ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වියදම් දිහා බැලුවොත් ප්‍රධානම වියදම් අයිතමයන් දෙකක් වන්නේ සමාජ සංරක්ෂණ හා සෞඛ්‍ය වියදම්. මේ වියදම් වලින් අදහස් වෙන්නේ කුමක්ද? මේ වියදම් ආවරණය වෙන්නේ කොහොමද?
ලංකාවේ ගොඩක් අය දිගින් දිගටම ආණ්ඩුවේ රස්සා වලට ආකර්ෂණය වෙන්න ප්‍රධානම හේතුවක් වුණේ විශ්‍රාම වැටුපයි. පෞද්ගලික අංශයේ රැකියාවකින් වැඩි ආදායමක් ලැබිය හැකි වුවත්, විශ්‍රාම ගියාට පස්සේ ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය ගොඩක් අයගේ හිතට වද දෙන ප්‍රශ්නයක්.
ආදායම් උපයන කාලයේ අනාගතය ගැන හිතා විශ්‍රාමික දිවිය වෙනුවෙන් සල්ලි ඉතිරි කළ යුතුයි කියලා කියන්න පහසු වුනත් ප්‍රායෝගිකව ගොඩක් අය අතින් ඔය වැඩේ කෙරෙන්නේ නැහැ. මේක ලංකාවට පමණක් සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි.
මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල පිහිටුවා තිබුණත් එම අරමුදල් වල ඉතිරි කිරීම් විශ්‍රාම ගිය පසු එක වර ආපසු ලැබෙන නිසා විශ්‍රාම වැටුපකින් සිදු වන දේ වෙන්නේ නැහැ.
ලංකාවේ සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට අනුරූපව ඇමරිකාවේ තිබෙන්නේ සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය. මේ වෙනුවෙන් ආදායම් උපයන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම දායක මුදල් ගෙවිය යුතුයි. ඒ වෙනුවෙන් විශ්‍රාම යාමෙන් පසුව මිය යන තුරුම විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. මිය ගිය පසුවද යැපෙන්නන්ට මාසිකව මුදලක් ලැබෙනවා. විශ්‍රාම යාමට පෙර ආබාධිත තත්ත්වයට පත් වුවහොත් අදාළ විශ්‍රාම වැටුප කලින්ම ලැබෙනවා.
මේ ක්‍රමය සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල මෙන් ආයෝජන ක්‍රමයක් නෙමෙයි. ඒ කියන්නේ එකතු කරගත් මුදල හා එම මුදල ආයෝජනය කර ලැබුණු පොලිය එලෙසම ආපසු ලැබෙන ක්‍රමයක් නෙමෙයි. මෙහිදීද ලැබෙන මුදල ගෙවා ඇති මුදල මත තීරණය වන නමුත් විශ්‍රාම වයස වැනි වෙනත් සාධක මත මාසිකව ලබාගත හැකි විශ්‍රාම වැටුප් මුදල වෙනස් වෙනවා. ඒ වගේම, විශ්‍රාම යාමට පෙර ආබාධිත වූ අවස්ථාවකදී මෙය රක්ෂණ ක්‍රමයක් සේ ක්‍රියා කරනවා.
ඇමරිකාවේ ආදායම් උපයන්නෙකු සමාජ සංරක්ෂණ බදු මුදල ලෙස, උපරිමයකට යටත්ව, ආදායමෙන් 12.6%ක් අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. මෙයින් 10.4%ක් විශ්‍රාම වැටුප් අරමුදලට යනවා. ඉතිරි 1.8% ආබාධිත රක්ෂණ අරමුදලට යනවා. වැටුප් ලබන රැකියා කරන අයගේ වැටුපෙන් 6.2%ක් මේ වෙනුවෙන් වැටුපෙන් කපා ගන්නවා. ඉතිරි 6.2% අදාළ සමාගම විසින් ගෙවනවා. ස්වයං රැකියාවක් කරන්නෙකුනම් 12.4%ම අතින් ගෙවිය යුතුයි. වැටුප් ලබන්නෙකු වුවද වෙනත් ආදායම් උපයන්නේනම් ඒ කොටස වෙනුවෙන් 12.4%ක් වෙනම ගෙවිය යුතුයි.
සමාජ සංරක්ෂණ බදු අය කිරීමේදී අවම ආදායම් සීමාවක් නැහැ. එක් ඩොලරයක් උපයන අයෙකු වුවත් අදාළ බදු මුදල ගෙවිය යුතුයි. එහෙත්, උපරිම සීමාවක් තිබෙනවා. මෙම (2023) වසරේදීනම් මෙම උපරිම මුදල ඩොලර් 160,200ක්. ඊට වඩා වැඩි ආදායමක් ලබන අය එම වැඩි කොටස වෙනුවෙන් බදු ගෙවිය යුතු නැහැ.
මෙම විශ්‍රාම වැටුප ඕනෑම ඇමරිකානුවෙකුට නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අවම වශයෙන් වසර 10ක කාලයක් ප්‍රමාණවත් ආදායම් උපයන රැකියා කර තිබිය යුතුයි. ආදායම ප්‍රමාණවත් නැත්නම් මෙම කාලය වඩා වැඩි කාලයක් විය හැකියි. හරියටම කියනවානම් විශ්‍රාම වැටුපට හිමිකම් කීමට ලකුණු 40ක් ලබා ගත යුතුයි. උපයන ආදායම අනුව, වසරකට උපරිම වශයෙන් ලකුණු 4ක් ලබා ගත හැකියි. මෙම වසරේ මේ ලකුණු ලැබෙන්නේ මේ විදිහටයි.
ඩොලර් 1,640ක් හෝ වැඩි මුදලක් - ලකුණු 1යි
ඩොලර් 3,280ක් හෝ වැඩි මුදලක් - ලකුණු 2යි
ඩොලර් 4,920ක් හෝ වැඩි මුදලක් - ලකුණු 3යි
ඩොලර් 6,560ක් හෝ වැඩි මුදලක් - ලකුණු 4යි
මේ අනුව, එක් ලකුණක් හෝ ලැබෙන්නේ ඉහත අවම ආදායම උපයා ඇත්නම් පමණයි. වසර පුරා එක දිගට පූර්ණකාලීන රැකියාවක් කරන අයෙකුටනම් ලකුණු හතරක් එකතු කර ගැනීම අපහසු දෙයක් නෙමෙයි. තාවකාලික හෝ අර්ධකාලීන රැකියාවකින් අවශ්‍ය ආදායම නොලැබෙන්න පුළුවන්. ලකුණු නොලැබුණත් සමාජ සංරක්ෂණ බදු කැපෙනවා.
කලින් කී පරිදී විශ්‍රාම වැටුපට හිමිකම් කීම සඳහා ලකුණු 40ක් එකතු කරගත යුතුයි. එසේ නැත්නම්, කිසිවක්ම ලැබෙන්නේ නැහැ. ආබාධිත රක්ෂණ හිමිකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය වයස අනුව වෙනස් වෙනවා. එහෙත් අවම ලකුණු ප්‍රමාණයක් තිබෙනවා. වයස ගොඩක් අඩුනම් අවශ්‍ය ලකුණු ප්‍රමාණය අඩුයි. වයස 24ට අඩු අයෙක්ට ලකුණු 6ක් ප්‍රමාණවත්. වයස 31ක් වන විට මෙම අවශ්‍ය අවම ලකුණු ප්‍රමාණය 20ක් වෙනවා. ඔය විදිහට 40 දක්වා ඉහළ යනවා.
සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් ලබාගත හැකි මුල්ම වයස අවුරුදු 62. පහු වී විශ්‍රාම ගන්නා තරමට ලැබෙන මාසික මුදල ඉහළ යනවා. විශ්‍රාම වැටුප තීරණය වන්නේ ඊට පෙර වසර 45 තුළ ඉපැයූ ආදායම මතයි. මේ සඳහා එම වසර 45න් අඩුම ආදායම් ලැබූ වසර 10 ඉවත් කර ඉතිරි වසර 35හි සාමාන්‍ය අගය ගණනය කරනවා. වසර 35ක්ම ආදායම් උපයා නැත්නම් ආදායම් නැති වසර වල ආදායම 0 සේ සලකන නිසා සාමාන්‍ය අගය අඩු වෙනවා.
ඉහත සාමාන්‍ය ආදායම (වක්‍ර ලෙස ගෙවා ඇති බදු මුදල) ගණනය කිරීමෙන් පසුව මාසික විශ්‍රාම වැටුප් මුදල තීරණය කරන්නේ විශ්‍රාම ගන්නා කවර හෝ වයසේ ඇමරිකානුවෙකුගේ අපේක්ෂිත සාමාන්‍ය ජීවිත කාලය මත පදනම්වයි. විශ්‍රාම ගන්නේ වසර 66දීනම්, වසර 66ක අයෙකු මිය යාමට ඉඩ තිබෙන වසර අනුව විශ්‍රාම වැටුප් ගෙවිය යුතු කාලය තීරණය වෙනවා. ඒ අනුව ගෙවන මුදල තීරණය වෙනවා. 1960න් පසු ඉපදුනු අයගේ සාමාන්‍ය විශ්‍රාම වයස සේ සලකන්නේ අවුරුදු 67. එම වයසේ විශ්‍රාම යාමට සාපේක්ෂව වයස 62දී විශ්‍රාම යාමට තීරණය කළහොත් ලැබෙන්නේ 30%කින් පමණ අඩු මුදලක්. වයස 62-67 අතර උපයන ආදායම් නිසා සාමාන්‍ය ආදායමද ඉහළ යන බැවින් වෙනස මීට වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. විශ්‍රාම යාම කල් දැම්මොත් වයස 70 වන තුරු ලැබෙන මුදල 8% බැගින් වැඩි වෙනවා. ඊට අමතරව, ඒ කාලයේත් පූර්ණකාලීනව වැඩ කලොත් සාමාන්‍ය ආදායම ඉහළ යා හැකියි.
ඇමරිකාවේ සෞඛ්‍ය පහසුකම් රජයෙන් නොමිලේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා, සෞඛ්‍ය වියදම් අවදානම වෙනුවෙන් වෛද්‍ය රක්ෂණයක් මිල දී ගත යුතුයි. රැකියා කරන බොහොමයක් ඇමරිකානුවන් මෙම වෛද්‍ය රක්ෂණය ලබා ගන්නේ සේවය කරන ආයතනය හරහා. එහිදී අදාළ ආයතනය විසින් වියදමෙන් කොටසක් සුබසාධනය කරනවා. විශ්‍රාම ගිය පසු මේ සහනය නැති වන නිසා බොහෝ දෙනෙකුට සෞඛ්‍ය වියදම් ප්‍රශ්නයක් වීමේ අවදානමක් තිබෙනවා. මේ හේතුව නිසා, වයස අවුරුදු 65 ඉක්මවූ අයට ඇමරිකාවේ ෆෙඩරල් රජයෙන් සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.
සමාජ සංරක්ෂණ බද්දට අමතරව ඉහත කී විශ්‍රාමික වෛද්‍ය රක්ෂණය වෙනුවෙන්ද ආදායමෙන් 2.9%ක බද්දක් ගෙවිය යුතුයි. එයින් 1.45%ක් වැටුපෙන් කැපෙනවා. පෙර මෙන්ම, ස්වයං රැකියා කරන්නන් විසින් 2.9%ම ගෙවිය යුතුයි. ආදායම ඩොලර් 200,000 ඉක්මවන්නේනම් මෙම බද්ද 0.9% දක්වා අඩු වෙනවා. මෙම විශ්‍රාමික වෛද්‍ය රක්ෂණය නොමිලයේ ලබා ගැනීම සඳහාද ඉහත විස්තර කළ පරිදි අවම ලකුණු 40ක් ලබා ගත යුතුයි. එසේ නැත්නම්, ඒ වෙනුවෙන් වාරික මුදලක් ගෙවන්නට සිදු වෙනවා.
ඇමරිකාවේ ආදායම් ලබන්නන් විසින් සමාජ සංරක්ෂණ බදු සහ වෛද්‍ය රක්ෂණ බදු ගෙවිය යුත්තේ ෆෙඩරල්, ප්‍රාන්ත හා ප්‍රාදේශීය බදු ගණනාවකට අමතරවයි. ආදායම් මට්ටම අනුව, ආදායම් බදු නොගෙවිය යුතු අයට පවා මෙම බදු දෙවර්ගය ගෙවන්නට සිදු වෙනවා.
ඇමරිකන් රජයේ ආදායමෙන් ආදායම් බදු වලින් පසුව වැඩිම කොටස එකතු වන්නේ ඉහත කී සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් හා ආබාධිත රක්ෂණ වෙනුවෙන් අය කරන බදු හා වෛද්‍ය රක්ෂණ බදු වලින්. මෙම බදු ධනවතුන් විසින් නොගෙවිය යුතු හෝ අඩුවෙන් ගෙවිය යුතු "දුප්පතුන් විසින් ගෙවිය යුතු බදු" කියා කියන්න පුළුවන්. ධනවතුන්ට විශ්‍රාමික දිවියේ වියදම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ.
මෙසේ එකතු වන මුදල් අදාළ අරමුදල් වලට යොදවනු මිස වෙනත් කටයුතු වෙනුවෙන් වැය කරන්න බැහැ. මේ අරමුදල් වලට එකතු වන මුදල් අවශ්‍ය වියදම් වෙනුවෙන් වැය කිරීමෙන් පසුව ඉතිරි වන කොටස ආයෝජනය කරනු ලබනවා. මේ අනුව, අලුතෙන් එකතු වන බදු ආදායම් වලට අමතරව ආයෝජන ආදායමක්ද ලැබෙනවා. ඇමරිකන් රජය විසින් එකතු කර ගන්නා වෙනත් බදු බොහොමයක්ද මේ අයුරින් නිශ්චිත අරමුදලකට යනවා. එම මුදල් අභිමතය පරිදි වියදම් කරන්න බැහැ.
මේ ආකාරයේ රජයේම අරමුදල් වල තිබෙන මුදල් වලින් සැලකිය යුතු කොටසක් ආයෝජනය කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් වලයි. ඒ නිසා, එම ඉතිරි කිරීම් ඇමරිකන් ෆෙඩරල් රජයේ ණය ලෙස වාර්තා වෙනවා. එහෙත්, රජයට ණය දී තිබෙන්නේ රජයේම ආයතනයක් විසින්.
ඉහත පොදු විශ්‍රාම වැටුප් ක්‍රමයට අමතරව ඇමරිකාවේ ෆෙඩරල් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් තිබෙනවා. මෙහි කටයුතු සිදු වන්නේද ඉහත ආකාරයටමයි. අදාළ දායක මුදල් මාසිකව මේ වෙනුවෙන් පවත්වා ගෙන යන අරමුදලට බැර කෙරෙනවා. අනාගතයේදී විශ්‍රාම වැටුප් ගෙවන්නේ එම අරමුදලෙන්. මේ සල්ලිත් නැවත ආයෝජනය කර තිබෙන්නේ රාජ්‍ය සුරැකුම්පත් වලයි. අනාගත රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය මුදල් කලින්ම වෙන් කර අවසන් නිසා ඇමරිකානු ෆෙඩරල් රජයට මේ වෙනුවෙන් එදිනෙදා සල්ලි හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අර්ථයෙන් බැලුවොත් ඉදිරි වසර ගණනක් ලංකාව විසින් ගෙවිය යුතු රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කියා කියන්නේ දිගුකාලීන බැඳුම්කරයකට සමාන, රජයේ දේශීය ණය වලට එකතු විය යුතු කොටසක්.
අවසාන වශයෙන් කතාව සාරාංශගත කළොත් ඇමරිකාවේ ෆෙඩරල් රජයේ වියදම් වලින් විශාලම කොටසක් යන්නේ සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප්, ආබාධිත විශ්‍රාම වැටුප්, විශ්‍රාමික වෛද්‍ය රක්ෂණ හා රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් සඳහා. හැබැයි මේ විදිහට ආපසු ගෙවන්නේ වැඩ කරන කාලයේදී ඒ අදාළ අයගෙන්ම එකතු කර ගන්නා මුදල්. එහෙම නැතුව වැඩ නොකර නිකම් ඉඳලා මේ ප්‍රතිලාභ ගන්න බැහැ. ඇමරිකාවට එන සංක්‍රමණිකයෙකුට, අඩුම වශයෙන් වසර දහයක් වැඩ කරන තුරු, මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. රජය විසින් කරන්නේ තමන්ගේ විශ්‍රාමික දිවියේ ප්‍රශ්න තමන්ටම විසඳාගන්න උපකාරී වෙමින් අදාළ රක්ෂණ ක්‍රම සඳහා පහසුකම් සැලසීමක්.