Monday, October 10, 2016

දිගුකාලීන ආයෝජනයක් වන පෙර පාසැල් අධ්‍යාපනය

ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම දරුවන්ට පාසැල් අධ්‍යාපනය නොමිලයේ ලබා ගැනීමේ අවස්ථාව ඇතත් පෙර පාසැල් අධ්‍යාපනය සම්බන්ධව එවැනි නිශ්චිත ප්‍රතිපත්තියක් නැත. කෙසේවුවද බොහෝ ප්‍රදේශ වල අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් 'හෙඩ් ස්ටාර්ට්' නම් වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

පෙර පාසැල් අධ්‍යාපනයේ වටිනාකම පෙන්වා දෙනු ලැබූ ඉතා වැදගත් පර්යේෂණ අධ්‍යයනයක් වූයේ 1962-67 අතර සිදු කෙරුණු 'පෙරී පෙරපාසැල් ව්‍යාපෘතියයි'. මේ අධ්‍යයනයේ ප්‍රතිඵල වලින් 'හෙඩ් ස්ටාර්ට්' වැඩ සටහනට සැලකිය යුතු බරක් වැටුණේය.

මෙහිදී මිචිගන් ප්‍රාන්තයේ ඉප්සිලාන්ටි ප්‍රදේශයේ වාසය කළ, පාසැල් හැර යාමේ අවදානම ඉතා ඉහළ මට්ටමක වූ, අප්‍රිකානු ඇමරිකන් දරුවන්ගෙන් වයස 3-4 පිරිසක් තෝරා ගෙන ඔවුන්ගෙන් අහඹු ලෙස තෝරාගත් අඩකට නොමිලේ පෙර පාසැල් අධ්‍යාපනය ලබා දෙනු ලැබීය. පර්යේෂණයේ අරමුණ වූයේ පෙර පාසැල් අධ්‍යාපනය ලැබූ කණ්ඩායමේත්, එසේ නොලැබූ කණ්ඩායමේත් පසුකාලීන කාර්ය සාධන ප්‍රතිඵල සසඳා බැලීමයි.

පාසැල් අධ්‍යාපනය ඇරඹීමෙන් පසු පෙර පාසැල් පුහුණුව ලැබූවන් ඉදිරියෙන් සිටීම ඉතා පැහැදිලි කරුණකි. ඒ නිසා, නිවැරදි සැසඳීමක් කළ හැක්කේ පාසැල් අධ්‍යාපනය නිමකර කලකට පසුවය. ඒ අනුව, මේ කණ්ඩායම් දෙකෙහි වයස අවරුදු 27ක් වන විට සිදුකළ එවැනි සැසඳීමකින් පෙනී ගියේ පෙරපාසැල් අධ්‍යාපනය සඳහා කරන ආයෝජනයන්හි සමාජ ප්‍රතිලාභ ඉතා විශාල බවයි. 




-පෙර පාසැල් ගිය සිසුන් පාසැල් හැර ගියේ අඩුවෙනි. ඔවුන් වසර 11.9ක් පාසැල් යද්දී අනෙක් කණ්ඩායම පාසැල් ගියේ වසර 11ක් පමණි.

-ඔවුන්ගෙන් 65%ක් 12 වසරක අධ්‍යාපනය (ලංකාවේ උසස්පෙළ මට්ටම) සාර්ථකව අවසන් කළ අතර අනෙක් කණ්ඩායමේ එය කළේ 45%ක් පමණි.

-ඔවුන්ගේ 43%ක් විවාහ වී දරුවන් හදද්දී අනෙක් කණ්ඩායමේ එසේ කළේ 17%ක් පමණි. ඉතිරි අය දරුවන් බිහි කළේ අවිවාහකවය.

-ඔවුන්ගේ අඩුවයස් දරු උපත් ප්‍රතිශතය අඩකින් අඩු විය.

මේ කණ්ඩායම් වල වයස අවුරුදු 40 වෙද්දී නැවතත් මෙවැනි සැසඳීමක් සිදු කෙරුණේය. පහත ඇත්තේ ඒ වන විට තත්ත්වයයි.

-ඔවුන්ගෙන් වරක් හෝ බන්ධනාගාරගතව සිටියේ සැලකිය යුතු අඩු ප්‍රමාණයකි.

-කණ්ඩායමේ මධ්‍යස්ථ ආදායම අනෙක් කණ්ඩායමට වඩා 42%කින් වැඩි විය.

-රජයෙන් සහනාධාර ගැනීම 26%කින් අඩුවිය. 


 

මෙවැනි වාසි තිබුණද වඩා වැදගත් වන්නේ ඒ වාසි වැයකළ මුදලට වඩා වැඩිද යන්නයි. මේ ගැන සිදුකළ අධ්‍යයන අනුව පෙනී ගියේ වැය කළ සෑම ඩොලරයකටම ඩොලර් 12.60ක ප්‍රතිලාභ ලැබී ඇති බවයි.

මේ සම්පූර්ණ ප්‍රතිලාභ නොවේ. වයස 40 වන විට ලැබී ඇති ප්‍රතිලාභයි. එමෙන්ම, මේ ගණනය කිරීම් කර ඇත්තේ උද්ධමනය හේතුවෙන් සිදුවන මුදලේ අගය පිරිහීම සඳහා ගැලපීමක් කරමිනි.

වැඩිම වාසියක් ලැබී තිබුණේ අපරාධ මර්දනය සඳහා යන වියදම් ඉතිරි වීමෙනි. සුබසාධන වියදම් ඉතිරි වීම, අධ්‍යාපන වියදම් අඩුවීම මෙන්ම බදු ආදායම ඉහළ යාමද මේ ප්‍රතිලාභ අතර වේ. 

 

(Images: http://www.highscope.org/content.asp?contentid=219)

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක මැකුවේ අපරාදේ. එය තියන්නයි තිබුණේ. ඔබ අසා ඇති පරිදි මේ ප්‍රදේශය සමාජ ආර්ථික අතින් ඉතා පසුගාමී ප්‍රදේශයක්. ඒ නිසා මෙයින් පෙන්වන්නේ එවැනි පසුබිමක දරුවන්ට පෙර පාසැල් අධ්‍යාපනය ලබා දීමේ ආර්ථික හා සමාජ වාසියයි. වඩා හොඳ පසුබිමක අය පෙර පාසැල් අධ්‍යාපනය කොහොමටත් ලබා දෙන්න ඉඩ තියෙන නිසා එවැනි කණ්ඩායම් හා අදාළව මෙවැනි අධ්‍යයනයක් කිරීම අපහසුයි.

      Delete
  2. පෙර පාසල් අධ්‍යාපනය ලංකාවේ අනිවර්ය කරලා නැහැනේ.සමහර දෙමව්පියන් ඉන්නවා පෙර පාසල් නොයවා දරුවාව කෙලින්ම පාසලේ එක ශ්‍රේණියටම ඇතුලත් කරන.විධිමත් පෙර පාසල් අධ්‍යාපනයක් ලංකාවේ දරුවන්ට ලැබෙනවාද මන්දා.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස දරුවන්ට වෙනස් ලෙස සැලකීම ඇරඹෙන්නේ පාසැල් යන්නත් පෙර කියන එකයි. නිදහස් අධ්‍යාපනය කියා කිවුවට දරුවන් පෙරපාසැල් යවන්න හැකියාව තියෙන්නේ කිසියම් ආදායම් මට්ටමක් ඇති අයට පමණයි. මේ අය පාසැල් අධ්‍යාපනය පටන් ගන්නෙම අනෙක් අයට වඩා පියවරක් ඉදිරියෙන්. ඉන්පසුව ලංකාවේ ගුරුවරු කරන්නෙත් ඉගෙනගන්න දක්ෂ අය මුල් කරගත් අධ්‍යාපනයක්. මා මගේ පෞද්ගලික තොරතුරු ටිකක් ලිවුවෙත් (http://economatta.blogspot.com/2016/10/blog-post.html) මෙය පැහැදිලි කරන්නයි. මා පෙර පාසැල් නොගියත් මගේ සමීප ඥාතීන්ගේ උදවු නිසා මම පළමු ශ්‍රේණියට යන විට කිසියම් මට්ටමක හිටියා. මම හිතන්නේ ඒ හේතුව නිසා මට පාසැලේදී වැඩි අවස්ථා ලැබුණා කියලා. මෙසේ මුලින්ම ලැබෙන ගැම්මක දිගුකාලීන බලපෑමක් තියෙනවා. අධ්‍යාපනය සඳහා කරන ආයෝජන වල ප්‍රතිලාභ වඩා වැඩි වන්නේ එය හැකිතාක් අඩු වයසකදී කළ විටයි.

      Delete
  3. මහින්ද මහත්තයා පෙර පාසල් ගුරුවරියන් ට දුන් රුපියල් 2500 මාසික දීමනාව යහපාලන ගොබ්බයෝ රුපියල් 250 දක්වා අඩු කොලෙමි!

    ReplyDelete
    Replies
    1. පෙර පාසැල් ගුරුවරියන් ගැන මහින්ද මහත්තයා දන්න දේවල් අනිත් අය දන්නේ නැති නිසා වෙන්න ඇති.

      Delete

ඔබේ අදහස් අගය කරමි. එහෙත්, ඔබට කියන්නට විශේෂ යමක් නැත්නම් ප්‍රතිචාරයක් දැක්වීම හෝ නොදැක්වීම බරක් කරගත යුතු නැත. සියළුම ප්‍රතිචාර ඉකොනොමැට්ටා විසින් කියවීම සහ සැලකිල්ලට ගනු ලැබීම සිදුවිය හැකි වුවත් ඒවාට හැම විටම ප්‍රති-ප්‍රතිචාර දැක්වීම සහතික කළ නොහැක. එහෙත්, ඉඩ ඇති පරිදි ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කෙරෙනු ඇත. ඇතැම් විට, මේ සඳහා දින ගණනාවක් ගතවිය හැකිය. මාතෘකාවට අදාළ නොමැති, තෙවන පාර්ශ්වයන්ට අනවශ්‍ය සිත්රිදීම් ඇතිකරවන ප්‍රතිචාර පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම, මෙම වියුණුව ඉකොනොමැට්ටාගේ බොජුන්හලෙන් බාහිරව අරඹන්නේ කිහිප දෙනෙකුගේම පෞද්ගලික ඉල්ලීම්ද අනුව නිසා දෙමවුපියෙකු විසින් සිය දරුවෙකුට මේ වියුණුව හඳුන්වාදීම අසීරු කරවන මට්ටමේ ප්‍රතිචාරද පළ නොකරන්නේනම් මැනවි. මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන එවැනි ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.