන් ගියත් වැඩේ වෙන්නේ 2056 අවුරුද්දේ. 

මේ අවුරුද්දේ රටේ ආර්ථිකය කොහොමටත් හැකිලෙනවා. තව අවුරුදු හතරක් පහක් යනකම් රටේ ලොකු ආර්ථික වර්ධන වේගයක් ඇති වෙන එකක් නැහැ. නමුත්, ඉදිරි දශක දෙක තුන තුළ ඉන්දියාවේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති වීමට නියමිතයි. මෙම වර්ධන වේගය 6% මට්ටම ඉක්මවන බව පැහැදිලියි. 8% වගේ මට්ටමක් දක්වා වුනත් යන්න පුළුවන්. එහි වාසිය ලංකාවටත් එනවා. 

අනෙක් පැත්තෙන් 2035 පමණ වන විට ලංකාවේ ජනගහන වර්ධනය නැවතී ඇතැම් විට ජනගහණය අඩු වෙන්න පටන් ගන්න වුනත් ඉඩ තිබෙනවා. එහෙම විය හැක්කේ ඇයි කියා මම මේ ලිපියේ විස්තර කරන්න යන්නේ නැහැ. ඒ නිසා, 2030-2035 පමණ වන තුරු ඒක පුද්ගල ආදායම අඩු වේගයකින් වර්ධනය වුවත්, ඉන්පසුව වඩා වැඩි වේගයකින් වර්ධනය කරගෙන  5.27%ක සාමාන්‍ය වර්ධන වේගයක් පවත්වා ගන්න ඉඩක් ලැබෙයි කියා හිතන එක ධනාත්මක අදහසක් වුවත් මනෝරාජික සිතුවිල්ලක් නෙමෙයි. 

No comments:

Post a Comment

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.