Wednesday, March 30, 2016

එකසිය පණහයි! ලාබයි!!


මහ බැංකු දත්ත අනුව අද (මාර්තු 30) වන විට එක්සත් ජනපද ඩොලරයක විකිණුම් මිල පළමු වරට ශ්‍රී ලංකා රුපියල් 150 මට්ටම ඉක්මවා තිබේ. මේ, ඒ පිළිබඳව කෙරෙන කෙටි විමසුමකි.

ශ්‍රී ලංකාව පාවෙන විණිමය අනුපාතික ක්‍රමය හඳුන්වාදුන්නේ 2001 ජනවාරි මස 23 දිනදීය (මතකයෙන් ලියන දෙයකි). රට මුහුණ දී සිටි ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ ගත් මේ රැඩිකල් තීරණයෙන් ඒ වන විට විදේශ අංශයේ පැවති අසමතුලිතතාව සමනය විය. ඒ වන විට අධිප්‍රමාණය වී පැවති රුපියල පාකළ වහාම එය එහි නියම අගයද ඉක්මවා අවප්‍රමාණය වුවත් දින කිහිපයකින් පසු විණිමය අනුපාතිකය වෙළඳපොළ බලවේග අනුව පැවතිය යුතු මට්ටමට ලඟා වී ස්ථාවර විය. එම වසර අවසානයේදී එක්සත් ජනපද ඩොලරයක (විකිණුම් හා ගැනුම් අනුපාතික අතර) මැදි මිල රුපියල් 93.16ක් විය.

මෙයින් අදහස් වන්නේ ලංකාවේ රුපියල් 93.16ක් වූ භාණ්ඩයක් සඳහා 2001 අවසානයේදී ඇමරිකානුවෙකු ගෙවිය යුතු වූ මිල එක්සත් ජනපද ඩොලර් 1.00ක් බවයි. මෙය '2001 සමතුලිත මිල' ලෙස අපි දැනට සලකමු. මේ මිල යටතේ ඇමරිකානුවන් යම් භාණ්ඩ ප්‍රමාණයක් ලංකාවෙන් ආනයනය කළේය. එමෙන්ම, ඩොලරයකට රුපියල් 93.16 බැගින් වැය කරමින් ශ්‍රී ලාංකිකයෝද කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවෙන් මිලදී ගත්හ. වෙළඳාමට කිසිදු බාධාවක් නොපැවතියත් කිසියම් භාණ්ඩයක ඇමරිකානු හා ශ්‍රී ලාංකික නිෂ්පාදන අතර කිසිදු වෙනසක් නැත්නම් හා එහි මිල ඇමරිකාවේදී ඩොලර් 1.00ක් ලෙසත් ලංකාවේදී රුපියල් 93.16ක් ලෙසත් පවතීනම් එම භාණ්ඩය දෙරට අතර වෙළඳාම් වීමට විශේෂ හේතුවක් නැත. එහෙත්, මිල වෙනසක් ඇත්නම් එවැනි භාණ්ඩයක් එක් රටෙකින් අනෙක් රටට විකිණෙනු ඇත.

2001දී ද.දේ.නි. අවධමනක අනුව ඇමරිකාවේ හා ලංකාවේ උද්ධමන අනුපාතික පිළිවෙලින් 2.3% හා 12.4% විය. මේ අනුව, 2001 අවසාන වන විට ඇමරිකානුවෙකු විසින් වසර මුලදී ඩොලර් 1.00කට මිලදී ගත් භාණ්ඩයක් සඳහා ඩොලර් 1.023ක් ගෙවිය යුතු විය. විණිමය අනුපාතිකය නොවෙනස්ව පැවතියේනම් මේ භාණ්ඩයේ මිල ශ්‍රී ලංකා රුපියල් 95.30ක් වනු ඇත. ඒ අතර රුපියල් 93.16 කට අලෙවි වූ දේශීය භාණ්ඩයක මිල 12.4% කින් වැඩි වී රුපියල් 104.70ක් වනු ඇත. මෙසේ වීනම්, පෙර පැවති මිල සමතුලිතතාවය වෙනස් වීම නිසා ඇමරිකානු භාණ්ඩය ලංකාවේ පාරිභෝගිකයින්ට වඩා ආකර්ශනීය වනු ඇත. එමඟින් ආනයන වැඩි වී අපනයන අඩුවී වෙළඳ හිඟය වර්ධනය වනු ඇත.

කෙසේවුවද, 2001 අවසාන වන විට ඇමරිකන් ඩොලරය රුපියල් 96.73 දක්වා අවප්‍රමාණය විය. ඒ නිසා ඇමරිකාවේදී ඩොලර් 1.023ක මිලකට අලෙවි වූ භාණ්ඩයක මිල රුපියල් වලින් ඇත්තටම 98.95ක් විය. මේ මිල රුපියල් 96.73 තරම්ම ආකර්ශනීය නොවූවත් රුපියල් 104.70ට වඩා ආකර්ශනීය බැවින් ලංකාව තුළ ආනයන තවත් දිරිමත් වන බව සහ අපනයන අධෛර්යමත් වන බව පැහැදිලිය. 2001 පැවති තත්ත්වයට සාපේක්ෂව වෙළඳ ශේෂය මත බලපෑමක් නොවීමටනම් විණිමය අනුපාතිකය රුපියල් 99.59ක් විය යුතුව තිබිණි. ඒ අනුපාතිකය යටතේ, අර ඇමරිකන් භාණ්ඩයේ මිලද රුපියල් 104.70ක් වන නිසා වෙළඳශේෂය මත විශේෂ බලපෑමක් නොවේ. වෙනත් අයුරකින් කිවහොත් 2001 පැවති තත්ත්වයට සාපේක්ෂව ආනයන හෝ අපනයන ප්‍රවර්ධනය වීමක් සිදු නොවේ.

ඉහත විස්තර කළ අයුරින් රටවල් දෙකක් අතර උද්ධමන අනුපාතික අතර වෙනස සමඟ හරියටම සැසඳෙන පරිදි නාමික විණිමය
අනුපාතික වෙනස් වුවහොත් එම රටවල් දෙක අතර වෙළඳශේෂයෙහි අසමතුලිතතාවක් ඇති නොවේ (ආරම්භයේදී එවැනි අසමතුලිතතාවක් නොපැවතියානම්).

ලංකාවේ උද්ධමනය සාමාන්‍යයෙන් ඇමරිකාවේ උද්ධමනයට වඩා වැඩිය. ඒ නිසා ලංකාවේ අපනයන භාණ්ඩ වල තරඟකාරිත්වය පවතින මට්ටමේමවත් පවත්වාගත හැක්කේ මේ උද්ධමන වෙනසට අනුකූලව රුපියල අවප්‍රමාණය වන්නට ඉඩ හැරීමෙනි. කෙසේවුවද, ශ්‍රී ලංකා රුපියල පාකර හැරි අවස්ථාවේ සිට මේ දක්වා එය ඒ ආකාරයෙන්ම සිදුවී නැත.


පහත වගුවේ පෙන්වා ඇති පරිදි, අඩු වශයෙන් 2001 පැවති ක්‍රය ශක්ති සාම්‍ය මට්ටම පවත්වා ගැනීමටනම් 2015 අවසානයේදී ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 213.59ක් වුවත් සැබෑ විණිමය අනුපාතිකය වූයේ රුපියල් 144.06කි. මේ අනුව, 2001 මට්ටමට යන්නටත් රුපියල තවත් 48.2%කින් අවප්‍රමාණය  විය යුතුය.



වෙනත් අයුරකින් කියවනවානම් 2001 අවසානයට සාපේක්ෂව, 2014 අවසානයේදී ආනයනික භාණ්ඩ ලංකාව තුලදී 48.2%කින් මිල අඩු වී ඇති අතර ලංකාවේ අපනයන 48.2%කින් තවමත් මිල වැඩිය. මේ වෙනස 2004දී පැවතියේ 4% මට්ටමේය. එය 2005 වන විට 14% දක්වාත්, 2008 වන විට 42% දක්වාත්, 2010 වන විට 62% දක්වාත් වැඩි විය. 2014 අවසානයේදීත් මේ වෙනස 61% මට්ටමේ පැවතියේය.

මෙවැනි තත්ත්වයක් පවතින විට රටේ ආනයන විශාල ලෙස වැඩිවීමත් අපනයන අඩුවීමත් සිදුවිය යුතුය. එය එසේ සිදුවී ඇති බව සංඛ්‍යාලේඛණ පිරික්සන විට පැහැදිලිව පෙනේ. 2001 වසරේදීද රටේ ආනයන හා අපනයන අතර සැලකියයුතු වෙනසක් තිබුණේය. මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 4.82ක් වෙද්දී මුළු ආනයන වියදම ඩොලර් බිලියන 5.97ක් විය. මේ අනුව, වෙළඳ හිඟය අපනයන ආදායමෙන් 23.9%ක් විය. 2011 වන විට මේ පරතරය 92.0% දක්වා වර්ධනය විය. එම වසරේදී ඩොලර් බිලියන 20.3 දක්වා ආනයන පිරිවැය ඉහළ යද්දී අපනයන ආදායම වූයේ ඩොලර් බිලියන 10.6ක් පමණි. පසුගිය 2015 වසර තුළදීද අපනයන ආදායම වූ ඩොලර් බිලියන 10.5ට වඩා 80.3%ක් වැඩියෙන් ඩොලර් බිලියන 18.9ක් අපනයන වෙනුවෙන් වැය කර තිබේ.


ආනයන ආදායම ඉක්මවමින් අපනයන පිරිවැය මෙසේ ඉහළ යන විට රටකට විදේශ විණිමය හිඟයකට මුහුණදීමට සිදුවන බව ඉතා පැහැදිලි කරුණකි. එය යම් තරමකින් වැලකී ඇත්තේ විදෙස් ශ්‍රමිකයින් විසින් එවන ප්‍රේෂණ නිසාය. එහෙත්, වෙළඳහිඟය සම්පූර්ණයෙන් පියවා ගැනීමට මේ ප්‍රේෂණ ප්‍රමාණවත් නැත. ප්‍රමාණවත් තරමින් ප්‍රාග්ධන ගලා ඒමක්ද සිදුනොවන විට සිදුවන්නේ පාත්තරය ගෙන ලෝ වටා පිණ්ඩපාතේ යාමටය. එහෙත්, බොහෝ විට විදෙස් විණිමය සොයාගත හැක්කේ ණය මිස ආධාර ලෙස නොවේ. ඒවා ඉන්පසු පොලියද සමඟ ගෙවීමට තවත් විදෙස් විණිමය අවශ්‍ය වේ. රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ හැරීම මේ චක්‍රයෙන් ගැලවීම සඳහා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවුවද අනිවාර්ය අවශ්‍යතාවයකි.

ඉන්දියාව සමඟ පෙර අත්සන් කළ ගිවිසුම් වලින් ලැබුණු වාසිය කුමක්දැයි ඇතැම් අය විමසති. එයට පිළිතුරක්ද මෙහි තිබේ. 2001 වසරට සාපේක්ෂව 2010-2014 කාලයේදී ආනයනික භාණ්ඩ 60%කින් පමණ මිල අඩු විය. ඒ අනුව, 2001දී ලංකාවේ අල කිලෝවක් ඉන්දියානු අල කිලෝවක මිලට සමානවීනම් 2010 වන විට දේශීය අල කිලෝවක මිල 60%කින් මිල ඉහළ ගොස් ඇත. ඒ දේශීය ගොවියාගේ අකාර්යක්ෂමතාවයක් හේතුවෙන් නොවේ. රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසාය. ඉන්දු-ලංකා වෙළඳාමෙන් ඉන්දියාවට වැඩි වාසියක් අත්කරගත හැකි වීමට මෙයද ප්‍රධාන හේතුවකි.

මේ අයුරින්ම, තේ, රබර් ආදියට ලැබෙන මිලද 60%කින් අඩු වී ඇත. විණිමය අනුපාතිකය ක්‍රය ශක්ති සාම්යය අනුව 2001 මට්ටමේ පැවතියානම් තේ, රබර් මෙන්ම ඇඟලුම් අපනයනකරුවන් රුපියල් වලින් 60%ක් ඉහළ ආදායමක් ලබන නිසා එම අංශ වල ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වයද වඩා යහපත් විය හැකිව තිබුණි. එමෙන්ම, මැද පෙරදිග ශ්‍රමිකයින් එවන මුදල් වලටද 60%ක් වැඩි රුපියල් වටිනාකමක් ලැබිය හැකිව තිබුණි.

විණිමය අනුපාතිකය අඩුවීමෙන් වාසි සැලසුනේ කාටද? ඉන්ධන හා වාහන මිලගණන් 'සමතුලිත' මිලට වඩා 60%ක් අඩුවිය. එහෙත්, බදු නිසා මේ වාසිය ලැබුණේ රජයට මිස පාරිභෝගිකයින්ට නොවේ. ආනයනික ආහාර ද්‍රවය හා අදාලවනම් රජයට ලැබුණු බදු ආදායමට අමතරව පාරිභෝගිකයින්ටද වාසියක් ලැබෙන්නට ඇත.

රුපියල වැටීම බොහෝ දෙනා දකින්නේ විශාල ප්‍රශ්නයක් ලෙසය. රුපියල අවප්‍රමාණය වීම පසුපස ඇති, රාජ්‍ය අයවැය හිඟය මූලික වූ, දීර්ඝකාලීන ආකෘතිමය ප්‍රශ්න කණස්සල්ලට කරුණක් වුවත් තවමත් සිදුවන්නේ විණිමය අනුපාතිකයේ අත්‍යාවශ්‍ය නිවැරදිවීමකි.


(Image: bizenglish.adaderana.lk)

Monday, March 28, 2016

ආර්ථිකය හොඳ කුමන පක්ෂයේ ජනාධිපතිවරයෙක් යටතේද?

එළැඹෙන නොවැම්බර් මස 8 වෙනි දින ඇමරිකාවේ 58වන ජනාධිපතිවරණය පැවැත්වේ. වත්මන් ජනාධිපති බැරැක් ඔබාමා මේ වන විට දෙවරක්ම ජනාධිපති ලෙස කටයුතු කර ඇති නිසා ඔහුට නැවතත් ජනාධිපති තරඟයට ඉදිරිපත් වීමේ නීතිමය හැකියාවක් නැත. ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙවර තරඟයට හිලරි ක්ලින්ටන් තේරීපත්වීමට බොහෝ දුරට ඉඩතිබේ. ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට වැඩිම ඉඩකඩක් ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ඇති ඇමරිකාවේ වෙනත් තුන්වන පක්ෂයක අපේක්ෂකයෙකු ජයග්‍රහණය කිරීමට ඉඩකඩක් ඇත්තේම නැති තරම්ය.

ඇමරිකාවේ ආර්ථිකයට වඩා හොඳ ඩිමොක්‍රටික් අපේක්ෂකයෙක්ද එසේ නැත්නම් රිපබ්ලිකන් අපේක්ෂකයෙක්ද?

න්‍යායාත්මක පිළිතුර කුමක් වුවද, පසුගිය වසර වල දත්ත පරික්ෂා කළ විටනම් පිළිතුර ඉතා පැහැදිලිය. ජනාධිපති ට්‍රෲමන්ගේ දෙවන ධුර කාලයේ සිට ජනාධිපති ඔබාමාගේ පළමු ධුර කාලය දක්වා වසර 64ක කාලය සැලකූ විට ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ ඉහළ ආර්ථික වර්ධන වේගය කැපී පෙනේ.  ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 4.33% වෙද්දී රිපබ්ලිකන් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 2.54% පමණි. 



ප්රින්සෙන්ටන් සරසවියේ මහාචාර්ය වරුන් වන ඇලන් බ්ලයින්ඩර් සහ මාක් වොට්සන් විසින් ඇමරිකන් ඉකොනොමික් රිවීව් විමර්ශිත ජර්නලයේ අළුත්ම කලාපයේ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවක මේ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් වෙනස්කම් විශ්ලේෂණය කෙරේ. වෙනස 1.79%කි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථිකය යහපත් බව පෙන්වන මෙවැනි එකම දර්ශකය ආර්ථික වර්ධනය පමණක් නොවේ. උද්ධමන අනුපාතය, විරැකියා අනුපාතය, අයවැය හිඟය ඇතුළු වෙනත් බොහෝ දර්ශක අනුවද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ඇමරිකාව සිටින්නේ බොහෝ ඉදිරියෙනි. එමෙන්ම, රිපබ්ලිකන් ධුර කාල වල කොටස් වෙළඳපොල සාමාන්‍ය වර්ධනය 2.70% වෙද්දී ඩිමොක්‍රටික් ධුර කාල වල එම වර්ධනය 8.35% තරම් ඉහළය.

මේ වෙනසට හේතුව ජනාධිපතිවරයා අයත් වන පක්ෂය මිස ඔහුගේ පළපුරුද්ද, සුදුසුකම් වැනි වෙනත් සාධක නොවේ. එමෙන්ම, කොන්ග්‍රසයේ බලය ඇත්තේ කවර පක්ෂය සතුවද යන කරුණද මේ වෙනසට හේතු වී නැත. එසේනම්, ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වන්නේ ආර්ථිකය හොඳ අතට හැරෙන අවස්ථා වලද? වෙනත් අයුරකින් කිවහොත් ආර්ථිකය අයහපත් වර්ධනයන් පෙන්වන විට ඇමරිකානුවන් රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගන්නවාද? 


බ්ලයින්ඩර් සහ වොට්සන් විසින් පෙන්වා දෙන්නේ එය එසේද නොවන බවයි.

ඩිමොක්‍රටික් ජනාධිපතිවරයෙකු යටතේ වැඩිම ආර්ථික වර්ධනයක් සිදුවන්නේ මුල් වසර දෙක තුළදීය. එහෙත්, රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වැඩ අරඹන මුල් වසරේම ආර්ථිකය හොඳටම වැටේ. පහත ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ මේ තත්ත්වයයි.


ආර්ථිකමිතික ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් පර්යේෂකයින් ඉන්පසු විමසන්නේ මේ වෙනස ඇති කරන යාන්ත්‍රණය කුමක්ද යන්නයි. ඒ, මුදල් හෝ රාජ්‍යමූල ප්‍රතිපත්තිනම් නොවේ. ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් ධුරය හොබවද්දී වඩා වාසිදායක දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පැවතී තිබේ. 

ඒ අනුව, මේ පරතරයට බොහෝ දුරට හේතු වී ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා වෙනත් දේශපාලන ප්‍රතිපත්ති හෝ 'වාසනාව'යි. අඩු තෙල්මිල, කොරියන් යුද සමයේ වැඩි වූ යුද වියදම්, තාක්ෂණයේ දියුණුව හේතුවෙන් සිදුවූ ඵලදායිතා වර්ධනයන්, විදෙස් රටවල ආර්ථික වර්ධනය වැනි කරුණු මඟින් මේ පරතරයෙන් 56%ක් විස්තර කරයි. 

කෙසේවුවද, මේ කරුණු වල බලපෑම ඉවත් කළද ඩිමොක්‍රටික් ජනාධිපතිවරුන් යටතේ ආර්ථික වර්ධනයේ වෙනසින් කොටසක් තවදුරටත් ඉතිරි වේ. ඒ සඳහා මුල්වන යාන්ත්‍රණය කුමක්දැයි පැහැදිලි නැත.

Wednesday, March 16, 2016

අනේ මගෙන් බඩුගන්න එපා!




"මාළු මාළු මාළෝ...."

ඒ කෑගහන්නේ මාළු පෙට්ටිය බයිසිකලේ බැඳගෙන ගම වටේ යන ප්‍රනාන්දු නොවේ. බයිසිකලේ පස්සේ දුවන මැගි නෝනාය.

"අනේ ප්‍රනාන්දු, පොඩ්ඩක් ඔහොම නැවතියං බං!"


ප්‍රනාන්දු බයිසිකලේ නැවැත්තුවේය.

"මාළු පන්සීයක් දීල පලයං බං."

"පන්සීයක්ම ඕනැද? ඇයි දෙසිය පනහක් මදිද? දෙසිය පණහක් ගන්නවනං රුපියල් සීයකට දෙන්නං!"

"දෙසිය පනහක් මොනව කරන්නද බං. පන්සීයක්ම දීපං. මේං රුපියල් දෙසීයක් තියෙනව"

"පන්සීයක්ම ගන්නවනං රුපියල් තුන්සීයයි! ඔච්චර මාළු කන එක ඇඟටත් හොඳ නෑ බං!! දෙසිය පනහක් ගන්නවනං අඩුවට දෙන්නං."

"කමක් නෑ, තුන්සීයක් දෙන්නං. පන්සීයක්ම කිරපන්. ශෝක් අළුත් මාළු ටික."

"මොන අලුත්ද බං. දවස් දෙකක් පරණයි."

"දවස් දෙකනේ. ඕක මොකක්ද?"

"ඒ වුනාට හොඳට ෆෝමලිනුත් ගහල තියෙන්නේ. ඕව කාල මොන ලෙඩ හැදෙයිද කියල මංනං දන්නෙ නෑ."

"ඒකට කමක් නෑ, බං! කාලනේ මැරෙන්නේ"

"ඔන්න එහෙනං උඹට ඕනෑමනං පන්සීයක් ගනිං"

"යන්නං මල්ලියෙ එහෙනං. ලබන සතියෙත් මේ පැත්තෙ එනවැයි?"

"ඒක කියන්න බෑ. හිතුනොත් එනව."

"අනේ කොහොම හරි වරෙන් බං. ලබන සතියේ දානෙකට මාළු කිලෝ දෙක තුනක් ඕනෑ කල්ල තියෙනවා."

"කිලෝ දෙක තුනක්? උඹට කිලෝ දෙක තුනක් දුන්නහම මං අනිත් අයට මොනවද දෙන්නේ?"

"එහෙම කියන්න එපා බං. දානෙකටනේ!"

"එච්චර ඕනැනම් දෙන්න වෙන්නේ කිලෝ එක දාහ ගානෙවත් තමයි!"

"කමක් නෑ! ඒ ගානට හරි දීපං මොකෝ අපි වෙන කෙනෙක්ගෙන් මාළු ගන්න කියලයැ?"

***

- තමන් නිපදවන භාණ්ඩය විකිණීමට උත්සාහ කරනවා වෙනුවට එය පරිභෝජනය කිරීමේ අවාසි ගැන කියමින් ඉල්ලුම සීමා කිරීමට මහන්සි වන වෙළෙන්දෙක්
- වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වට්ටමක් දෙනවා වෙනුවට වැඩිපුර අයකරන වෙළෙන්දෙක්

ප්‍රනාන්දු වගේ වෙළෙන්දන් ඇත්තටම ඉන්න පුලුවන්ද? ප්‍රනාන්දුට පිස්සුද?

ලංකා විදුලිබල මණ්ඩලය ඊට වඩා වෙනස්ද?

Friday, March 11, 2016

සංඛ්‍යාලේඛණ බොරුද?

ලෝක බැංකුවට අනුබද්ධ ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මඟින් ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳ සමීක්ෂණයක් 2003 දී හෝ ආසන්න වසරකදී සිදු කළේය. ඒ වන විට ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ මෙවැනි පුළුල් සමීක්ෂණ සිදු කිරීමේ භාවිතාවක් නොවූ බැවින් මෙය ඉතා අභියෝගාත්මක කටයුත්තක් විය. මේ කාණ්ඩයට වැටෙන සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් සම්බන්ධ කරගෙන සිදු කළ පෞද්ගලික සම්මුඛ සාකච්ඡා මඟින් එකතු කරගත් තොරතුරු වල සාරාංශ වාර්තාවක් එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොළඹ ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ කොටසක පැවති සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ වැඩමුළුවට හා ප්‍රවෘත්ති සාකච්ඡාවට මමද සහභාගී වූයෙමි.

මේ වැඩමුළුව අතරතුර එවකට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ලංකාව භාරව සිටි ප්‍රධාන නිලධාරියා විසින් තමන් මේ සමීක්ෂණය සිදු කිරීමේදී මුහුණදුන් අභියෝග විස්තර කළේ මෙසේය.

"ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය වල ලාභදායීත්වය පිරික්සන විට තියෙන ලොකුම බාධාව වන්නේ අපි ඔවුන්ගේ ගිණුම් වල තොරතුරු ලබාගත යුත්තේ කොහෙන්ද කියන එකයි. මේ ව්‍යවසායකයින් සාමාන්‍යයෙන් ගිණුම් කට්ටල් තුනක් පවත්වාගෙන යනවා. එකක් බැංකුවට පෙන්වීමට. ණය ලබා ගැනීම සඳහා තමන්ගේ බැංකුවට ඉදිරිපත් කරන කරන මේ ගිණුම් අනුව පාඩු ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"දෙවැනි කට්ටලය පවත්වාගෙන යන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්වීමටයි. මේ ගිණුම් අනුව බැලුවොත් ලාභ ලබන ව්‍යවසායකයෙක් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...."

"මේ දෙතැනින්ම පහසුවෙන් දත්ත එකතු කරගැනීමේ හැකියාව තියෙද්දී එසේ නොකර මේ ව්‍යවසායකයින්ව පෞද්ගලිකව හමුවී විස්තර ලබාගැනීමේ පිරිවැය අධික, කාලය ගතවෙන, දුෂ්කර කටයුත්තට අපි අත ගැහුවේ තමන්ගේ බිරිඳට පමණක් පෙන්වන, රහසිගතව පවත්වාගෙන යන තුන් වන ගිණුම් කට්ටලය හොයා ගන්නයි"

මේ ප්‍රකාශයේ වැරැද්දක් ඇත්නම් එසේ ඇතැයි මා සිතන්නේ ඔහු කී බිරිඳට පෙන්වන කතාවේ පමණි. කිසියම් ක්‍රමවේදයක අවිනිශ්චිතතා ඇති විට ඒ අවිනිශ්චිතතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට මිනිස්සු පෙළඹෙති.

ඉහත සිදුවීමෙන් වසර පහකට පසු, සති ගණනාවක් පුරා පැවති ජාත්‍යන්තර වැඩමුළුවකදී අප්‍රිකානු රටවල් ගණනාවක මුදල් අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව මට ලැබුණේය. එහිදී මා දැනගත්, මා විමතියට පත් කළ කරුණක් වූයේ බොහෝ අප්‍රිකානු රටවල ජාතික ගිණුම් හා අදාළවද මෙවැන්නක් සිදුවන බවයි. ඒ අනුව, එක් ගිණුම් කට්ටලයක් පිළියෙළ වන්නේ රටේ ජනතාවට හා මාධ්‍යයට පෙන්වීමටය. දෙවැන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි අඩු ආදායම් රටවලට ණය හා ආධාර ලබාදෙන ජාත්‍යන්තර ආයතන වලට පෙන්වීම සඳහාය. තුන්වැන්නක් ගැන එහිදී කතාබහක් සිදු නොවූවත්, ඇතැම් විට අභ්‍යන්තර තීරණ ගැනීමේදී එවැන්නක්ද ප්‍රයෝජනයට ගන්නවා විය හැකිය.

ඉහත කතාබහ විසින් මා විමතියට පත් කළේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හෝ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේතුව විසින් සංඛ්‍යාලේඛණ  සකස් කිරීමේදී මෙවැන්නක් කිසිවිට නොකරන බැවිනි. තවමත්, මේ සංඛ්‍යාලේඛණ පිළියෙළ වන ක්‍රමවේදයේ විශාල ගැටළුකාරී තත්ත්වයන් නැත. එමෙන්ම, රටේ දේශපාලන අධිකාරියට මෙවැනි කටයුතු වලට අතපෙවීමට ඇත්තේ ඉතාම සීමිත, දුරස්ථ හා වක්‍ර හැකියාවක් පමණි.

කෙසේවුවද, ලංකාවේ ආර්ථිකය හා අදාළ සංඛ්‍යාලේඛණ පිළිබඳව බොහෝ දෙනා තුළ යම් අවිශ්වාසයන් පවතී. එයට ප්‍රධානම හේතුව පොතේ ඇති දේ අතේ නැති බව නිතර දකින්නට ලැබීමයි. අප්‍රිකානු රටවල සිදුවන බව මා කී දේවල් ලංකාවේ සිදුනොවුනද මහජනතාව තුළ සංඛ්‍යාලේඛණ පිළිබඳව ඇති අවිශ්වාසය පදනම් විරහිත එකක් නොවේ. එයට හේතුව  සංඛ්‍යාලේඛණ බොරු නොවූවත් මහජනතාවට පෙනෙන්නට සංඛ්‍යාලේඛණ වලින් 'සෙල්ලම් දැමීමට' පුළුවන් කමක් තිබීමයි.

නිවැරදි සංඛ්‍යාලේඛණ වෙනස් ප්‍රවේශ වලින් ඉදිරිපත් කිරීම මෙසේ සෙල්ලම් දැමිය හැකි සරලම ක්‍රමයයි. "මේ වසරේ 6%ක ඉතා හොඳ ආර්ථික වර්ධනයක් ලබාගත හැකිවනු ඇත." කියූ විට සම්ප්‍රේෂණය කෙරෙන අදහස හා "මේ වසරේ ආර්ථික වර්ධනය 6% මට්ටමට කඩා වැටෙන ලකුණු දැන්මම පෙනෙන්නට තිබේ." කියන විට බොහෝ දෙනෙකුට දැනෙන දෙය එකම නොවේ. එහෙත්, විමසිල්ලෙන් කියවන්නේනම් මෙවැනි තොරතුරක ඇති මූලික කරුණ උකහා ගැනීම අමාරු දෙයක් නොවේ.

ඊළඟ මට්ටමේදී සිදුවන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමට උදවු වන සංඛ්‍යාලේඛණ පමණක් තෝරා බේරා ඉදිරිපත් කිරීමයි. ආර්ථික වර්ධනය මෙන්ම උද්ධමනයත් වැඩි වන විට අයෙක් උද්ධමනය ගැන කතා නොකර ආර්ථික වර්ධනය ගැන ලොකුවට කතා කරද්දී තවත් අයෙක් එහි අනෙත් පැත්ත කරයි.

සංඛ්‍යාලේඛණ සමඟ බොහෝ විට දමන මෙවැනි සරල හා සිල්ලර සෙල්ලම් වලට අමතරව වඩා සංකීර්ණ තාක්ෂණික සෙල්ලම් දමන්නටත් පුළුවන. එසේ කළ විට සිදුවී ඇත්තේ කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නොතේරේ.


2004-2014 කාලය තුළ ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2,139.5 සිට 7,390.9 දක්වා වැඩි වූ බව කෙනෙකු කියද්දී වෙනත් අයෙකුට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය මේ කාලය තුළ 102.3 සිට 75.5 දක්වා අඩු වූ බව කියන්නට පුළුවන. මේ දෙදෙනාම කියන්නේ බොරු නොවේ. එකම දෙය දෙයාකාරයකට කියූ විට වෙනස් අරුත් මතුවේ.

ගිණුම්කරණ ක්‍රමවේදයේ ඇති අවිනිශ්චිතතාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් අවස්ථාවල යම් සමාගමක් කිසියම් කාලයක් තුළ ලාභ ලැබූ හෝ පාඩු ලැබූ බව පෙන්වීමේ හැකියාවක් තිබේ. මෙය ලංකාවේ පමණක් සිදුවන දෙයක් නොවේ. කොයි රටේත් සිදුවන්නකි. එහෙත්, මෙසේ යම් සමාගමක ගිණුමක්  'තාක්ෂණිකව නිවැරදිව' ලාභ ලබන බව පෙන්වූ පමණින් ඒ සමාගමේ 'අතේ ඇති ලාභ' වෙනස් වන්නේ හෝ බංකොලොත් වීමට නියමිතනම් එය සිදු නොවන්නේ නැත. ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගිණුම්කරණ ලාභ හා ආර්ථික ලාභ නිවැරදිව වෙන්කොට හඳුනාගත යුත්තේ එබැවිනි.

කෙසේවුවද, ගණකාධිකාරී වරුන් පුහුණුවක් ලබා ඇත්තේ ඔවුන් දන්නා තාක්ෂනික උපක්‍රම උපයෝගී කරගෙන සිය සේවාදායකයාට අවශ්‍ය පරිදි ලාභය අඩුවෙන් හෝ වැඩියෙන් පෙන්වීමටය. දක්ෂ ගණකාධිකාරීවරයෙකුට මේ කාර්යය වඩා හොඳින් කළ හැකිය.

වෘත්තීය ගණකාධිකාරීවරයෙකු රටක මහ බැංකුවේ ප්‍රධානියා හෝ මුදල් ඇමතිවරයා වූ විට එවැන්නෙකු තමන් ලබා ඇති පුහුණුව අනුව, තමන්ට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ යුතු හොඳම දෙය කිරීමට උත්සාහ ගැනීම තේරුම් ගැනීමට අපහසු නැත.


(Image: http://38north.org/2012/07/rfrank071612/)

Saturday, March 5, 2016

ආනයනෙට කොහේදෝ බාධා නැත්තේ...





පළමු කොටස 

දෙවන කොටස  


පසුගිය ලිපි දෙකෙන් විස්තර කළ පරිදි රටවල් දෙකක් අතර නිදහස් වෙළඳාමකින් දෙරටටම වාසි සැලසේ. එහි පදනම තුලනාත්මක වාසියයි. කිසියම් රටකට කිසිදු භාණ්ඩයක් සම්බන්ධව පරිපූර්ණ වාසියක් නැත්තේ වුවද තුලනාත්මක වාසි අනිවාර්යයෙන්ම තිබේ.

අපි දැන් අපේ පළමු ආකෘතියට ආපසු යමු. එම ආකෘතිය අනුව, අල්ලංකාව සහ ගලවංකාව අතර වෙළඳාම ඇරඹීමට පෙර ඒ එක් එක් රට තුළ මාළු මිල (අල වලට සාපේක්ෂව) මෙසේ විය.

අල්ලංකාව: මාළු කිලෝඑක අල කිලෝ 0.333යි.
ගලවංකාව: මාළු කිලෝඑක අල කිලෝ 3යි.

මේ අනුව, මාළු කිලෝඑක අල කිලෝ 0.333කට වැඩි හා කිලෝ 3කට අඩු ඕනෑම පදනමකින් රටවල් අතර සාර්ථක වෙළඳාමක් සිදුවිය හැකිය. කෙසේවුවද, විවිධ බාධාවන් නිසා මෙය මේ අයුරින්ම සිදු නොවීමට ඉඩ තිබේ. මේ ඇතැම් බාධා ස්වභාවික බාධාවන්ය. තවත් ඒවා කෘතීම බාධාවන්ය.

මේ අතරින් පළමුවැන්න ප්‍රවාහන වියදමයි. මෙය පැහැදිලි කිරීමට පළමුව මම මුදල් ඒකක දෙකක්ද හඳුන්වා දෙමි. අල්ලංකාවේ මුදල් අලර් වන අතර ගලවංකාවේ මුදල් ගලර් නම් වේ. අල්ලංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම අලර් එකකි. ගලවංකාවේ වැසියෙකුගේ දිනක ශ්‍රමයේ වටිනාකම ගලර් එකකි. නාමික විනිමය අනුපාතිකය අලර් එකකට ගලර් එකකි. 

එක් එක් රටේ මිල ගණන් මෙසේය.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.

ප්‍රවාහන වියදම් නොමැතිනම් අල්ලංකාවෙන් ආනයනය කරන මාළු වල මිල ගලවංකාවේදී ගලර් 0.333ක් වනු ඇත. එමෙන්ම, ගලවංකාවෙන් ආනයනය කරන අල වල මිල අල්ලංකාවේදී අලර් 0.333ක් වනු ඇත.

රටකින් තවත් රටකට භාණ්ඩ ප්‍රවාහනයේදී වියදමක් දැරීමට සිදුවේ. අපනයනය කරන භාණ්ඩයක් වෙනත් රටක විකුණන විට මේ ප්‍රවාහන වියදමද ආවරණය කර ගැනීමට සිදුවේ. ඉහත උදාහරණදී අල හෝ මාළු කිලෝවක් අනිත් රටට ප්‍රවාහනය කිරීමට යන වියදම අලර් (හෝ ගලර්) 0.667කට වඩා වැඩිනම් දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ. ප්‍රවාහන වියදම් ඊට වඩා අඩුනම් වෙළඳාම සිදුවේ.

එමෙන්ම, මේ භාණ්ඩ කල් තබා ගත හැකි, නරක් නොවන භාණ්ඩද විය යුතුය. ප්‍රවාහනය කිරීමට ගතවන කාලය තුළ මාළු නරක් වෙනවානම් එවැනි භාණ්ඩයක් අපනයනය කිරීම අපහසු කරුණකි. යම් හෙයකින් අපනයනය කරන්නේනම් ප්‍රවාහනය කරන කාලය තුළ මාළු නරක් වීමේ අවදානම නිසා වන පාඩුවද විකිණුම් මිලට එකතු කිරීමට හැකි වන තරමේ මිල වෙනසක් පැවතිය යුතුය.

මෙවැනි ස්වභාවික බාධා නිසා යම් රටක නිපදවන සෑම භාණ්ඩයක්ම අපයනය කිරීමක් සිදු නොවේ.  කෙසේවුවද, තාක්ෂණයේ දියුණුව සමඟ ප්‍රවාහනයට ගතවන කාලය අඩුවීම හා ප්‍රවාහන වියදම් අඩුවීමත්, කල්තබා ගතහැකි ක්‍රම සහ ඇසුරුම් ක්‍රම දියුණු වීමත් සිදුවන විට මේ ස්වභාවික බාධා වල බලපෑම අඩුවේ.

මෙවැනි ස්වභාවික බාධක වලට අමතරව ජාත්‍යන්තර වෙළඳාමට කෘතීම බාධකද තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රචලිත බාධකය ආනයන හා අපනයන බදුය.

ආනයන හා අපනයන බදු පැනවීම මඟින් යම් රටක රජයකට ආදායමක් ලැබිය හැකිය. කෙසේවුවද, එමඟින් සිදුවන්නේ සමස්තයක් ලෙස වැඩි දෙනෙකුට යහපතක් සැලසෙන ගනුදෙනුවක් කෘතීම ලෙස වලක්වනු ලැබීමයි. උදාහරණයක් ලෙස පහත තත්ත්වය සලකමු.

අල්ලංකාව: මාළු කිලෝඑක අලර් 0.333කි. අල කිලෝ එක අලර් 1.000 කි.
ගලවංකාව: මාළු කිලෝඑක ගලර් 1.000කි. අල කිලෝ එක ගලර් 0.333කි.
නාමික විනිමය අනුපාතිකය: අලර් එකකට ගලර් එකකි. 
ප්‍රවාහන, ඇසුරුම් හා කල්තබාගැනීම සඳහා වන වියදම් සහ ව්‍යවසායකයාගේ ශ්‍රමයේ වටිනාකම: මාළු කිලෝඑකක් සඳහා අලර් 0.167කි. අල කිලෝඑකක් සඳහා ගලර් 0.067කි. 

දැන් අල්ලංකාවේ මාළු නිෂ්පාදකයෙකුට ගලවංකාවට මාළු ප්‍රවාහනය කර එහි පාරිභෝගිකයෙකුට ගලර් 0.500 කට මාළු විකිණිය හැකිය. ඉන්පසු, ඒ මුදලින් අල කිලෝ 1.5ක් මිල දී ගත හැකිය. ඒ අල අල්ලංකාවට ප්‍රවාහනය කර කිලෝව අලර් 0.400 බැගින් විකිණිය හැකිය.

මේ තත්ත්වයෙන් ප්‍රයෝජනයක් ගන්නට සිතන අල්ලංකාවේ රජයට අල සඳහා ආනයන බද්දක් පැනවිය හැකිය. මෙය අල කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවේ අල කිලෝවක් විකිණෙන්නේ අලර් 0.600කටය. ගලවංකාවේ නිෂ්පාදකයින්ට කිසිදු පාඩුවක් වී නැත. එහෙත්, අල්ලංකාවේ රජය ආදායමක් ලබයි. කලින් දේශීය අල කිලෝ එක අලර් 1.000කට මිලදී ගත් ලංකාවේ පාරිභෝගිකයින්ටද ආනයනික අල කිලෝව අලර් 0.600කට මිල දී ගැනීමට හැකි වීම වාසියකි. කෙසේවුවද, මෙහිදී අල්ලංකාවේ රජය විසින් නැති කර ඇත්තේ තම රටේ පාරිභෝගිකයින්ට ලබා ගත හැකිව තිබුණු වාසියකින් කොටසකි. එසේ එකතු කර ගන්නා බදුමුදල් නැවත රටේ යහපත වෙනුවෙන්ම යොදවනවානම් මේ බද්දට අල්ලංකාවේ ජනතාව විරුද්ධ නොවන්නට පුළුවන.

එමෙන්ම අල්ලංකාවේ රජයට මාළු සඳහා අපනයන බද්දක් පැනවීමටද පුළුවන. මෙය මාළු කිලෝවකට අලර් 0.200 යැයි සලකමු. දැන් අල්ලංකාවෙන් අපනයනය කරන මාළු ගලවංකාවේ විකිණෙන්නේ ගලර් 0.700 කටය. මේ මිල ගලවංකාවේ දේශීය මාළු මිල වූ ගලර් 1.000ට වඩා තවදුරටත් අඩු නිසා මේ මිලට එහි මාළු විකිණීම ප්‍රශ්නයක් නොවේ. දැන් අල්ලංකාවේ රජයට අපනයන බදු වලින් ආදායමක් ලැබෙන නමුත් අල්ලංකාවේ කිසිවෙකුට එයින් අවාසියක් සිදුවී නැත. අවාසිය ඇත්තේ ගලවංකාවේ පාරිභෝගිකයින්ටය. වැඩේ නරක නැත!

ප්‍රශ්නය තියෙන්නේ  අල්ලංකාවේ රජය මෙසේ බදු පනවන විට ගලවංකාවේ රජයද එකට එක කිරීමයි. අන්තිමේදී දෙරටේම මාළු හා අල කිලෝවක මිල අලර් (හෝ ගලර්) 1.000ක් වන තුරු, එනම් තවදුරටත් බදු ඉහළ නැංවීමෙන් ලාභයක් නැති වන තුරු, රජයයන් දෙකම බදු ඉහළ නංවනු ඇත. අන්තිමට දෙරටින් එක් රටකටවත් විශේෂ වාසියක් නැත. 

ඉහත ආකාරයෙන් දෙරටක් 'තරඟයට' ආනයන අපනයන බාධක දැමීමෙන් දෙරටේම පාරිභෝගිකයින් ගෙවන මිල අන්තිමේදී වැඩි වේ. මේ වැඩි මිලේ වාසිය යන්නේ ඒ රටවල රජයන්ටය. තමන්ගේ රටේ වැසියන්ට හැකි තරම් අඩුවෙන් අවාසියක් වන පරිදි ආනයන අපනයන බදු පැනවීමට දෙරටම උත්සාහ කළත් අවසානයේ සිදුවන්නේ එක් රටකටවත් එවැනි විශේෂ වාසියක් නැති වී අකාර්යක්ෂමතාවයන් වැඩිවීම පමණි. එහෙත්, මෙවැනි තත්ත්වයක් ඇති වූ විට එය වෙනස් කිරීම පහසු නැත. එක් රටක් ඒක පාර්ශ්වීය ලෙස බදු ඉවත් කළ විට ඒ වාසිය අනිත් රටට ලබා ගැනීමට පුළුවන. එය සිදු නොවන පරිදි, දෙරටම එක් වර මෙවැනි බාධක ඉවත් කිරීම ප්‍රායෝගිකව සිදු වන්නේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් මඟිනි.