Sunday, September 25, 2016

ඇමරිකාවේ වෛද්‍යවරු

ඇමරිකාවේ සමාගම් වල ප්‍රධාන විධායක නිලධාරීන් විශාල වැටුපක් ලබාගන්නා බව බොහෝ දෙනෙකු දන්නා දෙයකි. එහෙත්, ඇමරිකාවේ වැඩිම වැටුපක් ලබාගත හැකි තනතුර ප්‍රධාන විධායක නිලධාරී තනතුර නොවේ. වසරකට පෙර සිදු කළ සමීක්ෂණයකට අනුව මේ තනතුරට වැඩිම වැටුප් ලැබෙන තනතුරු අතරින් හිමි වුණේ දහවන තැනයි. පළමු ස්ථාන නවයම හිමි වුණේ විවිධ වෛද්‍ය වෘත්තිකයින්ටය.

පහතින් ඇත්තේ මෑතකදී (2015 නොවැම්බර් හා 2016 පෙබරවාරි අතර කාලය තුළ) වෛද්‍ය වෘත්තිකයින් 19,183 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයක් අනුව, එක් එක් අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් උපයන වාර්ෂික ආදායමයි.





Monday, September 19, 2016

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද?

ඉල්ලුම් සැපයුම් බලවේග නිදහසේ තුලනය වන වෙළඳපොළක් නොවන ලංකාවේ වෛද්‍යවරුන් සඳහා වන වෙළඳපොළ කිහිප අයුරකින්ම නියාමනයට ලක්වන්නකි. පළමුව වෛද්‍ය අධ්‍යාපනයේ මිල සුබසාධනය කිරීම හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම වැඩි කර තිබේ. දෙවනුව, එහිම ප්‍රමාණය සීමා කිරීම මඟින් ඉල්ලුම හා සැපයුම අතර විශාල පරතරයක් ඇති කර තිබේ. තෙවනුව, වෛද්‍යවරුන්ට රැකියා සැපයීම කෙරෙහි ඇති රාජ්‍ය ඒකාධිකාරය උපයෝගී කර ගනිමින් රටේ වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය හා ඔවුන්ට ගෙවන මිල පාලනය කර තිබේ. මේ අතර, දැනට රාජ්‍ය සේවයේ රැකියා කරන වෛද්‍ය වෘත්තිකයෝ කාටලයක් ලෙස ක්‍රියා කරමින් මෙසේ රජය විසින් පවත්වාගෙන යනු ලබන මිල හා ප්‍රමාණ රෙගුලාසිකරණයට බලපෑම් කරති. කෙසේ වුවද, ඔවුහු මේ වෙළඳපොළේ ඇති රාජ්‍ය ඒකාධිකාරය බිඳීමට උත්සාහ නොකරති. මෙවැනි අච්චාරුවක් වී ඇති වෙළඳපොලක පවතින සමතුලිතතාවය විශ්ලේෂණය කිරීම තරමක් සංකීර්ණ වැඩකි.

ලංකාවට වෛද්‍යවරු ප්‍රමාණවත්ද යන ප්‍රශ්නයට ඇත්තේ සාපේක්ෂ පිළිතුරකි. උදාහරණයක් ලෙස, ලෙඩ වීම දෙවියන්ගේ කැමැත්ත නිසා හෝ කර්මය නිසා වන බවත්, ප්‍රතිකාර ගැනීම යනු ඒ බලවේග වලට විරුද්ධ වීමක් බවත් සමාජයේ හැම දෙනාම සිතනවානම් රටකට වෛද්‍යවරු අවශ්‍යම නැත. එහෙත්, ලෝකයේ වැඩි දෙනෙකු එසේ නොසිතති. ඒ නිසා ලෝකයේ හැම රටකම වෛද්‍යවරුන් සඳහා කිසියම් ඉල්ලුමක් ඇත. ලංකාවේ ප්‍රමාණවත් තරමට වෛද්‍යවරු සිටිනවාද යන්න විමසීමේදී කිසියම් අයෙකුට ආනුභාවික දත්ත ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍යනම් කළ යුතු හොඳම දෙය වෙනත් රටවල හා කලාප වල පවතින තත්ත්වය සමඟ සැසඳීමයි.

පහතින් ඇත්තේ එවැනි අවශ්‍යතාවයක් ඇති අයෙකුට මූලාශ්‍ර කර ගත හැකි සංසන්දනාත්මක ලෝක බැංකු දත්ත අනුව එක් එක් තෝරාගත් රටේ හෝ කලාපයේ ජනගහණයෙන් දස ලක්ෂයකට සිටින වෛද්‍යවරු ගණනයි. වරහන් තුල ඇත්තේ වඩාත්ම යාවත්කාලීන දත්තය හා අදාළ වසරයි. තෝරාගත් රටවල් අතර නිදහස් සෞඛ්‍ය පහසුකම සියල්ලන්ටම ඇති හා නැති සංවර්ධිත රටවල්, පැරණි හා වත්මන් සමාජවාදී රටවල්, මුස්ලිම් රටවල්, කලාපීය රටවල් හා අඩු ආදායම් රටවල් ඇතුළත්ය.

ශ්‍රී ලංකාව -  680 (2010)
ඉන්දියාව - 743 (2011)
පකිස්තානය - 827 (2010)
මාල දිවයින - 1,415 (2010)
දකුණු ආසියාව - 675 (2011)
පහළ මැදි ආදායම් රටවල් - 754 (2011)
ලෝකය - 1,539 (2011)

චීනය - 1,940 (2012)
කියුබාව - 6,723 (2010)
රුසියාව - 4,309 (2010)
යුක්‍රේනය - 3,543 (2013)

ඇමරිකා එක්සත් ජනපදය - 2,452 (2011)
කැනඩාව - 2,068 (2010)
එක්සත් රාජධානිය - 2,809 (2013)
ජපානය - 2,297 (2010)
ඕස්ට්‍රේලියාව - 3,273 (2011)
ස්වීඩනය - 3,926 (2011)
සිංගප්පූරුව - 1,950 (2013)

සවුදි අරාබිය - 2,491 (2012)
කටාර් - 7,739 (2010)

උගන්ඩාව - 117 (2011)
සිම්බාබ්වේ -  83 (2011)

කිසියම් කර්මාන්තයක සුපිරි ලාභ ලැබීමේ ඉඩකඩක් පවතීනම් එයින් අදහස් වන්නේ එම කර්මාන්තයේ සැපයුම් හිඟයක් පවතින බවයි. යම් කර්මාන්තයක් කෙරෙහි අළුත් ව්‍යවසායකයන් විශාල ලෙස ආකර්ෂණය වන්නේනම් එයින් පෙන්නුම් කරන්නේ එම කර්මාන්තයේ සුපිරි ලාභ ඇති බවයි. ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට ඇති විශාල තරඟය අමතක කළත්, මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගෙන මෙම කර්මාන්තයට පිවිසීමට ඇති විශාල ඉල්ලුමෙන් පෙනෙන්නේ මෙම කර්මාන්තයෙහි ආයෝජනයට හා අවදානමට සරිලන නිසි ලාභ ඉක්මවන සුපිරි ලාභ ඇති බවයි.


(Image: okpolicy.org)

Wednesday, September 14, 2016

ඩයලොග් සමාගමත් යන්නද යන්නේ?


පහතින් තියෙන්නේ අද දින ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පළ කර ඇති ප්‍රවෘත්තියකි.

"ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකතන හිමි සමාගම වන ඩයලොග් ඇක්ශිටා සමාගම තම ශ්‍රීලංකා ඩයලොග් සමාගමේ අයිතිය අතහැර නේපාලය තුල ආයෝජනනය කිරීම ආරම්භ කර ඇත.

අසියාවේ ප්‍රධානතම දුරකතන ක්‍රියාකාර සමාගමක් වන මැලේසියා ඩයලොග් ඇක්ශිටා සමාගම ඉන්දීයවා පකිස්තානය බoගලිදේශය ශ්‍රීලංකාව ඇතුළු රටවල් 10ක පමණ ඉතා සාර්තථකව තම වියාපාර කටයුතු කරගෙන යන අතර එම සමාගම මේ වන විට නේපාලය තුල පවත්වාගෙන යන ප්‍රධානතම ජංගම දුරකතන සමාගමක් වන නේපාල නේසෙල් පුද්ගලික සමාගම මිලදීගෙන ඇත.

ඒ අනුව දැනට 85% හිමිකාරිත්වය ඇති ශ්‍රීලංකාවේ ඩයලොග් සමාගම තම අයිතිය අඩුකිරීම සඳහා එහි කොටස් අලෙවි කිරීමට මැලේසියානු ඩයලොග් ඇක්ශිටා සමාගම තීරණය කොට ඇත.

ශ්‍රීලංකාවේ ජංගම දුරකතන පාරිභෝගිකයන්ට නව තාක්ෂණයමෙන්ම විශිෂ්ට සේවාවක් සපයමින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කල ඩයලොග් සමාගමේ මෙම තීරණය නිසා රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට මෙම සමාගමේ තීරණය බලපෑම් කිරීමට අවකාශ ඇත."


මේ ප්‍රවෘත්තිය කියවූ විට පාඨකයෙකුට ඇති වන අදහස එම ප්‍රවෘත්තිය සඳහා පාදක කරගෙන ඇති මුල් පුවත කියවූ විට ඇති වන අදහසම නොවේ. මේ ලිපියෙන් මතුවන්නේ ඇක්ශිටා සමාගම තුළ ලංකාව කෙරෙහි ඇතිවී ඇති සෘණාත්මක ආකල්පයකි. එහෙත්, මුල් පුවත අනුව එය එවැන්නක් නොවේ.

ඕනෑම ආයෝජකයෙකු සිය ප්‍රාග්ධනය ප්‍රශස්ත ලෙස ආයෝජනය කිරීමේදී අපේක්ෂා කරන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න ප්‍රතිලාභ අනුපාතිකය වැඩි කර ගැනීමයි. දෙවැන්න අවදානම අඩු කර ගැනීමයි. මේ අරමුණු දෙක බොහෝ විට එකිනෙක ගැටෙන නිසා ඒ දෙක අතර කිසියම් සමතුලිතතාවයක් පවත්වා ගත යුතුය. අවදානම අඩු කර ගන්නා ප්‍රධාන ක්‍රමයක් වන්නේ ආයෝජන විවිධාංගීකරණය කිරීමයි.

තමන් සතු බිත්තර සියල්ල එකම කූඩයේ දැමීම හොඳ තීරණයක් නොවේ. යම් හෙයකින් කූඩය බිම වැටුණොත් බිත්තර කිසිවක් ඉතිරි නොවේ. මැලේසියානු සමාගමක් වන ඇක්ශියාටා සමාගම ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් මිලදී ගෙන ඇත්තේද මෙසේ සිය ආයෝජන විවිධාංගීකරණය කිරීමේ අරමුණිනි.

ඇක්ශියාටා මවු සමාගමට මැලේසියාවේ සෙල්කොම් සමාගමේ මුළු කොටස් අයිතියට අමතරව, ඉන්දුනීසියාවේ ඇක්ශියාටා සමාගමේ 66.4%ක කොටස් අයිතියක්ද, ලංකාවේ ඩයලොග් සමාගමේ 83.3%ක කොටස් අයිතියක්ද, බංග්ලාදේශයේ රෝබි සමාගමේ 91.6%ක කොටස් අයිතියක්ද, කාම්බෝජයේ ස්මාර්ට් ඇක්ශියාටා සමාගමේ 95.3%ක කොටස් හිමිකම්ද, නේපාලයේ එන්සෙල් සමාගමේ 80.0%ක කොටසක් හිම්කම්ද, පකිස්ථානයේ මල්ටිනෙට් සමාගමේ 89.0%ක කොටස් හිමිකාරිත්වය ඇතුළු ආසියාවේ ජංගම දුරකථන සමාගම් රැසක කොටස් අයිතිය හිමිය. මේ අතරින් නේපාලයේ එන්සෙල් සමාගමේ කොටස් මිලදී ගැනීම සිදු වුනේ මේ වසරේදීය.

කෙසේ වුවද, පසුගිය කාලය තුළ ඇක්ශියාටා සමාගමේ ණය බර සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බැවින් ඉන්දුනීසියාවේ, ලංකාවේ හා කාම්බෝජයේ සමාගම් වල ඇක්ශියාටා මවු සමාගමට අයත් කොටස් වලින් යම් ප්‍රමාණයක් විකුණන්නට සූදානම් වන බවට ආරංචි පැතිර ගොස් තිබේ. මේ අනුව, ඉන්දුනීසියාවේ ඇක්ශියාටා සමාගමේ කොටස් අයිතිය 55.4% දක්වාත්, ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් අයිතිය 53.3% දක්වාත්, කාම්බෝජයේ ස්මාර්ට් ඇක්ශියාටා සමාගමේ කොටස් අයිතිය 65.3% දක්වාත් අඩු කරන්නට අපේක්ෂා කරන බව කියැවේ.

වැදගත් කරුණනම් ඇක්ශියාටා
සමාගම මේ සමාගම් එකකවත් කොටස් හිමිකම 50% මට්ටමට වඩා අඩු කිරීමට නොසිතන බවයි. වෙනත් අයුරකින් කිවහොත් ඔවුන් එම සමාගම් වල කළමණාකාරීත්වය ගිලිහෙන්නට ඉඩ හරින්නට සූදානම් නැත.

මේ පුවත ඇත්තක්නම් බොහෝ විට ඇක්ශියාටා මවු සමාගම විසින් ලංකාවේ ඩයලොග් සමාගමේ කොටස් වලින් 30%ක් මිල දී ගැනීමට කැමති දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු සොයාගෙන පෞද්ගලික ගණුදෙනුවක් ලෙස මේ කොටස් හුවමාරුව සිදු කිරීමට ඉඩ තිබේ. එම කොටස් මිල දී ගන්නේ දේශීය ආයෝජකයෙකුනම් කිසියම් ප්‍රමාණයක ප්‍රාග්ධනයක් රටින් පිටවනු ඇත. ඇතැම් විට ඩයලොග් සමාගමේ කොටස් මිල කෙටිකාලීනව තරමක් පහත වැටෙන්නටත් පුළුවන. ඒ හැරුණු විට 'රටතුල තිබෙන තරගකාරීත්වය බොහෝ දුරට අහිමිවීමට' හෝ වෙනත් ලොකු අහිතකර බලපෑමක් ඇති වීමට ඉඩක් නැත.


(Image: http://www.dialog.lk/)

Thursday, September 8, 2016

රේන්හාර්ඩ් සෙල්ටන්


1930 වසරේ ඔක්තෝබර් මස පස්වන දින, එවකට ජර්මනියට අයත් ප්‍රදේශයක් වූ බ්‍රෙස්ලෝහිදී යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට දාව ප්‍රොතෙස්තන්ත ආගම ඇදහූ කැතී ලූතර්ගේ කුසින් දරුවකු බිහි වේ. මේ දරුවා රේන්හාර්ඩ් ජස්ටස් රෙජිනෝල්ඩ් සෙල්ටන් (Reinhard Justus Reginald Selten) ලෙස නම් කෙරේ.

එවකට ඇඩොල්ෆ් සෙල්ටන් සුළු ව්‍යාපාරයක නිරතව සිටියේය. ඒ, පැරණි පොත් හා සඟරා ගොනු කියවන්නට කැමති අයට සතියක කාලයකට කුලියට දීමයි. වසර තුනක පාසැල් අධ්‍යාපනයක් පමණක් ලබා සිටි මේ යුදෙවුවා සිය තරුණ වියේදීම අන්ධ බව උරුම කරගෙන සිටි නමුත් සිය ව්‍යාපාරය සාර්ථක ලෙස කරගෙන යන්නට එය ඔහුට බාධාවක් වුනේ නැත.

කෙසේ වුවද, යුදෙවුවෙකු වූ ඇඩොල්ෆ් සෙල්ටන්ට හිට්ලර්ගේ ජර්මනියේදී මේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්නට නොලැබේ. මාධ්‍ය සම්බන්ධ ව්‍යාපාර වල යෙදීම යුදෙවුවන්ට තහනම් කෙරෙන බැවින් ඔහුට සිය ව්‍යාපාරය විකුණා දමන්නට සිදුවේ.

ඇඩොල්ෆ් සෙල්ටන් උපතින් යුදෙවුවෙකු වුවද ඇත්තටම ඔහු කිසිදු ආගමක් නොඇදහූ පුද්ගලයෙකු විය. ඔහු සිය දරුවා වන රේන්හාර්ඩ්ව ඇති දැඩි කරන්නේද අනාගමික පසුබිමකය.

"ඒ මඟින් ඔහු අදහස් කළේ ලොකු වුනාම කැමති ආගමක් තෝරා ගැනීමට (හෝ නොගැනීමට) මට ඉඩ හරින්නයි. ඒත්, ඒ වන විට පැවති දේශපාලන වාතාවරණය අනුව අනාගමිකයෙකු ලෙස සිටීම අවදානම් වැඩක්. මේ නිසා ඔහු තීරණය කළා මාව නමට හෝ බෞතීස්ම කළ යුතුයි කියා."

මේ ඇඩොල්ෆ් සෙල්ටන්ගේ පුත් රේන්හාර්ඩ් සෙල්ටන් සිය ළමා කාලය ගෙවුණු හැටි විස්තර කරන ආකාරයයි.

ඇඩොල්ෆ් සෙල්ටන් ඔහුගේ 'වාසනාවට' 1942දී ස්වභාවික හේතුවකින් මිය යයි. එසේ නොවූවානම් ඔහු බොහෝ විට හිට්ලර්ගේ යුදෙවු සමූලඝාතනයේ (holocaust) ගොදුරක් විය විය හැකිව තිබුණි. 



ඉන්පසුව තමන් මුහුණදුන් අත්දැකීම් රේන්හාර්ඩ් සෙල්ටන් විසින් මෙසේ විස්තර කරයි.


"හිට්ලර්ගේ ඒකාධිපතිත්වය යටතේ බාග-යුදෙවු කොල්ලෙකු සේ ගත කළ ජීවිතය පහසු එකක් වුනේ නැහැ. වයස දාහතරේදී පාසැල් අධ්‍යාපනය අතරමඟ අවසන් කරන්නට සිදුවීමෙන් පසු වැඩිදුර ඉගෙනීම සඳහා කිසිදු ඉඩප්‍රස්තාවක් මට ලැබුණේ නැහැ. නාසි ජර්මනියේ මට කරන්න ඉඩකඩ තිබුණු එකම දෙය නුපුහුණු ශ්‍රමිකයෙකු ලෙස වැඩ කිරීම පමණයි."

"කොහොම වුනත් අපි මේ විදිහට ජීවත් වුනේ මාස හයක් පමණයි. මගේ මවත්, සොහොයුරනුත්, සොහොයුරියත්, මමත් යාන්තම් අන්තිම කෝච්චියෙන් ජර්මනියෙන් පැනගත්තා. එහෙම පැන නොගත් අයට ඉන්පසු රටෙන් පිටවෙන්න අවසරයක් ලැබුණේ නැහැ."

දේශපාලන සරණාගතයෙකු ලෙස බ්‍රෙස්ලෝවෙන් පිට වන රේන්හාර්ඩ් සෙල්ටන්ට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කිහිප වරක්ම පදිංචිය වෙනස් කරමින් තැනින් තැනට යන්නට සිදුවේ. 1946 දක්වා වසර හතරක් ගොවිපොළ සේවකයෙකු ලෙස වැඩ කරන රේන්හාර්ඩ් සෙල්ටන් 1947දී පාසැල් නැවත විවෘත කිරීමෙන් පසු සිය ඉගෙනුම නැවැත්වූ තැනින් යළිත් පටන්ගෙන 1951දී පාසැල් අධ්‍යාපනය නිම කරයි.

පාසැල් අධ්‍යාපනය නිම කරන රේන්හාර්ඩ් සෙල්ටන් ගණිත විෂයයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට තීරණය කරයි. එහෙත්, ආර්ථික විද්‍යාව හා මනෝ විද්‍යාව යන විෂයයන්
ද ඔහුගේ ඇත්තේ දැඩි කැමැත්තකි. මේ නිසා උපාධිය ලබා ගැනීමට අවශ්‍ය පාඨමාලා වලට අමතරව වෙනත් විෂයයන්ද ඔහු හදාරයි. මෙහි ආවස්ථික පිරිවැය වන්නේ රේන්හාර්ඩ් සෙල්ටන්ට උපාධිය ලබා ගැනීමට සාමාන්‍යයෙන් ගතවන කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.

අධ්‍යාපන ඉණිමඟේ ඉහළටම නඟින රේන්හාර්ඩ් සෙල්ටන් 1957දී ජොහෑන්-වුල්ෆ්ගැන්ග්-ගොතේ සරසවියෙන් (Johann-Wolfgang-Goethe-University) පශ්චාත් උපාධියක්ද, 1961 දී ෆ්‍රෑන්ක්ෆර්ට් සරසවියෙන් ආචාර්ය උපාධියක්ද ලබා ගනී. ඉන්පසුව, සරසවි කිහිපයකටම සම්බන්ධ වී ශාස්ත්‍රාලීය පර්යේෂණ වල නිරත වන රේන්හාර්ඩ් සෙල්ටන් අවසානයේ නවතින්නේ ජර්මනියේ බොන් විශ්ව විද්‍යාලයේය. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ ක්‍රීඩා න්‍යාය (Game Theory) හා පරීක්ෂණාත්මක ආර්ථික විද්‍යාවයි.

සමාජ විද්‍යාවක් ලෙස වර්ධනය වූ ආර්ථික විද්‍යාව රසායන විද්‍යාව හෝ භෞතික විද්‍යාව වැනි ශුද්ධ විද්‍යාවක් මෙන් විද්‍යාගාර වල කෙරෙන පරීක්ෂණ, නිරීක්ෂන හා නිගමන හරහා ඉදිරියට ගෙන යා හැකි විද්‍යාවක් බව දශක කිහිපයකට පෙර වැඩි දෙනෙකු විශ්වාස නොකරන්නට ඇත. එහෙත්, අද වන විට ලෝකයේ සරසවි බොහොමයක ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තු වල චර්යාත්මක ආර්ථික විද්‍යා (Behavioral Economics) මූලධර්ම තේරුම් ගැනීමට උදවු කරන ආර්ථික විද්‍යා පර්යේෂණාගාර (Experimental Laboratories) ප්‍රමුඛ අංගයක් බවට පත් වී ඇත.

බොහෝ ආර්ථික විද්‍යා ආකෘතීන්හිදී සිදු කෙරෙන උපකල්පනයක් වන්නේ මිනිසුන් තාර්කික තීරණ ගන්නා බවයි. එහෙත්, ඇතැම් මිනිසුන් බොහෝ විටත්, බොහෝ මිනිසුන් ඇතැම් විටත් අතාර්කික තීරණ ගනිති. පර්යේෂණාත්මක ආර්ථික විද්‍යාඥයන් විසින් මෙය නැවත නැවතත් නිරීක්ෂනය කර තහවුරු කර තිබේ. චර්යාත්මක ආර්ථික විද්‍යාඥයෝ ඒ සඳහා පාදක වන කරුණු ඉදිරිපත් කරමින් පවතින ආර්ථික විද්‍යා ආකෘති වඩා සවිබල ගන්වති.

චර්යාත්මක ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම ක්‍රීඩා න්‍යාය දියුණු කිරීමට, ලබාදුන් දායකත්වය වෙනුවෙන් රේන්හාර්ඩ් සෙල්ටන් 1994 වසරේදී ('බියුටිෆුල් මයින්ඩ්' චිත්‍රපට කතාවට මුල් වූ ජෝන් නෑෂ් සහ ජෝන් හාසානි සමඟ හවුලේ) ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයට හිමිකම් ලැබීය. මේ ජර්මානුවෙකු ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් පළමු අවස්ථාවයි.

දෙසතිකට පෙර පසුගිය අගෝස්තු 23 දින රේන්හාර්ඩ් සෙල්ටන් සිය දිවිසැරිය නිමා කළේය.


(Image: www.nobelprize.org)