Thursday, July 28, 2016

මහ බැංකුව පොලී අනුපාතික ඉහළ දමයි!

අද (ජූලි 28) සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් (0.5% බැගින්) පිළිවෙලින්, 7% සහ 8.5% දක්වා ඉහළ නංවා තිබේ. මේ මඟින් අදහස් කරන්නේ රටේ ණය ඉල්ලුම අඩු කර, භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම අඩු කිරීම මඟින් ඉදිරියේදී ඇති විය හැකි උද්ධමන තර්ජනයට මුහුණ දීමට සූදානම් වීමටය.

නැඟී එන උද්ධමන තර්ජනය මහ බැංකුව විසින් නිවැරදිව හඳුනා ගෙන ඒ සඳහා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයක් ගෙන තිබේ. කෙසේ වුවද, උද්ධමනය තර්ජනයක් බවට පත් වීමට හේතු වූ ප්‍රධාන සාධක වල දිශානතියනම් වෙනස් වන අයුරක් නොපෙනේ.

සැලකිය යුතු ලෙස බදු ඉහළ නැංවීමෙන් පසුවත්, රජයේ ආදායම් හා වියදම් පරතරය දිනෙන් දින ඉහළ යනු මිස අඩු වන බවක් නොපෙනේ. මේ අඩුව පිරවෙන්නේ දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණීම මඟින් ලබා ගන්නා ණය වලිනි. එහෙත්, මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකිණිය හැක්කේ ඒවා සඳහා රට තුළ (හෝ රටින් පිටත) ඉල්ලුමක් ඇත්නම් පමණි. එසේ නොමැති විට, 'කාටවත් ඕනෑ නැති' මේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගන්නට වෙන්නේ රටේ මහ බැංකුවටය. මහ බැංකුවට අළුතින් මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ඇති නිසා රටේ සල්ලි නැතත් මහ බැංකුවේ සල්ලි නැති වෙන්නේ නැත.

පසුගිය 2015 අවසානයේ සිට 2016 මාර්තු අවසානය දක්වා ගත වූ තෙමස තුළ පමණක් රජය විසින් මහ බැංකුවෙන් ලබාගෙන ඇති ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 229.9 සිට රුපියල් බිලියන 406.6 දක්වා රුපියල් බිලියන 176.7 කින් (එනම් 77%කින්) වැඩි වී තිබේ. මෙය ඉතා විශාල වැඩි වීමක් බව නොකිවමනාය. එතැන් සිට ගත වී ඇති සිවුමස තුළ මෙසේ අළුතින් මුද්‍රණය කර රජය හරහා සංසරණයට එකතු වී ඇති මුදල් ප්‍රමාණය තවත් වැඩි වී තිබිය හැකිය.

මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා රජයට තාවකාලිකව ගොඩ යන්නට පුළුවන. එහෙත්, එහි ප්‍රති විපාකය වන්නේ ගොනු පසු පස එන ගැල මෙන් වසරකට හෝ දෙකකට පසුව නැඟ එන උද්ධමනයයි. රටේ නිෂ්පාදනය වැඩි නොවන පසුබිමක, රජය විසින් මහ බැංකුවෙන් ලබා ගන්නා අළුත් මුදල් වියදම් කරන්නට පටන් ගත් විට රටේ ඇති නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයට ඇති ඉල්ලුම වැඩි වී මිල ඉහළ යයි. මෙයින් පීඩාවට පත් වන්නේ රජයට මෙන් මහ බැංකුවේ මුද්‍රණ යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාවක් නොමැති, දුක් මහන්සියෙන් වැඩ කර මුදලක් උපයාගත යුතු රටේ සාමාන්‍ය ජනතාවයි.

උද්ධමනයට මූලික හේතුව රටේ සමස්ත නිෂ්පාදනයට වඩා සමස්ත ඉල්ලුම වැඩි වීම නිසා, නිෂ්පාදනය වැඩි කළ නොහැකි පසුබිමක උද්ධමනය පාලනය කළ හැක්කේ ඉල්ලුම අඩු කිරීමෙනි. රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු කිරීමෙන් සමස්ත ඉල්ලුම අඩු කළ හැකිය. පොලී අනුපාතික ඉහළ දැමූ විට රටේ ජනතාවගේ (සහ සමාගම් වල) ණය ඉල්ලුම අඩු වේ. එවිට, ඔවුන් අත වියදම් කිරීමට ඇති මුදල් සීමා වන නිසා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමද අඩු වේ. එමෙන්ම, තැන්පතු පොලී වැඩි වන විට සාමාන්‍ය ජනතාවගේ බැංකු තැන්පතු වැඩි වන නිසා එයින් සිදුවන්නේද වියදම් කරන මුදල් ප්‍රමාණය අඩු වීමයි.

කෙසේ වුවද, පොලී අනුපාතික ඉහළ දැමූ පමණින් රජයේ වියදම් අඩු වන්නේ නැත. ඒ නිසා භාණ්ඩ හා සේවා සඳහා වන රජයේ ඉල්ලුම අඩු වන්නේද නැත. එක් අතකින්, පොලිය ඉහළ දැමූ විට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර විකුණා ගැනීම පහසු වෙයි. අනෙක් අතින්, තැන්පතු ලෙස බැංකු කරා ඇදෙන මුදල් වලින් සැලකිය යුතු කොටසක් බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන නිසා රජයට දේශීය ණය ලබා ගැනීම පහසු වේ. ඒ නිසා, අවසාන වශයෙන් වෙන්නේ රජයේ වියදම් වෙනුවෙන් රටේ ජනතාවගේ වියදම් සීමා කරන්නට සිදු වීමයි.

රටේ ජනතාවගේ වියදම් අඩු වනු යනු සමාගම් වල ආදායම් අඩු වීමයි. එමෙන්ම, ණය පොලී අනුපාතික ඉහළ ගිය විට රටේ පෞද්ගලික ආයෝජනද අඩු වේ. මෙහි සමස්ත ප්‍රතිපලය වන්නේ ආර්ථික වර්ධනය තවත් සීමා වීමයි. වත්මන් ආර්ථික වර්ධන වේගය ලංකාවේ ආර්ථික වර්ධන
වේගයේ දිගුකාලීන සාමාන්‍යයට වඩා අඩුවෙන් ඇති අවස්ථාවක උද්ධමන තර්ජනයට මුහුණ දීම සඳහා ආර්ථික වර්ධනයට තව දුරටත් බාධා පමුණුවන ක්‍රියා මාර්ගයක් ගැනීමට මහ බැංකුවට සිදු වී තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයකි. මෙයින් පෙනෙන්නේ රටේ වත්මන් ආර්ථික උපාය මාර්ග කෙතරම් දුර්වල හා අවුල් සහගතද යන්නයි. 

මේ සිදුවන්නේ හත් පොළේ ගා ගැනීමක්ද?

(Image: english.readsrilanka.com)

11 comments:

  1. // මෙයින් පෙනෙන්නේ රටේ වත්මන් ආර්ථික උපාය මාර්ග කෙතරම් දුර්වල හා අවුල් සහගතද යන්නයි.

    මේ සිදුවන්නේ හත් පොළේ ගා ගැනීමක්ද? //

    අවුලක් නැහැ...
    මහින්ද මහත්තයා එලවලා මොලයක් පත් කොර ගත්තා නේ!

    ReplyDelete
    Replies
    1. සා රස,

      හුදෙක් දේශපාලකයන් පසුපස යෑමෙන් වැඩක් නැහැ. අප ප්‍රශ්නයට මුහුණදිය යුතුයි. වඩාත්ම සුදුසු විසඳුම කුමක්දැයි තීරණය කොට එය ක්‍රියාත්මක කිරීමට රජයට බල කල යුතුයි. පහසු විසඳුම් නැහැ.

      Delete
    2. සින්ගප්පූරුවේ සහ හොන්කොන් වල දියුනුවට එවකට ආර්තික යෝදයා වූ ඇමෙරිකාව වියට්නාමය සමග සහ කොරියාව සමග කල යුද්ද වල දී අමෙරිකානු බටයන් ට විවේකය සහ සතුට (R and R)ලබාදීමේ අවස්තා ලබාදීම සහ අමෙරිකාවේ මිතුරෙකු ව සිට උදවු කිරීම එම රටවල දියුනුවට අසීමිතව බලපෑවා..... තායිවානය සහ දකුනු කොරියාවත් එවකට ආර්තික යෝදයා වූ අමෙරිකාව සමග දැඩි සම්බන්දතා ඇථි කරගෙන ආර්තික් වාසි ලබාගෙන දියුනු වුනා... රටක භූගෝලීය පිහිටීම එම රටේ වාසියට පාවිච්චි කලේ එහෙමයි!

      වර්තමානයේ ලෝකේ විසාලම සහ මෙතෙක් නොවූ විරූ ආර්තික යෝදයා වන චීනයේ string of pearls නැමති ආරක්ශ්ස්න ප්‍රතිපත්තිය සමග යමින් එයට සක්‍රිය දායකත්වය සපයමින් මහින්ද මාමාත් කොලේ සිරි ලන්කාවේ භූගෝලීය පිහිටීම වාසියකට හරවාගෙන චීන මුදල් ලන්කාවට ලබාගෙන රට දියුනු කිරීමයි....

      ඒ කාලේ ඔනෑම සන්වර්දන වියාපෘතියක් පටන් අරන් පවත්වාගෙන යන්න මහින්ද මාමාට චීනෙන් ලැබුනු ඕපන් චෙක් එක උදවු වුනා...

      යහපාලනේ ගොම්බිජ්ජෝ මේ වර්තමාන ලෝක ආර්තික තත්වයන් වටහා ගත්තේ නැහැ...

      බන්කොලොත් අමෙරිකාවත්, ත්‍රස්තවාදයෙන් දිනපාතා පරිප්පු කන යුරෝපයත් ඊටත් වඩා පසුගාමී ඉන්දියාවත් යහපාලනේට උදවු කොරයි කියා එම අට පාස් ගන් කබරයෝ විස්වාස කොලා...

      දැන් කවුරුත් ලන්කාවට මුදල් දෙන්නේ නැහැ... ලන්කාව ඇථුලේ නිශ්පාදනයකුත් නැහැ...

      චීනය අපේ රටෙන් මිල දී ගත් රබර් සහ මැනික් වැණි කර්මාන්ත දැන් හොම්බෙන් ගිහින්...

      අන්තිමට යහපාලන ගොම්බිජ්ජන්ට යන්තම් හෝ මුදලක් දෙන්නේ කවුද? චීනයඉ! පොර්ට් සිටි තහනම් කල ගොමපාලනේ දැන් ඒක නැවත පටන් අරන්... මත්තල චීනෙට දෙන්න යනවා.... සොරි ඩොට් කොම් තමයි!

      චීනේ තරහ කොරගන්නේ නැථිව මෝඩ දේසපාලනේ නොකර ගොන් පාට් නොදමා හිටියා නම් අදටත් චීන මුදලින් ලන්කා ආර්තිකය අකන්ඩ වර්දනයක් ලබාගන්නවා...

      Delete
    3. සාරස දෙවනුව ලියා ඇති බොහෝ කරුණු වැරදිම නැහැ. ඒ වුනත්, ආණ්ඩු වෙනසක් නොවුනනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක වැරදි අදහසක්. මම හිතන විදිහට ආණ්ඩු වෙනසක් නොවුනානම් මේ කාලය වන විට රට විශාල ආර්ථික අර්බුදයකට යා හැකිව තිබුණා. පසුගිය රජයේ උපාය මාර්ගය වුනේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පෙන්වමින් හා බටහිර විරෝධය ඉස්මතු කර රටේ ජනතාව ඒ නොවැලැක්විය හැකි ආර්ථික අර්බුදයට සූදානම් කිරීමයි. ඒ වගේම එය කල් ගියේ මේ රජය වඩා හොඳින් ආර්ථිකය කළමණා කළ නිසාත් නෙමෙයි. ලිං ගැට්ටේ තිබුණු ආර්ථිකය සම්බාධක උපයෝගී කරගෙන ලිඳට වට්ටවන්න බටහිර රටවලට තිබුණු උවමනාව ආණ්ඩු වෙනස සමඟ නැති වුණු නිසයි. හැබැයි ලිඳට නොවැටුණත් තවමත් ලිං ගැට්ටේ. ඒ නිසා, සමබරතාවය රැකගෙන කාලයක් මෙතනම ඉන්න වගේම කාගේ හරි තල්ලුවකින් හෝ ලොකු හුළං පාරකින් කොයි වෙලේ හරි ලිඳට වැටෙන්නත් ඉඩකඩ තියෙනවා.

      Delete
    4. ඔබ මගේ පිලිතුර හරියට කියවා නැහැ..

      ස ර ස තුමා කොතැනකවත් ආන්ඩු වෙනස් කිරීම ගැණ කතා කර නැහැ... ප්‍රජාතාන්ත්‍රී රටක මිනිසුන් ට ආන්ඩු වෙනස්කිරීමේ ඇයිතිය තිබිය යුතුයි...

      ස ර ස තුමා කියා ඇත්තේ අලුත් ආන්ඩුවේ චීන විරෝදී ගොන් ප්‍රතිපත්ති නිසා චීනයෙන් කෙලවාගෙන රට ම ආර්තික අර්බූදයකට යවා දැන් චෙනයේ තර්ජන වලට බයේ පෝට් සිටි, මත්තල පමනක් නොව් හම්බන්තොටින් අක්කර 15000 ක් ද චීනයට දෙන්නට සිදු වූ බවයි!

      Delete
  2. ඉතාම අගනා විග්‍රහයක් සහ ඉතා පැහැදිලි ලිපියක් (පෝස්ට් එකක් :D). ඉකොනො, ඔබ සිතනා ආකාරයට අප විසින් අනුගමනය කළ යුතු වඩාත්ම උචිත ක්‍රියාමාර්ග/ යෝජනාද ලිපියක් ලෙස පොස්ට් කළ හැකිනම් ඉතා අගෙයි.

    එමෙන්ම රජය ඉන්දියාව සහ යුරෝපය කෙරෙහි මහත් විශ්වාසයක් තබාගෙන සිටින බවක් පෙනේ. ඇත්තටම අපට වේගයෙන් සංවර්ධනය වන ඉන්දියාව ආධාරයෙන් ආර්ථික සංවර්ධනය අත්කරගත හැකි මගක් ඇත්ද? හැකිනම් පෝස්ටුවකින් පැහැදිලි කරන මෙන් ඔබෙන් ඉතාම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

    ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. යුරෝපයෙන් ලංකාවට අනෙත් තරඟකාරී රටවලට නැති වාසියක් ලැබෙන්න හේතුවක් මටනම් පෙනෙන්නේ නැහැ. ඒත් ඉන්දියානු වෙළඳපොළ හා අදාළව විශේෂ වාසි රැසක්ම තිබෙනවා. මෙය පැහැදිලි කර ලියන්න කලක සිටම අවශ්‍ය වුණත් අවශ්‍ය දත්ත හොයාගෙන සකස් කරන එක වෙලාව ගතවන වැඩක් නිසා තවම එය කරන්න බැරි වුණා.

      Delete
  3. රජයේ වියදම් වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් යන්නේ ණය වාරික සහ පොලී ගෙවීමට නේද?

    ReplyDelete
    Replies
    1. වියදම් වලින් නෙමෙයි, රජයේ ආදායමින් 90% පමණ ප්‍රමාණයක් යන්නේ ණය හා වාරික වලට. අළුත් ණය අරගෙන වියදම් කරන නිසා වියදම් ඊට වඩා බොහෝ වැඩියි. වියදම් කරන හැම සතයක් ගැනම හැකි තරම් සැලකිලිමත් විය යුත්තේ ඒ නිසයි.

      Delete
  4. අලේ මල්ලල්ලෑ.. මාත් මේ ණයක් ඉල්ලලා ඉන්නේ.. මෙව්වා දැක්කම බය හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. කමිගේ ණයට සෘජුවම බලපෑමක් ඇති වෙයි.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.